සොබා සෞන්දර්යයෙන් සපිරි ශීතල එංගලන්තයේ අලංකාරය වැඩි දියුණු කිරීමෙහිලා මනස්කාන්ත තේම්ස් නදිය විශේෂ කාර්යයභාරයක් ඉටුකරනවා. ග්ලොස්ටර්ෂයරයේ කොස්ට්වෝල්ඩ්ස් ආසන්නයෙන් ඇරඹී සැතපුම් 200කට අධික මඟ ගෙවා ලන්ඩන් නුවර ආසන්නයෙන් උතුරු මුහුදට වැටෙන මේ මනස්කාන්ත නදිය සතුව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.
අතීතයේ ජීවී විශේෂ රාශියක් තේම්ස් නදිය හා ඒ තදාසන්නව ජීවත් වුණා. විසිවන සියවසේ සිදු වූ ශීඝ්‍ර කාර්මීකරණය හා දෙවන ලෝක යුද්ධය තේම්ස් නදියට අහිතකර ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1957 දී එය ජීවීන්ගෙන් තොර වූවක් බවට ප්‍රකාශ කෙරුණා. නමුත් වර්තමානය වන විට එය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වශයෙන් නැවත පණ ලබා තිබෙනවා.
තේම්ස් නදියේ ගුණාත්මකභාවය විනාශ වූ හැටි
දෙවන ලෝක යුද්ධයෙන් එංගලන්තය හොඳ හැටි බැට කෑවා. ලන්ඩන් නුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාර නිසා එහි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන සමහර ඉපැරණි නළ පද්ධතීන්වලට හානි සිදුවුණා. මේවා නැවත සැකසීමට තරම් එකල බ්‍රිතාන්‍යට මුදල් හා කාලය නොතිබුණු අතර මේ සමහර අපද්‍රව්‍ය ලන්ඩන් නුවරින් ඉවත් කිරීමට ‘පහසු හා ලාභදායී’ ක්‍රමයක් ලෙස තේම්ස් නදිය දුටුවා. තත්ත්වය වඩාත් බරපතල කරමින් වික්ටෝරියානු යුගයේ තේම්ස් නදිය පිරිසිදුව තබා ගැනීමට ඉදිකළ නළ පද්ධතීන් කිහිපයකටත් යුද්ධය නිසා හානි වී තිබුණා. මේ හේතුන් නිසා දිනෙන් දින තේම්ස් නදියට එක්කාසු වන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වූ අතර ඉන් අපද්‍රව්‍ය ඉවත් වන වේගය අඩු වුණා.
දිනෙන් දින තේම්ස් නදියෙහි කාබනික අපද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වූ අතර මේ හේතුවෙන් එහි ක්ෂුද්‍රජීවී ගහනය වැඩි වුණා. ඔවුන් විසින් අධික ලෙස ජලයෙහි දිය වූ ඔක්සිජන් භාවිත කිරීමට පටන් ගැනීමත් සමග සෙසු ජීවීන්ට භාවිතා කිරීමට ඉතිරි වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ තේම්ස් නදිය මත්ස්‍යයින් ඇතුළු බොහෝ ජීවීන්ට ජීවත් වීමට ඉතා අහිතකර ‘කුණු ඇලක්’ බවට පත්වීම යි. 1950 දී මේ තදාසන්න ජීවීන් බුරුතු පිටින් මිය යාමට පටන් ගත්තා.
තේම්ස් නදිය නැවත පිරිසිදු කිරීම
1960 පමණ වන විට එංගලන්තයේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් වීමට පටන් ගත්තා. මේ වන විට ඉතා අපිරිසිදුව තිබූ තේම්ස් නදිය හේතුවෙන් ලෙඩ රෝග පැතිරීමේ අවදානමකුත් ඇති වී තිබුණා. මේ හේතුවෙන් ලන්ඩනයේ අපද්‍රව්‍ය ගෙනයන පැරණි නළ මාර්ග හා තේම්ස් ගංගාව පිරිසිදු කිරීම සඳහා ඉදිකොට තිබූ නළ පද්ධතීන් පිළිසකර කෙරුණා. ඉන්පසු කෙමෙන් කෙමෙන් එහි ජලයෙහි ගුණාත්මකභාවය වර්ධනය වූවත් වසර ගණනාවක් පුරා එයට සිදු වූ හානිය නිසා එක් වරම ජීවීන්ට යහපත් වාතාවරණයක් ඇති වූයේ නැහැ.
1970 හා 1980 දශකවල දී එංගලන්තයේ පරිසරවේදීන් එහි ස්වභාවික පරිසරයට සිදුවෙමින් පවතින හානිය පිළිබඳව වැඩි වශයෙන් සැලකිල්ලක් දක්වන්නට වුණා. සෑම වර්ෂාවක දී ම ලන්ඩන් නුවර ජල මූලාශ්‍රවලට එක්වන කෘමිනාශක මෙන්ම පොහොර ප්‍රමාණය පිළිබඳව ඔවුන් විසින් එංගලන්ත රජය දැනුවත් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගංගා හා ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ නව නීති හඳුන්වාදීම සිදු වූ අතර තේම්ස් නදිය යථා තත්වයට පත්කිරීම සඳහා එංගලන්ත රජයත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ජනතාවත් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා.
‘තේම්ස්‘ නැවත පණ ලබයි
දිගින් දිගටම සිදු වූ පිරිසිදු කිරීමේ කටයුතු හා දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව 2000 සිට මේ දක්වා තේම්ස් නදියෙහි ජලයේ බැර ලෝහ සාන්ද්‍රණය අඩු වෙමින් පවතිනවා. මීට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ නීති දැඩි කිරීමත් දායක වී තිබෙනවා.
මේ සියලු කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කලක් ජෛව විද්‍යාත්මකව මිය ගොස් සිටි තේම්ස් නදිය අද වන විට නැවත පණ ලබා තිබෙනවා. වර්තමානය වන විට එහි මත්ස්‍ය විශේෂ 125ක් ජීවත් වෙනවා. මේ මත්ස්‍ය ගහනයන් ස්වභාවිකවම නැවත වැඩි වී තිබීමත් විශේෂ කරුණක්.
මත්ස්‍ය ගහනය වැඩි වීමත් සමගම තේම්ස් නදියේ මුහුද අසබඩ කොටසට පැමිණෙන සීල් මත්ස්‍යයින්ගේ ප්‍රමාණයත් වැඩි වී තිබෙනවා. එමෙන්ම අතීතයේ මෙහි සිට වියැකී ගිය මුහුදු ලාම්පු බෙල්ලන් නැවත පැමිණ තිබීම ද, මෙහි ජලයේ තත්ත්වය පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බවට නිදසුනක්. මුහුදු ලාම්පු බෙල්ලන් පරිසර දූෂණයට ඉතා සංවේදී ජීවී කොට්ඨාසයක් වෙනවා.
ගැටලු තවමත් අවසන් නැත
එක් අතෙකින් තේම්ස් නදිය දිනෙන් දින පිරිසිදු වෙද්දී, තවත් අතෙකින් එහි ජීවීන්ට නව තර්ජනයක් ඉස්මතු වී තිබෙනවා. වර්තමානය වන විට තේම්ස් නදියට එක්කාසු වන ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. පලාස්ටික් මළු හා සිගරට් අසුරන වැනි දෑ නිසා මේ තත්ත්වය උද්ගත වී තිබෙන අතර මෙහි ජීවත් වන ජීවීන් ඒවා ආහාරයට ගැනීමත්, ආශ්වාස කරන විට පෙණහලුවලට ඇදී යාමත් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනාත්මක තත්ත්වයක් උද්ගත කොට තිබෙනවා.
තේම්ස් නදිය ආශ්‍රිතව උද්ගත වී ඇති තවත් ගැටලුවක් වන්නේ වර්තමානය වන විට මෙහි ලන්ඩනය ආශ්‍රිත කොටසේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවාවන් නිසා එහි හටගෙන ඇති ශබ්ද දූෂණය යි. මේ හේතුවෙන් ඩොල්ෆින් වැනි සතුන් ගංගාව ඔස්සේ ඉහළට ඇදී ඒම නැවැතී තිබෙන අතර මේ තත්ත්වය සීල් සතුන්ටත් අදාළ වෙනවා.
වර්තමානය වන විට බලධාරීන් මේ පිළිබඳවත් උනන්දුවෙන් පසු වන අතර, වරෙක ජෛව විද්‍යාත්මකව ‘මියගොස්’ හෝ මිය යන්නට ඉතා ආසන්නයේ තිබූ ජල ප්‍රභවයක් ඉන් වසර 60කට පමණ පසුව මෙසේ ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීම තමන් ලැබූ භාග්‍යයක් ලෙස ලන්ඩන් වැසියන් සලකනවා.
ශ්‍රී ලංකාව තුළ ද මේ ආකාරයෙන් දිනෙන් දින විනාශ මුඛයට යන ස්වභාවික ජල ප්‍රභව රාශියක් තිබෙනවා. තේම්ස් නදිය නැවත පිරිසිදු කළ ආකාරය ආදර්ශයට ගෙන ඒවාත් පිරිසිදු කර ගතහොත් සොබා සෞන්දර්යය අතිනුත්, සෞඛ්‍යමය හා ජීව විද්‍යාත්මක අතිනුත් මීට වඩා ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවට ද හැකියාව තිබෙන වග මෙයින් අවධාරණය කරගත හැක.
කවරයේ පින්තූරය – Jon Arnold Images Ltd/Alamy Stock Photo