Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාමයට ලැදි පානමේ හඬ

එල්.ටී.ටී.ඊය සහ ශ්‍රී ලංකා හමුදාව අතර පැවති සාම සාකච්ඡාවකට පැමිණි එල්.ටී.ටී.ඊ. නායකයෙක් වන මහත්තයා සමඟ සිංහල නමක් ඇති එල්.ටී.ටී.ඊ. ආරක්ෂක නිලධාරියෙක්ද පැමිණියා. ඔහුගේ නම ආනන්ද. ආනන්ද සිංහල ජාතිකයෙක්. ඔහුගේ ගම මඩකලපුවට පහළින් ඇති පානම ගම්මානය. ලාහුගල, කුමන, යාල වනාන්තර අසල පිහිටි අපූරු ගම්මානය. ආනන්ද පානම ගම්මානයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්වූ දෙදෙනාගෙන් කෙනෙක්. අනෙක් පුද්ගලයා අම්පාරේ එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස කලක් කටයුතු කළ ක්‍රස්තෝ නම් කෙනෙක්.

ආනන්ද එල්.ටී.ටී.ඊ.යට බැඳෙද්දී ඔහුගේ සහෝදරයා ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී තියෙනවා. එහෙත් ආනන්දගේ සහෝදරයාව ඝාතනය කර තියෙනවා. එයට හේතුව ආනන්ද එල්.ටී.ටී.ඊ. සෙබලෙකු වීම බව කියනවා. එපමණක් නෙවෙයි, ගමේ මිනිසුන් පවසන ආකාරයට ආනන්දගේ මවටත් මරණ තර්ජන ඇතිවී තියෙනවා. එහෙත් ගමේ අනෙක් මව්වරුන් විසින් ඇයව ආරක්ෂා කර තියෙනවා.

පානම ගම්මානය කලක් එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවතියා. එකල එල්.ටී.ටී.ඊය පානම ගමේ පන්සලෙහි කඳවුරක් පිහිටුවාගෙනද සිටි බව කියනවා. එපමණක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ. ය සිංහල ජනතාව ජීවත්වූ ‘මායිම් ගම්මාන’ ලෙස හැඳින්වූ ගම්මානවල සිවිල් වැසියන්ට ප්‍රහාර ගණනාවක් එල්ලකර ඇතත් පානම ගමට කිසිදා ප්‍රහාරයක් එල්ලකර නැති බව කියනවා. ගමෙන් පිටතදී නම් පානම ගම්වාසීන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලට හසුවී තියෙනවා.

‘තවම කොටි හිටියානම් හොඳයි කියලා හිතෙනවා.’ බී.බී.සීය, රාවය පුවත්පත සහ ඌව ප්‍රජා ගුවන්විදුලිය සමඟ ගණුදෙනු කරන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සමඟ මෙසේ වරක් පැවසුවේ පානම ආරාමවාසී පූජ්‍ය පානම ශ්‍රී චන්ද්‍රරතන හිමියන්. ඒ පානම ඉඩම් ප්‍රශ්ණය ගැන කතාකළ මොහොතක.

පානමේ කතාව

මේ එල්.ටී.ටී.ඊ කතාවෙන් පානමේ කතාව පටන්ගත්තේ මේ මිනිසුන් ගැන වැරදි අදහසක් පාඨක ඔබ තුළ ඇතිකිරීම නොවෙයි. මුළු ලංකාවම දෙකට බෙදී මහා යුද්ධයක ඇවිලෙද්දී ඒ යුද්ධයේ පාර්ශ්වයක් නොගෙන පානමේ වැසියන් අතරින් බහුතරය කටයුතු කළා.

ඇතැමෙක් පැත්තක් ගත්තා. එවන් අය සමඟත් සහයෝගයෙන් පානම ගම්වාසීන් කටයුතු කර තියෙනවා. මේ අපූරු ගම්මානයට අප යන්නේ ‘ජන විවිධත්වය’ නම් පර්යේෂණාත්මක කෘතියෙහි ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා ලියූ ලිපියත්, පානම සමඟ වෙන් කළ නොහැකි ආදරයකින් බැඳුණු මාධ්‍යවේදියෙක් වන කේ සංජීව ලියූ ලිපි මාලාවත් මූලිකව අරගෙන. ලසන්ත ද සිල්වා, ශාලික විමලසේන වැනි පානමට පෙම් බැඳි තවත් මාධ්‍යවේදීන් රැසක් ලියූ ලිපි මේ සටහනට අමතර උදව්වක් වුණා.

නයන විජේතිලක ( පානම හේන් ගොවිතැන )

පානම වැසියන් සිංහල සහ දෙමළ ජනවර්ගවල මිශ්‍රවීමෙන් තැනුණු ජන කණ්ඩායමක්. එමෙන්ම පානම වැසියන්ගේ භාෂාව, සංස්කෘතිය සහ ඇදහිලිද සිංහල සහ දෙමළ මිශ්‍රවීම් තියෙනවා. උදාහරණයක් ලෙස පානම ගම්වැසියන්ගේ නම්ගම් සිංහල ක්‍රමයට පරම්පරාගත වාසගම් සමඟ ඇති වූ ඒවා නෙවෙයි. ඒවා පියාගේ නම තමන්ගේ වාසගම ලෙස ලැබිමත්, තමන්ගේ පුතාට තමන්ගේ නම වාසගම ලෙස යෙදීමත් පදනම් කරගත්ත නම්ගම් සම්ප්‍රදායක් ඔවුන් ඇතිකරගෙන තියෙනවා. මේකට හේතුවක් ලෙස ලේඛක ගුණසේකර ගුණසෝම මහතා පෙන්වන්නේ 1818 කැරැල්ලෙන් පසුව පළා ආ ජන කණ්ඩායමක් වන පානම වැසියන් තමන්ගේ අනන්‍යතාවය හෙළිවුණොත් බ්‍රිතාන්‍ය රජයෙන් තර්ජන එල්ල වෙන්නට ඉඩ ඇති නිසා පරම්පරා නාම සඟවා දෙමළ සම්ප්‍රදායට මාරුවෙන්නට ඇති බවයි.

පානමේ ආරම්භය

මොණරවිල කැප්පෙටිපොල ඇතුළු උඩරට නායකයන් එකතුව 1818 දී බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව කැරළි ගසද්දී එය මර්ධනය කිරීම බ්‍රිතාන්‍ය පාලකයන්ට අසීරු වුණා. ඒ නිසාම 1818 කැරැල්ල මර්ධනය කරන්නට දැඩි මර්දනකාරී උපක්‍රම බ්‍රිතාන්‍ය පාලකයන් අනුගමනය කරපු බව සඳහන් වෙනවා. සාමාන්‍ය ජනතාවගේ වතුපිටි, වී අටුු, එළදෙනුන්, කොස් දෙල් ආදී ආහාර ලබාගත් ගස්වර්ග බ්‍රිතාන්‍ය පාලකයන් විසින් විනාශ කළා. ගැමියන්ව බියගැන්වුවා. ඇතැමුන්ව ඝාතනය කළා. එසේ වෙද්දී වෙල්ලස්සේ සිටි ජනතාව තැනින් තැන සැඟවෙන්නට පටන්ගත්තා. එ් විදියට ලොකු කණ්ඩායමක් වශයෙන් වෙල්ලස්සෙන් පළා ආපු කණ්ඩායමක් තමයි පානම ගම්මානය බිහිවෙන්නට මුල් වෙන්නේ. ගල් ඔය, කුඹුක්කන් ඔය හා හැඩ ඔය හරහා තමයි ඔවුන් පානමට පැමිණි බව කියන්නේ. වනගතව පිහිටි මේ ප්‍රදේශය ගොවිතැනට මෙන්ම සැඟවී සිටින්නටද හොඳ තැනක් බව ඔවුන්ගේ විශ්වාසය වෙන්නට ඇති.

මෙලෙස පැමිණි කණ්ඩායමට​ තමන්ගේ උඩරට ගොවිගම කුලයේ අභිමානය ඉහළින් තිබුණු බව කියනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ කුලයේ ජනතාව නොකරන එදිනෙදා කටයුතු කිරීම සඳහා ‘පහළයැයි සම්මත’ කුලවලට අයිති දෙමළ පවුල් කිහිපයක් මේ ගම්මානයට ගෙන්වාගෙන ගම්මානයේ කෙළවරක පදිංචි කරගෙන ඇතැයි සුනිල් ජයසේකර මහතා තම ලිපියෙහි සඳහන් කරනවා.

ඊට අමතරව මේ පානම ගම්වාසීන්ට ආවාහ විවාහ කටයුතු කරගන්නට අවශ්‍ය වූ විටෙක, ‘සම’ කුලයට අයිති විවාහාපේක්ෂකයන් ගම්මානයේ නැති අවස්ථාවල අසල්වැසි දෙමළ ප්‍රදේශවල ‘උසස්යැයි සම්මත’ කුලවලට අයිති පවුල්වලින් ආවාහ විවාහ කටයුතු කරගෙන ඇති නිසා මේ ජනවර්ග සිංහල සහ දෙමළ ලෙස මිශ්‍ර වී තියෙනවා. අම්මා සිංහල, තාත්තා දෙමළ වූ අය මෙන්ම අම්මා දෙමළ තාත්තා සිංහල වන අයත් පානමේ අතිශයින් සුලභ බව කියනවා.

ඇදහිලි හා විශ්වාස

පානම ගම්වාසීන් අලුත් බණ්ඩාර දෙවියන් සහ පත්තිනි අම්මා දෙවිවරුන් ලෙස විශ්වාස කරනවා. ඔවුන් ගොවිතැනටයි මුල්තැන දෙන්නේ. යුද්ධය සමයේ ඔවුන්ගේ ප්‍රධාන රැකියාවක් වුණේ ග්‍රාමාරක්ෂක රැකියාව. දැන් ඇතැම් තරුණයන් ගම් අත්හැර රැකියා සඳහා පිට ජීවත්වෙන බව කියනවා.

නෑනා මස්සිනා අතර ඇවැස්ස විවාහයන් පානම්පත්තුවේ සුලභව තිබුණු බව කියනවා. එමෙන්ම, බින්න විවාහ සම්ප්‍රදායක් පානමේ තිබුණත් එය ලංකාවේ වෙනත් ප්‍රදේශවල තිබුණු බින්න විවාහ සම්ප්‍රදායට වඩා වෙනස් බව සඳහන් වනවා. පානමේ බින්න බැසීමකදි මනාලයාට වරප්‍රසාද රැසක් හිමිවෙන බව කියනවා. මනමාලයා කැමතිනම් විවාහයෙන් පසුව මනාලියගේ පවුලේ අයට නිවසේ විසීමට අවස්ථාව ලැබෙනවා. විවාහයෙන් අවුරුද්දක් ගතවෙන තුරු මනාලයා උපයන ධනය ආරක්ෂා කරගන්නේ අනාගතය සඳහා. වසරක් යනතුරු බිරිඳගේ මාපියන් විසින් යුවළ නඩත්තු කරනවා. එහෙත් ඉන්පසුව බිරිඳගේ නැඟෙනියන් ඇතුළු අවිවාහක සහෝදර සහෝදරියන් විවාහ කිරීමේ වගකීම සැමියාට පැවරෙනවා.

www.vikalpa.org/

පානමේ පැරණි අවමගල්‍ය සිරිත් ද වෙනස් ඒවා. කෙනෙක් මරණයට පත්වූ විගස දේහය මැස්සක් මත හෝ ඇඳක් මත තබා සුදු රෙද්දකින් වහලා තියනවා. ඉන්පසුව නිවසට රැස්වෙන සියළුදෙනා හඬාවැටෙන බව කියනවා.

ඒ අතර පිරිමින් කණ්ඩායමක් මිනී පෙට්ටිය සූදානම් කරන බවත් ඉන්පසුව දේහය බිමට රැගෙන සිසිල් ජලයෙන් නාවන බවත් කියනවා. එය ‘බැඳ සේදීම’ නමින් හඳුන්වන බව කියනවා. ඉන්පසුව දේහයට අලුත් ඇඳුම් අන්දවා පෙට්ටියේ දේහය බහාලනවා. මෙසේ නිවසේ තබන දේහය  සුසානයට ගෙනයන්නේ ‘දේනය’ නම් විචිත්‍ර දෝලාවක තබාගෙන බවයි සඳහන් වන්නේ. මියගිය කෙනාට ගෞරවයක් ලෙස ප්‍රධාන මාර්ගයෙන් සුසානයට දේහය රැගෙන යනවා. අවමංගල්‍ය පෙරහැරට දෙමළ සංස්කෘතියේ මෙන් කාන්තාවන් ගමන් කරන්නේ නැති බව කියනවා. භූමිදානයෙන් පසුව වළ මත ‘කටු අත්ත’ ලෙස හඳුන්වන කොළ අතු මිනීවළ මත තබනවා.

මල්වර සිරිත්, දරු උපත් ආදී සියල්ලටම පානම්පත්තුව තමන්ට ආවේණික සම්ප්‍රදායන් ගොඩනංවාගෙන සිටි බව කියනවා. එපමණක් නෙවෙයි, ඔවුන්ගේ භාෂා භාවිතයත් උච්චාරණයත් වෙනස් බව පානමේ සැරිසැරූ මාධ්‍යවේදීන් කියනවා.

අමා – අම්මා

අපා – අප්පච්චි

පත්ති පදිරිය – දැඩි නොවිමසිලිවත් බව

අබ දඬු – බාගෙට පිළිස්සුණ දැව දඬු

මුරුවා – මුරුංගා

පිටි කොටං – තට්ටම් යුගලය

මරස්තානෙ – ලිංගාශ්‍රිත ප්‍රදේශය

කුරුච්චක් – පුංචි

ඉඟිරු – ඉරිඟු

සුනිල් ජයසේකර තමන්ගේ ලිපියෙහි මෙලෙස පානම්පත්තුවේ වචන භාවිතයට උදාහරණ කිහිපයක් තමන්ගේ ලිපියට එකතුකරලා තියෙනවා.

පානම වැසියන් මේ වෙද්දී බරපතල ඉඩම් ප්‍රශ්ණයකට මුහුණදෙනවා. ඒ නිසාම පානම මෑත කාලයේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන කතාබහ කරන බොහෝදෙනෙකුගේ අවධානයට යොමුවුණා.

දැන් පැරණි සංස්කෘතික ලක්ෂණ කෙමෙන් වියැකෙමින් අතැඹුලක් වූ ලෝකය සමඟ පානම වැසියන්ද ක්‍රම ක්‍රමයෙන් මුහුවෙමින් සිටියත් පානම කියන්නේ ලංකාවේ සුන්දරම සංස්කෘතික මතකයක් ලෙස ඉදිරි පරම්පරාව වෙත ගෙන යා හැකි අඩවියක් බව පානම ගැන ලියූ දේ කියවද්දී හැඟෙනවා.

Cover – www.vikalpa.org/

Related Articles