Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහිංසකයින්ට මරු කැඳ වූ හෝම්ස්ගේ මිනීමරු මාළිගය

ක්‍රිස්ටෝපර් කොළොම්බස් ඇමෙරිකානු මහද්වීපයට පා තබා 400 වසරක් ගත වීම නිමිත්තෙන් 1893 දී චිකාගෝ නුවර පවත්වන ලද ලෝක වෙළඳ ප්‍රදර්ශනය වඩාත් ජනප්‍රිය වුණේ ‘කොලොම්බියානු ප්‍රදර්ශනය’ යන නාමයෙන්. එහි දී ලොව ප්‍රථම කතුරු ඔංචිල්ලාව, ගෑස් මඟින් බලය සපයා ගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම මෝටර් රථය ලෙස සැලකෙන ‘ඩේම්ලර්ගේ සිව් රෝද රථය’, සහ සම්පූර්ණයෙන් ම චොකලට් යොදාගෙන නිර්මාණය කරන ලද රාත්තල් 1,500ක බරින් යුතු වූ ‘Venus de Milo’ ප්‍රතිමාව වැනි අපූරු ප්‍රදර්ශිත රාශියක් ප්‍රදර්ශනය කර තිබුණා. නමුත් මේ සියලු ප්‍රදර්ශිතයන් අබිබවා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම දාම ඝාතකයා ලෙස සැලකෙන එච්. එච්. හෝම්ස් විසින් ගොඩනංවන ලද ‘මිනීමරු මාළිගය’ නම් ගොඩනැගිල්ල යි.

(© Wikimedia Commons) 1893 ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත්‍රය

ෂර්ලොක් හෝම්ස්ගේ නම ගත් දාම ඝාතකයා

වෛද්‍ය හෙන්රි හොවාඩ් හෝම්ස් නැතහොත් එච්. එච්. හෝම්ස් ලෙස පසුකාලීන ව ලෝක ප්‍රකට වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම දාම ඝාතකයා උපත ලබා ඇත්තේ 1861 මැයි 16 වැනි දින නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දී වන අතර, දෙමව්පියන් ඔහුට ලබා දී ඇති නාමය වන්නේ හර්මන් වෙබ්ස්ටර් මජෙට් යන්න යි. 1885 දී ඔහුගේ තරුණ බිරිඳ සහ කුඩා දරුවා අත්හැර දැමූ හර්මන් වෙබ්ස්ටර් මජෙට්, ඉලිනෝයි ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබෙනවා. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රකට අපරාධ පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ නාමය භාවිතා කරමින් ඔහු, එච්. එච්. හෝම්ස් ලෙස තමන්ගේ නම වෙනස් කරගෙන ඇත්තේ එහි දී යි.

(© Wikimedia Commons) එච්. එච්. හෝම්ස්

ඉලිනෝයි ප්‍රාන්තයේ චිකාගෝ නුවර පදිංචි වී කෙටි කලකින් ම එච්. එච්. හෝම්ස් ජැක්සන් උද්‍යානය ආසන්නයේ පිහිටි බෙහෙත් ශාලාවක සේවයට බැඳෙන අතර, එයින් 8 වසරකට පසු ව 1893 දී ලෝක වෙළඳ ප්‍රදර්ශනය පවත්වන භූමි ප්‍රදේශය ලෙස තෝරා ගන්නේ ද ජැක්සන් උද්‍යානය ආශ්‍රිත අක්කර 690 (හෙක්ටයාර 280)ක වපසරියකින් යුතු බිම්කඩ යි. ෆ්‍රෙඩ්රික් ලෝ ඔල්ම්ස්ටෙඩ් වැනි ප්‍රකට ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද කොලොම්බියානු ප්‍රදර්ශනය සඳහා රාජ්‍යයන් 40කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශිත ඉදිරිපත් වූ බව යි වාර්තා වන්නේ.

හෝම්ස්ගේ ‘මිනීමරු මාළිගය’

ලෝක වෙළඳ ප්‍රදර්ශනය නැරඹීම සඳහා චිකාගෝ නුවරට පැමිණි මිලියන 27ක් පමණ වූ දෙස් විදෙස් සංචාරකයින් අයුතු ලෙස භාවිතා කරමින් තමන්ගේ කුරුරි අදහස් මුදුන්පත් කරගන්නට එච්. එච්. හෝම්ස් කටයුතු කර ඇති බව ඉතිහාසඥයින් විශ්වාස කරනවා. ඔවුන්ගේ මතය වන්නේ දක්ෂ සහ සිත් ඇදගන්නාසුළු කතාබහක් හිමි රැවටිලිකාරයෙකු වූ එච්. එච්. හෝම්ස්, ඔහු සේවය කළ බෙහෙත් ශාලාවේ අයිතිකරුට වංචා කර ලබාගන්නා ලද මුදල් භාවිතා කරමින් චිකාගෝ නුවරට යාබද ව පිහිටි එංගල්වුඩ් නම් කුඩා නගරයෙන් බිම් කැබැල්ලක් මිල දී ගෙන කුඩා කාමර රාශියකින් සමන්විත වංකගිරියක් වැනි තෙමහල් ‘මිනීමරු මාළිගය’ නිර්මාණය කරන්නට ඇති බව යි.

(© New York Journal) ‘මිනීමරු මාළිගය’ ඇතුළත දැක්වෙන පුවත්පත් පිටුවක්

එසේ නිර්මාණය කරන ලද ‘මිනීමරු මාළිගය’ අහිංසක මිනිසුන් මරණයට පත් කරන උගුලක් ලෙස ක්‍රියාත්මක වූ බවට සැකයක් නැහැ. එච්. එච්. හෝම්ස්ගේ ‘මිනීමරු මාළිගය’ සතු ව හඬවරණ (soundproof) කාමර, රහසිගත ගමන් මාර්ගය සහ අවුල් ජාලාවක් සේ දිස් වූ පියගැට පේළි පැවති අතර බොහෝමයක් කාමර තුළ බිම්දොරවල් පිහිටා තිබුණා. සැකයෙන් තොර ව කාමරයට ඇතුළු වන එච්. එච්. හෝම්ස්ගේ අමුත්තන්, බිම්දොරවල් තුළින් ගොඩනැගිල්ලේ යට මහලට ඇද වැටුණු අතර එය සමන්විත වුණේ ඔවුන්ට මරණය රැගෙන ආ අම්ල පිරි කටාරම්, මළ සිරුරු දිරාපත් කිරීම සඳහා භාවිතා කරන ලද පුළුස්සන ලද හුණු සහිත විශාල වලවල් සහ ආදාහනාගාරයකින්.

නවාතැන් සොයා පැමිණි ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසකයින්

© Frank P. Geyer

අඩු මිලට නවාතැන් පහසුකම් සපයන බව පවසමින් කොලොම්බියානු ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි සංචාරකයින් ව තමන්ගේ ‘මිනීමරු මාළිගය’ කරා කැඳවා එච්. එච්. හෝම්ස් විසින් බිල්ලට ගන්නා ලද නිශ්චිත පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ ව ඉතිහාසඥයින් තවමත් අවසන් නිගමනයකට පැමිණ නැහැ. 1893 ඔක්තෝබර් මාසයේ දී ලෝක වෙළඳ ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු ව චිකාගෝ නුවරින් පලා ගිය එච්. එච්. හෝම්ස් ව බොස්ටන් නුවර දී අත්අඩංගුවට ගන්නේ ඇමෙරිකානු ඩොලර් 10,000ක් වටිනා රක්ෂණ මුදල් ලබාගැනීමේ අරමුණෙන් ඔහුගේ අපරාධ සහායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් පිටේසල් සහ ඔහුගේ දරු දෙදෙනාගේ මරණය සිදුකිරීම සඳහා සැක පිට යි.

(© Pinterest) බෙන්ජමින් පිටේසල්

අත්අඩංගුවට පත් වීමෙන් පසු ව එච්. එච්. හෝම්ස් විසින් ‘මිනීමරු මාළිගය’ තුළ දී පුද්ගලයින් 200ක් මරණයට පත් කළ බව ප්‍රකාශ කළ ද, සත්‍ය වශයෙන් ඔහු අතින් මරණයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 9ක් පමණක් විය හැකි බව ඉතිහාසඥයින් ප්‍රකාශ කරනවා. කෙසේ වුව ද ඔහු විසින් සිදුකරන ලද වැරදි සඳහා කෙටි කලක් ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මොයමෙන්සින්ග් බන්ධනාගාරයේ රඳවා සිටි එච්. එච්. හෝම්ස් ව 1896 දී එල්ලා මරණයට පත් කරන ලද අතර ඔහුගේ මළ සිරුර පෙන්සිල්වේනියා නුවරින් පිටත පිහිටි සිරි කුරුස සොහොන් බිමේ මිහිදන් කර තිබෙනවා.

1895 දී ගින්නක් හේතුවෙන් එච්. එච්. හෝම්ස්ගේ ‘මිනීමරු මාළිගය’ අර්ධ වශයෙන් විනාශයට පත් වුණා. පසුකාලීන ව 1938 දී ඇමෙරිකානු රජය විසින් එය කඩා ඉවත් කරන ලද අතර, වර්තමානයේ දී අදාළ භූමි ප්‍රදේශය ඇමෙරිකා එක්සත් ජනපද තැපැල් සේවය විසින් භාවිතයට ගන්නා බව යි වාර්තා වන්නේ.

කවරයේ පින්තූරය: © Highlight Hollywood

 

Related Articles