Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෙස්ලින් දුෂ්ඨයෙකුගේ දුක්බර කතාවක්

‘මට කවදාවත් රෙස්ලර් කෙනෙක් වෙන්න ඕනෙ වුණේ නැහැ. ඒත් මම පොඩි කම්පැණියක රෙස්ලර් කෙනෙක් වුණා ජීවත්වෙන්න ඕනෙ නිසා. මම රෙස්ලින් වළල්ලට මුලින්ම යන්න දවසකට කලින් තමයි රෙස්ලින් ඇත්ත සටන්කලාවක් නෙවෙයි කියලා දැනගත්තෙ. මට පස්සෙ ලැබුණා කමාලා, උගන්ඩානු යෝධයා කියන චරිතය.’

දෙපා නැතිව රෝද පුටුවක හිඳ සිටින දැවැන්ත අප්‍රිකානු ඇමෙරිකානුවෙක් වන ජේම්ස් හැරිස් මඳකට කතාව නතර කරන්නේ ලොකු හිනාවකට. ‘මම කවදාවත් උගන්ඩාවෙ ඉඳල නෑ. උගන්ඩාව ගැන මම දන්නෙ නැහැ.’ හිනාවෙන් පසුව හැරිස් එහෙම කියනවා.

අසූ ගණන්වල සහ අනූ ගණන්වල මුල කල රෙස්ලින් රසිකයෙකුව සිටි කෙනෙකුට කමාලාව අමතක වෙන්න බැහැ. රෙස්ලින් වළල්ලේ දුෂ්ඨයන් සහ වීරයන් සිටිනවා. ඒ කාලයේ සිටි ප්‍රසිද්ධම දුෂ්ඨයෙක් තමයි කමාලා.

රෙස්ලින් වළල්ලේදී කමාලා මිනීමස් කන උගන්ඩානු ගෝත්‍රිකයෙක්. දරුණු දුෂ්ඨයෙක්. එහෙත් ඔහුගේ සැබෑ ජීවිතය ඊට වඩා බොහෝ වෙනස්. හැරිස්ගේ කතාව අනුවේදනීයයි.

නිහඬ කමාලා

කමාලා කවදාවත් රෙස්ලින් වළල්ලේදී හෝ රෙස්ලින් ෂෝ එකකදී වචනයක්වත් කතාකර නැහැ. ඔහුගේ ‘ගිමික්’ එක හෙවත් ඔහුට හිමිව ඇති චරිතය අනුව ඔහු උගන්ඩානු ගෝත්‍රිකයෙක්. ඔහුගේ සිරුරේ හඳපළුව සහ තරු ලකුණ ඇඳ තිබුණා. ගෝත්‍රික පෙනුමක් සඳහා දිවිසමක් බඳු රෙදිකඩක් ඒ ගිමික් එකට අනුව ඔහු හැඳ සිටියා. මුහුණ වර්ණ ගන්වා තිබුණා. වළල්ලට පිවිසෙද්දී ඔහු ලී වෙස් මුහුණක් පැළඳගෙන හෙල්ලයක් අතින් රැගෙන පැමිණියා. අර්ධ මනුෂ්‍යයෙක් ලෙසයි ඔහු හිටියේ. ප්‍රේක්ෂකයන් සැබවින්ම මේ ගෝත්‍රිකයාට වෛර කළා. කුඩා දරුවන් කමාලාට බිය වුණා. ඇතැම් ප්‍රේක්ෂකයන් රෙස්ලින් තරඟ මැද්දේ කමාලාගේ ඇඟට වදින්නට ප්ලාස්ටික් බෝතල් වැනි විවිධ දෑ විසිකළා. ඒ තරම් වෛරයට ලක්ව ඔහු ළමා කාලයේ සිට තරුණ කාලයට පිවිස ඇත්තේ දැවැන්ත ඛේදවාචක මැද.

ළමා කාලය

හැරිස් පුංචි කාලයේ ඔහුගේ පියා ඝාතනයට ලක්වී තියෙනවා. ඔහුට පියාව ඒ තරම් මතක නැහැ. හැරිස් නව යොවුන් වියට පිවිසෙන්නේ රැකියා කරන්නෙක් විදියට. මවත් දිළිඳු කතක්. බොහෝවිට මස් කඩයේ විසිකරන්නට නියමිත මස් කටු කන්නට ඔවුන්ට සිද්ධවුණා. ‘ඒවායේ මස් චුට්ටක් තිබුණා. යන්තම්. හැබැයි ඒ කටුවල ගඳ තමයි ඉවසන්න බැරි.’ හැරිස් එසේ අතීතය සිහිපත් කරනවා. නවය ශ්‍රේණියේදී හැරිස් අධ්‍යාපනයෙන් එළියට විසිවෙනවා. ඉන්පසුව ඔහුගේ රැකියාව වුණේ අපරාධ. බොහෝවිට මංකොල්ලකෑම් සහ සොරකම්. ඉන්පසුව ඔහු ට්‍රක් රියැදුරෙක් බවට පත්වෙනවා.

රෙස්ලින් වළල්ලට පිවිසීම

ඒ අතරේදීයි තරුණ හැරිස්ට රෙස්ලින් වළල්ල ගැන යෝජනාවක් එන්නේ. අප්‍රිකානු ඇමෙරිකානු ජාතික ( කළු ජාතික ) ඇමෙරිකානුවෙක් වන බොබෝ බ්‍රසීල් සමඟ හැරිස් රෙස්ලින් පුහුණුව ආරම්භ කරනවා. ‘මම පුංචි කාලයෙ ඉඳන් ටී.වී. එකේ රෙස්ලින් බලලා තියෙනවා. හැබැයි මම දැනගෙන හිිටියෙ නැහැ රෙස්ලින් කියන්නෙ කලින් පිටපත් කරපු සටන් කියලා. එයාලා මට රෙස්ලින් ඇත්ත සටන්කලාවක් නෙවෙයි කියලා කිව්වේ මම වළල්ලට යන්න කලින් දවසෙ.’ හැරිස් එහෙම කියනවා.

Sugar Bear – http://bleacherreport.com

ඔහුගේ රෙස්ලින් ජීවිතයේ මුල් කාලය එතරම් සාර්ථක වුණේ නැහැ. ප්‍රාදේශීය රෙස්ලින් සමාගම් එකකින් එකකට ඔහුට මාරුවෙන්නට සිදුවුණා. ඔහුගේ චරිතය ‘ෂුගර් බෙයාර්’ හැරිස් නම් සාමාන්‍ය චරිතයක්.

හැරිස් ඩබ්ලිව්. ඩබ්ලිව්. එෆ්. ( දැන් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ) වළල්ලට පිවිසෙන්නේ ඔහුට ජනප්‍රිය රෙස්ලින් තරුවක් සහ විස්තර විචාරකයෙකු වන ජෙරී ද කිංග් ලෝලර් මුණගැසීමෙන් පසුව. ජෙරී මේ දැවැන්තයාගෙන් ඩොලර් ලකුණු දැක්කේ ප්‍රාදේශීය රෙස්ලින් වළල්ලකදී 1982 මැයි මාසයේ දිනයක. හැරිස්ව දකින ජෙරී ඔහු වෙනුවෙන් කමාලා නම් චරිතය නිර්මාණය කරනවා. ඔහු නව චරිතය සමඟ ප්‍රාදේශීය රෙස්ලින් වළල්ලක මුල් වතාවක ජෙරී ද කිංග් ලෝලර් සමඟ සටන් කරනවා. එවකට කමාලාගේ වයස අවුරුදු 32යි.

‘මම වළල්ලට ඇවිදගෙන එද්දී පොලීසියට සිද්ධ වුණා ප්‍රේක්ෂකයන්ව නවත්වන්න. හැමෝටම ඕනෙ වුණා මගේ ළඟට ඇවිත් බලන්න, නැත්නම් ෆොටෝ එකක් ගන්න. මම වළල්ලට එද්දී මට කලින් වළල්ලට ආපු ජෙරී ලෝලර් මැරෙන්න තරම් බයවෙලා වගේ රඟපෑවා. මම හිනා නොවී ඉන්න උත්සාහ කළා. මොකද මොහොතකට කලින් ජෙරීම තමයි මාව අන්දලා මුහුණ වර්ණ ගැන්වුවේ.’

පීඩනය

හැරිස්ට වෙනත් රැකියාවක් කොට ලබනවාට වඩා වැටුපක් රෙස්ලින් වළල්ලේදී ලැබුණු බව ඇත්ත. එහෙත් ඔහු කිසිදා තමන්ට හිමි මිල ලබා නැහැ. එපමණක් නෙවෙයි බොහෝවිට දැඩි ජාතිවාදී පීඩනයන්ට කළු ජාතිකයෙකු වූ ඔහු මුහුණදුන්නා. ඔහු කතාවට එතරම් දක්ෂ නැති මිසිසිපියේ දිළිඳු පවුලකින් පැවත ආ කෙනෙක්. ඔහුට වාග් ප්‍රහාර මෙන්ම අසාධාරණයන්ද සිදුවුණු  බව කියනවා. ඒ සියල්ල ඔහු ලියූ කමාලා ස්පීක්ස් නම් ජීවිත කතාවෙහි එනවා.

‘මම හැමදාම තරඟ පවතින ඇරීනාවට කලින් එනවා. එතකොට හෙමිහිට ලෑස්ති වෙන්න පුළුවන්. මොකක්හරි ලොකර් රූම් එකක් තෝරාගෙන ලෑස්තිවෙන්නට පටන්ගනිද්දී කවුරුහරි පරක්කුවෙලා එන කෙනෙක් මාව එළියට ඇදලා දානවා. හල්ක් හෝගන්, ජේක් ද ස්නේක් රොබර්ට්ස් හෝ රැන්ඩි සැවේජ් වගේ ජනප්‍රිය තරුවකට මම ඉන්න ලොකර් රූම් එක දීලා එළියට යන්න සිද්ධවෙනවා. අන්තිමේ කොහේ හරි මුල්ලක රෙද්දකින් ආවරණය කරගෙන ඇඳගන්නවා. ඩබ්ලිව්. ඩබ්ලිව්. එෆ්. වළල්ලෙදී මම සුපර්ස්ටාර් කෙනෙක්. ඒත් තිරය පිටිපස්සෙ මම කවුරුවත් නෙවෙයි.’ කමාලා එවන් අත්දැකීමක් එහෙම විස්තර කරනවා.

හැරිස් එක්වරක් ආයතනයේ ලොක්කා වන වින්සන්ට් මික්මෑන්ව මුණගැහෙන්නට ගොස් ඇත්තේ තමන්ට ලැබෙන ආදායම මදි බව කියන්නට. ඒ වෙද්දී ඔහු රෙස්ලින් සමාගමට දැවැන්ත ලෙස මුදල් උපයාදෙන්නට සමත් තරුවක්. ‘ඔයාට ඕනෙ වෙලාවක මෙතැනින් යන්න පුළුවන්. ගිහිල්ලා පුළුවන්නම් දැන් උපයනවට වඩා සල්ලි හොයන්න.’ මික්මෑන් ඔහුට එසේ කියා තියෙනවා.

හැරිස්ට තමන්ගේ ජනප්‍රිය ප්‍රතිවාදීන් ලබන වැටුපෙන් සීයට දහයක වැනි මුදලක් බොහෝවිට ලැබී තියෙනවා. ‘මට ජනප්‍රිය තරු තරම්ම මුදලක් අවශ්‍ය නැහැ. ඒත් අඩු ගාණෙ ඔවුන් ලබන මුදලින් භාගයක්වත් ලැබුණානම්.’ කමාලා කල්පනා කර ඇත්තේ එහෙම.

නැවතත් පාරට

වියපත් කිමාලා – bleacherreport.com

ලොව ජනප්‍රියම විනෝදාස්වාදන වැඩසහනක තරුවක් වුණත් ඔහුට රෙස්ලින්වලින් සමුගැනීමෙන් පස්සේ මහපාරට වැටෙන්නට සිදුවෙනවා. ඔහු නැවතත් ට්‍රක් එළවන්නට පටන්ගන්නවා. ඔහුට එවකට වෛද්‍යවරුන් අනතුරු අඟවමින් සිටියත් ඔහු ඒවා ගණන් ගන්නේ නැහැ. ජීවිතය අසීරුයි. හැරිස්ගේ සහෝදරියව ඝාතනය කෙරෙනවා. පුතා ඒඩ්ස් රෝගයෙන් මියයනවා.

හැරිස් වරින් වර ස්වාධීන රෙස්ලින් ආයතනවල රෙස්ලින් තරඟවලට සහභාගී වී තියෙනවා. 2005 දී වතාවක් ඩබ්ලිව්. ඩබ්ලිව්. ඊ. වළල්ලටත් කමාලා පැමිණියා. එහෙත් නැවතත් ඔහු ට්‍රක් රියැදුරු රැකියාවටම ගියා. ඔහුගේ දෙපා දියවැඩියාව උග්‍ර වීමෙන් කපා ඉවත් කරන තෙක්ම. 2011 දී පමණ ඔහුගේ දෙපා ඉවත් කෙරුණා.

ඉන්පසුව ඔහු රැකියාව ලෙස කලේ ලී පුටු, මේස සහ විදුලි ලාම්පු තැනීම. ඒ භාණ්ඩවල කමාලා අත්සන යෙදීමෙන් එක් පුටුවක් ඩොලර් 150 කට පමණ අන්තර්ජාලයෙන් අලෙවි කරගත හැකියි. එවැනි පුටුවක් අලෙවි වීමෙන් හෝ ඔහු පසුව ලියූ කමාලා ස්පීක්ස් කෘතියේ පිටපත් අලෙවි වීමෙන් ඔහුට ජීවිතය පවත්වාගෙන යෑමට අවැසි ආදායමක් ලැබී තියෙනවා.

ප්‍රෝ රෙස්ලින් ෂීට් වෙබ් අඩවිය පසුගිය නොවැම්බරයේ අවසන් වතාවට වාර්තා කර ඇති අන්දමට කමාලා දැඩි ලෙස රෝගාතුරව තමන්ගේ සිහිකල්පනාව පවා නැතිවයි ජීවත්ව ඇත්තේ. ඔහුගේ අලුත් තත්වය ගැන වාර්තාවක් නැහැ.

හැරිස් රෙස්ලින් තරුවක් වුණේ ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් අරගලවලින් පසුව මිනිස් අයිතිවාසිකම් ගැන දැවැන්ත සංවාදයන් ඇතිවුණ කාලයක. දියුණු ඇමෙරිකාවක. එහෙත් ඔහුට විඳින්නට සිදුවුණු අත්දැකීම් ඇමෙරිකානු ‘පොප් කල්චර්’ හෙවත් ජනප්‍රිය සංස්කෘතිියේ මහා සිදුරු පෙන්වන බව කිව හැකියි. එහෙත් කමාලාව ආශ්‍රය කරන්නෙකුට ජනප්‍රිය දුෂ්ඨයෙක් පසුපස සිටි උණුසුම් මිනිසෙක්ව හඳුනාගත හැකියි. කමාලා ගැන වාර්තා වැඩසටහනක් මෙතැනින් නරඹන්න.

මූලාශ්‍ර – http://bleacherreport.com

             www.f4wonline.com

             http://www.prowrestlingsheet.com/

Cover Photo – www.cagesideseats.com

Related Articles