Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියතම ඇපල් වර්ග 10ක්

ඇපල්, ලොව වැඩියෙන්ම පරිභෝජනය කරන පළතුරු වර්ගවලින් සිව්වන ස්ථානයේ පවතින පලතුර යි. මේ වන විට ලොව ප්‍රධානතම ඇපල් නිෂ්පාදකයන් බවට පත්ව සිටින්නේ චීනය, ඇමරිකාව, පෝලන්තය, තුර්කිය, සහ ඉන්දියාව යි. 

ලංකාවේ අපි දන්නේ එකම රහට හැපෙන තද රතු ඇපල්, ලා රතු ඇපල්, සහ කොළ ඇපල් පමණක් යි. නමුත් ඇපල් වවන එක් එක් රටවල වැවෙන ඇපල් විවිධ රසයන්ගෙන් යුක්ත වෙනවා පමණක් නොව, ඒවායේ පොත්තේ පැහැය ද එකිනෙකට වෙනස්. ඇපල්වල පැහැය මෙන්ම රසය ද මෙසේ වෙනස්වීමට බලපාන්නේ එක් එක් ප්‍රදේශයේ දේශගුණික ලක්ෂණ යි. 

සාමාන්‍යයෙන් යම්කිසි ඇපල් වර්ගයක් ආකර්ෂණීය පෙනුමකින් හෝ රසයකින් යුක්ත නම් එයට වෙළඳපොල තුළ විශාල ඉල්ලුමක් පවතිනවා. මෙසේ විශාල ඉල්ලුමක් පවතින ඇපල් වර්ග ගණනාවක් ලෝකයේ විවිධ රටවල නිෂ්පාදනය වනවා. ඉන් බහුතරයක මිල ඉතාමත් අධික යි. නමුත් සමහර ජනප්‍රිය ඇපල් වර්ගවලින් වසරකට වැඩි අස්වැන්නක් ලැබෙන නිසා ඒවා අලෙවි වන්නේ සාමාන්‍ය මිල ගණන් යටතේ යි. ලෝකය පුරා ජනප්‍රිය එවැනි ඇපල් වර්ග 10ක් පිළිබඳව තොරතුරු යි මේ ලිපියෙන් ඔබට ගෙන එන්නේ.

10) අයිඩරෙඩ් ඇපල්

අයිඩරෙඩ් ඇපල් (Cloud Mountain Farm)

ජොනතන් සහ වැග්නර් නම් ඇපල් ප්‍රභේද දෙක මුහුම් කිරීම මඟින් නිෂ්පාදනය කරන ලද අයිඩරෙඩ් ඇපල් ප්‍රභේදයේ මුල් බිම එක්සත් ජනපදයේ අයිඩහෝ ප්‍රාන්තය යි. සාමාන්‍යයෙන් ඉදුණු පසු දීප්තිමත් රතු හෝ කොළ-රතු පැහැයක් ගන්නා මෙම ඇපල් වර්ගයේ ගෙඩි එතරම් විශාල නැහැ. 

හොඳින් මස් පිරුණු අයිඩරෙඩ් ඇපල් ගෙඩිවල යුෂ වැඩි ප්‍රමාණයක් අඩංගු යි. හොඳින් හැපෙනසුළු ඇපල් වර්ගයක් වන මෙය නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීම මෙන්ම සලාදවලට එකතු කිරීම ද සිදුකරනවා. විවිධ පිසූ ආහාර වර්ග සකස් කිරීමේ දී මෙම ඇපල් යොදාගනු ලබන්නේ බේක් කළ විට පවා එහි හැඩය නොවෙනස්ව පවතින නිසා යි. ඊට අමතරව මෙම ඇපල් වර්ගය චීස් සමග ද ආහාරයට ගනු ලබනවා. ගිම්හාන ඍතුවේ මුල් භාගයේ දී හටගන්නා අයිඩරෙඩ් ඇපල් මේ වන විට ලෝකයේ ජනප්‍රියතම ඇපල් වර්ගයක්.

9) මැකින්ටොෂ් ඇපල් 

මැකින්ටොෂ් ඇපල් (Gardening Know How)

1811 වසරේ දී කැනේඩියානු ජාතික ජෝන් මැකින්ටොෂ් මෙම ඇපල් වර්ගය සොයාගනු ලැබුවා. නමුත් මෙම ඇපල් වර්ගය වාණිජ වගාවක් ලෙසින් ආරම්භ වුණේ 1870 වසරේ දී යි. සාමාන්‍යයෙන් මෙම වර්ගයේ ඇපල් ගෙඩියක් ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනු ලබනවා. එසේම එහි කොළ පැහැති ප්‍රදේශ සහ සුදු ලප දැකගන්නට පුළුවන්. 

මැකින්ටොෂ් නම් ඇපල් වර්ගය බහුලව වගා කරන්නේ නැගෙනහිර සහ ඊසාන දින කැනඩාවේ ප්‍රදේශවල යි. එසේම පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශවල ද මැකින්ටොෂ් ඇපල් වගා බිම් දැකගන්නට පුළුවන්. මෙම ඇපල් වර්ගයේ විශේෂිත ගුණයක් වන්නේ ඇපල් අච්චාරු දමන විට එහි රසය වෙනස්වීම යි. එසේම මැකින්ටොෂ් ඇපල් අමුවෙන් හෝ සලාදවලට එක්කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වන්නේ බේක් කිරීමෙන් පසුව ඇපල් කැබලි කඩාහැලෙන නිසා යි.

8) ක්‍රිප්ස් පින්ක් ඇපල් 

ක්‍රිප්ස් පින්ක් ඇපල් (Istock)

20 වන සියවස අග භාගයේ දී ජෝන් ක්‍රිප්ස් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයා මුල්ම වරට මෙම ඇපල් වර්ගය සොයාගනු ලැබුවා. මෙම ඇපල් වර්ගයේ ඉදුණු ගෙඩියක පොත්ත රෝස පැහැයක් හෝ කහ-රෝස පැහැයක් ගන්නවා. ක්‍රිප්ස් පින්ක් ඇපල් ගෙඩි වැඩි පැණිරස ගතියකින් යුක්ත වන නිසා බොහෝවිට නැවුම් පළතුරු ලෙසින් පරිභෝජනය කරනවා. 

මෙම ඇපල් වර්ගය වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාව තුළ වගා කළත් කැනඩාව, චිලී, බ්‍රසීලය, සහ එක්සත් ජනපදය වැනි රටවල ද සුළු වශයෙන් වගා කරනවා.

7) හනීක්‍රිස්ප් ඇපල් 

හනීක්‍රිස්ප් ඇපල් (Brighter Blooms)

ඇමරිකාවේ මිනෙසොටා ප්‍රදේශයේ වැවුනු එක්තරා දේශීය ඇපල් වර්ගයක් මිනෙසොටා විශ්වවිද්‍යාලයය විසින් වැඩි දියුණුකර හනීක්‍රිප්ස් නම් ඇපල් වර්ගය හඳුන්වා දුන්නා. ඉදුණු විට රතු-කොළ පැහැයක් ගන්නා මෙම ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නා විට එහි යුෂය හොඳින්ම වෑහෙනවා. මෙම ඇපල් වර්ගය ද අමුවෙන් ආහාරයට ගැනීම සඳහාත් සලාදවලට දැමීම සඳහාත් බහුලව භාවිතා කරනු ලබනවා. 

මෙම ඇපල් වර්ගය ඉක්මනින් තැලෙන නිසා වැඩිකල් ගබඩා කර තැබීම සහ ප්‍රවාහනය අපහසු යි. 

6) බ්‍රේබර්න් ඇපල් 

බ්‍රේබර්න් ඇපල් (tasteatlas.com)

1952 වසරේ දී මොරාන් නම් නවසීලන්ත ගොවියා මෙම ඇපල් වර්ගය මුල්ම වරට වගා කළා. එම ගොවියා එකල බ්‍රේබර්න් වතුයායේ සේවය කළ නිසා අලුතින් සොයාගත් ඇපල් වර්ගයට බ්‍රේබර්න් යන නම තැබුවා. ඉදුණු විට රතු සහ කහ පැහැති පොත්තකින් යුත් මෙම ඇපල් වර්ගය විවිධ ආහාර වර්ග සෑදීමට සහ පළතුරු යුෂ නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. 

5) ගෝල්ඩන් ඩිලීෂස් ඇපල්     

ගෝල්ඩන් ඩිලීෂස් ඇපල් (Speciality Produce)

ග්‍රීම්ස් ගෝල්ඩන් සහ ගෝල්ඩන් රයිනෙට් නම් ඇපල් වර්ගවලින් ගෝල්ඩන් ඩිලීෂස් නම් ඇපල් ප්‍රභේදය බිහිවුණා. 19 වන සියවස අවසානයේ දී ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්‍රදේශයේ මුල්ම වරට මෙම ඇපල් වර්ගය නිෂ්පාදනය කළා. 

ඉදුණු විට පොත්ත කහ පැහැයට හැරෙන ගෝල්ඩන් ඩිලීෂස් ඇපල් ගෙඩි විශාලත්වයෙන් වැඩියි. මෙම ඇපල් වර්ගය සලාද වර්ණවත් කිරීමට, ඇපල් සෝස් සහ ඇපල් බටර් සෑදීමට බහුලවම යොදාගන්නවා.

4) රෙඩ් ඩිලීෂස් 

රෙඩ් ඩිලීෂස් ඇපල් (Speciality Produce)

ඇමරිකාවේ අයෝවා ප්‍රදේශයේ ජීවත්වුණු ජෙසී හයට් නම් පුද්ගලයා 1880 වසරේ දී මෙම ඇපල් ප්‍රභේදය සොයාගනු ලැබුවා. එලෙස සොයාගත් නව ඇපල් ප්‍රභේදය හැව්කි ඇපල් ලෙසින් නම් කළා. පසුව එහි නම ස්ටාර්ක් ඩිලීෂස් ලෙසින් වෙනස් වුණා. නමුත් මෙම ඇපල් වර්ගය වර්තමානයේ දී හඳුන්වනු ලබන්නේ රෙඩ් ඩිලීෂස් යන නමින්. 

මෙම ඇපල් වර්ගයේ ගෙඩියක් ඉදුණු පසුව පොත්ත දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයෙන් යුත් ගෙඩිය කේතු ආකාර හැඩයකින් යුක්ත යි. මෙම ඇපල්වල මදය මෘදු ගතියකින් යුක්ත නිසා බේක් කිරීම සඳහා සුදුසු වන්නේ නැහැ.

3) ෆූජි ඇපල් 

ෆූජි ඇපල් ගෙඩියක් (Speciality Produce)

ජපන් ඇපල් වර්ගයක් වන මෙය 1930 දශකයේ අග භාගයේ දී මුල්ම වරට නිෂ්පාදය කළා. ඒ රෙඩ් ඩිලීෂස් සහ ඉර්ජීනියා රැල්ස් ජැනට් යන ප්‍රභේද 2ක හරස් පරාගණය කිරීම මඟින්. ඉදුණු පසුව ගෙඩියේ පොත්ත රතු-කහ පැහැයක් ගන්නා මෙම ඇපල් ප්‍රභේදය වැඩි පැණිරස ගතියකින් යුක්ත යි. 

1980 දශකයේ දී මෙම ඇපල් ප්‍රභේදය ඇමරිකාවට හඳුන්වාදුන්නා. ඒ අනුව වර්තමානය වන විට ඇමරිකාව තුළ ද විශාල වශයෙන් ෆූජි ඇපල් වගා කරනවා. මෙම ඇපල් වර්ගය නැවුම් පළතුරක් ලෙස, සලාදවලට එක් කිරීම මඟින් හෝ බේක් කිරීම මඟින් ආහාරයට ගන්නට පුළුවන්.

2) ගාලා ඇපල් 

ගාලා ඇපල් (livonia glatt.com)

කිඩ්ස් ඔරේන්ජ් රෙඩ් සහ ගෝල්ඩන් ඩිලීෂස් යන ඇපල් ප්‍රභේද මුහුම් කරමින් 1934 වසරේ දී මෙම නව ඇපල් ප්‍රභේදය හඳුන්වාදුන්නේ ජේ. එච්. කිඩ් නැමැති නවසීලන්ත ජාතිකයා යි. ඉදුණු විට පොත්ත කහ-රතු පැහැයක් ගන්නා මෙම ඇපල් වර්ගයේ මදය කහ පැහැයට හුරු යි. 

මෙම ඇපල් වර්ගයේ උපත නවසීලන්තය තුළ සිදුවුණත් අද වන විට එය එක්සත් ජනපදයේ බහුලවම වගා කරනු ලබනවා. සාමාන්‍යයෙන් මෙම ඇපල් වර්ගය යුෂ ලබාගැනීමට සහ සලාද සඳහා වැඩි වශයෙන් යොදාගන්නවා. 

1) ග්‍රැනී ස්මිත් ඇපල් 

ග්‍රැනී ස්මිත් ඇපල් (Jesmond Fruit Barn)

මාරියා ස්මිත් නම් තරුණිය 1868 වසරේ එක්තරා දිනයක ඇගේ නිවස අසල පිහිටි වන ලැහැබක තිබී අහම්බෙන් මෙම ඇපල් වර්ගය සොයාගත් බව පැවසෙනවා. 1895 වසරේ දී ඕස්ට්‍රේලියාවේ නිවුසවුත්වේල්ස් ප්‍රාන්තය මෙම ඇපල් වර්ගය වාණිජ වගාවක් ලෙසින් ආරම්භ කළා. 

මෙම ඇපල් වර්ගයේ ගෙඩි ඉදුණු පසුව පොත්ත දීප්තිමත් කොළ පැහැයක් ගන්නවා. එසේම ඉදුණු ඇපල් ගෙඩි වැඩි ඇඹුල් ගතියකින් යුක්ත යි.

ග්‍රැනී ස්මිත් ඇපල් බහුලවම චීස් සමග මිශ්‍රකර ආහාර සකස් කරනවා. එසේම මෙම ඇපල් වර්ගය බේක් කළ විට ඇපල් කැබලිවල හැඩය වෙනස් වන්නේ නැහැ. එනිසා ග්‍රැනී ස්මිත් ඇපල් ආහාර වර්ග රැසක් සෑදීම සඳහා භාවිතා කරනවා.

කවරයේ ඡායාරූපය- ඇපල් ගසක් (Jooinn)

මූලාශ්‍රයයන්- tasteatlas.com

Related Articles