Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ එළවළු මිල වැඩිවන්නේ ඇයි?

මේ දිනවල අප රටේ එළවළු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට  පත්ව සිටිනවා. එම නිසා එළවළු වෙළඳපොළට යන බොහෝ දෙනෙකු මැසිවිලි නගමින් ආපසු පැමිණෙන ආකාරය දක්නට ලැබෙනවා. පසුගිය වසර කිහිපය තුළ විවිධ අවස්ථාවන්වල දී දේශීය වෙළඳපොළේ එළවළු මිලෙහි වැඩිවීමක් සිදුවුණා. දරාගත නොහැකි ආකාරයට එළවළු මිල ගණන් ඉහළ යාමට බලපාන හේතු මෙලෙස දක්වන්නට පුළුවන්. 

ස්වභාවික විපත් ඇතිවීම 

ලංකාවේ වැවෙන එළවළු වර්ග, උඩරට එළවළු සහ පහතරට එළවළු වශයෙන් කොටස් දෙකකට වෙන් කරනු ලබනවා. කැරට්, රාබු, බීට්, අර්තාපල්, ලීක්ස්, නෝකෝල්, බෝංචි වැනි එළවළු වර්ග උඩරට එළවළු ලෙසින් සලකනු ලබනවා. එවැනි එළවළු වර්ග බහුලව වගාකෙරෙන්නේ කඳුකර ප්‍රදේශවල නිසා උඩරට එළවළු ලෙසින් හඳුන්වනු ලැබුවා. නමුත් වර්තමානය වන විට අනිකුත් ප්‍රදේශවල ද උඩරට එළවළු වගා කරන ආකාරය දක්නට ලැබෙනවා. පහතරට එළවළු ලෙසින් සලකනු ලබන්නේ වට්ටක්කා, පිපිඤ්ඤා, කැකිරි, කරවිල, පතෝල, වැටකොළු වැනි එළවළු වර්ග යි. ඒවා හොඳින් වැවෙන්නේ පහතරට ප්‍රදේශවල යි. 

ඇතැම් කාලවල මෙම ප්‍රදේශවල අධික වර්ෂාව මෙන්ම අධික නියඟය ද පවතිනවා. එවිට බොහෝ එළවළු ගොවියන්ට සිය වගාබිම් නිසි පරිදි නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනවා. වගාබිම් විනාශ වීම නිසා වෙළඳපොළට පැමිණෙන එළවළු ප්‍රමාණයෙහි සැලකිය යුතු තරම් අඩුවීමක් දක්නට ලැබෙනවා. වෙළඳපොළ තුළ ඉල්ලුමට සරිලන තරම් එළවළු තොග නොමැති නිසා තිබෙන එළවළු තොගවලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. එම නිසා එවැනි අවස්ථාවක දී එළවළු මිල ගණන් බලාපොරොත්තු නොවන ආකාරයට ඉහළ යනවා. 

ගෝවා වගාවේ යෙදෙන ගොවියෙක් (Dinamina)

අතරමැදියන්ගේ බලපෑම 

ලංකාවේ එළවළු මිල ගණන් ගැන කතා කරන විට “අතරමැදියන්” යන වචනය නිතරම ඇසෙනවා. ඉතාම දුක් මහන්සියෙන් එළවළු වගාකරන ගොවියා ඉතාමත් අඩු මුදලකට ඒවා තොග වෙළෙන්දන්ට අලෙවි කරනවා. එලෙස අලෙවි කරන එළවළු පාරිභෝගිකයන් මිල දී ගන්නේ ඉතාමත් වැඩි මුදලකට යි. ගොවියාගෙන් එළවළු ගන්නා තැන සිට පාරිභෝගිකයාට එළවළු අලෙවි කරන අවස්ථාව දක්වාම වෙළඳාමට සම්බන්ධ වන අතරමැදි ජාලය මෙම මිල ගණන් වැඩිවීම සඳහා විශාල බලපෑමක් සිදුකරනවා. අතරමැදි ජාලයට ප්‍රාදේශීය එළවළු එකතු කරන්නන්, ප්‍රාදේශීය එකතු කරන්නන්ගෙන් එළවළු මිල දී ගන්නා පුද්ගලයන්, නගරයේ සිටින තොග වෙළෙන්දන්, සහ සාමාන්‍ය එළවළු වෙළෙන්දන් වැනි අය ඇතුළත් වනවා. 

වෙහෙස මහන්සි වී වගා කටයුතුවල නිරත වන ගොවියන් සොච්චම් මුදලක් ලබාගන්නා විට අතරමැදි ජාලය තුළ සිටින පුද්ගලයන් කිසිදු මහන්සියක් නැතිව විශාල මුදලක් ලබාගැනීමට පිළියමක් ලෙස ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන ඉදිවුණා. නමුත් අද වන විට ඒවාගෙන් ද බලාපොරොත්තු වුණු සේවය ඉටුවන්නේ නැහැ. ඒවා ද වර්තමානයේ දී විවිධ මාෆියාකරුවන්ගේ යටතට පත්ව තිබෙනවා. අතරමැදියන්ගේ එළවළු වෙළඳාමට කරන බලපෑම නැවැත්වීම රජය සතු වගකීමක්. 

දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය (Daily News)

ප්‍රවාහනය සඳහා යන අධික වියදම 

රටේ ඈත ප්‍රදේශවල වැවෙන විවිධ එළවළු වර්ග කොළඹ සහ දඹුල්ල වැනි ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම නිතර සිදුවන ක්‍රියාවලියක්. සමහර ගොවියන් තම අස්වැන්න ගොවිබිමේ දීම ප්‍රාදේශිය එළවළු එකතු කරන්නන්ට ලබාදුන්නත්, ඇතැම් ගොවීන් තම අස්වැන්න ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන්නේ වැඩිපුර මුදලක් ලබාගැනීමේ අරමුණ ඇතිව යි. නමුත් කුලියට ගන්නා ලොරි රථයක් මඟින් එළවළු ප්‍රවාහනය සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුවනවා. එසේම එළවළු ගෝනි බෑම සඳහා නාටාමි ගාස්තු ලෙස අමතර මුදලක් ගෙවීමට සිදුවනවා. වගාබිම්වල දී සිය අස්වැන්න කුණු කොල්ලයට විකිණීමට සිදුවන නිසා වෙළඳ මධ්‍යස්ථානවලට අස්වැන්න රැගෙන එන ගොවියන්ට අවසානයේ දී විශාල ලාභයක් ලැබෙන්නේ නැහැ. 

එළවළු ප්‍රවාහනයට විශාල මුදලක් වැයවීම එළවළු මිල ගණන් වැඩිවීම කෙරෙහි වක්‍රාකාර බලපෑමක් සිදුකරනවා. ගොවීන්ට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා සහනදායී ප්‍රවාහන ක්‍රමවේදයක් සකස්කර දීමට බලධාරීන් උනන්දුවනවා නම් ගොවියන්ට එළවළු අලෙවි කිරීම මඟින් සාධාරණ මිලක් ලබාගැනීමට හැකි වනවා. එසේම ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව එළවළු ප්‍රවාහනය කිරීම නිසා විශාල එළවළු තොග ප්‍රමාණයක් අපතේ යන ආකාරය ද දක්නට ලැබෙනවා. ඇතැම් ගොවීන්ට ප්‍රවාහනය සඳහා අධික මුදලක් වැය කිරීමට නොහැකි නිසා එක් ලොරියක පමණට වඩා එළවළු ප්‍රවාහනය කිරීම සිදුවනවා. එවැනි අවස්ථාවන්වල දී එළවළු තැලීම නිසා අපතේ යනවා. 

එළවළු ප්‍රවාහනය කරන ලොරි (colomboxnews)

සතුන් නිසා අස්වැන්න හානි වීම 

මිනිසා විසින් කැලෑ එළිපෙහෙලි කර වගා කටයුතුවල නිරතවීම නිසා සතුන්ට සිය වාසස්ථාන අහිමි වී තිබෙනවා. එම නිසා පසුගිය කාල සමයේ දී වන සතුන් ගම් වදින ආකාරය දක්නට ලැබුණා. එලෙස ගම් වදින වන සතුන් එළවළු වගාවන්ට හානි කරන ආකාරය සුලභවම දක්නට ලැබෙනවා. වන අලි, මොණරුන්, ඌරන්, ඉත්තෑවන්, රිලවුන් වැනි සත්ත්ව විශේෂයන් එළවළු ගොවියාට හිසරදයක් වී තිබෙනවා. දිනෙන් දින වැඩිවන සත්ත්ව හානිය නිසා ගොවියාට බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ලබාගන්නට බැහැ. එලෙස එක් කන්නයක දි සැලකිය යුතු තරම් එළවළු අස්වැන්නක් විනාශ වුණු විට වෙළඳපොළ තුළ එළවළු හිඟයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ අනුව සතුන් නිසා සිදුවන අස්වනු හානිය ද එළවළු මිල ගණන් වැඩිවීම කෙරෙහි වක්‍රාකාරයෙන් බලපානවා.    

වන සතුන් වගාවට හානි කරන ආකාරය (Lanka E Press)

එළවළු නිෂ්පාදනය සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම 

මීට දශක කිහිපයකට පෙර ගොවීන් එළවළු බීජ ලබාගැනීම සඳහා සිය අස්වැන්නේ කොටසක් යොදාගනු ලැබුවා. ඒ අනුව තක්කාලි, වැටකොළු, මිරිස්, බටු, පතෝල ආදී බෝගවල සරු ඵල ආරක්ෂා කර ඒවායේ බීජ ඇට ලබාගත්තා. නමුත් කෘෂි තාක්ෂණය දියුණුවීමත් සමගම සරු ඵල ලැබෙන, අඩු කාලයකින් අස්වනු ලැබෙන, වරකට විශාල අස්වනු ප්‍රමාණයක් ලැබෙන විවිධ ආකාරයේ බීජ තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව වැනි රටවලින් ලංකාවට ආනයනය කරනවා.

එම බීජ මඟින් සාර්ථක අස්වැන්නක් කෙටි කාලයක දී ලබාගත හැකි වුණත්, ඒවා ආනයනය කිරීම සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවනවා. එසේම වැඩිදියුණු කළ ඇතැම් බීජවලින් කෙරෙන වගාවන් සඳහා පොහොර සහ කෘමිනාශක ද වැඩිපුර ඉසීමට සිදුවනවා. කෘමිනාශක සහ පොහොර නිසි පරිදි යෙදුවේ නැත්නම්  බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ලබාගන්නට බැහැ. 

එම නිසා බීජ ආනයනය, කෘෂි රසායන යෙදීම, ජලය සැපයීම, සහ මිනිස් ශ්‍රමය ලබාගැනීම වැනි දේවල් සඳහා විශාල මුදලක් අමතරව වැයවනවා. එලෙස එළවළු නිෂ්පාදනය සඳහා වැඩි මුදලක් වැයවීම එළවළු මිල ගණන් ඉහළ යාම කෙරෙහි ද බලපෑමක් කරනවා.

ආනයනය කරන බීජ වර්ග (alibaba.com)

විටින් විට එළවළු මිල ගණන් ඉහළ යාම පාරිභෝගික අපට නවත්තන්නට බැහැ. එම නිසා එවැනි තත්ත්වයට මුහුණදීම සඳහා අපට කළ හැකි වන්නේ හැකි අයුරින් ගෙවතුවල වගා කළ හැකි එළවළු වර්ග කිහිපයක් තෝරාගෙන කුඩා වගාවක් ආරම්භ කිරීම යි. එවිට එළවළු මිල ගණන් අහස උසට ගියත්, අපේ සාක්කුවට දැනෙන බර මඳකින් හෝ අඩුවේවි.

කවරයේ ඡායාරූපය- Pinterest 

Related Articles