Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊජිප්තුවේ ‘කසළ නගරයේ’ අන්දරය

ජනගහනයේ වැඩි වීමත් සමග ලොව නිපදවෙන කසළ ප්‍රමාණයත් දිනෙන් දින වැඩි වෙනවා. සංවර්ධනය වූ සමහර රටවල් මෙම කසළ නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා සෑහෙන දුරට සාර්ථක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබුණ ද, ලොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ ගැටලුවෙන් පීඩා විඳිනවා.

කසළ ගැටලුවෙන් පීඩා විඳින රටවල් අතර ඊජිප්තුවත් ඉදිරියෙන් සිටිනවා. විශේෂයෙන් ම එහි අගනුවර වන කයිරෝ නුවර නිවාස හා කාර්යයාල ගොඩනැඟිලිවලින් දිනකට ටොන් ගණනාවක කසළ ගොඩගැසෙනවා. මේවා අවසානයේ ප්‍රවාහනය වන්නේ එහි තදාසන්න ප්‍රදේශක් වූ ‘මන්ෂියාත් නසර්’ නම් පෙදෙසට යි. කෙසේ නමුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන් මෙහි ගොඩගැසෙන කුණු කසළ සම්පූර්ණයෙන් ම එහි වෙසෙන 60,000ක් පමණ වූ ජනකායට අවාසනාව ගෙන එන්නේ නැහැ. එහි වෙසෙන්නන් මේවා සළකන්නේ වටිනා ද්‍රව්‍යයක් ලෙස යි. එයට හේතුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජීවිකාව සොයාගන්නේ කසළ හා සබැඳි වෘත්තීන්වලින් වීම නිසා යි.

කසළ නගරයේ දුර රූපයක්- Alexander Heilner

කසළ නගරයේ මූලික වතගොත

කයිරෝවට ම යාබද ව, ව. කි. මී. කිහිපයක භූමියක් වසාගෙන් පැතිරී ගත් මන්ෂියාත් නසර් පෙදෙස ‘සබලීන්’ නගරය ලෙස ද ප්‍රාදේශීය ව හඳුන්වන අතර, එහි අර්ථය ‘කසළ’ යන්න යි. මෙහි ජනකාය මුඩුක්කු වැනි කුඩා ඉඩකඩවල හරිබරි ගැසී ජීවත් වන අතර, එහි වීදි, ගොඩනැඟිලි මෙන්ම කුඩා ගෙවතුත් නිතර ම කසළවලින් ගැවසී තිබෙනවා. ඊජිප්තුව ඉස්ලාම් රාජ්‍යයක් වුව ද, මෙහි වෙසෙන ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි ලබ්ධිකයින් වෙනවා. මේ නගරයේ කසළ සංස්කෘතිය ඇරඹී වසර 70ක් පමණ වෙනවා.

‘රන්වන්’ කසළ

කයිරෝ නුවර ජනගහනය මිලියන 20ක් පමණ වෙනවා. මොවුන් විසින් නිපදවන කසළ ඉතා කාර්යයක්ෂ් ම ලෙස එක්කාසු කොට ‘කසළ නගරය’ වෙත ගෙන එන්නට එහි වැසියන් යුහුසුළු ව කටයුතු කරනවා. නිවසින් නිවසට, කාර්යයාල හා හෝටල්වල දොරින් දොරට ගොස් කසළ එකතු කරගන්නා ඔවුන් ඒ සඳහා සෑම තැනකින් ම සුළු අය කිරීමක් සිදුකරනවා. ඉන් අනතුරුව අත් කරත්ත හෝ බූරුවන් බැඳි කරත්ත මඟින් ඒවා සිය ප්‍රදේශය වෙත ගෙන යනවා. ඉන් අනතුරුව ඔවුන් ඒවා සිය නිවස්නයේ පසෙකින් ගොඩගසා විවිධ කාණ්ඩවලට අනුව තෝරා, වෙන් කිරීමට පටන්ගන්නවා. මෙහි දී විශේෂයෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ වෙන් කරගැනීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් කසළ එකතු කරගෙන එය මන්ෂියාත් නසර් වෙත ප්‍රවාහනය කිරීම පුරුෂයින්ට අයත් රාජකාරියක් වන අතර, ඒවා වෙන් කර කාණ්ඩගත කිරීම කාන්තාවන් විසින් සිදුකරනවා.

කසළ එක්කාසු කරන්නෙක්- Globalriskinsights.com

ඊජිප්තු කසළ නගරයේ ඉඩකඩ සීමිත වූවත්, එහි ජනයා විසින් කසළ කළමනාකරණය කිරීම සඳහා එතරම් දියුණු ක්‍රමවේදයන් භාවිතා නොකළත්, මේ පෙදෙසට ගොඩගැසෙන කසළවලින් 90%ක් ම නිසියාකාර ව ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කෙරෙනවා. මෙය බොහෝ දියුණු රටවල ප්‍රතිචක්‍රීකරණය වන කසළ ප්‍රතිශතයට වඩා බොහෝ වැඩි අගයක්. එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ රහස වන්නේ ඔවුන් විසින් ඉතා නිවැරදිව මෙන්ම යුහුසුළු ව ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු කසළ කොටස් අනෙක්වායින් වෙන් කරගැනීම යි.

සිනහව මත රැඳුණු කඳුළු

මන්ෂියාත් නසර් නිසා කයිරෝවේ පිරිසිදු බව නිතිපතා සුරැකුන ද, මෙහි වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය නම් එතරම් ඉහළ තලයක නැහැ. ඔවුන් බොහෝ දෙනා යාන්තම් දිවි සරිකරගන්නා දිළින්දන් වන අතර, ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂකභාවය ද පවතින්නේ ඉතා පහළ අඩියක යි.

මන්ෂියාත් නසර් හි දරුවන් – Tom Mcshane

පසුගිය වසර කිහිපය තුළ කයිරෝවේ නගරසභාව ගත් තීරණයන් දෙකක් නිසා කසළ නගරයේ වැසියන්ට පාරිසරික ව හා ආර්ථික ව එල්ල වන අභියෝග බලවත් වී තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ කයිරෝ නගර සභාව 2003 දී එහි කසළ ඍජු ව එක්කාසු කොට කළමනාකරණය කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයකට බාරදීමට තීරණය කිරීම යි. මේ නිසා ඔවුන් සමග තරගකාරීත්වයකට මුහුණදීමට මේ ‘සබලීන්’ වැසියන්ට සිදුවෙලා.

ඉහත සිදුවීමෙන් වසර 6කට පසු හෙවත් 2009 දී මැදපෙරදිග හා අප්‍රිකාවේ උතුරු පෙදෙසේ සූකර උණ පැතිරී යාම නිසා ඊජිප්තු බලධාරීන් ඊජිප්තුවේ සමහර ප්‍රදේශවල පැතිරී සිටින ඌරන් ඝාතනය කරන්නට තීරණය කරනවා. කසළවලට අමතර ව මන්ෂියාත් නසර් වැසියන්ගේ ජීවිකාව සරිකරන තවත් සාධකයක් වූයේ ඌරනුයි. මේ පෙදෙසෙහි ඌරන් 350,000ක් පමණ ඇති කළ අතර, ඔවුන් සියලු දෙනා ඝාතනය කර විනාශ කරන්නට අණ ලැබෙනවා. ඉස්ලාම් අතිබහුතරය වෙසෙන ඊජිප්තුවේ ඌරන්ගේ මාංශ සොයාගැනීම මඳක් අපහසු අතර, විදේශීය සංචාරකයින්ට එම මාංශ අවශ්‍ය වූ විට මන්ෂියාත් නසර් පෙදෙසෙන් ඌරන් මිල දී ගැනීම සමහර සුඛෝපභෝගී හෝටල් විසින් සිදුකළා. තවත් අතෙකින් ඌරන් විසින් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසළ ආහාරයට ගැනීම ද සිදුකරන නිසා, මෙම ඌරු සංහාරය මංෂියාත් නසර් වැසියන්ගේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළා.

වෙනත් ආකාරයකින් සමෘද්ධිය ළඟා වීම

ඌරන් සංහාරය හා කසළ එක් කිරීමේ දී ධනවත් පෞද්ගලික සමාගම් සමග දැඩි තරගයකට මුහුණදීමට සිදුවීම නිසා පසුගිය දශකය අවසානය වන විට ඊජිප්තු කසළ නගරයේ වැසියන් ආර්ථික අතින් වැටෙන්නට හැකි අවසන් අඩියට ම වැටී සිටියා. 2009 දී තිරගත වූ Garbage Dreams නම් වාර්තාමය චිත්‍රපටය ප්‍රකාශයට පත්වෙන්නේ මේ අතරතුර යි. මෙමඟින් මන්ෂියාත් නසර් පෙදෙසේ ජීවන තත්ත්වය හා පසුබිම පිළිබඳ ව ලෝකයාට ඉදිරිපත් කර තිබුණා.

සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා මන්ෂියාත් නසර් හි ඇඳ ඇති ගොඩනැඟිලි සිතුවමක්- egyptianstreets.com

Garbage Dreams වාර්තාමය චිත්‍රපටය වර්තමානය වන විට නැවතත් මන්ෂියාත් නසර් ප්‍රදේශයට වසන්තය කැන්දාගෙන ඒමට සමත් වී තිබෙනවා. ඒ වෙනස් ම ආකාරයකට යි. එම චිත්‍රපටයෙන් මෙම ප්‍රදේශයේ වත ගොත දැක බලාගත් දෙස් විදෙස් සංචාරකයින්, එහි තත්ත්වය සියැසින්ම දැක ගැනීමට නිතර මෙහි ඇදෙන්නට පටන් ගෙන තිබෙනවා. පසුගිය වසර 10 තුළ ඇති වූ මෙම ප්‍රවණතාවය නිසා මුදල් නැවතත් මෙහි යහමින් ගැවසීම ඇරඹිලා. තවමත් සිය ජීවන තත්ත්වය නිසියාකාරයෙන් ‘ඉහළ’ තලයකට ගෙන එන්නට සමත් ව නැතත්, ඒ සඳහා වූ දීප්තිමත් බලාපොරොත්තුවක් එහි වැසියන්ට ඇති වී තිබෙනවා.

 

Related Articles