
ශ්‍රී ලංකාව යනු ඒකීය රාජ්‍යකි. වෙනත් රටවල් ලංකාව හඳුනා ගන්නේ අපගේ ජාතික කොඩිය තුළිනි. එය රටේ අනන්‍යතාවය තහවුරු කරන ලාංඡනයක් ලෙසද තවත් ලෙසකට දැක්විය හැක. ජාතික කොඩියක් නිර්මාණය කිරීමේදී රටේ පවතින සියලුම දේශපාලන, සමාජීය හා සංස්කෘතික සාධක සැලකිල්ලට ගත යුතුය. මෙහිදී රටේ ජිවත් වන සියලුම ජන කණ්ඩායම්, ගෝත්‍ර, ජනයා අදහන ආගම්, ආදී සියල්ලක්ම කෙරෙහිම අවධානය යොමු කළ යුතය.
ජාතික කොඩියක් තුළින් මේ සියල්ලම නියෝජනය කෙරුනත් රටේ විවිධ පළාත් වල ඊට ආවේනික වු විශේෂ ලක්ෂණ දක්නට ලැබේ. ඒවා සැලකිල්ලට ගනිමින් බොහෝ රටවල් එම රටේ පළාත් සඳහා වෙන් වෙන් වූ කොඩි නිර්මානය කර ඇත. ලංකාව තුළ ප්‍රධාන පළාත් නවයක් දක්නට ලැබේ. අපගේ ජාතික කොඩියට අමතරව රටේ පළාත් නියෝජනය කිරීම සඳහා වෙනම කොඩි නවයක් ඇත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එම කොඩි නවය පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.
බස්නාහිර පළාත

virakesari.lk
ලංකාවේ අග නගරය පිහිටා ඇති දිස්ත්‍රික්කය ඇත්තේ බස්නාහිර පළාත තුළයි. බස්නාහිර පළාත් කොඩිය පිලිබඳ කතා කිරීමේදී එහි සංකේන්ද්‍රීය වූ සෘජුකෝණාශ්‍ර කීපයක් දක්නට ලැබේ. කොඩියේ මැද ඇති සෘජුකෝණාශ්‍රයේ හතර කොනේ බෝ කොළ හතරක් හා සුදු පැහැති රවුම් තුනක් දක්නට ලැබේ. මෙම රවුම් වලින් එකක රන් පැහැති කුරුල්ලෙක් දක්නට ලැබේ. එයින් කළුතර දිස්ත්‍රික්කය නිරුපණය වේ. මැද රවුමේ සිටින සිංහ රුපය මගින් කොළඹ දිස්ත්‍රික්කය නිරුපණය වේ. අනෙක් රවුමේ දක්නට ලැබෙන රන් පැහැති නාගයාගෙන් නිරුපණය වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. කොඩියේ හතර පැත්තේ ඇති බෝ කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නිරුපණය වේ.
දකුණු පළාත

visitruhuna.sp.gov.lk
දකුණු පළාත් කොඩිය ලංකාවේ ජාතික කොඩියට සමානකම් පෙන්වයි. කොඩියේ මෙරුන් පැහැති පසුබිම තුළ කඩුවක් අතින් ගත් සිංහයෙක් දක්නට ලැබේ. කොඩියේ සතර පැත්තේ බෝ කොළ හතරක් දක්නට ලැබේ. මිට අමතරව සිංහයාගේ දෙපැත්තේ ඉර හඳ දෙක දැකිය හැක.
මෙහි මුළු හතරේ ඇති බෝ කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නිරුපණය වේ. කොඩිය මැද සිටින කඩුවක් අතේ ඇති සිංහයාගෙන් සැමදෙනාටම ඇති සමානාත්මතාවය, යුක්තිය, හා සදාරණත්වය වැනි සංකල්ප නිරුපණය වේ. බොහෝ විද්වතුන්ගේ මතය අනුව මෙම කොඩිය අතීතයේ දුටු ගැමුණු රජු යුද්ධ කිරීමට ගෙන ගිය කොඩියට සමානකම් දක්වයි.
මධ්‍යම පළාත

newsfirst.lk
මධ්‍යම පළාතට අයත් මාතලේ, නුවර එළිය, මහනුවර යන දිස්ත්‍රික්ක නිරුපණය කිරීම සඳහා මෙම කොඩිය භාවිත කරයි. කඩුවක් අතින් රැගත් රන් පාට සිංහයාගෙන් හා මෙරුන් පැහැති පසුබිමේ ඇති බෝ කොල හතරෙන් නුවර දිස්ත්‍රික්කය නිරුපණය වේ. සුදු පැහැති පසුබිමෙන් මාතලේ දිස්ත්‍රික්කය නිරුපණය වන අතර සුදු නෙළුම් මල් වලින් නුවර එළිය දිස්ත්‍රික්කය නිරුපණය කර ඇත.
වයඹ පළාත

cs.nw.gov.lk
මෙය 1987 වර්ෂයේදී වයඹ පළාත සඳහා හදුන්වා දෙන ලදී. මෙම කොඩියේ දෙපැත්තේ ඉර හා හඳ දක්නට ලැබේ. මීට අමතරව සුදු පැහැති පසුබිමේ කුඩා තරු අටක් දක්නට ලැබේ. සම්පුර්ණ කොඩිය වටා කොළ හා දුඹුරු විවීමක් දක්නට ලැබේ.
ඌව පළාත

wikimedia.org
ඌව පළාත් කොඩිය නිර්මාණය කර ඇත්තේ කහ පැහැති පසුබිමේ රතු පැහැයෙන් විවිධ රටා යෙදිමෙණි. කොඩිය මැද හංසයෙක් දක්නට ලැබෙන අතර හංසයාගෙන් බොහෝ දේ නිරූපණය වේ. ප්‍රියංකර බව, ශේෂ්ඨත්වය, රාජකීය බව ඉන් කීපයකි.
උතුරු මැද පළාත

dsrmedias.com
උතුරු මැද පළාතට අයත් වන්නේ අනුරාධපුරය හා පොළොන්නරුවයි. මෙම කොඩිය තුළින් අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල ප්‍රෞඩත්වය මනාව විදහා දක්වයි. කොඩියේ මැද ඇති රවුම තුළ රූප ගණනාවක් දැකිය හැක. එහි ඇති ස්ථූපයක හා ගල් කණුවක රුපය තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කය නිරුපණය වේ. මෙය ලංකාවේ පළමු ස්ථුපය වන දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද ථුපාරාමයට සමාන වේ.
මෙම රවුම තුළ පළමු පරාක්‍රමබාහු රජුගේ චිත්‍රයක්ද දක්නට ලැබේ. ඒ තුළින් පොළොන්නරු දිස්ත්‍රික්කය නිරුපණය වේ. ලංකාව එක්සේසත් කළ ප්‍රභල රජෙකු වන එතුමා බෞද්ධාගමේ දියුණුව සඳහා කැපවීමෙන් කටයුතු කළ රජෙකි. රවුම වටා ඇඳ ඇති වී කරල් මගින් අනුරාධපුරයේ හා පොළොන්නරුවේ සාරවත් කෘෂිකර්මාන්තය නිරුපණය කර ඇත.
සබරගමු පළාත

sg.gov.lk
සබරගමු පළාත් කොඩිය ලංකාවේ ජාතික කොඩියට හා දකුණු පළාත් කොඩියට සමානකමක් දක්වයි. කසයක් අතින් ගත් සිංහයාගෙන් යුක්තිය හා සධාරණත්වය නිරුපණය වේ. කොඩියේ හතර කොනේ බෝ කොළ හතරක් දක්නට ලැබේ. ඒවාගෙන් නිරුපණය වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයි.
උතුරු පළාත

wikimedia.org
උතුරු පළාත් කොඩියේ මැද සුර්යා නිරුපණය කර තිබේ. කොඩිය වටේ ඇති නිල් පැහැති රාමුව තුළින් සාගර සම්පත් නිරුපණය වේ. කොඩියේ කොළ පැහැති තීරුවෙන් උතරු පළාතේ කෘෂි කර්මාන්තය නිරුපණය කර ඇති අතර රතු පැහැයෙන් හින්දු සංස්කෘතිය නිරුපණය කර ඇත. සුදු පැහැය යොදාගෙන ඇත්තේ සාමය හා සමාදානය නිරුපණය කිරීමටයි.
නැගෙනහිර පළාත

wikimedia.org
නැගෙනහිර පළාතේ කොඩියේ මාළුවා, උකුස්සා හා සිංහයා යන සත්වයින් දක්නට ලැබේ. උකුස්සාගේ රූපයෙන් සංකේතවත් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි. මාළුවාගෙන් සංකේතවත් කරන්නේ මඩකලපුව වන අතර සිංහයාගෙන් අම්පාර දිස්ත්‍රික්කය නිරුපණය වේ.
කවරයේ පින්තුරය – ftp.playbuzz.com