වැසි වනාන්තර යනු ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයන්ගෙන් එකක්. ජෛව විද්‍යාත්මකවද අතිශය වැදගත්කමක් දරන වැසි වනාන්තර සියල්ලක්ම මේ වන වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. එවන් යුගයක සිය කාලය, ශ්‍රමය හා ධනයද කැප කොට, ඉමහත් භක්තියකින් යුතුව සිය දෑතින්ම සිටුවන ලද පැළෑටි උස් මහත් කොට වැසි වනාන්තරයක් වැවූ අපූරු හරිත හදවත් ඇති යුවළක් පිළිබඳවයි මේ ලිපිය ලියැවෙන්නේ.
වසර 27කට පෙර ඇරඹුණු වන වගාව
පැමෙලා ගේල් මල්හෝත්‍රා යන ඇමරිකානු ජාතික තරුණිය තම ඉන්දියානු සම්භවයක් ඇති ස්වාමි පුරුෂයා වන අනිල් මල්හෝත්‍රා සමග මේ සද්කාර්යයට අත ගැසුවේ මීට වසර 27කට ප්‍රථම, එනම් 1991 වසරේදීයි. එක්සත් ජාතීන් විසින් ඉන්දීය අර්ධද්වීපයේ ජෛව විවිධත්වයේ අතිශය වැදගත් ස්ථානයක් ලෙසින් නම් කොට ඇති දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බටහිර කඳුකර (Western Ghats) පෙදෙසින් අක්කර පනස් පහක ඉඩමක් මිලට ගත් මේ යුවළ එහි කුඩා පැළෑටි සිටුවීම ආරම්භ කළා. ඉතා දැඩි ලෙස වන සංහාරයට ලක්ව තිබූ මේ ප්‍රදේශයේ වාසය කළ සතුන්ද ඒ වන විට එම ප්‍රදේශයෙන් වඳ වී යාමේ තර්ජනයකට ලක්ව සිටියා.
පුරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මේ මුඩු බිම ආදරයෙන් රැකබලා ගත් මල්හෝත්‍රා යුවළ අද වන විට තම භූමි වපසරිය අක්කර 300ක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. ඒ මුළු භූමි භාගය පුරාවටම වෘක්ෂ ලතාවන් දැකගත හැකියි. මෙසේ ස්වෝත්සාහයෙන් තනන ලද වැසි වනය ඔවුන් විසින් “SAI Sanctuary” හෙවත් “සායි වන සංරක්ෂණ අඩවිය” ලෙසින් නම් කොට තිබෙනවා. (මෙහි SAI යන්නෙහි තේරුම Save Animal Initiative යන්නයි). මේ වන විට ඉන්දීය රජයට හිමි නැති, පුද්ගලික ධනයෙන් නඩත්තු වන එකම රක්ෂිත වනාන්තරය වන්නේද සායි රක්ෂිතයයි. ඉන්දීය වන සංරක්ෂණය වෙනුවෙන් මේ අමිල මෙහෙවර ඉටු කළ පැමෙලා සහ අනිල් යුවළ හැඳින්වෙන්නේ “හරිත දෑඟිලි ඇත්තවුන්” ලෙසයි.
“..වනජීවීන් සහ ගස්වැල් වලින් පිරී ගිය සංරක්ෂිත වනයක් නිර්මාණය කිරීම සෑම විටම මගේ හිතේ මෙන්ම අනිල්ගේ හිතේත් තිබුණු බලාපොරොත්තුවක්. මුලින් අපේ අදහස ඇසූ මිනිසුන් අපව හැඳින්වූයේ පිස්සන් ලෙසිනුයි. ඒත් අපි ඉන් සැලුණේ නෑ. ඔවුන් කුමක් කිව්වත් අපිට එය ගැටලුවක් වූයේත් නෑ..” යනුවෙන් පැමෙලා මල්හෝත්‍රා ප්‍රකාශ කරන්නේ සිනාබර මුවකින් යුතුවයි.
ශාක හා ජෛව විවිධත්වයෙන් පිරුණු වනය
“අපි මිලට ගත්තේ අතහැර දමන ලද කුඹුරු, කෝපි වතු සහ එනසාල් වතු රාශියක්. ඒ අවට පළාතත් බොහෝ සෙයින් වන සංහාරයට ලක්ව තිබුණා” යනුවෙන් පැමෙලා අතීතය සිහිපත් කරනවා. මියගිය වනයට යළි පණ දෙන්නට විශාල මුදල් සම්භාරයක්ද වැය වූ බවයි මල්හෝත්‍රා යුවල ප්‍රකාශ කරන්නේ.
මුලදී කොපමණ ගැරහුම් ලැබුණත්, මේ භූමිය අයත් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සහ ස්වේච්ඡා සේවක සේවිකාවන් එක්ව මේ මුඩු බිම සරු බිමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. විශාල ශ්‍රමයක් මෙන්ම ඉවසීමක්ද අත්‍යවශ්‍යව තිබූ මේ කර්තව්‍යය මේ වන විට මල්ඵල දරා තිබෙනවා. දේශීය ශාක හා පැළෑටි වර්ග සිය ගණනකින් සමන්විත වන මේ වනාන්තරය තුළ බෙහෙත් පැළෑටි විශාල ප්‍රමාණයක්ද තිබෙනවා.
ගස්වැල් වලට පමණක් නොව, සායි වනාන්තරය විවිධ සතුන් රාශියකටද මේ වන විට නිවසක් බවට පත්වී හමාරයි. ආසියානු හස්තීන් මෙන්ම මේ වන විට වඳවී යාමේ තර්ජනයට දැඩි සේ ලක්ව සිටින, රතු දත්ත පොතට පවා එක්ව සිටින බෙංගාලි කොටින් රැසක්ද මේ අතර සිටිනවා. එමෙන්ම, ඔටර් නැමති සත්වයින්, උරුලෑවන්, දිවියන් මෙන්ම ඉන්දීය නාගයින්ද මේ වනයේ පහස ලබමින් ඒ තුළ දිවි ගෙවනවා.
“මේ භූමිය අප මිලට ගත් කාලයේ තිබූ අයුරු මට අද මෙන් මතකයි.. මේ ඉඩම මැදින් ඇවිද යද්දී තමන්ගේ අඩි ශබ්දය හැර වෙන කිසිවක් ඇසුණේ නැති කාලයක් තිබුණා.. නමුත් දැන් මේ භූමියම විවිධ හඬවල් වලින් පිරී ගිහින්.. රැහැයියන් තමයි නිතරම හඬ නගන්නේ.. දැන් මේ වනාන්තරයේ ඇවිද යනවා තරම් සතුටක් මටත් මගේ සැමියාටත් නැහැ.. මගේ ජීවිතයේ මා කළ දේවල් වලින් මා වඩාත් තෘප්තිමත් වන කාර්යය මෙයයි..” තමන්ගේ සහ තම සැමියාගේ මේ උත්සාහය පිළිබඳව මහත් ආත්ම තෘප්තියකින් පසූවන පැමෙලා මල්හෝත්‍රාගේ බලාපොරොත්තුව තම සැමියා සමග එක්ව සායි රක්ෂිතය තවත් පුළුල් කිරීමයි.
අධික ලෙස වන සංහාරයට නතුව තිබූ දකුණු ඉන්දියාවේ කොඩේගු දිස්ත්‍රික්කයේ වන ගහනය 1970 දශකයේදී 86%ක අගයක් ගත් නමුත් අද වන විට එම ප්‍රතිශතය 16% දක්වා පහත වැටී තිබෙනවා. ඉතා සංවේගයෙන් යුතුව මෙම තත්වය පිළිබඳව පහදා දෙන පැමෙලා පැවසූයේ මෙම ශෝචනීය තත්වය කොඩේගු දිස්ත්‍රික්කයේ වර්ෂාපතන රටාවන්ට පමණක් නොව, මුළු මහත් දකුණු ඉන්දියාවේම වර්ෂාපතන රටාවන්ට සහ ස්වභාවික ජල සැපයුමට දැඩි ලෙස බලපෑම් සිදුකර ඇති බවයි. දකුණු ඉන්දියාවේ වන ගහණය පසුගිය දශක හතර තුළ මෙතරම් පහත බැස ඇත්තේ වනාන්තර සතු භූමියද විවිධ කෘෂි වගාවන් සඳහා යොදා ගැනීම නිසාවෙනුයි.
පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය
සායි රක්ෂිතය හා සබැඳි මේ සද්කාර්යයට එක්වන්නට මෙන්ම, රක්ෂිත වනාන්තරයේ අසිරිය විඳගන්නට කැමති සියලු දෙනා වෙනුවෙන් මල්හෝත්‍රා යුවළ තම මිත්‍රත්වයේ දෑත දිගුකර සිටිනවා. සායි වනාන්තරය තුළ පරිසර හිතකාමී අයුරින් කුඩා නිවාසද තනා ඇති අතර, එම නිවාස කුලියට ගෙන ඒ තුළ දිනක් දෙකක් කාලය ගත කරන්නටත් මල්හෝත්‍රා යුවළ ඉඩ සලසා දී තිබෙනවා. Eco – Tourism හෙවත් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයටද ඔවුන් උර දෙන්නේ මෙලෙසයි.
සායි වනයේ ආරක්ෂාව වෙනුවෙන් මල්හෝත්‍රා යුවල විසින් SAI Sanctuary Trust (SST) නමින් භාරයක්ද පිහිටුවා තිබෙනවා.
මිනිසුන්ගේ නොමිනිස් ක්‍රියාවන් නිසා අහිමිව යන වන ගහණය වෙනුවෙන් බලධාරීන් විසින් යමක් කරන තෙක් බලා සිටිනවාට වඩා, ස්වෝත්සාහයෙන් යුතුව මේ යුවළ විසින් ඉටු කොට ඇති සද්කාර්යය මේ වන විට විශාල පරිසර අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකික අප හටත් මනා ආදර්ශයක් සපයනවා නොවේද?
කවරයේ ඡායාරූපය ඇතුළු සියළු ඡායාරූප උපුටා ගැනීම – theboredpanda.com
තොරතුරු උපුටා ගැනීම – dailymail.co.uk වෙබ් අඩවියේ “The biggest gardening project ever” ලිපිය සහ boredpanda.com වෙබ් අඩවියේ “Couple Spends 26 Years Replanting A Rainforest They Bought In 1991” ලිපිය ඇසුරිනි.