Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම්

ගෝලීයකරණයත් සමඟ අන්තර්ජාතික වශයෙන් සිදුවන මානව සංක්‍රමණ වේගවත් වී ඇති බවක් පෙනේ. ඒ අනුව 2009 වර්ෂය වන විට සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව මිලියන 185-192 ත් අතර ප්‍රමාණයක් වන බව හඳුනාගෙන ඇත. මෙම ප්‍රමාණය වර්තමාන බ්‍රසීලයේ ජනගහනයට සමානයි. මේ අතරින් බහුතරයක් සංක්‍රමණය වී ඇත්තේ සෘජුව හෝ වක්‍රව ආර්ථික අරමුණු පදනම් කරගෙනයි. මානව සංක්‍රමණයේ මේ ස්වරූපය වර්තමානය වන විට බොහෝ ගැටලු ඇති කර ඇති නිසා සංක්‍රමණික සේවකයන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ ලොව අවධානය යොමුව පවතී.

අන්තර්ජාතික වශයෙන් සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම

theodysseyonline.com

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික සම්මුති සහ ගිවිසුම් කිහිපයක්ම වේ. ඒ අතර පහත ලේඛන වැදගත්.

  • රැකියා සඳහා සංක්‍රමණය වීමේ සම්මුතිය- 06 වන වගන්තිය
  • සංක්‍රමණික සේවක සම්මුතිය- 1,10,12, සහ 13 වගන්ති
  • මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය- 4,20,23,24,25 වගන්ති
  • සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය- 8,13,14,21,22,26,27 වගන්ති
  • ආර්ථික, සාමාජිය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය- 6,7,8,9,10,11 වගන්ති
  • ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ විශේෂීකරණ පිටුදැකීම සඳහා වන සම්මුතිය- 11 වගන්තිය
  • සියලු ආකාරයේ වාර්ගික විශේෂිකරණ පිටුදැකීම සඳහා වන සම්මුතිය- 5 වගන්තිය
  • ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය- 7,9,10,15,27,28,29,30 වගන්ති

මීට අමතරව අන්තර්ජාතික කම්කරු සංවිධානය යටතේ හඳුනාගෙන ඇති,

  • බලහත්කාර කම්කරු සම්මුතිය- 1 වගන්තිය
  • සංගමයේ නිදහස සහ සංවිධානය වීමට ඇති අයිතිය ආරක්ෂා කරගැනීමේ සම්මුතිය- 2 වගන්තිය
  • සමාන පාරිතෝෂිත පිළිබඳ සම්මුතිය- 2 වගන්තිය
  • විශේෂිකරණ (සේවය සහ රක්ෂාව) සම්මුතිය- 2 වගන්තිය
  • අවම වයස පිළිබඳ සම්මුතිය- 1,2,3, වගන්ති

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැදගත් වේ.

ඒ අනුව ඉහතින් සඳහන් කළ සම්මුති හා ගිවිසුම් වල සමස්තයක් වශයෙන් කම්කරු අයිතිවාසිකම් ලෙස-

  • වැඩ කිරීමට ඇති අයිතිය,
  • ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම පිණිස ප්‍රමාණවත් වැටුපක් ලැබීමට ඇති අයිතිය,
  • විශේෂිකරණයෙන් මිදීමට ඇති අයිතිය,
  • රැකියාවේ උසස්වීම් ලැබීමට ඇති අයිතිය,
  • නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ නීතියේ සමාන රැකවරණය ලැබීමට ඇති අයිතිය,
  • සමාන ශ්‍රමය සමාන වැටුප් ලැබීමට ඇති අයිතිය, බලහත්කාරකමින් වැඩ ගැනීමෙන් මිදීමට ඇති අයිතිය,
  • මන පැවැත්ම සහ සෞඛ්‍ය සඳහා වන ප්‍රමාණවත් ජිවන තත්ත්වයකට ඇති අයිතිය,
  • ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තුළ වැඩ කිරීමට ඇති අයිතිය සහ ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ වැඩ කිරීමට ඇති අයිතිය,
  • වැඩ කිරීමේ පැය ගණන සහ නිවාඩු සම්බන්ධ අයිතිය,
  • සංගමයේ නිදහස,
  • වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය සහ වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීමට ඇති අයිතිය,
  • වැඩ වැරීමට ඇති අයිතිය,
  • සාමජිය හා ආර්ථික අරමුණු ප්‍රවර්ධනය කරගැනීමට සහ ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය,
  • සමාජ රැකවරණය ලැබීමට ඇති අයිතිය,
  • සමාන සැලකීම් ලැබීමට ඇති අයිතිය,
  • තමන් කැමති රැකියාවක් කිරීමට ඇති අයිතිය,
  • සේවා ස්ථානයේදී ලිංගික හිරිහැර වලින් නිදහස් වීමට ඇති අයිතිය,
  • සේවයෙන් අත්තනෝමතිකව නෙරපා දැමීමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය, සහ
  • වයස අවුරුදු 15 ට අඩු දරුවන් සේවයේ යෙදවීමෙන් වැළකීමේ අයිතිය

ආදිය ආරක්ෂා කිරීම අපේක්ෂා කරයි.

සියලු සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර්ජාතික සම්මුතිය

m-canada.ca

සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රථම අන්තර්ජාතික සම්මුතිය මෙයයි. එක්සත්  ජාතීන්ගේ සංවිධානය මඟින් කෙටුම්පත් කරන ලද මෙය 2003 මාර්තු 24 වන දින වන විට රාජ්‍ය පාර්ශව 20ක් මඟින් පිළිගැනීමෙන් අනතුරුව 2003 ජුලි 01 වන දින සිට බලාත්මක විය.

මෙම සම්මුතිය මඟින් “සංක්‍රමණික සේවකයා” යන්න අර්ථ දක්වා ඇත්තේ පහත අයුරින්.

“තමන් ජාතිකත්වය නොදරන්නා වූ රාජ්‍යයක් තුළ පාරිතෝෂිත ලබන්නා වූ ක්‍රියාවලියක නිරතව සිටියා වූ හෝ නිරත වෙමින් සිටින්නා වූ පුද්ගලයෙකු වේ නම් ඔහු හෝ ඇය “සංක්‍රමණික සේවකයෙක්” වෙයි.”

සම්මුතිය මඟින් සංක්‍රමණික සේවකයන් යන්නට අයත් නොවන පුද්ගලයන් ද අර්ථ දක්වා ඇත. ඒ අනුව,

  • සම්මුති සහ ගිවිසුම් ඔස්සේ අන්තර්ජාතික නීතිය ප්‍රකාරව ජාත්‍යන්තර සංවිධානවල සේවය කරන්නන් හා රාජතාන්ත්‍රික නිලධාරීන්
  • සම්භවය ලද රාජ්‍යයෙන් බාහිරව රාජ්‍යයක නේවාසිකව වෙසෙන පුද්ගලයන්
  • සරණාගතයන් සහ රාජ්‍යයක් නොමැති පුද්ගලයන්
  • ශිෂ්‍යයන් සහ පුහුණුව ලබන්නන්
  • නාවික ක්ෂේත්‍රයේ රැකියාවන් හි නිරත වූවන්

සංක්‍රමණික සේවකයන් වන්නේ නැත.

සම්මුතියේ අරමුණු

මෙහි මූලික අරමුණ වන්නේ සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් අන්තර්ජාතික වශයෙන් ප්‍රමිතිකරණයට ලක් කිරීම සහ එම අයිතිවාසිකම් බලාත්මක කිරීම විෂයෙහි රාජ්‍ය පාර්ශව අන්තර්ජාතික බැඳීමකට සහ වගකීමකට ලක් කිරීමයි. ඊට අමතරව පිළිගත් ක්‍රියා පටිපාටියකට අනුව සංක්‍රමණය වීම දිරිමත් කරයි. එමෙන්ම නිත්‍යානුකුල පමණක් නොව නිත්‍යානුකුල නොවන සේවකයන්ගේ ද අයිතිවාසිකම් මේ මඟින් සුරක්ෂිත කිරීම අපේක්ෂා කරයි.

සංක්‍රමණික සේවකයන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම්

commondreams.org

සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් වශයෙන් හඳුනා ගන්නේ සංක්‍රමණික සේවකයන් විවාහ වූ පුද්ගලයන්, ඔවුන්ගේ දරුවන් සහ නීතිය යටතේ පිළිගත් ඔවුන් සමඟ සම්බන්ධයක් ඇති යැපෙන්නන් ය. සංක්‍රමණික සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර්ජාතික සම්මුතියේ 7,8,10,11,12,18,22,24,25,26,27,28,29,30 වගන්ති මඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබයි. ඒ අතර, වැඩ කිරිමට ඇති අයිතිය, ප්‍රමාණවත් ජිවන තත්ත්වයක් පවත්වාගෙන යාම පිණිස ප්‍රමාණවත් වැටුපක් ලැබීමට ඇති අයිතිය, විශේෂිකරණයෙන් මිදීමට ඇති අයිතිය, නීතිය ඉදිරියේ සමානාත්මතාව, නීතිය ඉදිරියේ සමාන රැකවරණය, සමාන ශ්‍රමය සඳහා සමාන වැටුප් ලැබීම, බලහත්කාරයෙන් වැඩ ගැනීමෙන් මිදීම ආදිය වැදගත් වේ.

සම්මුතිය බලාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම

සංක්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් වන කමිටුව (The Committee on Migrant Workers – CMW) යනුවෙන් යාන්ත්‍රණයක් මේ සම්මුතිය මඟින් හඳුන්වා දී ඇති අතර, ඒ මඟින් සම්මුතිය මඟින් හඳුන්වා දී ඇති අයිතිවාසිකම් රාජ්‍ය පාර්ශව විසින් එක් එක් රාජ්‍ය තුළ බලාත්මක කරන්නේ ද යන්න විමර්ශනය කරයි. කමිටුව මඟින් රාජ්‍ය පාර්ශව වලින් ඉදිරිපත් කරනු ලබන වාර්තා අධීක්ෂණයට ලක් කර ඒ හා සම්බන්ධ නිර්දේශ නිකුත් කරනු ලබයි. පෞද්ගලිකව මෙම කමිටුව ඉදිරියේ තම සංක්‍රමණික සේවක අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් පෙනී සිටීමට පුද්ගලයාට ද හැකියාව ඇත. එමෙන්ම මෙම සම්මුතියේ දැක්වෙන අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික යුක්ති අධිකරණයේ පිහිට පැතීම ද කළ හැකියි.

කවරයේ කතාව- bi.gazeta.p

මූලාශ්‍ර

www.ohchr.org

www.pdhre.org

www.un.org

Related Articles