ලාංකිකයන් ආහාර පිසීමේ දී සුලභවම භාවිතා කරන රසකාරක අතුරින් ලොකු ළූණුවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ලාංකිකයන් බොහෝ ව්‍යාංජන වර්ග, බැදුම්, තෙල් දැමීම්, සහ වෙනත් ආහාර සෑදීම සඳහා ලොකු ළූණු බහුලව භාවිතා කරනවා. එම හේතුව නිසා, සාමාන්‍යයෙන් අප රටේ ජනයාගේ දෛනික පරිභෝජනය සඳහා සැලකිය යුතු තරම් විශාල ලොකු ළූණු තොගයක් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ලංකාවේ ගොවියන් සරුවටම ලොකු ළූණු වගාව සිදුකරන ආකාරය පසුගිය දශක කිහිපය තුළ දක්නට ලැබුණා. නමුත් ලංකාවේ ලොකු ළූණු වගාවට පසුගිය වසර 5ක පමණ කාලය එතරම් සුභදායී වුණේ නැහැ. විවිධ හේතුන් නිසා ක්‍රමයෙන් කඩා වැටුණු ලංකාවේ ලොකු ළූණු වගාව වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණපාමින් ඉදිරියට යනවා.
ලොකු ළූණු වගාවට වඩාත් හිතකර සාධක
ලොකු ළූණු මුහුදු මට්ටමේ සිට මීටර් 2000 දක්වා උස් වුණු බිම්වල වගා කළ හැකි බෝගයක්. නමුත් වගාව සිදුකරන කාලසීමාව තුළ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 750ට වඩා වැඩිවීම ලොකු ළූණුවලට අහිතකර යි. එසේම වගාව ආරම්භ කරන කාල සමයේ දී මෙන්ම අවසාන කාල සමයේ දීත් තද වර්ෂාව පැවතීම හිතකර වන්නේ නැහැ. ඉහත සඳහන් කළ දේශගුණික තත්ත්වයන් පවතින ලංකාවේ වියළි කලාපයේ යල කන්නයේ දී ලොකු ළූණු වගාව සාර්ථකව සිදුකළ හැකියි. එහි දී ජල සම්පාදන ක්‍රමය මඟින් වගාව සඳහා අවශ්‍ය ජලය ලබාගත හැකියි. ඊට අමතරව පහතරට අතරමැදි කලාපයට අයත්වන සමහර ප්‍රදේශවල ද සාර්ථකව ලොකු ළූණු වගාව සිදුකරනු ලබනවා. වියළි කලාපය තුළ බහුලවම දක්නට ලැබෙන රතු දුඹුරු පස, ඇළදොළ ආශ්‍රිතව දක්නට ලැබෙන දියළු පස, සහ රෙගසෝල් පස යන පස් වර්ග ලොකු ළූණු වගාව සඳහා වඩාත් යෝග්‍ය වනවා. එහි දී වගා කරන පසෙහි PH අගය 6.5 – 7.8 අතර පවත්වාගැනීම වඩාත් සුදුසු යි.
ලංකාවේ ලොකු ළූණු වගා කරන ප්‍රදේශ
ලංකාවේ වැඩි වශයෙන් ලොකු ළූණු වගාව සිදුකරනු ලබන්නේ අනුරාධපුරය, මාතලේ, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයට අයත්වන ප්‍රදේශවල යි. අප රටේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ලොකු ළූණු වගා බිම් ප්‍රමාණයක් අප රට තුළ දක්නට ලැබෙන්නේ නැහැ. එම නිසාම අප රටට විශාල වශයෙන් ලොකු ළූණු ආනයනය කරනවා.
ලොකු ළූණු ප්‍රභේද
දැනට ලංකාවේ ලොකු ළූණු වගාව සිදුකරන ප්‍රදේශවල විවිධ ප්‍රභේදවලට අයත් ලොකු ළූණු වගා කරනවා. අප රට තුළ වර්තමානය වන විට වගා කරන ප්‍රධාන ලොකු ළූණු වර්ග කිහිපයක් පිළිබඳව තොරතුරු පහත දක්වා තිබෙනවා.
නාසික් රෙඩ්
මෙම ලොකු ළූණු ප්‍රභේදයේ බල්බය දම්-රතු පැහැති යි. එසේම එහි සැර බව අධික යි. මෙම ප්‍රභේදයේ පැළ සිටුවීමෙන් පසුව අස්වැන්න නෙළීම සඳහා දින 100-110ක් අතර කාලයක් ගතවනවා. මෙම වර්ගයේ ලොකු ළූණු කල් තබා ගැනීමට එතරම් සුදුසු නැති නිසා වේලාසනින් වගාව ආරම්භ කර කොළ ළූණු වශයෙන් අලෙවි කිරීම සඳහා සුදුසු යි.
ඇග්රි ෆවුන්ඩ් ලයිට් රෙඩ්
මෙම ලොකු ළූණු ප්‍රභේදයේ බල්බය ලා රෝස පැහැති යි. එසේම එහි සැර බව අධික යි. මෙම ප්‍රභේදයේ පැළ සිටුවීමෙන් පසුව අස්වැන්න නෙළීම සඳහා දින 85-90ක් අතර කාලයක් ගතවනවා. මෙම වර්ගයේ ලොකු ළූණු කල් තබා ගැනීමට සුදුසු යි.
කල්පිටිය වරණය
මෙම ලොකු ළූණු ප්‍රභේදයේ බල්බය ලා රෝස පැහැති යි. එසේම එහි සැර මධ්‍යස්ථ යි. මෙම ප්‍රභේදයේ පැළ සිටුවීමෙන් පසුව අස්වැන්න නෙළීම සඳහා දින 80-85ක් අතර කාලයක් ගතවනවා. මෙම වර්ගයේ ලොකු ළූණු කල් තබා ගැනීමට සුදුසු යි.
රාම්පූර්
මෙම ලොකු ළූණු ප්‍රභේදයේ බල්බය ලා රෝස පැහැති යි. එසේම එහි සැර බව අධික යි. මෙම ප්‍රභේදයේ පැළ සිටුවීමෙන් පසුව අස්වැන්න නෙළීම සඳහා දින 80-85ක් අතර කාලයක් ගතවනවා. මෙම වර්ගයේ ලොකු ළූණු කල් තබා ගැනීමට සුදුසු යි.
පූසා රෙඩ්
මෙම ලොකු ළූණු ප්‍රභේදයේ බල්බය ලා රෝස පැහැති යි. එසේම එහි සැර බව අධික යි. මෙම ප්‍රභේදයේ පැළ සිටුවීමෙන් පසුව අස්වැන්න නෙළීම සඳහා දින 85-90ක් අතර කාලයක් ගතවනවා. මෙම වර්ගයේ ලොකු ළූණු වැඩි කාලයක් කල් තබා ගත හැකියි.
ලංකාවේ ලොකු ළූණු වගාව ආශ්‍රිත ගැටලු
ලංකාවේ ලොකු ළූණු ගොවීන් වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණපාමින් සිටිනවා. එම නිසාම සමහර ලොකු ළූණු ගොවීන්ට පසුගිය කාල සමයේ ලොකු ළූණු වගාව අත්හැර දැමීමට පවා සිදු වුණා. දැනට මෙම වගාවෙහි නිරතවන සමහර ගොවීන් ද පාඩු ලබමින් වගාව ඉදිරියට ගෙන යන්නේ ඔවුන්ට සිය ජීවිකාව ගෙන යාමට වෙන මඟක් නොමැති නිසා යි. ලොකු ළූණු ගොවියන් පසුගිය වසර කිහිපය තුළ මුහුණදුන් ගැටලු කිහිපයක් පහත දැක්වෙනවා.
කාලගුණික විපර්යාස
සාමාන්‍යයෙන් ලොකු ළූණු ගොවියන්ට වගාව සඳහා බිම් සැකසීමට විශාල මුදලක් වැය වනවා. එලෙස බිම් සකස් කර වගාව ආරම්භ කිරීමත් සමගම නිසි ලෙස වර්ෂාව නොලැබීම නිසා ලොකු ළූණු ගොවීන්ට සිය වගාව කරගෙන යාමට නොහැකි වුණා. එසේම පසුගිය වසර කිහිපය තුළ අප රටට අධික වර්ෂාපතනයක් පතිත වුණු කාලවල ද ලොකු ළූණු වගාව විනාශ වුණු ආකාරය දක්නට ලැබුණා.
සහතික මිලක් නොලැබීම
අප රටේ සිටින ගොවියන් සෑම වසරකම ඔවුන් සතුව තිබෙන වගා බිම් අස්වද්දනු ලබනවා. නමුත් ඔවුන්ගේ අස්වැන්නට සාධාරණ වටිනාකමක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ලොකු ළූණු ගොවීන් ද පසුගිය කාල සමයේ ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිලකට විකුණාගත නොහැකිව අසරණ වුණු ආකාරය මාධ්‍ය මඟින් දක්නට ලැබුණා. බොහෝ විට ලොකු ළූණු ගොවීන් සිය වගාව ආරම්භ කරන්නේ ණයට ලබාගන්නා මුදල් යෙදවීමෙන්. ඉන් අනතුරුව වගාව කරගෙන යන ගොවීන්ගේ එකම අරමුණ වන්නේ හොඳ අස්වැන්නක් ලබාගෙන ඉන් ලැබෙන මුදලින් යහපත් ජීවිතයක් ගත කිරීම යි. නමුත් අසරණ ලොකු ළූණු ගොවියන්ට සිය අස්වැන්න සාධාරණ මිලකට විකුණාගත නොහැකි වීම නිසා ඔවුන් ණයකරුවන් බවට පත්වනවා. එම නිසාම ඇතැම් ලොකු ළූණු ගොවීන් මෙම වගාව අතහැර වෙනත් වගාවන් කරා යොමු වනවා.
ලොකු ළූණු බීජ විකුණාගත නොහැකි වීම
ලාංකීය ගොවීන් දිගු කලක ලොකු ළූණු වගා කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීම සිදුකරනවා. නමුත් පසුගිය කාල සමයේ පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ලොකු ළූණු බීජ ආනයනය කර තිබුණේ ඉන්දියාවේ සිට යි. එම නිසාම ලංකාවේ ලොකු ළූණු බීජ නිෂ්පාදනය කරන ගොවීන් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.
රසායනික පොහොර මිල ඉහළ යාම
ඕනෑම වගාවක් මහා පරිමාණව සිදු කරගෙන යාම සඳහා රසායනික පොහොර අවශ්‍ය වනවා. පසුගිය කාල සමයේ සිදුවුණු රසායනික පොහොර මිල ඉහළයාමත් සමගම ගොවීන් අසරණ තත්ත්වයකට පත් වුණා. එලෙස රසායනික පොහොර මිල වැඩිවීම හේතුවෙන් ගොවීන්ට ලොකු ළූණු නිෂ්පාදනය කිරීම සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවනවා. නමුත් අස්වැන්න විකිණීමෙන් පසුව ඔවුන්ට සැලකිය යුතු ආදායමක් ලැබෙන්නේ නැහැ. එම නිසාම බොහෝ ගොවීන් අඛණ්ඩව ලොකු ළූණු වගාව කරගෙන යාම සඳහා මැලිකමක් දක්වනවා. මෙය දේශීය ලොකු ළූණු වගාවේ අනාගතයට එතරම් සුභ ලකුණක් නොවෙයි.
ලොකු ළූණු මහා පරිමාණයෙන් ආනයනය කිරීම
වසරකට මෙරට ජනතාවට පරිභෝජනය සඳහා ලොකු ළූණු මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වනවා. නමුත් දේශීය ලොකු ළූණු ගොවියන් නිෂ්පාදනය කරන්නේ ලොකු ළූණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. එම නිසාම අප රටේ ලොකු ළූණු අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය වැනි රටවල්වලින් මහා පරිමාණයෙන් ලොකු ළූණු ආනයනය කරනවා. එලෙස දිගින් දිගටම ලොකු ළූණු ආනයනය කරන ප්‍රමාණය වැඩි කිරීමට වඩා කළ යුතු වන්නේ වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීම සඳහා දේශීය ලොකු ළූණු ගොවියාව දිරිමත් කිරීම යි. එමඟින් වසරකට ආනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් ප්‍රමාණය අඩු කරගැනීමට හැකිවනු ඇති.
ලොකු ළූණු ගොවීන්ගේ ගැටලුවලට රජයෙන් ලබා දිය හැකි විසඳුම්
පසුගිය කාල සමයේ ලංකාව තුළ ලොකු ළූණු වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන ආකාරය දක්නට ලැබුණා. එයට හේතු වුණේ වියදමට සරිලන ආදායමක් නොලැබීම නිසා ලොකු ළූණු ගොවීන් වගාව අතහැර දැමීම යි. එම නිසාම යළි දේශීය ලොකු ළූණු වගාව නගාසිටුවීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ලොකු ළූණු වගාව දියුණු කිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කළ හැකියි.
1) ලොකු ළූණු කිලෝවක් සඳහා සහතික මිලක් ලබා දීම
2) ලොකු ළූණු ගොවීන්ට සහන මිලට රසායනික පොහොර ලබා දීම
3) රජයේ බැංකුවලින් ලොකු ළූණු ගොවීන්ට අඩු පොලියට ණය ලබා දීම
4) නියං කාලවල දී ගොවීන්ට ජලය සැපයීමට රජය මැදිහත් වීම
5) දේශීය ලොකු ළූණු බීජ නිෂ්පාදකයන්ගේ ලොකු ළූණු බීජ අලෙවි කරගැනීම සඳහා ක්‍රමයක් සකස් කිරීම
6) සාර්ථකව ලොකු ළූණු වගා කරන ගොවියන්ව තෝරාගෙන රජය මඟින් ඔවුන්ව ඇගයීමකට ලක් කිරීම. එමඟින් ලොකු ළූණු වගා කරන ගොවියන්ව දිරිමත් කළ හැකියි.
වර්තමානය වන විට ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින දේශීය ලොකු ළූණු වගාව රැකගැනීම අදාළ බළධාරීන්ගේ වගකීමක්. ඔවුන් ලංකාවේ වාර්ෂික ලොකු ළූණු නිෂ්පාදනය අඩු වීමට හේතු සොයා බලා නිසි පිළියම් යෙදුවොත් දේශීය ලොකු ළූණු ගොවියාට හොඳ කලක් උදාවනු ඇති.