එංගලන්ත මහ රැජනගේ මරණය හා එයින් පසු සිදුවන දේ ගැන මුළු ලෝකයක් පසුවෙන්නේ කුතුහලයෙන්. ඇය මිය ගියා ම ඉදිරියට සිදු වෙන කටයුතු ගැනයි මේ ලිපිය.
සයවෙනි ජෝර්ජ් රජතුමාගේ මරණෙන් පස්සේ බ්‍රිතාන්‍ය කිරීටයේ මහ රැජන විදිහට දෙවෙනි එළිසබෙත් රැජන හෙවත් එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි රාජ්‍යත්වයට පත්වෙන්නේ 1952 දී. ඒ වෙනකොට ඇය අවුරුදු 26ක් වගේ බොහො ම තරුණ වයසක පසුවුණු, දරුවන් සිව් දෙනකුගේ මවක්. පුරා අවුරුදු 70ක් පුරාවට බ්‍රිතාන්‍යය කිරීටයේ බලයේ හොබවමින් සිටින ඇය, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53ක නායකයා ලෙසත් කටයුතු කර තියෙනවා. සිය රාජ්‍ය කාලය පුරා අගමැතිවරුන් 13ක්, අමෙරිකානු ජනාධිපතිවරුන් 13ක් සමඟ ගනුදෙනු කරන්නත් එළිසබෙත් රැජන සමත් වුණා.
දැනට 95වෙනි වියේ පසුවෙන එළිසබෙත් රැජන ගිය අවුරුද්දේ අග භාගයේ දී කෝවිඩ් වසංගත තත්ත්වයටත් ගොදුරු වුණා. අසනීප තත්තවයත් එක්ක ම සති ගණනාවක් පුරාවට ඇතිවුණ ඇගේ නිහඬතාව නිසා ලෝකේ කටකතා පැතිරෙන්න පටන් ගත්තා “රැජන මියගිහින්” කියලා. ඒ එක්කම බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා ඇත්තට ම රැජන මියගිහින් නම්, බ්‍රිතාන්‍යය කිරීටයේ කිරුළේ මීළඟ හිමිකාරිත්වය ලැබෙන්නේ කාටද කියලා.
බොහෝ දෙනෙක් දැනුම්වත් විදිහට ම රැජනගේ මරණයෙන් පස්සේ ඇගේ කිරුළට ඊළඟ සුදුසුකම් කියන්නේ ඇගේ වැඩිමල් පුත්‍රයා වන චාල්ස් හෙවත් වේල්සයේ ආධිපාදවරයා යි. ඒ පත්වීමත් එක්ක ම ඔහු තුන්වන චාල්ස් රජතුමන් බවටත්, ඔහුගේ බිරිය කැමිලා රෝස්මරි හෙවත් කොන්වෝල්හි ආධිපාදවරිය “කැමිලා රැජන” බවටත් පත්වෙනවා.
රැජනගේ මරණය හා එයින් පසු සිදු වන දේ සහ ඒ දේ සිදුවිය යුතු ආකාරය ගැන මුළු ලෝකයක් පසුවෙන්නේ කුතුහලෙන්. රැජනගේ පවුල සහ ඇය යටතේ සේවය කරන නිලධාරි මඬුල්ලනම් මේ අවමංගල්‍ය කටයුතු සිදුවෙන ආකාරය සහ ඉනික්බිතිව අනුගමනය කරන කාර්යපටිපාටිය ගැන අවුරුදු 50කට අධික කාලයක සිට දැනුම්වත්. වසර ගණනාවක් පුරා යාවත්කාලීන වුණු එම ක්‍රියා පටිපාටිය වෙනුවෙන් ඔවුන් යොදා ගන්න ඛේතය වෙන්නේ “Operation London Bridge” යන්න යි. රැජනගේ මරණය සිදුවුණ දවසේ ඉදන් භූමදාන දිනය දක්වා සිදුවිය යුතු සම්පූර්ණ අවමංගල්‍ය වැඩපිළිවෙළ පිළිබඳ විස්තර එහි සඳහන්.
මීට පෙර රාජ්‍යත්වයට පත් වූවන් වෙනුවන් වගේ ම ඉරිදියට කිරුළ දරන්නට හිමිකම් කියන්නන් වෙනුවෙනුත් මෙවැනි අවමංගල්‍ය සැලසුම් සූදානම්. එළිසබෙත් රැජනට පෙර රාජ්‍යත්වය හෙබැවූ සයවෙනි ජෝර්ජ් රජතුමන් වෙනුවෙන් භාවිත කළ ඛේතය තමයි ‘Hyde Park Corner’ කියන්නේ. ඒ වගේම රැජනට පසු කිරුළ දරන්නා ලෙස පිළිගන්න චාල්ස් කුමාරයා වෙනුවෙන් භාවිත කරන්නේ “Operation Menai Bridge” කියන රහස් යෙදුම.
එළිසබෙත් රැජන මරණයට පත් වුණොත්, අවමංගල්‍ය පණිවිඩය රජ මාලිගයෙන් පිටතට දැනුම් දීමේ වඟකීම උසුලන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා යි. ඔහු ඒ ශෝකජනක ආරංචිය මුලින් ම දැනුම් දෙන්නේ අගමැතිවරයාට. එතැනින් පසු පණිවිඩය යන්නේ රැජන යටතේ ඉන්න සිවිල් නිලධාරීන්ට. ඔවුන්ට ඒ බව දැනුම් දෙන්නේ London Bridge මෙහෙයුමේ සඳහන් විදිහට යවන රහසිගත පණිවිඩයක් හරහා,
ඒ, “London Bridge is down – ලංඩන් පාලම කඩාගෙන වැටිලා”. මහ රැජන සිය නායකයා විදිහට සලකන බ්‍රිතාන්‍යයෙන් පිටත රටවල් 15කට වගේ ම ඇය සිය නාමික නායකයා ලෙස සලකන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කට London Bridge is down කියන රහසිගත පණිවිඩය මාර්ගයෙන් මේ පිළිබඳ දැනුම් දෙනවා.
ලොව පුරා රාජ්‍ය නායකයන් අතරට රහසිගත ව යන අවමංග්‍ය නිවේදනය ඊළඟට නිකුත් වෙන්නේ මාධ්‍යයට. වසර ගණනවක් පුරාවට රාජකීය මරණ සම්බන්ධ ප්‍රවෘත්ති පළමුවෙන් ම මහජනතාව වෙත නිකුත් කිරීමේ ඒකාකාධිකාරි බලය තිබුණේ BBC ආයතනයට. නමුත් අද වන විට ඒ ක්‍රමය වෙනස් වී අවමංග්‍ය ප්‍රවෘත්ති, පුවත් ඒජන්සි හරහා ලොව පුරා සියලු මාධ්‍ය නාළිකා වෙත බෙදා හරිනවා.
ලෝකවාසීන් මේ ශෝකජනක පුවත දැනගන්න අතර වාරයේ, අවමංගල්‍ය ඇඳුම් කට්ටලයකින් සැරසුණු සේවකයෙක් බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණ, කළු පැහැති දාරයක් සහිත අවමංගල්‍ය නිවේදනය ගේට්ටුවේ අලවනවා. ඔහු එම කටයුත්ත සිදුකරන අතරවාරයේ මාලිගාවට අයත් වෙබ් අඩවිය කළු පැහැයෙන් යුත්, තනි තිරයක් බවට පරිවර්නතය වී, රැජන මිය ගිය බවට අදාළ පුවත පමණක් එහි දර්ශනය වීමට සලසනවා.
බ්‍රිතාන්‍යයේ රැජන මිය ගිය පසු සිදු වන දේ | Roar Explains – What Happens When The Queen Dies:
මෙම අවමංගල්‍යයත් සමඟ වැඩිපුර ම කාර්‍යබහුලත්වයට පත්වෙන්නේ ලොව පුරා මාධ්‍යවේදීන්. සමාජ ජාල අතුළු අනෙකුත් සියලු මාධ්‍ය ඔස්සේ ඔවුන් යුහුසුළුව තොරතුරු බෙදාහරිනවා. BBC ආයතනය තුළ මෙම රාජකීය අවමංගල්‍ය වෙනුවෙන් ම සකස් කළ “Radio Alert Transmission System” හෙවත් Rats යන කෙටි නාමයෙන් හඳුන්වන එලාම් උපකරණයක් ස්ථාපනය කර ඇති අතර මරණය ආරංචි වූ විගස ඔවුන් එය හැඬවීමට කටයුතු කරනවා. Sky News සහ ITN යන බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාල දෙක මෙම අවමංගල මෙහෙයුම හඳුන්වන්න භාවිත කරන්නේ “Mrs Robinson” යන නම යි.
ඔවුන් ප්‍රවෘතිය ලද සැණින් තමන් හා ගිවිසුම් අත්සන් කළ රාජකීය විශ්ලේෂකයන් සහ සම්බන්ධ වී තොරතුරු බෙදාහැරීම සිදු කරනවා. සියලු රේඩියෝ නාළිකා ඔවුන්ගේ සියලු වැඩසටහන් එකවර නවත්වා ප්‍රවෘත්ති විකාශන වෙත යොමුවෙනවා. ඒ අතරවාරයේ ඔවුන් තමන් වසර ගණනාවක් පුරාවට මෙම අවස්ථාව වෙනුවෙන් ම සූදානම් කරගෙන තිබුණු “Mood 2” (sad) සහ “Mood 1” (saddest) යන ගීත ලැයිස්තු වාදනය වීමට සලස්වනවා. රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයින් කළු පැහැති ඇඳුම්වලින් සැරසී, කළු ටයිපටි පළඳාසිය ශෝකය ප්‍රකාශ කරමින් ප්‍රවෘත්ති ඉදිපත් කරනවා.
දෙවෙනි එළිසබෙත් රැජන සිය අවසන් ගමන යන්නේ රාජ්‍ය ගෞරවය මැද්දේ. ඇය වෙනුවෙන් පවත්වන අවමංගල දේව මෙහෙය, කැන්ටබරියේ අගරදගුරුතුමන් අතින් වෙස්මිනිස්ටර් ඇබේ රාජකීය දේවස්ථානයේ දී පැවැත්වෙන්නේ අනෙකුත් රාජකීයයන්ගේ සහ ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ හා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.
මෙම ඓතිහාසික අවමංගල්‍යය යෙදෙන දිනයේ දී ලන්ඩන් කොටස් හුවමාරුව සහ රට පුරා සියලු බැංකු වසා දමනවා. ‘Operation Feather’ යන සැලැස්මට අනුව අවමංගල්‍යය උත්සවයට පෙර, රැජනගේ මෘත ශරීරය දින තුනක් දක්වා වෙස්මිනිස්ටර් මැඳුරේ තැම්පත් කර තබනවා, ඒ සාමාන්‍ය ජනතාවට සිය රැජන වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා යි.
මෙම මහජන ගෞරව දැක්වීමේ දින තුනෙන් පසු වින්ඩ්සර් මාලිගාවෙහි ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කරා ඇගේ දේහය රැගෙන යන්නේ විශේෂ දේව මෙහෙයක් වෙනුවෙන්. එයින් අනතුරුව එළඹෙන්නේ ලොවක් සිය අණසකට නතු කරගත්, හිරු නොබසින අධිරාජ්‍යයේ රාජිනිය, සයවෙනි ජෝර්ජ් අනුස්මරණ දේවස්ථාන භූමියේ සදහට ම තැන්පත් ව යන මොහොත යි.