Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවුරුත් දන්න විනී ද පූ (Winnie the Pooh) ගේ නොදන්න කතාව

රතු පැහැයට හුරු ටී ෂර්ට් එකකින් සැරසී ඉන්න කහ පාටට හුරු වලස් පැටියාව නොදන්නා කෙනෙක් නැති තරම්. පොත් කවර, ස්ටිකර්, බෑග්, ඇදුම් ආදී වෙළෙඳ භාණ්ඩ රැසකම විනී ද පූ සුලබව දකින්නට පුළුවන්. නමුත් අපි හැමෝම හිතනවාට වැඩිය මේ වලස් පැටියාට ගොඩක් වයස යි. මීට අවුරුදු 100කට පමණ පෙර නිර්මාණය වූ විනී ද පූ සහ එයාගෙ යාළුවෝ කියන්නේ ඇත්ත චරිත පාදක කරගෙන නිර්මාණය වූ අය.

මී පැණි කන්නට ගොඩක් ආසා කරන, අහිංසක, සහ හැමෝම එක්ක මිත්‍රශීලී පූ වලසා ජීවත් වෙන්නේ කැලයේ ගස් බෙනයක් ඇතුළේ තියෙන එයාගෙ ගෙදර. ටිගර් කියන කොටියා, පිග්ලට් නම් ඌරු පැටියා, ඊයොර් නම් බූරුවා, කැන්ගා නම් කැන්ගරු මව සහ ඇගේ පැටවා වන රූ, රැබිට් නම් හාවා, අවුල් නම් බකමූණා, සහ ලම්පි නම් අලි පැටවාට අමතරව ක්‍රිස්ටෝපර් රොබින් කියන කුඩා පිරිමි ළමයා ද පූ වලසාගේ යහළුවන්ට ඇතුළත් වෙනවා. මේ හැමෝම එකතු වෙලා නත්තල් සමරනවා, පාටගැන ඉගෙන ගන්නවා, අකුරු සහ ඉලක්කම් ඉගෙන ගන්නවා වගේම විවිධාකාර වූ විනෝදජනක ක්‍රියාකාරකම්වල නිරත වෙනවා.

විනී ද පූ සහ මිතුරන්/ The New York Times

“විනී ද පූ” කියන චරිතය නිර්මාණය කරන්නට මූලික වෙන්නේ පළමු ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව යටතේ සේවය කළ, ලන්ඩන්හි නවකතා රචකයෙකු සහ කවියෙකු වූ ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්න්.

මිල්න්ගේ කුඩා පුතා වන ක්‍රිස්ටෝපර් රොබින්ට පළමු වන උපන්දිනය දා ලැබුණු, ඔහු නිතරම සෙල්ලම් කරන්නට පුරුදුව සිටි කුඩා වලස් පැටවා මිල්න්ට විනී ද පූ චරිතය පිළිබඳ මුලින්ම අදහසක් ලබා දුන්නා. අපි හැමෝම දන්නා විනී ද පූ කියන නමේ “විනී” කියන කොටස ලබා ගන්නේ ලන්ඩන් සත්ත්ව උද්‍යානයේ සිටි කැනේඩියානු කලු වලසෙකුගෙන්. 1914 දී කැනේඩියානු හමුදා නිලධාරියෙකු වූ හැරී කෝල්බර්න් විසින් මාස 7ක් වයසැති ගැහැණු වලස් පැටවෙකු මිල දී ගන්නවා. දඩයක්කරුවන් ඇයගේ මව මරා දමා තිබූ අතර හැරී ඇයව විනී ලෙස නම් කරනවා. පසුව හැරී විනීව ලන්ඩන් වෙත රැගෙන ආ අතර ලන්ඩන් සත්ත්ව උද්‍යානයට ඇයව භාර දෙනවා. කාලයත් සමග විනී සත්ත්ව උද්‍යානයට පැමිණෙන සියලු දෙනා අතර ජනප්‍රිය වෙනවා.

ක්‍රිස්ටෝපර් රොබින් සත්ත්ව උද්‍යානය නැරඹීමට ගිය අවස්ථාවක විනී කෙරෙහි ඔහුට ඇති වූ ආදරය නිසා තම සෙල්ලම් වලසාගේ නම ද විනී ලෙස වෙනස් කිරීමට යොමු වෙනවා. එසේම ඔහු පූ කියන නම හංසයකුගෙන් ද යොදා ගන්නවා. කතාවේ අනෙකුත් චරිතවලට මිල්න් යොදාගන්නේ ක්‍රිස්ටෝපර්ගේ අනෙකුත් සෙල්ලම් බඩු යි. අවුල් සහ රැබිට් යන චරිත මිල්න් විසින් මවාගත් ඒවා වෙනවා. විනී ද පූ ගේ අනෙක් යාලුවා වන ක්‍රිස්ටෝපර් රොබින්ට පාදක වෙන්නේ දැනටමත් ඔබ දන්නා ඔහුගේ කුඩා පුතා යි. 

පූගේ පියා, ක්‍රිස්ටෝෆර් රොබින්, සහ සෙල්ලම් වලසා/ Time

1924 වසරේ දී “ටෙඩී බෙයා” නමින් කවි පෙළක් මිල්න්ගේ “When we were young” කියන කෘතියෙන් එළිදක්වනවා. ඊට පාදක වී තිබුණේ ඔහුගේ පුතුගේ සෙල්ලම් වලසා වන එඩ්වඩ් ය.1925 වසරේ දී ලන්ඩන් ඊවිනින්ග් නිව්ස් නම් පුවත්පතේ, The wrong sort of bees නම් වු කතාවේ ද පූ නම් වූ වලස් පැටවා ගැන ඇතුළත් වුණා. 1926 දී විනී ද පූ කතා පොතක් ලෙස එළි දැක්වූ අතර 1932 වසරේ දී එය වර්ණ මුද්‍රිතයක් ලෙස එළිදැක්වුණා. මිල්න් විසින් මෙම කෘතිය පළ කිරීමත් සමග එය සියලු දෙනාගේම සිත් දිනා ගන්නට සමත් වුණා. එම පොතේ ලතින් පරිවර්තනය නිව්යෝක් ටයිම්ස් බෙස්ට් සෙලර් ලිස්ට් ඇතුළු වූ විදේශීය භාෂාවකින් රචිත ප්‍රථම ග්‍රන්ථය ද වුණා.

1961 වසරේ දී මෙම කතාව ඩිස්නි සමාගම විසින් ඔවුන්ගේ නිර්මාණ සදහා යොදාගැනුනා. ඩිස්නි සමාගම හරහා විනී ද පූ ගේ චරිතයට ලොව පුරා සිටින රසිකයන් වෙත වඩාත් සමීප වන්නට අවස්ථාව ලැබෙනවා. 1966 දී ඩිස්නි සමාගම විනී ද පූ කියන චරිතය පළමු වරට ඔවුන් හරහා හඳුන්වා දෙනවා .

විනී ද පූ ගේ චරිතය පළමු වරට රූපවාහිනි වැඩසටහනක් ලෙස Welcome to the Pooh corner නම් වැඩසටහන හරහා ජනතාවට සමීප වෙනවා. කාගෙත් ආදරය දිනා ගන්නට සමත් වූ මෙම චරිතවලට පාදක වූ ක්‍රිස්ටෝපර්ගේ සෙල්ලම් බඩුවලින් පූ, කැන්ගා, ටිගර්, පිග්ලට්, සහ ඊයො 1987 දී ක්‍රිස්ටෝපර් රොබින් විසින් නිව්යෝක් මහජන පුස්තකාලයට පරිත්‍යාග කරනවා. අදටත් ඔවුන් එහි සංරක්ෂිතව තිබෙන ආකාරය දකින්නට පුළුවන් . 1988 සිට ජිම් කමින්ග්ස් නම් වූ ඇමෙරිකානු හඬකැවීම් ශිල්පියා විසින් විනී ද පූ ගේ චරිතයට මෙන්ම ටිගර් ගේ චරිතයට ද හඩ කැවීම සිදු කරනවා .

Disney Wiki – Fandom

විනී ද පූ ගැන මෑත කාලයේ යළිත් කතා බහට ලක් වන්නේ 2018 වසරේ දී එළිදැක්වූ Christopher Robin කියන චිත්‍රපටය නිසා යි. ඉවන් මැග්‍රේගර් මෙහි ක්‍රිස්ටෝපර් රොබින් ගේ චරිතය රඟ දක්වනවා. බොහෝ දෙනා මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන්නේ අපි හැමෝම දන්නා විනී ද පූ සහ ඔහුගේ යාලුවන්ගේ කතාවට වඩා ගැඹුරට ගිය, වර්තමාන කලබලකාරී ජීවන රටාව සහ ඒ නිසා ක්‍රිස්ටෝපර්ට මඟහැරුණු කුඩා කාලයේ මිතුරුකම් පිළිබඳව පෙන්වන අපූරු චිත්‍රපටයක් ලෙස යි.

වසර ගණනාවක් පුරාවට බාල මහලු කාගෙත් සිත් දිනා ගනිමින්, ලොව කුඩා දරුවන් විශාල ප්‍රමාණයකගේ ආදරය දිනා ගත් විනී ද පූ තවත් දිගු කාලයක් පුරාවට ද සියලු දෙනාගේ සිත්වල රැඳේවී.

Related Articles