Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු 200 ක් පැරණි කැඩ්බරි චොකලට්

නම ඇසුණු පමණින් දිවගට රස දැනෙන තරම් රසවත් කැඩ්බරි චොකලට්, මෙම ලිපිය කියවන ඔබ එක් වරක් හෝ රස බලා ඇති බවට කිසිදු සැකයක් නොමැත. කැඩ්බරි ‍චොකලට් තරම් ම එහි වත ගොතත් ඉතා රසවත් බව ඔබ දන්නවා ද?

ආරම්භය

කැඩ්බරි චොකලට් මුල් වරට නිපදවා දැනට අවුරුදු 200 කට ආසන්න කාලයක් ගත වී ඇත. නිශ්චිතව ම පවසන්නේ නම් කැඩ්බරි චොකලට් නිෂ්පාදනය ඇරඹෙන්නේ 1824 දී ය. ඒ ජෝන් කැඩ්බරි විසින් එංගලන්තයේ බර්මින්හැම් හි බූල් සට්‍රීල්, 93 දරන ස්ථානයේ දී ය. එම වෙළෙඳසැල තුළ අනෙකුත් ද්‍රව්‍ය ද විකිණීම සිදු කළ ද ඔහු විසින් නිපදවන ලද චොකලට් පානයන් ඒ අතරින් විශේෂ විය. කෙසේ වෙතත් 1831 වන විට ඔහු සම්පූර්ණයෙන් ම චොකලට් ආශ්‍රිත නිෂ්පාදන විකිණීම වෙත මාරු වූ අතර වාණිජමය පරමාර්ථයෙන් චොක්ලට් නිෂ්පාදනය කිරීම ඔහුගේ අභිප්‍රාය විය.

ජෝන් කැඩ්බරි (cadbury.co.uk)

වර්ෂ 1847 දී ජෝන් කැඩ්බරි ඔහුගේ සහෝදරයකු වූ බෙන්ජමින් මෙම ව්‍යාපාරය සඳහා හවුල් කර ගත් අතර එතැන් පටන් මෙය ‘කැඩ්බරි බ්‍රදර්ස්‘ යනුවෙන් හඳුන්වන ලදී. මෙම වර්ෂය කැඩ්බරි ව්‍යාපාරයට තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ ඔවුන් විසින් වර්තමානයේ පවතින පළමු චොකලට් බාර් එක (chocolate bar) නිපදවීම නිසා ය. එය එවකට පැවති චොකලට් කර්මාන්තය තුළ විප්ලවකාරී සොයා ගැනීමක් විය. කෙසේ වෙතත් වාර්තා වන අන්දමට එය තරමක් තිත්ත රසයක් ගෙන ඇති අතර පළතුරු රස ගන්වා තිබී ඇත.

දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් 1861 දී කර්මාන්තය පවත්වාගෙන යාමේ කටයුතුවලින් විශ්‍රාම යන ජෝන් කැඩ්බරි, ඒ සඳහා තම පුත්‍රයන් දෙදෙනා වූ රිචඩ් සහ ජෝර්ජ් පත් කිරීමට කටයුතු කළේ ය. රිචඩ් චොක්ලට් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අතර ජෝර්ජ් අදාළ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

(rahlegal.in)

1875 දී ස්විට්සර්ලන්ත ජාතික ඩැනියෙල් පීටර් විසින් පළමු ‘මිල්ක් චොක්ලට් බාර් එක‘ නිපදවීමට සමත් වූ අතර කැඩ්බරි සමාගම ද එය අනුගමනය කරමින් ඔවුන්ගේ පළමු ‘මිල්ක් චොක්ලට් බාර් එක‘ 1897 දී නිපදවීමට සමත් විය. ඊට පෙර ද ඔවුන් මිල්ක් චොකලට් නිපදවා තිබූ නමුත් එය ඩැනියෙල්ගේ චොකලට් තරම් ම ප්‍රමිතියෙන් සමන්විත නොවූයේ කැඩ්බරි සමාගම චොකලට් නිෂ්පාදනයේ දී පිටි කළ කිරි යොදා ගත්ත ද ඩැනියෙල් එ් සඳහා මුදා ගත් කිරි යොදා ගැනීම නිසාවෙනි.

1900 න් පසු

කෙසේ වෙතත් 1905 දී එවකට පැවති කිරි රසයෙන් ඉහළ ම චොකලට් නිෂ්පාදනය බවට පත් කිරීමට කැඩ්බරි සමාගම සමත් වූ අතර පළමු ලෝක යුද්ධයේ ආරම්භක සමය වන විට බ්‍රිතාන්‍යයෙහි සමස්ත වෙළඳපොළ ජය ගැනීමට ඔවුන් ට හැකියාව ලැබී තිබුණි. Dairy Milk යන නාමයෙන් වෙළඳපොළ වෙත නිකුත් කෙරුණු මුල් වකවානුවේ දී මෙම චොක්ලට් පැකට් කර නොතිබුණු අතර කොටස්වලට කඩා විකිණිමේ හැකියාව ද පැවතුණි.

(designweek.co.uk)

කැඩ්බරි සලකුණ කැඩ්බරි චොකලට් තරම් ම ජනප්‍රිය වන අතර මෙම සලකුණ පළමු වරට යොදා ගෙන ඇත්තේ 1921 දී ය. සමාගමේ නිර්මාතෘ වූ ජෝන් කැඩ්බරිගේ අත්සනෙහි අග කොටස වන ‘කැඩ්බරි‘ යන්නෙන් මෙය නිර්මාණය කර ඇති බව වාර්තා වේ. 1925 වන විට මෙම නාමයට අතරව කිරි වීදුරු දෙකක් ද වෙළෙද සලකුණට එකතු කිරීමට කැඩ්බරි සමාගම කටයුතු කරන ලදී.

කැඩ්බරි කර්මාන්ත ශාලාව නැරඹීමට එන පිරිස් ප්‍රමාණය වසරින් වසර ඉහළ යන විට එය එවන් මහා පරිමාණ චොකලට් කර්මාන්ත ශාලාවක දෛනික කටයුතු පවත්වාගෙන යාමට අපහසුතාවක් වූ බැවින් 1990 දී නරඹන්නන් සදහා වෙන් වූ Cadbury World නිර්මාණය කිරීමට කැඩ්බරි සමාගම කටයුතු කර තිබේ. එය තැනීමට පවුම් මිලියන 6 ක් වැය වූ නමුත් එය නිෂ්ප්‍රයෝජවත් වැය කිරීමක් නොවීය. එය කදිම ආයෝජනයක් විය. Cadbury World ආරම්භ කළ මුල් වසරේ පමණක් එය නැරඹීමට පැමිණි පිරිස ලක්ෂ තුන හමාරක් වූ අතර එය ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා ලක්ෂයකින් වැඩි ය.

කැඩ්බරි පදනම සහ Center of Excellence

විශිෂ්ටත්වය සඳහා වූ මධ්‍යස්ථානය (globalgiants.com)

2012 දී බොර්විල් හි දී චොකලට් සම්බන්ධයෙන් ලෝක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණු අතර එ් සඳහා පවුම් මිලියන 17 ක් ආයෝජනය කරන ලදී. මෙය Center of Excellence, නැතහොත් ‘විශිෂ්ටත්වය සඳහා වූ මධ්‍යස්ථානය’ යනුවෙන් හඳුන්වන ලද අතර නව අත්හදා බැලීම් කිරීම සඳහා අවශ්‍ය සෑම පහසුකමක් ම මෙහි අන්තර්ගත කර ඇත. මෙය ආරම්භ කොට පළමු වසර පහ තුළ පමණක් නව නිෂ්පාදන ප්‍රමාණය 25 සිට 250 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. සත්‍ය වශයෙන් ම අද අප රස විදින සෑම අලුත් කැඩ්බරි චොකලට් නිෂ්පාදනයක ම උපත සිදු වන්නේ මෙම ස්ථානයේ දී බව ඔබට සිතාගැනීමට පුළුවන් ද?

කැඩ්බරි පදනම (mynewsdesk.com)

කැඩ්බරි සමාගම විසින් ‘කැඩ්බරි පදනමක්‘ පිහිටුවා ඇති අතර එමගින් එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය තුළ පවතින මානුෂීය අවශ්‍යතාවන් වන කරුණු සම්බන්ධයෙන් මූල්‍යාධාර ලබා දෙන අතර පැරාඔලිම්පික් තරගාවලියට ද දායකත්වය ලබා දෙයි. එසේ ම බ්‍රිතාන්‍ය වීරයන් වෙනුවෙන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ද ඔවුන් දායකත්වය දරයි.

කැඩ්බරි ගැන තවත් රසවත් කරුණු කිහිපයක්

90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී වෙළෙද දැන්වීමක් 

වර්ෂ 2008 දී කැඩ්බරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ ටොඩ් සිඩ්ලර් හට පවුම් 2,665,000 ක බෝනස් මුදලක් ද, ඔහුගේ වාර්ෂික වැටුප ලෙස යූරෝ 985,000 ක මුදලක් ද, අනෙකුත් ගෙවීම් සඳහා පවුම් 448,000 ක මුදලක් ද ලබා දී ඇති අතර ඒ අනුව සමස්ත පාරිතෝෂික ප්‍රමාණය පවුම් මිලියන 4 කට ආසන්න වේ.

වාර්තා වන අන්දමට අද වන විට කැඩ්බරි සමාගම දිනකට කැඩ්බරි චොකලට් බාර් (අනෙකුත් චොකලට් නිෂ්පාදන රහිතව) මිලියන 5.5 ක් නිපදවයි.

අවසන් වරට වාර්තා වී ඇති අන්දමට 2008 වන විට කැඩ්බරි සමාගමේ සමස්ත සේවාදායකයන් සංඛ්‍යාව 71, 657 ක් තරම් ඉහළ අගයක පැවතුණි. ඉන් වසර 9 ක් ගත වී ඇති මෙම කාලය වන විට මෙම සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබිය යුතුය

කැඩ්බරි චොකලට් නිපදවන අයුරු

කවරයේ රූපය – http://tempertemperchocolate.co.uk

මූලාශ්‍ර:

  1. https://www.cadbury.co.uk/
  2. https://en.wikipedia.org
  3. www.youtube.com
  4. http://www.cadburyworld.co.uk/

Related Articles