Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රේක්ෂකයා නොදුටු හොලිවුඩයේ අමිහිරි පැතිකඩක්

ලෝකයේ දැවැන්ත කර්මාන්ත තුළ සේවකයන් පීඩාවට පත්වන පුවත් පිළිබඳ ව ඔබ අසා ඇත. Apple ජංගම දුරකතන එකලස් කරන කර්මාන්ත ශාලා තුළ කිසිදු සේවක අයිතියක් නොමැති ව ඉතා සුළු වැටුපකට වැඩ කරන සේවකයන් ගැන මෙන්ම, Amazon ආයතනයේ රොබෝවරුන් මෙන් වැඩ කරන දහස් ගණන් සේවකයන් ගැන ද වාර්තා බොහෝ පළ වී තිබේ. මේ පුවත ද එවැනි ම තවත් ශ්‍රම සූරා කෑමට ලක් කරමින් සිදු වූ මානව විරෝධී ක්‍රියාවක් ගැන පුවතකි. මෙම කර්මාන්ත ශාලාව සිනමා ලෝකයේ තනි දැවැන්ත ම කර්මාන්ත පුරය වන හොලිවුඩය යි.

හොලිවුඩයේ ස්වර්ණමය යුගය ලෙස 1915 සිට 1960 දශකය ආරම්භය දක්වා කාලය සලකනු ලබයි. මෙම කාලය තුළ ඇති විශේෂත්වය නම් සිනමා නිර්මාණ ප්‍රධාන වශයෙන් ම චිත්‍රාගාර තුළ සිදුකිරීම යි. කුඩා කාමරයක් චිත්‍රාගාරය තුළ නිර්මාණය කිරීමේ සිට පුළුල් දර්ශන දක්වා මෙසේ චිත්‍රාගාර තුළ කෘත්‍රිම ව නිපදවා ඒ තුළ රූගත කිරීම් සිදුවිය. මෙම යුගය තුළ හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සමාගමක් වූ MGM (Metro Goldwyn Mayer) තම රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ව ලිංගිකවත්, ශ්‍රමිකවත් සූරාකෑමට ඉතාමත් කුප්‍රකට ඉතිහාසයක් උරුම කරගෙන සිටියි. ඔවුන් තම සිනමා නිර්මාණ සඳහා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ව පීඩාවට පත්කළ සමහරක් පුවත් අසන විට ඇති කරන්නේ දැඩි කම්පනයකි.

MGM ආයතනයේ ලාංඡනය, ඔබ මෙය නිසැකව ම දැක තිබේ (variety)

ඩෙබී රෙනෝල්ඩ් ඒ වන විට 19 වන වියේ පසු විය. ඇය හොලිවුඩයේ 50 දශකයේ නිර්මාණය වූ ගීතමය සිනමා නිර්මාණ හරහා ප්‍රසිද්ධියට පත් විය. 1952 වසරේ තිරගත වූ Singing in the Rain චිත්‍රපටය සඳහා රූගත කිරීමේ දී ඇයට රංගනයෙන් දායක වීමට සිදුවූයේ ජීන් කෙලී සමගිනි. එය නිෂ්පාදනය කළ ආයතනය වූයේ අප ඉහතින් සඳහන් කළ MGM ආයතනය යි. Singing in the Rain හි මෙම අත්දැකීම ඇයට ඉතාමත් දුෂ්කර කටයුත්තක් විය. දිවා රෑ නොබලා ගීත ගායනය, රංගනය, නර්තනය සඳහා පුරුදු පුහුණු වීමටත් සිදු වූ අතර මේ නිසා ඇගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය. ඇගේ වෛද්‍යවරයාගෙන් ඇයට උපදේ ලැබුණේ සතියක විවේක කාලයක් ලබා ගන්නා ලෙස යි.

ජීන් කෙලී සමග ඩෙබී රෙනෝල්ඩ් Singing in the Rain චිත්‍රපටයේ (decades)

ඒ බව ඩෙබී විසින් MGM ප්‍රධානී ආතර් ෆ්‍රීඩ් වෙත දැනුම් දුන් පසු ඇයට ලැබුණේ අපූරු පිළිතුරකි. ඒ වෙනත් වෛද්‍යවරයෙකු හමුවට යන ලෙස යි. 2013 වසරේ ප්‍රකාශයට පත්කළ අගේ ස්වයං චරිතාපදානයේ සඳහන් වන ආකාරයෙන් MGM ප්‍රධානී ආතර් ෆ්‍රීඩ් විසින් තමන්ට විටමින් එන්නත් ලබා ගැනීමට උපදෙස් දුන් බව පවසයි. කිසිදු විවේකයකට ඉඩක් නොතබමින් දිගින් දිගටම පුහුණු වීම් සහ රූගත කිරීම් සඳහා කළ බලපෑම හමුවේ ඇය දවස පුරා වෙහෙසීම වෙනුවෙන් හොලිවුඩයේ ප්‍රකට රහසක පිහිට පතන ලදී. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ශක්තිය රඳවා ගැනීමට ඇයට සිදුවිය. ඇය භාවිත කර තිබුණේ Stimulants නම් මත්ද්‍රව්‍යයකි. Singing in the Rain තිරය මත ඩෙබීගේ මෙම ඛේදවාචකය සටහන් නොවීය. ඉන් බොහෝ කලකට පසුව ඇය එම ඉතිහාසය සිය චරිතාපදානය හරහා හෙළිදරව් කරන ලදී.

ඩෙබී (eonline)

හොලිවුඩ් තුළ ළමා රංගන ශිල්පීන් සඳහා නීති පනවා සේවය කළ හැකි කාලය පිළිබඳ සීමාවන් පනවා තිබුණු නමුත්, අධ්‍යක්ෂකවරයා ඇතුළු චිත්‍රාගාර ප්‍රධානීන් හැකි සෑම විට ම එම සීමාවන් ඉක්මවා යෑමට උත්සහ කළ බව එළිසබෙත් ටේලර්, ශර්ලි ටෙම්පල් වැනි රංගන ශිල්නියන් පසු කලෙක පැවසීය. පසුකාලීන ව ළමා ශිල්පීන් වේලාසනින් කටයුතු අවසන් කර යෑම වැනි දෑ තමන්ගේ කාලය තුළ MGM හි අත්දැකීමට නොලැබුණු බව ද ඔවුන් පවසයි. තම ස්වයං චරිතාපදානයේ ශර්ලි ටෙම්පල් පවසන්නේ ඇය 18 වන වියට පත්වන උපන් දිනයේ ද නොනිදා වැඩ කිරීමට සිදු වූ බව යි.

එළිසබෙත් ටේලර් (nydailynews)

ඉහත පෙන්වූ එළිසබෙත් ටේලර් සහ ශර්ලි ටෙම්පල් රංගන ශිල්පිනියන් දෙදෙනා එම දුෂ්කරතාවන්ට මුහුණ දීමට සමත් වුවත්, ඔවුන්ගේ මිතුරියක් වූ ජූඩි ගාර්ලන්ඩ් එම ව්‍යායාමයේ යෙදී, පසුව අසමත් විය.

ළාබාල ජූඩි The Wizard of Oz හි (bustle)

ඇගේ කතාව හොලිවුඩ් සිනමාවේ ඛේදනීය ම පුවතකි. ජූඩි රංගනයෙන් දායක මුලින්ම අතිසාර්ථක වූ නිර්මාණය වූයේ The Wizard of Oz ය. ඒ වනවිට ජූඩි වයස අවුරුදු 16ක දැරියක් විය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ ද MGM ආයතනය විසින් ම ය. අධික ලෙස වෙහෙසෙමින් දිවා රෑ නොබලා පුහුණු වීමටත්, ශරීර බර පවත්වා ගැනීමටත් MGM චිත්‍රාගාර වෛද්‍යවරයාගෙන් ඇයට ඖෂධ (pep pills) නියම විය. ඒ ගැන ජූඩිගේ වචනයෙන් මෙසේ යි.

ජූඩි ගාර්ලන්ඩ් (defense)

‘ඔවුන් අපිට ඖෂධ ලබාදුන්නා අපි වෙහෙසට පත් ව සිටින කාලය පුරාවට ම කෙලින් සිට ගැනීමට හැකි වන ලෙසට. ඔවුන් අප ව චිත්‍රාගාරයේ රෝහල වෙත ගෙන ගියා. නිදිපෙති ලබා දී අපව නින්ද සඳහා යොමු කළා. පැය හතරකට පසුව ඔවුන් නැවතත් අප ව අවදිකර සුපුරුදු ඖෂධ වට්ටෝරුව ලබා දුන්නා. අවදි ව සිටි කාලයෙන් අඩක් පමණ අප සිටියේ සිහි මඳ ව යි. නමුත්, එය තමයි අපගේ ජීවිතය බවට පත් ව තිබුණේ’

තම රංගන ජීවිතය පුරාවට MGM ආයතනයේ දැඩි පීඩනය දරාගත නොහැකි ව පසුව, දැඩි මානසික කඩා වැටීම්වලට ලක්වූ ඇය, රංගනය තුළ දී දිගින් දිගටම මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා බල කෙරුණු අතර, පමණ ඉක්මවූ ඖෂධ ශරීරගත වීම (drug overdose) නිසා 1969 ජූනි 22 වන දා මරණයට පත් විය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 47ක් විය.

A Star is born හි ජූඩි (Vogue)

ඩේවිඩ් සෙල්ස්නික් (David Selznick) මෙසේ වෙහෙසීම සඳහා මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වී සිටි නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු විය. විශේෂයෙන් ම ඔහු නිෂ්පාදනයෙන් දායක වූ Gone with the Wind (1939) චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ එව්ලින් කීස් පැවසු පරිදි, ඩේවිඩ් විසින් රූගත කිරීම් අතරතුර දී ම බෙන්සෙඩ්‍රීන් ලබාගෙන ඇත. එසේ The Third Man (1949) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කැරොල් රීඩ් ඇතුළු ඔහුගේ පිරිස ද Amphetamines විශාල වශයෙන් ලබාගෙන තිබූ බවටත් සඳහන් වේ. මෙම Amphetamines දෙවන ලෝක යුධ සමයේ දී යුද පෙරමුණේ සෙබළුන් විසින් බහුල වශයෙන් භාවිත කරන ලද මත්ද්‍රව්‍යකි.

ඩේවිඩ් සෙල්ස්නික් (youtube)

අප තිරයේ නොදකින, ඔවුන්ගේ ප්‍රචාරක පුවරු තුළින් නොපෙනෙන මෙවන් ඛේදවාචකයක් පැවතීමට හේතුව කුමක්ද? ඒ මෙම චිත්‍රපට සමාගම් සතු ව පැවති මනුෂ්‍යත්වය නොසලකා හරිමින් ලාභය ම සොයා යාමේ අරමුණ යි. ඔවුන්ගේ ලාභ අරමුණු තුළ ශ්‍රමිකයාට විවේකය පමණක් නොව, ඔවුන්ගේ පුද්ගලික ජීවිතය ද ඔවුන්ට අහිමි කර තිබුණි. ක්‍රම ක්‍රමයෙන් කාලානුරූපි ව මෙම තත්ත්වයන් පසුව වෙනස් වූ නමුත්, අතීතය තුළ සැඟව තිබෙන මෙම සිදුවීම් සිනමා ක්ෂේත්‍රය තුළ ශ්‍රමිකයා විඳි කම්කටොලු සිහිගන්වයි. මේ සිහිගැන්වීම එසේ පීඩාවට පත් වූ සියලුම දෙනා වෙනුවෙනි.

Related Articles