Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව බහුලතම ඉන්ධනය නමුත්, සිහිනයක් වූ හිමායිත මීතේන්

අලුතින් යුග දිවියට එළැඹී ගෑස් කුකරයක් තෑගි ලද යුවළකගේ සිට මහා පරිමාණ කර්මාන්තශාලාවන් දක්වාම බලශක්ති අර්බුදය ලොව සෑම අස්සක් මුල්ලක් පාසාම විසිර පවතින්නකි. එයට විසඳුමක් ලෙස, ලොව පුරාම පැතිරුණු, අයිස් මැද හැංගුණු ස්වභාවික වායුවක් තිබේ.

සම්ප්‍රදායික මීතේන්වල ස්වභාවය

මැද කාබන් පරමාණුව වටා හයිඩ්‍රජන් පරමාණු 4ක් (cloudfront.net)

මීතේන් යනු ශාක හා සත්ව ද්‍රව්‍ය බැක්ටීරියා දිරාපත් වීමෙන් නිපදවෙන අවර්ණ, ගන්ධයක් රහිත, දහන වායුවකි. සාමාන්‍යයෙන් මෙම “සම්ප්‍රදායික” මීතේන් පිහිටා ඇත්තේ පෘථිවි පෘෂ්ඨයට යටිණි. ඒවා ලබාගැනීම සඳහා කම්කරුවන් පාෂාණ හා අවසාදිතයන් කැණීම් කර, මීතේන් නිධිවලින් එම වායුව ඉවත් කර ගනියි.

ඒවා බිහිවන්නේ මෙසේ‍ යි:

සමුද්‍රීය ශාක හා සතුන් මියගොස් මුහුදු පතුලේ තැන්පත් වූ විට, මඩ සහ අනෙකුත් අවසාදිත මඟින් එම දිරාපත් වන ජීවීන් වසා ගනියි. එමඟින් කාබනික ද්‍රව්‍ය මත විශාල පීඩනයක් ඇති වී සම්පීඩනය වීමට පටන් ගන්නා අතර, මෙම සම්පීඩනය, අධික උෂ්ණත්වය සමග සංයෝජනය වී කාබනික ද්‍රව්‍යවල ඇති කාබන් බන්ධන බිඳ දමා ඒවා තෙල් හා ස්වාභාවික වායුව බවට පරිවර්තනය කරයි. කල්යත්ම, මෙසේ විශාල ප්‍රමාණවලින් එක්රැස් වී මීතේන් නිධි බිහිවෙයි.

පසුව හමුවුණු හිමායිත මීතේන්

ගෑස් හයිඩ්‍රේට (usgs.gov)

නව මීතේන් වර්ගය සතුව තිබූ විශේෂත්වය වූයේ, ඒවා ස්වභාවිකවම අයිස් ආවරණයකින් වට වී තිබීම යි. මෙය මෙතේන් ක්ලැත්රේට් නැතහොත්, මෙතේන් හයිඩ්‍රේට (CH4·5.75H2O හෝ 4CH4·23H2O) ලෙස හැඳින්වේ. එදිනෙදා භාවිතයේ දී හිමායිත මීතේන් (methane ice)යැ යි කියනු ලැබේ.

මෙසේ පෘථිවි පෘෂ්ඨය තුළ කෙතරම් නම් ඇති ද යන්න බලශක්ති අර්බුදයෙන් මිරිකුණු ලොව කුතුහලයට පත් කළේ ය. මෙහි පැතිරුම ඊළඟ කොටසින් ඔබට දැනගන්නට ලැබෙනු ඇති අතර, ඒ අනුව ලොව විශාලතම ස්වභාවික වායු මූලාශ්‍රය මෙය බවට පත්ව තිබේ.

මීතේන් හයිඩ්‍රේට දැවෙමින් (yale.edu)

අයිස්වලින් වට වී ඇත්නම් මෙය සාමාන්‍ය මීතේන් මෙන් ගිනිගන්නාසුලු වන එකක් නැති ද? එයට පිළිතුර “ඔව්” බව සනාථ විය. මෙතේන් හයිඩ්‍රේට කැබැල්ලක් අතට ගත් විට එය හුදෙක් අයිස් කැබැල්ලක් සේ දිස්වනු ඇත. එහෙත්, එය ගිනිතැබූ විට රත්පැහැති දැල්ලකින් දැවෙන්නට පටන් ගනියි!

සොයාගත හැකි ස්ථාන

සමුද්‍රීය හිමායිත මීතේන් පැතිරුම (globalcarbonproject.org)

හිමායිත මීතේන් ආක්ටික්, ඇන්ටාක්ටික් ප්‍රදේශවල නිත්‍ය තුහිනවල (සැමදා හිමට යට වූ පස්වල) තිබී හමුවිය. මෙම නිධි වැඩි වශයෙන් හමුව ඇත්තේ මුහුද යට ඇති අභිසරණ තැටි මායිම්වල හෙවත් භූ තැටි දෙකක් එකිනෙක ගැටෙන ස්ථානවල යි. ශ්‍රී ලංකාවට ආසන්න අන්දමන් මුහුදේ ද හිමායිත මීතේන් තිබේ.

විශාල සාගර දියවැල් එකිනෙක ගැටෙන ප්‍රදේශවල ද හයිඩ්‍රේට නිධි සොයාගෙන ඇත. සිසිල් දියවැලක් උණුසුම් දියවැලක් හා ගැටුණු කල දියවැලෙහි වේගය අඩු වී විශාල වශයෙන් අවසාදිත තැන්පත් වන්නට පටන් ගනියි. මෙම අවසාදිතවල තැන්පත් වන කාබනික ද්‍රව්‍ය අවසානයේ දී මීතේන් හයිඩ්‍රේට බවට පත් වෙයි.

1930 කාලයේ දී ස්වාභාවික වායු පතල් කම්කරුවන් සිසිලට නිරාවරණය වූ නල මාර්ග අයිස් ආකාරයේ ද්‍රව්‍යවලින් අවහිර වන බව දුටහ. ඒවා සාමාන්‍ය අයිස් නොව, මීතේන් හයිඩ්‍රේට බව විද්‍යාඥයෝ සොයා ගත් අතර, මෙතනෝල් හෝ මොනොඑතිලීන් ග්ලයිකෝල් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කළහ. දැනටත්, හයිඩ්‍රේට ඇති වීම වැළැක්වීමට නිෂ්පාදන ආයතන එම ඛනිජ වර්ග තම නලවල අඩංගු කරති.

ලබාගැනීම හිතන තරම් පහසු නැහැ

කැනඩාවේ අත්හදා බැලීමේ ළිඳක් (usgs.gov)

මුහුද යට ඇති ප්‍රභවයන් සඳහා කැණීම් කරද්දී ජලය සහිත ප්‍රදේශයේ මීටර් 500 ඉක්මවා ගැඹුරට යා යුතු අතර, හයිඩ්‍රේට මුහුදු පත්ලෙහි ද අභ්‍යන්තරයේ ඇති නිසා අඩි දහස් ගණනක් තවත් ගැඹුරට විදින්නට සිදු වේ. එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණවලින් ඇස්තමේන්තු කර ඇති පරිදි, අනාවරණය නොවූ මුළු ගෑස් හයිඩ්‍රේට් ඝන අඩි ට්‍රිලියන 25.2ත් 157.8ත් අතර ගැඹුරකින් ඇති බව යි. මහාද්වීපික බෑවුම්වල පහළ මායිම් දිගේ ද හයිඩ්‍රේට සෑදෙන නමුත්, රළු බෑවුම් සහිත මුහුදු පත්ල නල මාර්ග සඳහා සුදුසු නොවේ.

කෙසේ හෝ ඒවා ලබා ගත්ත ද, ගැඹුරු මුහුදේ අධික පීඩන හා අඩු උෂ්ණත්වයන්ගෙන් ඉවතට ගත් පසු මීතේන් හයිඩ්‍රේට් අස්ථායී වේ. පොළෙ‍ාව මතුපිටට ගෙන එත්ම, මීතේන් ඉවත් වන්නට පටන් ගන්නා බැවින් හිල් කූඩෙන් වතුර (හරියටම කිව්වොත්, අයිස්) අදින්නාක් සේ ය.

පාරිසරික පසුබිම

විද්‍යාඥයින් විලකින් නිකුත් වන මීතේන් වායු ප්‍රමාණය බැලීමට එය දැල්වූ අවස්ථාවක් (nationalgeographic.com)

බොහෝ භූ විද්‍යාඥයන් විශ්වාස කළේ සාගර පත්ල ස්ථායීව පවත්වා ගැනීමට මීතේන් හයිඩ්‍රේට වැදගත් කාර්යභාර්යයක් ඉටුකරන බව යි. ඔවුන් සිතුවේ මෙම සාගර නිධි හෑරීම මඟින් මුහුදු පතුල අස්ථාවර වී මහාද්වීපික බෑවුම් අතරට අවසාදිත විශාල වශයෙන් ගමන් කළ හැකි බවත්, ඉන් සාමුද්‍රික නායයෑම් හා සුනාමි තත්ත්වයන් ද ඇති විය හැකි බවත් ය. 2008 දී කළ පර්යේෂණයකින් සොයාගනු ලැබූයේ, එවන් පසුබිමක් නොමැති අතර නායයෑම්වලට ස්ථායී හයිඩ්‍රේට ද දායක විය හැකි බව ය.

එනමුත්, තවත් දැවැන්ත ගැටළුවක් ඉතිරිව තිබේ. එනම්, මීතේන් හයිඩ්‍රේට නිරාවරණය වීම නිසා ගෝලීය උණුසුම ඉහළ යා හැකි බව යි. දැනටමත් ස්වාභාවිකව නිත්‍ය තුහින සහ සාගර හරහා හයිඩ්‍රේට නිධිවලින් ඒවා වාතයට එක් වෙමින් පවතී. මීතේන් වායුගෝලයේ ඇති විට, එය කාබන් ඩයොක්සයිඩ්වලට වඩා කාර්යක්ෂම ලෙස සූර්ය විකිරණ රඳවා ගනිමින් හරිතාගාර වායුවක් බවට පත් වේ. එබැවින්, ‍කැණීම් කටයුතු සිදුකළහොත් විශාල වශයෙන් ඒවා වාතයට මුසු වීමට ඉඩ තිබේ.

මේ අනුව බලන කල, බස් රථයේ කොන්දොස්තර මහත්වරුන් කාසි මිටියක් අතේ තබාගෙන සිටිය ද, ඉන් අපේ ඉතුරු මුදල ලබාගැනීම අපහසු ය. මීතේන් හයිඩ්‍රේට ද ඒ අතේ ඇති කාසි වැනි ය. පෘථිවිය පුරා විහිදුණු ඒවා දෙස බල බලා සිටිනවා මිස, ලබාගැනීම නම් අසීරු ය. එහෙත්, පර්යේෂණ නැවතී නැත.

පරිසරය ගැන තකා ෆොසිල ඉන්ධන අතහැරිය යුතු නොවේදැ යි ඔබට සිතෙන්නට ඇත. එහෙත්, වෙළඳපළ බලාධිකාරිය සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කොරෝනාවක් වැනි ගෝලීය ගැටළුවක් එනතෙක් ම ලෝකය එය පසුපස යනු ඇත.

කවරය: usgs.gov

මූලාශ්‍රයයන්:

  • agupubs.onlinelibrary.wiley.com
  • usgs.gov
  • sciencedaily.com
  • geology.com

Related Articles