මුහුදු ප්‍රවාහනය අද වන විට කොතරම් දියුණු තත්ත්වයකට පත්ව තිබුණ ද, නාවුක ඉතිහාසය ගැන නම් එතරම් සතුටු විය නොහැකි ය. අප වැඩියෙන්ම දන්නා ටයිටැනික් නෞකාව ද ඇතුළුව සාගර මධ්‍යයේ විනාශ වූ නෞකා සංඛ්‍යාව අතිවිශාල ය. නෞකාවල විශාලත්වය, සුඛෝපභෝගීත්වය කොතෙක් වුවත් මහා සාගරය ඒ කිසිවක් තක්සේරු කළේ නැත.
නෞකා අනතුරක් යනු සැබවින්ම මරණය අභිමුවට යාමකි. එකිනෙකා පරයමින් මානුෂිකත්වයත්වය පසෙකලා උන්මත්තකයින් සේ හැසිරෙන්නට බොහෝ දෙනා පෙළඹෙන මොහොතක් ලෙස ද එය හැඳින්විය හැකිය. ඉතිහාසයේ ලද වේදනාකාරී අත්දැකීම් හේතුවෙන් පසු කලෙක දී මේ තත්ත්වය සම්පූර්ණ වෙනසකට ලක් විය. ලොව නාවුක ඉතිහාසයේ මානුෂීයත්වය පෙරදැරි කරගත් අනභිභවනීය ජාත්‍යන්තර සම්මතය වූයේ බර්කන්හෙඩ් (Birkenhead) නීතියයි.
Birkenhead නීතිය ඇති වූයේ කෙසේද?
ඇත්තෙන්ම බර්කන්හෙඩ් නීතිය යනු නීතියක්ම නොව සම්ප්‍රදායක්, සම්මතයක් ලෙසින් සැලකිය හැකිය. මේ සඳහා නීතිමය පදනමක් නොමැති වුවත් HMS Birkenhead නමැති විශාල නෞකාව අවාසනාවන්ත අන්දමින් මුහුදුබත් වීමෙන් පසුව 19 වැනි සියවසේ සිට ජාත්‍යන්තර නාවුක සම්මතයක් වශයෙන් එය ක්‍රියාවට නැංවිණි.
බර්කන්හෙඩ් (Birkenhead) සම්මතය යනු කුමක්ද?
නැවක් ගිලි යාමේ දී හෝ අනතුරකට ලක්වීමේ දී පිළිපැදිය යුතු ශික්ෂණය බර්කන්හෙඩ් ශික්ෂණය ලෙස හැඳින්විය හැකිය.නෞකාවක් යනු ඕනෑම අවස්තාවක මුහුදුබත් වීමේ අවදානමක් පවතින්නකි. එය අනෙකුත් ප්‍රවාහන සේවාවලින් වෙනස් වනුයේ මහා සාගරය මධ්‍යයේ කිසිවෙකුගේ හව්හරණකින් තොරව ජලයේ ගිලී යාම හෝ ගින්නට හසු වීම යන බිහිසුණු ඉරණමකට ගොදුරු වන්නට සිදු වන නිසාවෙනි.
මහා සාගරය අතිශයින් ගුප්ත පාරාදීසයක් බව නාවිකයෝ අත්දැකීමෙන් දැන සිටියහ. එමෙන්ම ඉතා සුකුමාල ලෙසින් සළුපිළිවලින් සැරසී සිටිනා සාගර කුමරිය හිටිහැටියේ කෝපය මතු වන්නා සේ වෙස් පෙරලා ගනියි. දිය වැල්, මිරිදිය ආගාධ, අයිස් කඳු, ගිනිකඳු, කුණාටු, ගල්පර මෙන්ම දැවැන්ත මසුන්, මීදුම යන ස්වභාවධර්මයේ වෙනස්කම් නාවික අනතුරු ඇති කරවීමට මූලික වන හේතුකාරකයෝ වෙති.
මෙවැනි ස්වභාවික හෝ යාන්ත්‍රික අනතුරකට ලක්වීම නිසා මුහුදුබත් වෙමින් පවතින නැවක ජීවිතාරක්ෂාව සැලැස්වීමේ පිළිගත් මූලික සම්මතය වශයෙන් බර්කන්හෙඩ් නීතිය හැඳින්විය හැක. පළමුව ළමුන්, ඊට පසු මහල්ලන් ද, රෝගීන් ද, ස්ත්‍රීන් ද ඊට පසුව වයසේ පිළිවෙලට ද පිරිමින් ද අනතුරුව නැවේ කාර්ය මණ්ඩලයත් නැවෙන් පිටව ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩ වී ජීවිතය රැකගත යුතු අතර නැවේ කපිතාන්වරයා නැවෙන් පිටවිය යුත්තේ සියල්ලන්ම පිට වූ පසුව ය. මෙම සම්ප්‍රදාය සෑම නෞකාවක් විසින්ම අනතුරක දී පිළිපැදිය යුතු නීතියක් තරමට වලංගු සම්මතයකි. නීතියෙන් නොවුන ද නාවුකයින් හදවතින් මෙම නීතිය හා බැඳේ.
බර්කන්හෙඩ් නීතියට මුල් වූ ‘Birkenhead’ නෞකාව
1852 වර්ෂයේ බිහිසුණු අනතුරකට ලක්වූ Birkenhead නෞකාව භාරව කටයුතු කළ කර්නල් සිඩ්නි සෙටන් නිසා අදටත් බර්කන්හෙඩ් ශික්ෂණය නාවුක නීතීන් අතර මුල් තැනක් ගෙන තිබේ. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට නාවික සැතපුම් 40 කට එහායින් මහා සාගරයේ කඳු ගැටයක හැපුණු Birkenhead නෞකාව ගිලී යමින් තිබුණි. එම අවස්ථාව වන විට එහි මගින් 630 ක් සිටි අතර ඉන් 170ක් දෙනා ස්ත්‍රීන් වූහ. මගීන් 60 දෙනෙකු පමණ ගෙන ගිය හැකි ජීවිතාරක්ෂක බෝට්ටු තුනක් එහි වූ අතර ඉන් ගැල වී යාමට හැකි වනුයේ එකසිය අසූ දෙනෙකුට පමණි. මේ නිසා ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩ වීමට සියල්ලෝම පොර කන්නට වූහ. මින් සිදුවිය හැකි අනතුර තේරුම් ගත් නැවේ ප්‍රධානියා වූ කර්නල් කර්නල් සිඩ්නි තම පිස්තෝලය ගෙන ඉහළට වෙඩි කීපයක් තබා පොර කන මිනිසුන් සන්සුන් කර ගන්නා ලදී.
‘’මගේ අණට හැමෝම යටත් විය යුතුයි. ජීවිතාරක්ෂක බෝට්ටු වලට මුලින්ම ළමයි නංවන ලෙස මම අණ කරනවා. අනෙක් අය තමන් තමන්ගේ වාරය ආවහම ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩ විය යුතුයි.’’
මෙලෙසින් ඔහු මුලින්ම ළමුන්ව ද ඊට පසු මහල්ලන් ද රෝගීන් ද ස්ත්‍රීන් ද ඊට පසුව වයසේ පිළිවෙලට ද පිරිමින් ද ගොඩ වන ලෙසටත් නැවේ කාර්ය මණ්ඩලය අවසානයේ ගොඩ වන ලෙසටත් ඔහු අණ කළේය. නාවික නීතිය අනුව නැවේ කපිතාන් පිට විය යුත්තේ සියල්ලන්ට වූ පසුවය. ජීවිතාරක්ෂක බෝට්ටු පිරීගිය පසු ඉතිරි වූ සියල්ලන් අසරණ ලෙස බලා සිටියේ කුමන හෝ පිළිසරණක් ලැබේවිය යන අපේක්ෂාවෙනි. ජීවිතාරක්ෂක කණ්ඩායම් වල පැමිණීම මෙම අවස්ථාවේ ද නියමිත වේලාවට සිදු වූයේ නැත.
එලෙස මුහුදුබත් වූ පිරිස අතර ලී කොටයක් වත් නොමැතිව සිටි නැවේ සේවක මණ්ඩලයේ දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදී තමා අල්ලාගෙන සිටි ලී කොට ඔවුන් දෙසට විසිකර තමාගේ ජීවිතය බේරීමට තිබුණු අවස්ථාව ද නැති කරගත් කපිතාන්වරයා අවසානයේ දියේ ගිලී ගියේය.
මෙලෙස දියේ ගිලෙමින් පාවෙමින් සිටි මිනිසුන් කර්නල් සිඩ්නි ගේ අණට අවනත ව ජීවිතාරක්ෂක බෝට්ටු වල එල්ලීමට පවා උත්සාහ නොකළ හේතුව මත එදා ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි පිරිසකගේ ජීවිත ආරක්ෂා විය. එසේ නොමැති නම් එකිනෙකා පරයමින් ජීවිතාරක්ෂක බෝට්ටු වලට ගොඩවීමට උත්සාහ කිරීම තුළින් සියල්ලන්ගේම ජීවිත විනාශ වන්නට පවා හැකියාව තිබුණි.
එදා Birkenhead නෞකාවේ කපිතාන්වරයා කර්නල් සිඩ්නි මුහුදට බිලි වී මිය ගියද ඔහු එදා කළ දේ පසුව නාවික නීතියක් ලෙස සම්මත කරගැනීමට සියලු නාවික පිරිස් තීරණය කළහ.
Birkenhead ශික්ෂණ නිසා බේරුණු නෞකා
බර්කන්හෙඩ් ශික්ෂණය හඳුන්වා දෙන්නට කලින් නාවික අනතුරක දී සිදු වූ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ විය. අනවශ්‍ය කලබල කිරිම හා දුර්වලයා පාගා ප්‍රබලයා නැඟී සිටීමට හෝ බේරී යෑමට උත්සාහ ගැනීම නිසා බේරාගත හැකි වූවන්ගේ ජීවිත පවා විනාශ වී ගිය වගක් පෙනෙන්නට තිබුණි. එහෙත් Birkenhead නීතිය හඳුන්වා දුන්නායින් පසු මෙම අනතුරු සිදුවීමේ ස්වභාවය මඳක් වෙනස් විය. මේ නිසා නැවේ පිරිස සම්පූර්ණයෙන්ම දිවි ගලවා ගත් අවස්ථාවන් බොහෝ ගණනක් ද වාර්තා වී ඇත.
1909 දී එංගලන්තයට අයත් Republic නම් වූ නෞකාවක් ගිලී යාමේ දී Birkenhead ශික්ෂණය අකුරටම පිළිපැදීම නිසා, සිදු වන්නට ගිය මහත් විනාශයකින් ගැලවීමට එහි මගීන්ට හැකි විය. 1913 දී Templemore නෞකාවද 1954 දී Empire Windruff නමැති නෞකාව ද මෙලෙස සාර්ථක ලෙස බර්කන්හෙඩ් නීතිය ක්‍රියාත්මක කර සියල්ලන්ගේම දිවි ගලවා දී ඇත.
ඇල්ජීරියා මුහුදු වෙරළට සැතපුම් 50ක් ඈතින් මධ්‍යධරණී මුහුදේ ගිනිගත් Empire Windruff නැවේ කපිතාන්වරයා Birkenhead ශික්ෂණය සිහි ගන්වා කලබලයට පත් වූ පිරිස සන්සුන් කරවා දැමී ය. පිරිස ඔහුගේ අණට අවනත විය. බර්කන්හෙඩ් නීතිය ක්‍රියාත්මක විය. පාවෙමින් සිටි පිරිස ජීවිතාරක්ෂක බෝට්ටු වල නොඑල්ලී සිටීමට වග බලාගත් නිසා දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණි පසු සියලු දෙනාවම ගලවා ගැනීමට ඔවුනට හැකි විය.
සුප්‍රකට ටයිටැනික් නෞකාව
අනෙක් නෞකාවන්හි තත්ත්වය මෙසේ වුව ද, අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නැවේ Birkenhead ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි. තුන්වැනි පන්තියේ දුප්පතුන් වැඩි පිරිසක් මිය යද්දී පොහොසතුන් වැඩි පිරිසකගේ ජීවිත බේරී තිබුණි. එසේ නම් Birkenhead නීතිය සාධාරණව ක්‍රියාත්මක වීද යන්න ප්‍රශ්නකාරී ය.
දිවි ගලවාගෙන තිබුණේ නැවේ සිටි සංඛ්‍යාවෙන් තුනෙන් එකකට අඩු ප්‍රමාණයක් පමණි. පළමු පංතියේ කාන්තාවන් 3% ක් පමණක් මිය යන විට තෙවන පන්තියේ එම අගය 54% කි.
එලෙසම පළමු පන්තියේ ළමුන් සය දෙනෙකුගෙන් පස්දෙනෙක්ම සහ දෙවන පන්තියේ ළමුන්ගෙන් සියලු දෙනාම දිවිගලවා ගන්නා විට තෙවන පන්තියේ ළමුන් 79 දෙනෙකුගෙන් 52 දෙනෙකුම මරු වැළඳගන තිබුණි.
Cover Image – valentineartreproductions.com
මූලාශ්‍ර
historic-uk.com
thevintagenews.com
slideshare.net