Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටැටූ මැකී නොයන්නේ ඇයි?

ඇත්තටම මේ ගැන ඔබ හිතලා තියෙනවද? ඔබේ ශරීරයේ ඇති ටැටූ නිර්මාණය, එහි වර්ණ ඒ විදියටම තියෙන්නෙ කොහොමද? අතීතයේ ටැටූ ඇඳි ක්‍රමය සහ වර්තමානයේදී ටැටූ අඳින ක්‍රමය එකිනෙකට වෙනස්. ඒ සම්බන්ධව අපි මීට පෙර ලිපියකින් කතා කර තිබෙනවා. මේ ලිපිය කියෙව්වොත් මැකී නොයන ටැටූ වල රහස මොකක්ද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙයි.

Jessie G Books Inc.

නිරන්තරයෙන් පිරිසිදු වන සම

සැබවින්ම සමෙහි යමක් ස්ථිරව පැවතීම ඉතා අසීරු වන්නේ පැයකට වරක් මිනිස් සම මතුපිට සෛල 40,000ක් පමණ ඉවත්ව යන නිසයි. එම සංඛ්‍යාව දිනකට සෛල 1,000,000ක් පමණ වනවා. සම මතුපිට අඳින ලද ඕනෑම දෙයක් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී යෑම සිදු වෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය

අපේ ශරීරය දිලීර ආසාදන සහ විවිධ ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂා කරන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. සරලවම කිව්වොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැත්නම් අපට බාහිර පරිසරයට නිරාවරණය වීමත් කළ නොහැකියි. නවතම සොයා ගැනීමකට අනුව අපේ සමෙන් ටැටූ මැකී නොයෑමට ප්‍රධානම හේතුවත් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙස අනාවරණය කරගෙන තියෙනවා. මෙම පරීක්ෂණය කර තිබෙන්නේ ප්‍රංශ ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්. ඔවුන් මීයන්ගේ වලිග වල ටැටූ ඇඳ ඒ ඔස්සේ කළ පරීක්ෂණයක ප්‍රතිඵල ඇසුරින් ඉහත නිගමනයට එළඹ තිබෙනවා.

මානව සම

මෙම පරීක්ෂණය ගැන තොරතුරු සොයා බලන්න කලින් සම ගැන අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වේවි. මිනිසාගේ දේහය බාහිරින් ආවරණය කරන ආවරණ පටකය වන සම මිනිස් දේහයේ විශාලම අවයවයයි. සම ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි.

මානව සම (Pearson Education)

  1.   අපිචර්මය (Epidermis) – සමේ බාහිරින්ම පවතින ස්ථරය අපිචර්මයයි. මෙය 0.1mm -0.2mm පමණ ඝනකමකින් යුක්තයි.
  2.   චර්මය (Dermis) – 1mm – 4mm ඝනකමකින් යුක්ත අපිචර්මය මූලිකවම සෑදී තිබෙන්නේ ලිහිල් සම්බන්ධක පටක වලින්. මෙහි විවිධ ප්‍රෝටීන තන්තු, රුධිර නාලිකා, ස්නායු, දහදිය ග්‍රන්ථි, රෝම කූප සහ සංවේදන ප්‍රතිග්‍රාහක රැසක් පිහිටා තිබෙනවා.
  3.   අධශ්චර්මය (Hypodermis) – චර්මයට පහළින් පිහිටා ඇති අධශ්චර්මය මේද තට්ටුවකින් සහ සම්බන්ධක පටක වලින් සමන්විතයි.

Macrophage සෛල

මුලින් සඳහන් කළ පරීක්ෂණයට අනුව ටැටූ වල වර්ණකය පවතින්නේ සමේ චර්මයේයි. එනම් සමෙහි ස්ථර තුනෙන් මැද ඇති ස්ථරයේයි. (ටැටූ ශිල්පීන් ටැටූ අඳින්නේ ඉතා සිහින් කටුවක් මඟින් කිහිප වරක් සමෙහි පිටත ස්ථරයේ සිට චර්මය තෙක් වර්ණක විදීමෙනුයි.) චර්මයෙහි macrophage නම් ප්‍රතිශක්ත ප්‍රතික්‍රියා දක්වන සුදු රුධිරාණු සෛල වර්ගයක් පවතිනවා. ටැටූ ඇඳීමේදී සම සිදුරු වෙනවාත් සමඟම වර්ණක සහිත තීන්ත චර්මයේ තැන්පත් වීමටත් පෙර මෙම macrophage සෛල අදාළ ප්‍රදේශය වටා රොක් වනවා. සමෙහි ගැඹුරට වර්ණක විදීමේදී ශරීරය එය තුවාලයක් ලෙස සිතා ප්‍රතිචාර දක්වන අතර එම ස්ථානයට macrophage සෛල පැමිණ නැවතත් සම අලුත්වැඩියා කිරීම ආරම්භ කරන්නේ මේ නිසයි.

alphacoders.com

ටැටූ ඇඳීමේදී මෙම තීන්ත වලින් කොටසක් සමෙහි ඉහළ ස්ථරය වෙත ගමන් කරනවා. ඒවා සාමාන්‍ය පරිදි සමෙහි නොරැඳී ඉවත්ව ගියත් චර්මයේ පවතින තීන්ත සම හරහා පෙනෙන්නේත්, ඒවා නොමැකී පවතින්නේත් චර්මයේ පවතින macrophage සෛල තුවාලය තිබූ තැනට ගමන් කර එහි තැන්පත් වෙන තීන්ත උරා ගන්නා නිසයි. ටැටූ එකක් ඇඳීමේ ක්‍රියාවලියට සම සුවපත් වීමට වැය වන කාලයත් ඇතුළත් වන අතර සුවපත් වීම සඳහා සති දෙකේ සිට සති හතරක පමණ කාලයක් ගත වෙනවා. සම සුව වූ පසුව, අඳින ලද ටැටූ නිර්මාණය ස්ථිරව පවතිනවා.

පරීක්ෂණය තවත් ඉදිරියට

මරණයෙන් තොරව චර්මයේ ඇති macrophage සෛල විනාශ කළ හැකි ලෙස ජාන වෙනස් කළ මීයන් යොදා ගෙන පර්යේෂක කණ්ඩායම මෙම පරීක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට ගොස් තිබෙනවා. නව අධ්‍යයනයේදී පර්යේෂකයන් මීයන්ගේ වලිග වල කොළ පැහැති ඉරි රටාවකට ටැටූ ඇඳ සති කිහිපයකට පසු එම කොළ පැහැති වර්ණකය සහිත macrophage සෛල විනාශ කර දැමීමට මීයන්ට එන්නතක් විදිනු ලැබුවා. දින දෙකක් ඇතුළත සියලුම වර්ණක සහිත macrophage සෛල මිය ගොස් තිබුණත් ටැටූ වල කිසිදු වෙනසක් දක්නට ලැබුණේ නැහැ.

Macrophage සෛල (Cell Biology Wallpaper)

මෙයට හේතුව සොයා බැලීමේදී ඔවුන්ට නිරීක්ෂණය කිරීමට ලැබුණේ මිය ගිය macrophage සෛල වෙනුවට නව macrophage සෛල එසැනින්ම ඇති වී ඇති බවයි. දින 90ක් ඇතුළත එම සෛල ගොනුව සම්පූර්ණයෙන්ම ප්‍රතිපූරණය වී තිබුණා. අළුතින් ඇති වන macrophage සෛල එක්තරා ආකාරයක සෛලීය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් මඟින්, ටැටූ අඳින ලද ස්ථානයේ බහිෂ් සෛලීයව රැඳී තිබූ කොළ පැහැති වර්ණක කොටස් අත්පත් කරගෙන තිබුණා.

ඇලි මීයන් යොදා ගෙන කළ පරීක්ෂණය

ඉන්පසු පර්යේෂකයන් ටැටූ නොඇඳි ඇලි මීයෙකුට කොළ පැහැ ටැටූ ඇඳි වලිග කොටසක සෛල බද්ධ කරනු ලැබුවා. සති 6කට පසු ප්‍රතිග්‍රාහක ඇලි මීයාගේ සම නිරීක්ෂණය කළ විට දායක මීයාගේ සෛල වලට වඩා ප්‍රතිග්‍රාහක ඇලි මීයාගේ සෛල වල කොළ පැහැති වර්ණකය අඩංගු බව ඔවුන් නිරීක්ෂණය කළා. දායක මීයාගේ සෛල වලින් දෙන ලද වර්ණක බොහෝමයක් ඇලි මීයාගේ macrophage සෛල මඟින් ග්‍රහණය කර තිබීම මෙයට හේතු වුණා.

ටැටූ ඉවත් කිරීමේ නව ක්‍රමයකට!

ටැටූ ඉවත් කිරීම කාර්යක්ෂමව සහ අඩු වේදනාවකින් සිදු කිරීමට ක්‍රමෝපායන් සොයා ගැනීම සඳහා ඔවුන්ගේ මෙම සොයාගැනීම උපකාර වේ යැයි ද, සම පිළිබඳ විශේෂඥයින් සමඟ එකතු වී මිනිසුන්ගේ චර්මයේ ඇති macrophage සෛල පමණක් තෝරාගෙන විනාශ කිරීම සම්බන්ධව වැඩිදුර පර්යේෂණ කිරීමට තමන් බලාපොරොත්තු වන බවද පර්යේෂණ කණ්ඩායම පවසනවා.

ලේසර් ක්‍රමයෙන් ටැටූ ඉවත් කිරීම (AMA Regenerative Medicine & Skincare)

දැනට ටැටූ ඉවත් කිරීමේදී සිදු වන්නේ ටැටූ සහිත සෛල වලට ලේසර් කිරණ එල්ල කර වර්ණක කොටස් කුඩා කොටස් වලට කැඩීමයි. මෙය, macrophage සෛල වලට එම වර්ණක බැහැර කිරීම සඳහා වසා පද්ධතිය වෙත යොමු කිරීම පහසු කරවනවා. නමුත් මෙය තරමක් වේදනාකාරී ක්‍රියාවක්.

කවරයේ පින්තූරය – alphacoders.com

මූලාශ්‍ර

www.livescience.com

www.independent.co.uk

www.webmd.com

Related Articles