පරිසරයට කසළ එකතුවීම කියන්නේ ලෝකයේ සෑම රටකටම තිබෙන විශාල ගැටලුවක්. නූතන පරිභෝජනවාදී ජීවන රටාව නිසා බැහැර කෙරෙන කසළ ප්‍රමාණයත් අතිවිශාල යි. මේ විශාල ප්‍රශ්නයට විවිධ රටවල් විවිධාකාර විසඳුම් ලබාදෙනවා. 1980 දී දුර්භික්ෂයෙන් පෙළී දරිද්‍රතාවයේ පතුළටම වැටී සිටි ඉතියෝපියාව, අද වෙනකොට ශීඝ්‍ර සංවර්ධන වේගයක් පෙන්වමින් සිටින රටක්. කසළවලින් බලශක්තිය නිපදවීම ආරම්භ කළ අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට පත්වෙන්නේ ඉතියෝපියාව යි. මේ ඉතියෝපියානුවන් කසළින් බලශක්තිය උපදවන කතාව යි.
අඩිස් අබාබා නුවර කසළ ගැටලුව
ඉතියෝපියාවේ අගනුවර වෙන අඩිස් අබාබා නගරයේ එකතුවෙන කසළ බැහැර කෙරුවේ නගරයෙන් මදක් ඈතට වන්නට පිහිටි කෝශේ ප්‍රදේශයට යි. වසර 50කට පමණ ආසන්න කාලයක් තිස්සේ මෙලෙසින් අඩිස් අබාබා නගරයේ කැළි කසළ කෝශේ වෙත ගෙනැවිත් දැමීම සිදුවුණා. මුලින්ම ඒ විදියට කසළ බැහැර කිරීමේ අරමුණ වුණේ කෝශේ ප්‍රදේශයේ ඉඩම් ගොඩකිරීම. නමුත් ඉඩම් ගොඩකිරීමෙන් නතර නොවී දිගින් දිගටම ඒ ප්‍රදේශයට කසළ බැහැර කිරීමට ඉතියෝපියානු බලධාරීන් කටයුතු කිරීම නිසා වර්තමානය වන විට එම කසළ කන්ද ප්‍රමාණයෙන් අක්කර 63කටත් වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබෙනවා. සිය ගණනක් ඉතියෝපියානුවන් කසළ එකතු කිරීම සහ කසළවල ඇති යළි විකිණිය හැකි ද්‍රව්‍ය එකතුකර විකිණීම සිදුකරමින් මේ කසළ කන්දේම පදිංවි වී සිටියා. නමුත් මේ සා විශාල කසළ ප්‍රමාණයක් මඟින් සිදුකරන මීතේන් වායු විමෝචනය සහ කැළි කසළ නිසා ජල මූලාශ්‍ර දූෂණය වීම වගේ ගැටලු ද ඉතියෝපියානුවන්ව නිරන්තරයෙන්ම පෙළනු ලැබුවා.
ඔබට මතක ඇති 2017 වසරේ අප්‍රේල් මාසයේ දී අපේ රටේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා සිදුවූ ඛේදවාචකය. ඒ ආකාරයේම ඛේදවාචකයක් කෝශේ කුණු කන්ද නාය යාම නිසාත් සිදුවුණා. ඉතියෝපියානුවන් 115ක් මරණයට පත් කරමින් 2017 වසරේ මාර්තු මාසයේ දී සිදු වූ මේ ඛේදවාචකය හේතුවෙන් ඉතියෝපියානු රජය දින 3ක ශෝක කාලයක් ද ප්‍රකාශ කෙරුවා.
ඉතියෝපියානු බලශක්ති අර්බුධය
සීග්‍රයෙන් දියුණු වෙන රටක් විදියට, රටේ ඉල්ලුමට අවශ්‍යය බලශක්ති සැපයුම ලබාදෙන්න ඉතියෝපියානු රජයට හැකියාවක් තිබුණේත් නැහැ. තවමත් නගරයෙන් ඈත ජීවත්වෙන ඉතියෝපියානුවන්ගෙන් 43%කට පමණ යි විදුලි බල සැපයුමක් තියෙන්නේ. අගනුවර වාසීන්ගෙන් ආසන්න වශයෙන් 85%කට බලශක්ති සැපයුම තිබුණත්, රටේ අගනුවරත් විදුලිය නොමැති ප්‍රදේශ තිබීම යහපත් දෙයක් නෙමෙයි කියන එක යි අපේ නම් අදහස. ඉතියෝපියානු රජය රටට අවශ්‍යය බලශක්තිය ඉපදවීම පිළිබඳවත් දැඩි අර්බුධයකින් පෙළෙමිනු යි සිටියේ.
Project Reppie
කසළ කඳු ප්‍රසාරණය වීමේ ගැටලුව සහ බලශක්ති අර්බුදය කියන මේ ප්‍රධාන ගැටලු දෙකටම පිළියම විදියට තමයි Project Reppie එහෙමත් නැතිනම් කැළි කසළින් බලශක්තිය (Waste to Energy) ව්‍යාපෘතිය ඉදිරියට එන්නේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉතියෝපියානු රජයේ සහ ජාත්‍යන්තර සමාගම් කීපයක එකමුතුවකින්. ඒ ජාත්‍යන්තර සමාගම් එකමුතුවේ සාමාජිකයන් ලෙස, කසළ කළමනාකරණ සහ පුනර්ජනනීය බලශක්තිය ඉපදවීමේ සිංගප්පූරු සමාගමක් වන කේම්බ්‍රිජ් ඉන්ඩස්ට්රීඩ් ලිමිටඩ් ආයතනය, චීන රජයට අයත් ජාත්‍යන්තර ඉංජිනේරු සමාගමක් වන ජාතික විදුලි ඉංජිනේරු සමාගම, නගර සැලසුම්, ජල කළමනාකරණය පිළිබඳ නෙදර්ලන්ත සමාගමක් වන රැම්බෝල් යන ආයතනයන් කටයුතු කරනවා. මේ එකමුතුව පිහිටුවා ගන්නා ලද්දේ අප්‍රිකානු කලාපයේ රටවල දැවෙන ගැටලුවක් බවට පත්ව ඇති කසළ ගැටලුවට පිළියමක් ලෙස කැළි කසළින් විදුලිය ඉපදවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහාම යි. පළමු ව්‍යාපෘතිය වුවත් ඉඳිරියේ දී අප්‍රිකානු කලාපය පුරාම මේ ව්‍යාපෘතීන් ඉදිකිරීමට ඉතියෝපියාව බලාපොරොත්තු වෙනවා.
කැළි කසළින් බලශක්තිය උපදවන්නේ කොහොමද?
මේ සඳහා භාවිතා කරන්නේ සාමාන්‍ය ජනාවාසවලින් බැහැර කරන කැළි කසළ යි. ආහාර අපද්‍රව්‍යය, සත්ත්ව කොටස්, කඩදාසි, කාඩ්බෝඩ්, කපා දැමූ ගස් අතු, ඉවත දමන ලද දැව කොටස්, සත්ත්ව සම් ආශ්රිත නිෂ්පාදන, ප්ලාස්ටික්, වීදුරු, යකඩ සහ අනෙකුත් සින්තටික් අපද්‍රව්‍යය මෙයට යොදා ගන්නවා. කාර්මික කැළි කසළ මේ වෙනුවෙන් භාවිතා කරන්නේ නැත්තේ ඒවාගෙන් විවිධාකාර විෂ නිකුත්වීමට ඉඩ ඇති නිසා යි. මේ විදියට එකතු කරගන්නා කැළි කසළ ප්‍රධාන දාහකය තුළ දී දහනය කරනවා. මේ හරහා සෙල්සියස් අංශක 1800ක් පමණ වෙන අධික උෂ්ණත්වයක් උත්පාදනය කෙරෙන අතර, එම උෂ්ණත්වය මත ජලය රත් කර එය හුමාලය බවට පත්කිරීම සිදු කරනවා. Project Reppieදී මේ හුමාලයෙන් ටර්බයිනයන් යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර විදුලිය ජනනය කිරීම සිදුකරනවා.
බලාගාරයෙන් බැහැර කරන සියලු දේ (දුම, අළු, අනෙකුත් අපද්‍රව්‍ය) යුරෝපා එකමුතුවේ (European Union) සම්මතයට අනුව බැහැර කළ යුතු යි. එහි දී වැඩි දියුණු කරන ලද දුම් නළය මඟින් අවකාශයට මුදාහරින වාතය යළිත් මුළුමනින්ම පිරිසිදු කරනවා. ඒ හරහා පරිසර දූෂණය අවම කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ ආකාරයට කැළි කසළ භාවිතා කරමින් විදුලිය උත්පාදනය කිරීම, පරිසරය සුරැකීම අතින් ඉතාම වාසි සහගත ක්‍රියාවලියක්. මේ හරහා කැළි කසළ ගොඩගැසීමට භාවිතා කරන ඉඩම් ප්‍රමාණය ඉතා අඩු යි. ඒ හරහා විශාල ලෙස සිදුවන පරිසර හානිය තුරන් කෙරෙනවා මෙන්ම පරිසරයට දැඩිව හානිකරන මීතේන් වැනි හරිතාගාර වායූන් නිර්මාණය වීම අවම වෙනවා. මීට අමතරව ස්වභාවික සම්පත් වියෝජනය නොකර විදුලිය උත්පාදනය කිරීමටත් හැකිවෙනවා. මේ අනුව බලනා විට කැළි කසළින් විදුලිය උත්පාදනය කිරීම බොහෝ අංශවලින් රටක් ඉදිරියට ගෙන යන ක්‍රියාවක්.
Project Reppie අරමුණු
අඩිස් අබාබාහි දෛනිකව එකතුවන කසළ ටොන් 1400ක් බලශක්තිය උත්පාදනය වෙනුවෙන් දහනය කිරීම සිදුකරනවා. එය සමස්ත දෛනික කසළ ප්‍රමාණයෙන් 80%ක පමණ ප්‍රමාණයක්. ඒ හරහා වාර්ෂිකව ගිගා වොට් පැය 185ක විදුලියක් උත්පාදනය කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ යි. මෙයින් අගනුවර වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 30%ක් සම්පූර්ණ කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දහනයෙන් පසු ඉවතලන අළුවලින් නිවාස සෑදීමට උපයෝගී කරගන්නා ගඩොල් මිලියන 3ක් නිර්මාණය කිරීමටත් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ විතරක් නෙමේ, කසළ බැහැර කිරීමේ දී වගුරු බිම් ගොඩවීම නිසා විනාශ වන ජලය ලීටර් මිලියන 30ක් ආරක්ෂා කරගැනීමත් මේ ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණක්. මේ ව්‍යාපෘතියෙන් නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් උත්පාදනය වීමට ද නියමිත යි. එම රැකියා ලබාදීමේ දී මීට පෙර කෝශේ කසළ කන්දේ පදිංචිව සිට කසළ යළි විකිණීම සිදු කළ අඩු ආදායම් ලාභී ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබාදීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
Project Reppie හරහා මේ අරමුණු සියල්ල සාක්ෂාත් කරගන්නට ඔවුන්ට හැකිවේවි කියන එක තමයි අපේ අදහස.
ලෝකයේ අනිත් රටවල උදාහරණ
කැළි කසලින් බලශක්තිය උත්පාදනය කිරීම යුරෝපයේ බොහෝ රටවල සිදුකරන දෙයක්. ජනාවාස ආශ්‍රිතව එකතුවන කසළවලින් 25%ක පමණ ප්‍රමාණයක් මේ ආකාරයට විදුලි උත්පාදනය සඳහා යෙදවීමට බොහෝ යුරෝපීය රටවල් කටයුතු කර තිබෙනවා. ප්‍රංශයේ 126ක්, ජර්මනියේ 121ක්, ඉතාලියේ 40ක් මෙන්ම එක්සත් රාජධානිය තුළ මෙවන් බලාගාර 37ක් ක්‍රියාත්මක යි.
Project Reppie හරහා වෙනස් වන ඉතියෝපියාවේ අනාගතය
මේ ව්‍යාපෘතිය ඉතියෝපියාවේ දුප්පත්කම තුරන් කිරීමට සහයෝගයක් වේවි යි ඉතියෝපියානු බලධාරීන් විශ්වාස කරනවා. ඒ මේ හරහා උත්පාදනය කරන විදුලිය නිසා විදුලිය නොමැති අයට විදුලි බලය ලබාදීමට හැකිවීම හේතුවෙන්. ඒ වගේම රැකියා විරහිතව සිටි කෝශේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවට මේ හරහා ලැබෙන රැකියාවන් හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වේවි කියන බලාපොරොත්තුවත් ඔවුන්ට තිබෙනවා. ඒ වගේම කැළි කසළ පරිසරයට මුදා හැරීම නිසා ඇතිවෙන සෞඛ්‍ය ගැටලු නිම වී ඒ හරහා සෞඛ්‍ය සම්පන්න නිරෝගී ප්‍රජාවක් ඉඳිරියේ දී නිර්මාණය වේවි කියන බලාපොරොත්තුවත් ඔවුන් ගෙනහැර දක්වනවා. මේ සියල්ලම හරහා ඉතියෝපියාව වඩාත් සුන්දර දේශයක් කිරීම ඔවුන්ගේ අවසාන අරමුණ විදියට පෙන්වා දෙනවා.
අඳුරට සාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වා ආලෝකය ලබා ගැනීම උතුම් බව අපි දන්නවා. ශ්‍රී ලංකාවටත් කැළි කසළ විශාල ප්‍රශ්නයක්. කොළඹ නගරය ආශ්‍රිතව පමණක් විශාල ප්‍රමාණයේ කසළ කඳු දෙකක් අදටත් විරාජමානව පවතිනවා. ඒ කසළ කඳු භාවිතා කරමින් කවදා අපි ඵලදායී යමක් සිදු කරයි ද?
මූලාශ්‍රයයන්: