Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැදපු අල පෙති උපන් හැටි

ලෝකයේ ආහාර පරිභෝජනය ගැන හොයලා බැලුවොත් සහල් වලට පස්සේ වැඩිපුරම ආහාරයට ගන්නේ අර්තාපල්. ඉතා සිහින්ව කපා බැදගත් අලපෙති එහෙමත් නැත්නම් potato chips වලට කවුද අකමැති? ඇමරිකාවේ ජනප්‍රියම කෙටි ආහාරය බවට පත්ව ඇති මෙය මුලින්ම හදලා තියෙන්නේ එංගලන්තයේදීයි.

wallpapersdsc.net

චෝදනාවක ප්‍රතිඵලය Saratoga Chips

මේ ආහාරය හොයාගත්තේ අප්‍රිකානු සහ ඇමරිකානු සම්භවයක් තියෙන ජෝර්ජ් ක්‍රම් විසින්. ඔහු නිව්යෝක්හි Moon Lake හි භෝජනාගාරයේ ප්‍රධාන කෝකියා විදියට රැකියාව කළා. රැකියාව කරමින් සිටින අතරතුර එක් දිනකදී (1853 අගෝස්තු 24) සේවාදායකයෙක්ගෙන් ඔහු ආහාරයට ගත් අලපෙති ඝනැති බවත් වතුර ගතිය වැඩි බවටත් චෝදනාවක් ලැබුණා.

www.youtube.com

මෙයට විසඳුමක් විදියට අලුත් අර්තාපල් ‍ගොඩක් ගත්ත ජෝර්ජ් ඔහුට හැකි උපරිම සිහින් ලෙස ඒවා පෙති කැපුවා. ඉන්පස්සේ මේ අලපෙති හොඳින් බැදගෙන යහමින් ලුණු ඉසගත්තා. මේවා කොයිතරම් සිහින් වුණාද කියනවනම් ගෑරුප්පුවකින් ආහාරයට ගත නොහැකි තරම් තුනී වුණා. මේ අලුත් ආහාරයට අර පැමිණිලි කළ සේවාදායකයා බොහොම කැමති වුණා. ඒ විතරක් නෙවෙයි අනෙක් සේවාදායකයින් අතරත් කඩදාසි තරම් සිහින් බැදපු අල පෙති වලට තිබෙන ඉල්ලුම වැඩි වුණා. ඉන්පස්සේ ජෝර්ජ් ක්‍රම් සේවය කළ Moon Lake නවාතැන්පලට මේ ආහාරය සුවිශේෂ ආහාරයක් වුණා. එය හැඳින්වූයේ  “Saratoga Chips” නමින්.

www.youtube.com

ක්‍රම්ට අහිමි වුණු පේටන්ට් බලපත්‍රය

ජෝර්ජ් ක්‍රම් (6sqft.com)

මේ අළුත් ආහාරය සොයා ගැනීමත් එක්කම සාර්ථකත්වයට පත් ක්‍රම් 1860දී ඔහුගේම අවන්හලක් ආරම්භ කරනවා. “Crumbs House” ලෙස හැඳින්වූ මෙම අවන්හලේ බැදපු අලපෙති කන්න බොහෝ දෙනෙක් පැමිණියා. නමුත් අවාසනාවකට වගේ ඒ කාලයේ කළු සමක් ඇති අයට තමන්ගේ නව හඳුන්වාදීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ නිසා ක්‍රම්ට ඔහුගේ අළුත් ආහාරය සඳහා පේටන්ට් හිමිකම ලැබී නැහැ. අද වනවිට විවිධ සමාගම් විසින් මහා පරිමාණයෙන් මේ රසවත් කෙටි ආහාරය නිෂ්පාදනය කරලා ලාභ ලබන්නේ එහි මුල් නිර්මාණකරුවා ගැන කිසිදු සඳහනක් කරන්නේ ද නැතිවයි.

අවන්හලෙන් ග්‍රොසරියට

www.youtube.com

මුල් කාලයේදී අවන්හල් සහ නවාතැන්පළ වලින් පමණක් ලබා ගත හැකි වුණත් පසු කාලීනව සාමාන්‍ය කඩවලිනුත් මෙය මිලට ගත හැකි වුණා. ඔහියෝහි වාසය කළ විලියම් ක්ලීව්ලන්ඩ් නමැත්තා 1895දී තමන්ගේ නිවසේ සිට සාමාන්‍ය කඩවලට දැමීම සඳහා potato chips හදන්න පටන් ගත්තා. කඩදාසි තරම් සිහින්වට අල පෙති කපාගෙන potato chips හදන එක ඒ තරම් ලේසි වුණේ නැහැ. ඒත් 1920දී ඒ සඳහා යන්ත්‍රයක් හඳුන්වා දීමත් එක්කම ඒ කාර්යය පහසු වුණා.

ඇසුරුමේ ඇරඹුම

මුල් කාලයේදී අලපෙති ගබඩා කර තැබුවේ විස්කෝතු බරණි වල සහ ආහාර ප්‍රදර්ශනය සඳහා තිබෙන වීදුරු රාක්ක වලයි. මේවා අවශ්‍ය ප්‍රමාණය කඩදාසි බෑග් වල දමා විකුණනු ලැබුවා. නමුත් 1926දී අලපෙති වෙළඳාම් කළ කැලිෆෝනියාවේ විසූ ලෝරා ස්කඩර් විසින් බැදපු අලපෙති ඉටි බෑග් වල දමා විකිණීම ආරම්භ කළා. අලපෙති වැඩි කාලයක් නැවුම්ව, නොකැඩී තබාගන්න මෙය උපකාරී වුණා. වර්තමානයේදී නම් මේවා විවිධ ඇසුරුම් වලින් වෙළඳපොලට පැමිණෙනවා.

පළමු සන්නාමය

wordpress.com

1920දී ගෙයින් ගෙයට අලපෙති විකුණමින් ගිය හර්මන් ලේ නමැත්තෙක් ඉතා සාර්ථකව මේ නිෂ්පාදනය සඳහා වෙළඳපොලක් නිර්මාණය කර ගැනීමට සමත් වුණා. හර්මන් ගේ බැදපු අල පෙති පළමුව සාර්ථක ලෙස වෙළඳපොළ ආක්‍රමණය කළ potato chips සන්නාමය වුණා. මහා පරිමාණයෙන් අලපෙති නිෂ්පාදනය ආරම්භ වුණේ 1938 වර්ෂයේදීයි. 1961දී හර්මන් ඔහුගේ ව්‍යාපාරය Frito ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කළා.

විවිධ රසයෙන්!

1950 වනතෙක් ලුණු හැර අලපෙති රස ගන්වන්නට වෙනත් කිසිවක් භාවිතා කළේ නැහැ. Tayto නම් අලපෙති සමාගමේ හිමිකරුවා වූ අයර්ලන්ත ජාතික ජෝ මර්ෆි (Joe “Spud” Murphy) අලපෙති නිෂ්පාදනය කරන අතරතුරදී ඒවා රසගන්වන්නට ක්‍රමයක් හඳුන්වා දුන්නා. චීස්, ළුෑණූ, ඇඹුල් සහ ලුණු රසැතිව ඔවුන් මුලින්ම බැදපු අලපෙති නිෂ්පාදනය කළා. මේ පෙළඹවීමත් එක්කම අනෙක් නිෂ්පාදකයනුත් මේ පිළිබඳව වැඩියෙන් උනන්දු වුණා. 1958දි බාබෙක්‍යු රසැති අලපෙති හඳුන්වා දුන්නේ පෙන්සල්වේනියාවේ හෙයර් සමාගම විසිනුයි.

Potato chips ගැන මුලින්ම මුද්‍රිත මාධ්‍යයක සඳහන් වෙන්නේ “A Tale of Two Cities” කියන චාල්ස් ඩිකන්ස්ගේ පොතේ යි. ගොරෝසු අලපෙති ලෙස ඔහු එය සඳහන් කර තිබෙනවා. 1963 දී හර්මන් ගේ Potato chips සමාගම වෙනුවෙන් Young & Rubicam වෙළඳ ප්‍රචාරණ සමාගම විසින් “ඔට්ටුයි, එකක් පමණක් නම් කන්න බැහැ” (Betcha can’t eat just one) නමින් වෙළඳ දැන්වීමක් නිර්මාණය කරනු ලැබුවා. මෙහි රංගනයේ යෙදුණේ බර්ට් ලාර් විසින්.

අද වන විට විවිධ සන්නාම යටතේ මෙම කෙටි ආහාරය මිලට ගන්න පුළුවන්. ඒ අතරින් ඉහළම ඉල්ලුමක් තියෙන සන්නාමය වෙන්නේ Frito-Lay නිෂ්පාදනයයි. ඊට අමතරව වෙළඳපොලේ ඉහලම ඉල්ලුමක් තියෙන potato chips සන්නාම මොනවද කියලා කියන්නයි දැන් සූදානම.

1. Lay’s

businessinsider.com

ඉහළම ඉල්ලුමක් තියෙන potato chips වර්ගය නිපදවන්නේ Frito-Lay සමාගමයි. පෙර සඳහන් කළ විදියට 1932දී හර්මන් ලේ විසින් ආරම්භ කළ කෙටි ආහාර සමාගම ඔහු Frito සමාගම සමඟ ඒකාබද්ධ කළා. Frito සමාගම 1961දී එල්මර් ඩූල්න් විසින් ආරම්භ කළ අතර ඔවුන් බාබෙක්‍යු, මෝරු, ළුණු, ගම්මිරිස්, හැම් සහ ලුණු රසැති potato chips නිපදවනවා.

2. Ruffles

amazon.com

Ruffles කියන්නෙත් Frito-Lay සමාගම විසින් වෙළඳපොළට නිකුත් කෙරෙන තවත් නිෂ්පාදනයක්. Frito-Lay සමාගම 1958දී Ruffles සමාගමේ හිමිකම් ලබා ගන්නවා. Ruffles වලට ඒ නම ලැබිලා තියෙන්නේ ඒ නිෂ්පාදනයට ආවේණික රැළි සහිත ස්වභාවය නිසයි. මේ සමාගම චීස් සහ මෝරු, ළුෑණු සහ මෝරු, මිරිස් සහ චීස්, අබ, මී පැණි සහ ගම්මිරිස් රසයෙන් යුතු potato chips නිපදවනවා.

3. Pringles

ytimg.com

Pringles කියන්නේ අර්තාපල් සහ තිරිඟු මිශ්‍ර කෙටි ආහාරයක්. ෆෙඩ්රික් බෝර් සහ ඇලෙක්සැන්ඩර් ලීපා විසින් මෙම ආහාරය වැඩිදියුණු කර තිබෙනවා. මිරිස්, චීස්, මුහුදු පැළෑටි, කුරුඳු, මෝරු වැනි රසයන්ගෙන් යුක්ත මෙය නිපදවන ලද්දේ Procter & Gamble සමාගම විසින්. 2012 මාර්තු 31 වැනිදා එම සමාගම Kellog සමාගම විසින් නිල වශයෙන් ලබාගත්තා.

4. Utz

ඇමරිකානු සමාගමක් වන Utz Quality Foods මඟින් නිපදවන මෙම වර්ගයේත් විවිධ රසැති potato chips අඩංගුයි. මෙම සමාගමේ ආරම්භක සාමාජිකයන් වන්නේ විලියම් සහ සැලී අට්ස්.

5. Kettle

amazonaws.com

1978 කැමරන් හිලි විසින් ආරම්භ කළ Kettle Foods සමාගම මුලින්ම potato chips නිෂ්පාදනය කළේ 1982 වර්ෂයේදීයි. ආහාර නිෂ්පාදනය සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගන්නා සමාගමක් ලෙස මොවුන් බොහොම ප්‍රසිද්ධයි. ඔවුන් නිපදවන රසවර්ග අතර චීස්, මෝරු, මී පැණි, ලුණු සහ බාබෙක්‍යු  ඇතුළත් වෙනවා.

6. Cape Cod Potato Chips

එංගලන්ත සමාගමක් වන මෙය 1980දී ලින් සහ ස්ටීව් බර්නාඩ් විසින් ආරම්භ කළා. ඔවුන්ගේ නිෂ්පාදන ලුණු, ගම්මිරිස් සහ ධාන්‍ය වර්ග රැසක රසයන්ගෙන් යුක්තයි.

7. Herr’s

www.herrs.com

1946 දී James S. Herr විසින් අරඹන ලද මෙම සමාගම රස ගැන්වූ අලපෙති හඳුන්වා දුන්නේ 1958 වසරේදීයි. සැර රසයකින් යුත් අල පෙති නිෂ්පාදනයක් ලෙස මෙම වර්ගය ප්‍රසිද්ධයි. එකිකෙනට වෙනස් රසයන් 25කින් පමණ මේවා මිලට ගත හැකියි.

8. Wise

1921 දී ආරම්භ කළ Wise Foods සන්නාමය යටතේ නිපදවන Wise potato chips ව්‍යාපාරය දියුණු වු‍ණේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි.

9. Popchips

මෙම සන්නාමය යටතේ අර්තාපල් වල සැබෑ රසැති නිෂ්පාදන වගේම ළුෑණු, කේජු, පැඟිරි, සුදුළුණු, බාබෙක්‍යු සහ බතල රසයෙන් යුත් නිෂ්පාදනත් තියෙනවා. 2007 වසරේදී කීත් බෙලිං සහ පැට් ට්‍යුරින් විසින් මෙම සමාගම ආරම්භ කළා.

10. Golden Flake

මේ සන්නාමය 1923දී  මෝස් ලිෂ්කොෆ් සහ ෆ්‍රෑන්ක් මොෂර් යන අය විසින් ඇලබාමාහි බ්‍රිමිංහම්හිදී ආරම්භ කළා. ඔවුන් ගේ අලපෙති නිෂ්පාදන අතර ගම්මිරිස්, ලුණු, බාබෙක්‍යු සහ සූදුරු රසයෙන් යුත් නිෂ්පාදන දක්නට ලැබෙනවා.

කවරයේ පින්තූරය – alphacoders.com

මූලාශ්‍ර – www.thoughtco.com, wonderopolis.org, www.therichest.com, www.kitchenproject.com, www.foxnews.com

Related Articles