Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් හිඟයෙන් බැට කන අපේ ප්‍රකාශන කර්මාන්තය

මේ දිනවල පොත් සාප්පුවලට ගියොත් ඔබට පෙනේවි පසුගිය මාර්තු මාසයෙන් පසු නිකුත් වූ අලුත් පොත් කිසි ම සාප්පුවක නැති බව. ඒකට හේතුව පවතින ඩොලර් හිඟය දඩමීමා කරගෙන කඩදාසි ගෙන්වන ව්‍යාපාරිකයන් කලකට පෙර ගෙන්වූ කඩදාසිවල මිල අධික ලෙස ඉහළ දමා ඒකාධිකාරයක් පවත්වාගෙන යාම යි.

මේ අධික මිල යටතේ පොත් මුද්‍රණය කර පාඨකයන්ට අධික මිලකට ලබා දීමට අපහසු නිසා ප්‍රකාශන ආයතන අලුතින් පොත් මුද්‍රණය නවත්වා තිබෙනවා. මේ නිසා ලේඛකයන්ට මෙන් ම පාඨකයන්ට ද විශාල හානියක් සිදුවෙලා. කඩදාසි අවුල නිසා මතු වී ඇති තත්ත්වය ගැන සෙවීමට අපි උත්සාහ කළේ ඒ නිසයි.

  වාලච්චේන කඩදාසි කම්හල -lankaleadnews.com

මුද්‍රණ කර්මාන්තය

මුද්‍රණ කර්මාන්තය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනගහනයකගේ කුස පුරවන එක් මාර්ගයක් වී තිබෙනවා. මරණ දැන්වීම් අච්චු ගසන ගමේ මුද්‍රණාලයේ සිට පොත්පත්, පෝස්ටර්, ලිපිලේඛන, කැලැන්ඩර්, දිනපොත් මුද්‍රණය කරන මුද්‍රණාල විශාල සංඛ්‍යාවක් කොළඹ සහ රට පුරා පැතිර තිබෙනවා. රටට අවශ්‍ය කඩදාසි මේ රටේ ම නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් මීට අවුරුදු 50 කට පමණ පෙර නැඟෙනහිර පළාතේ වාලච්චේන ගමේ පිහිටුවා තිබුණා. නැඟෙනහිර කඩදාසි කර්මාන්ත සංයුක්ත මණ්ඩලය ලෙස නම් කළ මේ යෝධ කර්මාන්ත ශාලාව මඟින් හාප්ෂීට්, කාඩ්බෝඩ් ඇතුළු කඩදාසි වර්ග කිහිපයක් ම නිෂ්පාදනය කළා.

1977 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වීමෙන් පසු හැම කඩදාසියක් ම රටින් ගෙන්වීම නිසා මේ කඩදාසි කම්හල අභාවයට ගියා. මේ නිසා මුද්‍රණ කඩදාසි කර්මාන්තයේ සෑම අමුද්‍රව්‍යයක් ම පිටරටින් ගෙන්වීමටයි සිදු ව තිබෙන්නේ. පසුගිය කාලයේ මාසිකව මෙරටට ආනයනය කළ කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් (120,000ක්) වුණා. නමුත් ඩොලර් හිඟය නිසා මාස කිහිපයක සිට කඩදාසි ගෙන්වීම සම්පූර්ණයෙන් නැවතී තිබෙනවා.

 මිල දරන්නට බැරි කඩදාසි – platinumcopiers.com

කඩදාසි මිල

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පවසන්නේ පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල පෙබරවාරි මාසයේ සිට කිහිප ගුණයකින් වැඩිවී ඇති බව යි. මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ඩොලර් හිඟය මවා පාමින් කළුකඩයේ කඩදාසි මිල වැඩිකිරීම බවයි අපට නම් පෙනී ගියේ.

පොත් කර්මාන්තයේ දී පොතක මුද්‍රණ වියදමෙන් සියයට 30ත් 32ත් අතර වැයවන්නේ කඩදාසි සඳහා යි. ඒ අනුව කඩදාසි සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙස පොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉල්ලීමක් ව පැවතුණ ද රජය එයට ප්‍රතිචාර දක්වා නැහැ .

 හෙනහුරා ලැබූ මුද්‍රණ කර්මාන්තය – youtube.com

 

වෙනදා රු.100-200 වැනි මිල ගණන්වලින් ඉහළ යන කඩදාසි මිල දැන් සතියෙන් සතිය වැඩි වන්නේ රුපියල් දහස් ගණනින් බව සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි පැවසුවා. ඔහු පැවසුවේ පසුගිය මැයි වනවිට පොත් මුද්‍රණය කරන කඩදාසී රීම් එකක මිල රු. දාහත්දහසක් වන බව යි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය අප සමඟ පැවසුවේ කඩදාසි මෙන් ම පොත් මුද්‍රණයේ දී අවශ්‍ය වන සියලු ම අමුද්‍රව්‍යවල මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව යි.  ඔහු මෙසේ ද පවසා සිටියා:

‘‘ මේක මුද්‍රණ කර්මාන්තයට වගේම ප්‍රකාශන කර්මාන්තයකටත් ඉතා අහිතකර ලෙස බලපාලා. කළුකඩකාරයෝ කඩදාසි හංගගෙන ඉන්න බව පේනවා. ආට් පේපර් පවා ගිනි ගණං. ප්ලේට්වලත් ලොකු හිඟයක් තිබෙනවා. මේ නිසා වැඩ අඩුවීමෙන් පොඩි මුද්‍රණාල වැහෙන තත්ත්වයක පවතින්නේ.‘‘ 

 රජයෙන් විසඳුමක් නැති තැන අරගල බිමට – Kusumsiri Wijayawardhana

ලේඛකයන් පාඨකයන් ගෝටා ගෝ ගමට

කොල්ලුපිටිය හන්දියට පසුගියදා  එක්රොක් වූ ලේඛකයන්, පාඨකයන්, ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එහි සිට ගෝඨාගෝගම දක්වා විරෝධතා පෙළපාලියක් ගියේ මුද්‍රණ කඩදාසි හිඟයට රජයෙන් විසඳුමක් ඉල්ලා සිටිමින්. අධික මිල ගණන්වලට කඩදාසි රැගෙන පළ කරන පොත්වලට අධික මිලක් නියම කිරීමට සිදුවීම නිසා එවැනි පොත් මිලදී ගැනීමට නොහැකි බව කියමින් පාඨකයෝත් එදින උද්ඝෝෂණය කළා. එදින උද්ඝෝෂණයට සමහරු පැමිණ සිටියේ හබරල කොළවල ලියූ සටන් පාඨ රැගෙන යි. තවත් සමහරු ගෝනිවල, පරණ මුද්‍රණ ප්ලේට් තහඩුවල සටන් පාඨ ලියා තිබුණා. පොත් නැති රටක්, පොත් ලියන්නේ කෙසේද, තීන්ත මිල අඩු කරනු වැනි සටන් පාඨ එදින දැකගැනීමට ලැබුණා.

මේ එක් විරෝධතා පුවරුවක ලියා තිබූ කවියක්:

‘‘පෑන තමයි අපේ සවිය‍
අකුරු තමයි අපේ අවිය‍
සාධාරණ ඉටු වෙනකං
කියනව අපි සටන් කවිය‘‘

ඔවුන් පෙළපාලියෙන් ගෝටාගෝගම දක්වා ගොස් විරෝධතා රැස්වීමක් ද පැවැත්වූවා. ඒ අවස්ථාවට ප්‍රවීණ ලේඛකයන්, ප්‍රකාශයන් මෙන් ම පාඨකයන් ද දහස් ගණනක් එක් ව සිටියා.

 මුද්‍රණ කර්මාන්ත ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවේ  – Kusumsiri Wijayawardhana

 

මේ විරෝධතාවට එක්ව සිටි ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ පැවසූ අදහසක්:

‘‘මුද්‍රණ කර්මාන්තය මූලික කරගත් ප්‍රකාශන කාර්යයට වර්තමාන අර්බුදය නිසා සිදුව ඇති හානිය සහ පාඩුව රටේ අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපා හැකි බව මගේ අදහසයි. මානව බුද්ධියට ඍජු බලපෑමක් සහිත සාහිත්‍යයට මේ මොහොතේ එල්ල වී පවතින තර්ජනය සුළුපටු නොවේ. පතපොත මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි සහ ප්ලේට් ආදියත්, තීන්ත සහ යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් ආදිය හිඟවීමෙන් මුද්‍රණ කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා. පාසල් පෙළ පොත් සේම සටහන් පොත් මුද්‍රණය ඇන හිටීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිකර තිබෙන බාධාව ප්‍රබලයි.

මේ අයහපත් තත්ත්වය බලපාන්නේ මුද්‍රණාලවල සේවකයන්ට පමණක් නොවෙයි. ලේඛකයන්ගේ දිවි පැවැත්මටත් වෘත්තීය සුරක්ෂිතභාවයටත් එය තර්ජනයක්. ඒ පිළිබඳව රජයේ කිසිදු අවධානයක් යොමු වී නැති නිසයි, මුද්‍රණ, ප්‍රකාශක සහ ලේඛක ගණයාට, ජන අරගලයේ පාර්ශ්වකරුවන් ලෙස මහ පාරට බැසීමට සිදු වුණේ. පතපොත රහිත රට චින්තනමය කාන්තාරයක්. බලධරයින්ට අප බලකර සිටින්නේ වහා මැදිහත් වී ප්‍රකාශන කර්මාන්තය රැකදෙන ලෙසයි.‘‘

 මුද්‍රණාලවලට වැඩ නැහැ- ywldjx.en.made-in-china.com

ප්‍රකාශක අදහස්

මේ වනවිට සියලුම ප්‍රකාශයන් අලුත් පොත් මුද්‍රණය කිරීමෙන් වැලකී සිටිනවා. මේ නිසා පිටවීමට තිබෙන පොත් රාශියක් මුද්‍රණය කිරීම ඇණහිටලා. එමෙන්ම පොත් මුද්‍රණය නැවතීමෙන් පොත් පමණක් මුද්‍රණය කරන මුද්‍රණාල රාශියක්ද වැසීයාමේ අනතුරට පත්ව තිබෙනවා.

විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ කඩදාසි අර්බුදය ගැන අපට පැවසුවේ මෙවන් අදහසක්:

ඉන්දියාව විශාල මුද්‍රණ කර්මාන්තයක් පවතින රටක්. ඒ නිසා මං  තාවකාලික ව මේ ප්‍රශ්නය තරමක් සමනය වන තෙක් ඉන්දියාව සමඟ සහයෝගී මුද්‍රණ වැඩපිළිවෙළකට යාම සුදුසු බව යෝජනා කරනවා. අපිට ඉන්දියාවෙන් පොත් මුද්‍රණය කරලා ගෙන්වාගත හැකි වුණත් එවිට විශාල පිරිසක් සේවය කරන මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙනවා. මේ නිසා මුද්‍රණ හා ප්‍රකාශන පාර්ශ්ව දෙක ම සමඟ සහයෝගී වැඩපිළිවෙළක් තමයි යෝග්‍ය වන්නේ.

 පාඨකයන්ට අලුත් පොත් නැහැ – dailymirror.lk

 

ජනක ඉණිමංකඩ, කඩදාසි අර්බුදයට විසඳුම් ලෙස යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. කෙටිකාලීන යෝජනාවක් ලෙස ඔහු සඳහන් කරන්නේ ඉන්දියානු මුද්‍රණ කර්මාන්තයේ 50 දෙනකු පමණ සමඟ ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශකයන් සමුළුවක් පවත්වා ලංකාවේ පොත් ඉන්දියාවේ මුද්‍රණය කර ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව යි. ඉන්දියාවේ කඩදාසි විශාල ව නිෂ්පාදනය වන බැවින් හා මුද්‍රිත පොත් ලංකාවට ගෙන්වීමේ දී දැරිය යුතු බදු මුදල ඉතා අඩු බැවින් මිල විශාල ලෙස ඉහළ නොදමා පාඨකයන්ට  එවිට පොත් ලබා දිය හැකිවෙනවා.

ඔහුගේ දිගුකාලීන යෝජනාව නම් පොත් ප්‍රකාශකයන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ද සහය ගෙන, ඉන්දියානු ආයෝජකයකුට පහසුකම් ලබා දී, අවශ්‍යනම් ශ්‍රී ලාංකීය ආයෝජකයන්ද හවුල් වී, නවීන කඩදාසි නිශ්පාදන කම්හලක් ශ්‍රී ලංකාවේ ඇරඹීමයි.

 කොළඹ ජාත්‍යන්තර පොත් දැක්මට පැමිණි ජනතාව – dailynews.lk

කඩදාසි ප්‍රශ්නය රටට බලපාන්නේ කෙසේද?

කඩදාසි ප්‍රශ්නය නිසා මුද්‍රිත පොත් නිකුත්වීම නැවතීමෙන් රටට බලපාන්නේ කුමන ආකාරයට දැයි ඇසූ විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියුම්කරු සමඟ පැවසුවේ මෙලෙසයි:

‘‘මේක ඉතාම භයානක හා අවාසනාවන්ත තත්ත්වයක් විදිහටයි මට පේන්නේ. එක්තරා ආකාරයකින් ගැඹුරු සංවාදයට බාධා කිරීමක්. මනුෂ්‍ය විඥානයේ පෝෂණය නැති කිරීමක්. දැන් අලුත් පොත් පළ වෙන්නෙම නෑ. පිටරටවල මුද්‍රිත සියලුම පොත්වල මිලත් වැඩිවෙලා. මේ අර්බුදයට කලින් හොඳ විදේශීය නවකතාවක් රුපියල් 1200-2000 අතරේ තිබුණා. දැන් ඒ වගේ පොතක් රුපියල් 5000කට වැඩිවෙන්න පුළුවන්. අර්බුදයට කලින් රුපියල් 600ට විතර තිබුණ සිංහල නවකතාවක් දැන් රුපියල් 2000කට වැඩිවෙන්න පුළුවන්. ඒ විදියට සිංහල සාහිත්‍යයටත්, ග්‍රන්ථ කර්මාන්තයටත් ඉදිරියට යන්න බෑ. හාල්, පිටි, පරිප්පු, ගෑස් ආදිය අවශ්‍ය බව ඇත්ත. ඒ අතර ම පොත්පත් දියුණු සමාජයකට අත්‍යවශ්‍ යයි. පොතපත, සංස්කෘතික අංග ආදිය කඩා වැටීමෙන් ඇතිවන බුද්ධිමය හා භාවමය දරිද්‍රතාව දීර්ඝකාලීන බලපෑම් ඇති කරනවා.‘‘

 පුවත්පත්වලට අවදානමක් – wikipedia.org

සමහර පත්තරත් නැවතිලා

කඩදාසි ගැටලුව නිසා මේ වනවිට ලේක්හවුස් ආයතනය සතිපතා පුවත්පත් කිහිපයක් පළ කිරීම නවත්වා තිබෙනවා. සෑම පුවත්පත් ආයතනයක්ම පුවත්පත්වල පිටු අඩු කර තිබෙනවා. කඩදාසි හිඟය විදුලි බිල්පත් මුද්‍රණයට ද බාධා මතු කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර සිය පාරිභෝගිකයන් විද්‍යුත් බිල්පත් (ඊ බිල්) සේවාව වෙත සම්බන්ධ වන ලෙස දිරිමත් කරමින් ලෙකෝ ආයතනය කෙටි පණිවිඩයක් යවා තිබෙනවා.

ජල බිල්පත් මුද්‍රණයට ද මේ බාධාව ද මතුවී තිබෙන බව පැවසෙනවා. කඩදාසි හිඟය නිසා ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා මුද්‍රණය කිරීමත් නැවතී තිබෙන බව වාර්තා වෙනවා. එබැවින් සියලු ලැයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියෙහි සහ අදාළ සමාගම්වල නිල වෙබ් අඩවිවල සිය වාර්ෂික වාර්තා පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය - ලේඛකයන් සහ ප්‍රකාශකයන් විරෝධතාවක - Janaka Inimankada facebook page

මූලාශ්‍ර:
divaina.com
biz.adaderana.lk
ලේඛක සහ ප්‍රකාශකයන් සමඟ කළ සංවාද

Related Articles