Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවස ඇතුලත අලංකරණයට රහස් 10ක්

නිවස කොතරම් ලස්සනට හැදුවත් අභ්‍යන්තරය හොඳින් වර්ණ ගන්වලා භාණ්ඩ ස්ථානගත කළේ නැත්නම් ඒ ලස්සන පෙනෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයේ නිවසකට පවා නිසි අභ්‍යන්තර සැලසුමක් තිබෙනවා නම් මනබන්දන පරිසරයක් සහිත කැදැල්ලක සාඩම්බර හිමිකරුවෙකු වන්නට ඔබටත් හැකි වේවි. ඒ වෙනුවෙන් අපි මේ රහස් කිහිපය ‍ඔබ හමුවේ තබනවා.

1 අලුත්-පරණ, මිල අඩු-වැඩි භාණ්ඩ කළවම් කරන්න

පරණ පෙනුමැති බිත්තියට හා පොළව මත නවීන පන්නයේ සෝෆාවක් (habitusliving.com)

නිවස හැඩ කරන්න භාණ්ඩ තෝරා ගනිද්දී හැමදේම ඉහළ මිල හෝ අලුත්ම දේවල් වෙන්න ඕන නැහැ. ඇන්ටික් භාණ්ඩ මිල අධික නිසා ඔබ සතුව දැනටම ඇති ගෘහ භාණ්ඩවලට අලුත් ඒවා මුසු කර, නිසි ආකාරව ස්ථානගත කිරීමෙන් වෙනස්ම පෙනුමක් ගෙන දෙන්නට හැකි වෙනවා. (උදා: පැරණි කෑම මේසයක් සහ අලුත් පුටු)

නූතන නිවාස ආකෘතියට පැරණි යු‍රෝපීය සැලසුම් සුළු වශයෙන් එක් කළ විසිත්ත කාමරයක් (gannett-cdn.com)

උදාහරණයක් ලෙස අලංකාර දර්පණ යෙදීමේදී නූතන භාණ්ඩ සහිත කාමරයක පෞරාණික පෙනුමැති දාරයක් සහිත දර්පණයක් හොඳින් කැපී පෙනෙනවා. වානේ පුටු වලට කෑම මේසයක් තෝරද්දී දිරාගිය පෙනුමක් දෙන ලද යකඩ මේසයක් යොදා ගත හැකියි. අලුත්, මිල අඩු ටේබල් ලෑම්ප් එකක් ඇන්ටික් මේසයක් මත තැබීම, නූතන පුටු සෙටියක් පසුබිමින් ඉපැරණි චිත්‍රයක් (සීගිරි බිතු සිතුවමක් හෝ යුරෝපීය චිත්‍ර) හෝ CNC ලී ප්‍රතිමා තැබීම, බිත්ති මුල්ලක පොත් කියවීමේ පහසුකම් සමග විසිතුරු භාණ්ඩ ද පොත් අතර තැබීම මෙයට තවත් අදහස් කිහිපයක් ලෙස දක්වන්නට පුළුවන්.

2 ගැලපෙන විදුලි බුබුළු, ආවරණ සහ ස්විච තෝරාගන්න

ඍජු ආලෝක ධාරා වෙනුවට Track, Spot සහ එඩිසන් විදුලි බුබුළු යොදා ගත හැකියි (sew-lexicon.com)

හැමදේම ලස්සනට, එකම රටාවකට පිළියෙළ කළත් විදුළි බුබුළු, ආවරණ සහ ඒවාට යොදන ස්විච නිසි පරිදි තෝරා ගත්තේ නැත්නම් සම්පූර්ණ සැලැස්ම ම බිඳ වැටෙනවා. විදුලි බුබුළු යොදා ගැනීමේදී Track, Spot සහ එඩිසන් විදුලි බුබුළු තෝරා ගැනීමෙන් නවමු පෙනුමක් ගෙනදීමට හැකියාව තිබෙනවා.

ලී රාමු හෝ අර්ධ ලී රාමු සහිත විදුලි පහන් ආවරණ තෝරා ගනිමින් අනෙක් පුටු, මේස සහ සිවිලිමට ගැලපෙන වර්ණය, අවස්ථානුකූලව ලෝහමය හෝ ප්ලාස්ටික් බව, විවිධ හැඩතල, ආලෝකය හොඳින් පැතිරෙන බව අනුව ඒවා ගලපා ගත හැකි වෙනවා. ස්විච තෝරා ගනිද්දී බිත්තියේ වර්ණයට ගැලපෙන ලෙසත්, බිත්තියේ සිතුවම්, කණ්ණාඩි වැනි ඔබට හුවා දැක්විය යුතු යමක් ඇත්නම් එහි අවධානය නොබි‍ඳ‍ෙන ආකාරයේ ස්විච සැලසුමක් (design එකක්) පිළිබඳව සැලකිය යුතුයි.

ස්ථානෝචිතව බුබුළෙහි හැඩය තෝරාගත යුතුයි (hearstapps.com)

විදුලි බුබුළු තෝරා ගනිද්දී විදුලි බිල ගැන හිතන්නත් ඕන. නූතනයේ ඊට ඇති හොඳම විසඳුම LED බල්බ නිසා එය වඩාත් උචිතයි. ඔබ බිත්තිවලට භාවිතා කළ වර්ණ හොඳින් ප්‍රදීපනය වන ආකාරයට සුදු හෝ කහ වැනි නිවාස සැලසුමට ගැලපෙන වර්ණයකින් විදුලි බුබුළු තෝරාගත යුතු අතර, TV යන්ත්‍ර ඉදිරියෙන් ඇසට අපහසු වන පරිදි යෙදීමෙන් ද වැළකී සිටිය යුතු වෙනවා.

3 Wallpapers සහ පාවෙන රාක්ක

ශාකයට සමාන Wallpaper එකක් (wallpapersgalore.com)

බිත්තියේ ඒකාකාරී බව නැතිකොට වැඩි පෙනුමක් ලබා දීමට යොදා ගත හැකි හොඳම ක්‍රම දෙකක් වන්නේ Wallpaper එකක් යෙදීමයි. එහි වර්ණ නිවසේ ගෘහ භාණ්ඩවල වර්ණයට ගැලපෙන ලෙස යොදා ගැනීම වඩාත් උචිතයි. ලී සහිත විවිධ රටා, සොබාදහම නිරූපණය කිරීම, රටාවේ වර්ණ සංකලනය මගින් සිත් ඇදගන්නා සුළු බවක් ලබා දීම ඉන් කළ හැකි වෙනවා.

ඔබේ විසිතුරු භාණ්ඩ එකතුව, පවුලේ ඡායාරූප විවිධ තැන්වල තබනවාට වඩා පාවෙන (බිත්තියේ සවිකළ Floating shelves) රාක්ක වලින් ඒවා වඩාත් ක්‍රමානුකූලව අසුරන්නට හැකි වෙනවා. මෙමගින් සාමාන්‍ය රාක්කයකින් බිමට වැයවන කොටස ප්‍රයෝජනයට ගන්නට ද අවස්ථාව සැලසෙනවා.

4 සිවිලිමේ උස වැඩි කොට පෙන්වන්න ක්‍රමයක්

උසින් වැඩි ලී බඩු (bassettfurniture.com)

අතීත යුරෝපීය සිවිලිම් සිතුවම් වලින් පුරවා ඇති ආකාරය ඔබ දැක ඇති. තනි වර්ණයෙන් සිවිලිමට හෝ යට තට්ටුවක ස්ලැබ් එකට ඒකාකාරී පෙනුමක් දෙනවා වෙනුවට වර්ණ සංකලනයකින්, රටා සහිතව පේන්ට් කිරීමෙන් පොළොව මෙන්ම නිවසේ ඉහළ කොටස ද අලංකරණය කරගත හැකි වෙනවා.

එසේම, සිවිලිමට Suspension ceiling එකක් භාවිතා කළ විට විදුලි බුබුළු, විවිධ හැඩතල (සමතල සිවිලිමක් වෙනුවට වක්‍ර හැඩයන්), වර්ණයන් ආදිය ද මුසු කරමින් වැඩි උස් ස්වභාවයක් නිවසට ගෙන දෙන්නට පුළුවන්. බාහිරට නොපෙනෙන විදුලි බුබුළු භාවිතය මගින් අඳුරු ස්ථාන පහසුවෙන්ම ආලෝකමත් කළ හැකිවීම එහි තවත් වාසියක්.

යට තට්ටුවක වහළ/සිවිලිම ලෙස කොන්ක්‍රීට් ස්ලැබ් එකක් තිබෙන අවස්ථාවකදී එය වර්ණ ‍හෝ රටා ගන්වද්දී මූලික වර්ණය ලෙස අඳුරු වර්ණයක් යොදාගැනීමෙන් නිවසේ ඇහිරුණු බවක් ඇති වෙන නිසා ඉන් වැළකිය යුතුයි. ඒ වගේම, සිවිලිමේ උස වැඩි කොට පෙන්වන්නට හොඳ ක්‍රමයක් වන්නේ උස වැඩි ගෘහ භාණ්ඩ යොදා ගැනීමයි. නිවසේ උස අඩු අවස්ථාවකදී අල්මාරි, අල්මාරි තරම් උසැති බට්ටා සහිත ඔරලෝසු, පොත් රාක්ක ආදිය යොදාගැනීමෙන් ඇස රවටන්නට හැකි වෙනවා.

5 කළු වර්ණයට බිය වෙන්න එපා

කොටසක් පමණක් කළු වර්ණ කිරීම (pinimg.com)

නිවසේ අඳුරු ස්වභාවයක් ඇති වෙනවාට බියෙන් බොහෝ දෙනෙක් කළු ඇතුළු අඳුරු වර්ණ භාවිතයෙන් වැළකී සිටියත් නිවාස අලංකරණයේදී කළු පැහැය අත්‍යාවශයි. කළු පැහැයට හුරු තද නිල් (Midnight Blue) වර්ණය මේ සඳහා යොදාගන්නට පුළුවන්.

නිවසේ කෑම මේසය අසල ඇති විශාල බිත්තියක් කළු පැහැ ගන්වා කහ පැහැති විදුලි පහනකින් විසරිත ආලෝකයක් ඒ වෙතට යොමු කිරීමෙන් රෝමාන්තික තේමාවක් ඇති කරන්නට හැකි වෙනවා. එසේම, විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් බිත්තියේ රඳවා එම බිත්තිය කළු වර්ණ කිරීමෙන් රූපවාහිනියට කැපී පෙනෙන බවක් එක් කරගත හැකියි. අවශ්‍ය නම්, Wallpaper එකක් යෙදීමෙන් බොහොම පහසුවෙන් බිත්තියට නව පෙනුමක් එක්කර ගන්නට පුළුවන්.

6 කුස්සියේ වතුර කරාම ලෝහවලින් යොදාගන්න

ලෝහමය පරිසරය තුළ කැපී පෙනෙන ලෝහමය කරාමය (tfod.in)

මුළුතැන්ගෙයක් වර්ණ ගන්වද්දී කොළ-මෙරූන්-සුදු-රිදී, කහ-නිල්-රිදී, කළු-සුදු වැනි වර්ණ සංකලයන් වඩාත් උචිත වෙනවා. එවන් සුවිශේෂී පෙනුමක් ලබන කුස්සියකට සුදු පැහැති අඩු මිල පෙනුමැති ප්ලාස්ටික් ජල කරාම යොදනවාට වඩා රිදී, රත්‍රං හෝ පිත්තල පැහැය යොදා ගැනීමෙන් වැඩි වටිනාකමක් එක් කරලන්නට හැකි වෙනවා. යොදන සෑම කරාමයක්ම එකම ආකෘතියකින් යුතුවිය යුතු අතර, සින්ක් එකේ වර්ණය ද ඊට සමරූපී වන ආකාරයට තෝරා ගැනීම නුවණට හුරුයි.

දොරවල්වලට ලොක් තෝරා ගැනීමේදී සහ ඇණ යෙදීමේදීත් පිත්තල සහ රිදී වර්ණ යොදා ගන්නට පුළුවන්. එමගින් කැපී පෙනෙන පෙනුමක් පහසුවෙන් ම ඊට එක් කරන්නට හැකි වෙනවා.

7 තනි පුටු වෙනුවට බංකු

බංකු සහ පුටු මිශ්‍රව යොදාගැනීම (amazonaws.com)

නිතර විශාල පිරිස් ගැවසෙන ස්ථානවල හෝ නිවෙස්වලට කෑම කාමරයට වඩාත් උචිත වන්නේ පුටු වෙනුවට අලංකාරව නිර්මාණය කළ බංකු යොදා ගැනීමයි. නිවසේ අනෙක් බඩු මුට්ටු වලට ගැලපෙන වර්ණයකින් හෝ පැරණි පෙනුමක් ලබා දෙන්නට දිරාගිය ලී ආකාරයේ මතුපිටක් ලබා දෙන ලද බංකු යොදා ගත හැකියි.

පැමිණෙන පුද්ගලයන් වෙන වෙනම පුටුවල වාඩි වෙනවාට වඩා බංකුවක් බෙදාහදා ගනිද්දී ඔවුන් අතර ඇතිවන බැඳීම තවත් වැඩියි. එනිසා නිවසට නව පෙනුමක් වගේම ඔබේ ආදරණීයයන් හා මිතුරන් අතර වැඩි සබඳතාවක් ගොඩනගාගන්නට මේ ක්‍රමය අපූරුයි.

8 විසිත්ත කාමර‍යේ පුටු තබන ආකාරය

H හැඩැති පුටු සැලැස්මක් (cloudfront.net)

නිවසක අභ්‍යන්තර අලංකාරය වඩවන ප්‍රධාන ම සාධකයක් වන්නේ එහි භාණ්ඩ ස්ථානගත කරන ආකාරය යි. බොහෝ දෙනෙක් බිත්ති ‍වැහෙන්නට එක දිගට පුටු තබන නමුත් ඉන් මානව අන්තර් සබඳතාවලට බාධා ඇති වෙනවා. ඔබ හෝටලයක ලොබිය ගැන කල්පනා කළොත් පිළිසඳරකට ආවඩමින් ඒවා ස්ථානගත කර ඇති ආකාරය අවබෝධ කරගත හැකි වේවි.

නිවසේ පුටු සහ සෝෆාව/සෙටිය ස්ථාන ගත කරද්දි ඒවා එකිනෙක සමග කතා කරමින් සිටිනවාක් මෙන් තබන්න. එනම්, U හැඩයක් හෝ H හැඩයක් අනුගමනය කරන්න. U හැඩයේදී සමචතුරස්‍රයක පාද තුනක් ආකාරයට සෝෆාව දෙපසින් එකිනෙකට මුහුණලා කුඩා පුටු දෙක තැබිය හැකියි. H හැඩයේදී (මෙය පැත්තෙන් බැලූවිට, උඩින් හා යටින් ඉරි සමග ලියූ I ලෙස ද සැලකිය හැකියි) කරන්නේ සෝෆාව ඉදිරියෙන් අනෙක් පුටු ඒදෙසට හරවා තැබීමයි. U අකුර මධ්‍යයේ (හිස් අවකාශයේ) සහ H අකුරේ මැද ඉර සහිත ස්ථානයේ තේ මේසය රඳවනවා.

9 බිත්තිය Paint කරද්දි රටාවක් යොදන්න

ඒකාකාරී තනි වර්ණයක් වෙනුවට දුර්ලබ වර්ණයක් එනම් තදට හුරු කොළ, රෝස වැනි වර්ණයකින් බිත්තිය පින්තාරු කර, ඒ මතට රටාවක් යොදන්න. මෙය ඔබට තනිවම කරගන්නට පුළුවන්. Roller එකකින් බිත්තිය පින්තාරු කර, බිත්තිය මත පැරණි පනාවකින්, බ්‍රෂ් එකකින් රටාවක් යොදන්නට පුළුවන්. එවිට ඇති වන රළු ස්වභාවය මඟින් ඒකාකාරී බව පහව යනවා.

ඉරි කැබලි ආකාරයේ රටාවක් සැකසීමට – ලී කැබැල්ලක් අරගෙන එහි ඝන රබර් පටි කිහිපයක් පරතර සහිතව යොදන්න. දැන් රබර් පටිවල කළු/දුඹුරු තීන්තවල පොඟවා තනි වර්ණ බිත්තිය මත රටාවක් ගොඩ නගන්න. තිත්-තිත් ආකාරයේ රටාවක් සඳහා Bubble wrapper එකක් අරගෙන එය Roller එකේ අලවා, ඉන්පසු බිත්තියේ වෙනත් වර්ණයකින් තීන්ත ආලේප කරන්න.

10 අලංකාර පාපිස්නක් යොදන්න

නිවසට පිවිසෙද්දී මුලින්ම අවධානය යොමු වන එක් දෙයක් තමයි පාපිස්න කියන්නේ. පාපිස්නක් ගෙදර දොරකඩට පමණක් නෙවෙයි, සාලය හෝ නිදන කාරමවල පවා බිම හැඩ කරන්න යොදා ගන්න පුළුවන්. පොල් කෙඳි නිර්මාණ හෝ කෘත්‍රීම අමුද්‍රව්‍ය වලින් නිවසේ අනෙකුත් වර්ණවලට ගැලපෙන ආකාරයට හෝ සකසන ලද ඒවා තනි වර්ණ රබර් පාපිස්සකට වඩා ගැලපේවි.

සොබාදහම සමග නිවසේ සැලැස්ම මුසු කිරීම සඳහා Grass carpets යොදා ගැනීම සුදුසුයි. කොළ පැහැය ඇසට ඉතා ප්‍රිය වර්ණයක් වශයෙන් සහ පාදවලට ස්වාභාවික තණකොළ වලින් ලැබෙන පහස ලබා දීමෙන් නිවසට ඇතුළු වීමේදී සුවදායී බවක් ගතට ගෙන දෙන්නට ඉන් අවස්ථාව ලැබෙනවා.

තවත් පොඩි රහසක් – නිවාස අලංකරණයේදී මේ හැම දෙයක්ම ලබා ගනිද්දී වෙළඳසල් රැසකට යන්න සිදු වෙනවා. ඒත් ඔබ www.agc.lk වෙබ් අඩවිය වෙත පිවිසුණොත් ඔබේ නිවහන ලස්සන කරගන්න අවශ්‍ය මේ හැම දෙයක්ම එකම වහළක් යටින් ලබා ගන්නට හැකි වෙනවා.

කවරය: ericaleadesignstudios.com

Related Articles