Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල හා බැඳි අප්‍රසිද්ධ සැමරුම් 11ක්

සෑම රටක ම පාහේ කතෝලික ජනතාව පමණක් නොව අනිකුත් ආගම් අදහන ජනතාව ද දෙසැම්බර් මාසය පැමිණෙන තෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඊට හේතුව දෙසැම්බර් 25 දිනට යෙදෙන නත්තල් උත්සවය යි. සාමාන්‍යයෙන් අප දන්නා නත්තල සමරන්නේ දෙසැම්බර් 25 නිසා බොහෝ දෙනකුගේ අදහස වන්නේ නත්තල සැමරීම සඳහා වෙන් වී ඇති එක ම දිනය එය බව යි. කෙසේ වෙතත් විවිධ රටවල මුල්බැසගෙන තිබෙන එකිනෙකට වෙනස් සංස්කෘතීන් නිසා සමහර රටවල දෙසැම්බර් 25 ට අමතර ව  වෙනත් දිනවල ද නත්තල සමරයි.

නත්තල් අසිරිය – www.allaboutjazz.com

විශේෂයෙන් ම පැරැණි ජූලියන් දින දර්ශනය භාවිත කරන රුසියාව, සර්බියාව, ජෙරුසලම, යුක්‍රේනය වැනි රටවල පිහිටි සම්ප්‍රදායානුකූල පල්ලිවල නත්තල සමරන්නේ ජනවාරි 7 වැනි දින යි. ඊට අමතර ව ඉතියෝපියාවේ සහ ග්‍රීසියේ සමහර පල්ලි ද ජනවාරි 7 නත්තල සමරයි. අමෙරිකා එක්සත් ජනපදයේ අපෝස්තලික පල්ලිය නත්තල සමරන්නේ ජනවාරි 6 වැනි දින යි. නත්තල සැමරීම සිදු කෙරෙන දිනය මෙන් ම එය සැමරීම සිදු කෙරෙන ආකාරය සහ නත්තල සමඟ බැඳුණු විවිධ සිරිත් විරිත් ද ඒ ඒ රටවල සංස්කෘතීන් අනුව වෙනස් වේ. මෙම ලිපිය නත්තල හා බැඳුණු, වැඩි දෙනෙක් නොදත් එවැනි  කරුණු කිහිපයක් පිළිබඳව යි.

1. ඉතාලියේ නත්තල් මායාකාරිය

සාමාන්‍යයෙන් ඕනෑම අයකු දන්නා කරුණක් වන්නේ ‘සැන්ටා ක්ලෝස්’ එසේත් නැත්නම් නත්තල් සීයා නමින් හඳුන්වන අයෙක් නත්තල් කාලයේ ගෙයින් ගෙට ගොස් කුඩා දරුන්වන්ට තෑගිබෝග බෙදා දෙන බව යි. පිනිමුවන් ඇදගෙන එන කරත්තයක නැගී පැමිණෙන නත්තල් සීයා හොඳ ළමයින් සහ නරක ළමයින් කවුද යන්න සොයා බලා, හොඳ ළමයින්ට පමණක් තෑගි බෝග ලබාදෙන බව සාමාන්‍ය විශ්වාසය යි.

කෙසේ නමුත් ඉතාලියේ විශ්වාසය අනුව කුඩා දරුවන්ට නත්තල වෙනුවෙන් තෑගි බෙදා දෙන්නේ නත්තල් සීයා වෙනුවට වෙනත් අයෙකි. ‘බෙෆානා’ නම් වන ඇය මායාකාරියක බවත්, ළමයින්ට තෑගි බෙදා දීම සඳහා ඇය ජනවාරි 5 දින ඉතාලිය පුරා සැරිසරන බවත් ඉතාලි ජාතිකයන්ගේ විශ්වාසය යි. ඉතාලි ජනතාව විශ්වාස කරන්නේ මෙම මායාකාකාරිය හොඳ ළමයින්ට  රසකැවිලි බෙදා දී නරක ළමයින්ට ගල් අඟුරු පමණක් තෑගි කරන බව යි.

තෑගි මල්ලක් රැගෙන එන බෙෆානා – www.happyholidayhomes.net

2. ඕස්ට්‍රියාවේ බිහිසුණු නත්තල් සීයා

නත්තල හා බැඳුණු සුවිශේෂී පුද්ගලයකු වන නත්තල් සීයා ආදරණීය පුද්ගලයකු බව සහ, ඔහු පැමිණ කුඩා දරුවන්ට තෑගි බෙදා දෙන බව බොහෝ අයගේ විශ්වාසය යි. නත්තල් සීයා තෑගි බෙදා දීම සඳහා ළමයින් සොයා ගෙන එන අතරතුර විස්කෝතු සහ කිරි ආහාරයට ගන්නා බව තවත් එක් මතයකි. මේ සියලු දේ මගින් නිරූපණය කරන්නේ නත්තල් සීයා ආදරණීය සහ සාමකාමී අයකු බවයි. කෙසේ වෙතත් ඕස්ට්‍රියාවේ සහ තවත් නැගෙනහිර යුරෝපා රටවල් කිහිපයක නත්තල හා බැඳුණු නත්තල් සීයා සාමාන්‍ය නත්තල් සීයාට වඩා හාත්පසින් ම වෙනස් අයෙකි.

වෙනත් රටවල නත්තල් සීයා පැමිණ හොඳ ළමයින්ට තෑගි බෙදා දුන්නත්, ඕස්ට්‍රියාව ඇතුළු රටවල් කිහිපයක නත්තල් සීයා, එනම් ක්‍රැම්පස්, නරක ළමයින් රැගෙන යන බව එම රටවල ජනතාවගේ විශ්වාසය යි. ඔහුගේ ශරීරයේ අඩක් මිනිස් ස්වරුපයකුත්, අඩක් එළුවකුගේ ස්වරුපයකුත් ගන්නා බව කියැවේ. කළු පැහැති ලොම් සහිත, බියජනක පෙනුමක් ඇති ඔහු දඟකාර ළමයින්ට දඬුවම් කිරීම සඳහා වේවැලක් ද අතැති ව පැමිණෙන බව කියැවේ.

දෙසැම්බර් මස මුල් සතියේ දී එම රටවල තරුණයන් ක්‍රැම්පස්ගේ වෙස් ගෙන විවිධ නත්තල් සැණකෙළිවලට සහභාගී වේ. කෙසේ නමුත් ඔහු දකින කුඩා ළමයින් බියට පත් වන බැවින්, ක්‍රැම්පස් ලෙස වෙස්වලා ගත් පුද්ගලයන් මේ වන විට සුලබ ව දක්නට නොලැබේ.

ක්‍රැම්පස් – www.chinadailyhk.com

3. අයිස්ලන්තයේ ළමයින්ට තෑගි දෙන සොර කල්ලිය- යූල් ලාඩ්ස්

අයිස්ලන්තයේ නත්තල සමඟ බැඳුණු විශ්වාසයක් ලෙස ‘යූල් ලාඩ්ස්’ නම් සොර කල්ලියක් පිළිබඳ ව වන මතය හැඳින්විය හැකි ය. යූල් ලාඩ්ස් විවිධ ස්ථානවල සොරකම් කරමින් කාලය ගත කරන දහතුන් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් වේ. මෙම කණ්ඩායමේ ඒ ඒ සාමාජිකයාට තමන්ට ම ආවේණික වූ සොරකම් කිරීමේ ක්‍රමයක් තිබෙන බව කියැවේ.

නත්තල් දිනය දක්වා දින දහතුනක් තිස්සේ ඔවුන් රාත්‍රී කාලයේ පැමිණ, ජනෙල් කවුළු මත තබා ඇති කුඩා ළමයින්ගේ සපත්තු තුළට තෑගි දමා යන බව අයිස්ලන්තයේ කුඩා දරුවෝ විශ්වාස කරති. අකීකරු ළමයින්ගේ සපත්තු තුළට ඔවුන් නරක් වූ අර්තාපල් දමා යන බවත් කියැවේ.

යූල් ලැඩ්ස් කල්ලිය – www.mountainguides.com

4. ජර්මනියේ ශාන්ත නිකලස්

සෑම වසරක ම දෙසැම්බර් 6 වැනි දින බූරුවකු මත නැගී පැමිණෙන ශාන්ත නිකලස් (නත්තල සමග බැඳුණු සුප්‍රසිද්ධ ශාන්ත නිකලස් නොවේ)  කාසි, චොක්ලට්, දොඩම් සහ සෙල්ලම් බඩු වැනි කුඩා තෑගි ළමයින්ගේ සපත්තු තුළට දමා යන බව ජර්මානු ජනතාවගේ, විශේෂයෙන් ම කුඩා ළමයින්ගේ විශ්වාසයයි.

නත්තල් දිනයේ ශාන්ත නිකලස් මෙන් වෙස්වලා ගත් පුද්ගලයකු පාසල් සහ නිවෙස්වලට පැමිණ කුඩා ළමයින් හමු වේ. එහිදී කවියක් හෝ ගීතයක් ගායනා කරන, එසේත් නැත්නම් චිත්‍රයක් ඇඳීමට ඉදිරිපත් වන කුඩා දරුවන්ට ඔහුගෙන් තෑගි ලැබේ. ඔහු රතු පැහැති ලෝගුවකින් සැරසුණු කතෝලික පූජකවරයකුට සමාන පෙනුමක් ඇති, ප්‍රසන්න පුද්ගලයකු බව කියැවේ.

බූරුවෙකු සමග එන ශාන්ත නිකලස් – www.falconflyeer.org

5. පිලිපීනයේ දැවැන්ත නත්තල් කූඩු සැණකෙළිය

නත්තල වෙනුවෙන් සංවිධානය කරන දැවැන්ත නත්තල් කූඩු සැණකෙළියක් සෑම වසරක ම දෙසැම්බර් මස මැද භාගයේ දී පිලිපීනයේ ‘San Fernando’ නගරයේ දී පැවැත්වේ. ජපානයේ ප්‍රසිද්ධ ඔරිගමී කලාව හා බෙහෙවින් ම සමානකම් ඇති ක්‍රමයක් භාවිත කර සකස් කරන නත්තල් කූඩු තරගාවලියක් එහිදී පැවැත්වේ.

එම උත්සවය පිලිපීන ජනතාව අතර කොතරම් ජනප්‍රිය ද යත් මේ වන විට එය පැවැත්වෙන නගරය හැඳින්වෙන්නේ ‘පිලිපීනයේ නත්තලේ අගනුවර’ යනුවෙනි. අතීතයේ දී මෙම සැණකෙළියට ඉදිරිපත් වන නත්තල් කූඩු ආලෝකවත් කළේ ඉටිපන්දම් භාවිතයෙන් වුවත් මේ වන විට ඒ සඳහා විදුලි බල්බ යොදා ගැනේ.

පිලිපීනයේ නත්තල් කූඩු – www.tatlerasia.com

6. ස්වීඩනයේ දැවැන්ත එළු අනුරුව

1966 වසරේ සිට ස්වීඩනයේ ජනතාව නත්තල වෙනුවෙන් ශාකමය අමුද්‍රව්‍ය යොදා ගෙන මීටර් දහතුනකට වැඩි උසින් යුතු එළුවකුගේ අනුරුවක් නිර්මාණය කරයි.  ස්වීඩනයේ ස්ලොට්ස්ටෝගට් ප්‍රදේශයේ දැකිය හැකි මෙය මුල් කාලයේ හුදෙක් ම මහජන ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කළ එකක් වුවත් පසුකාලීන ව නිරායාසයෙන් ම එය පිළිස්සීමේ චාරිත්‍රයක් බිහි විය.

ඊට හේතුව මෙම අනුරුව ප්‍රදර්ශනය කළ මුල් කාලයේ දී එය පිළිස්සීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සහ කිරීම යි. 1966 වසරේ සිට මේ දක්වා මෙම අනුරුව සම්පුර්ණයෙන් ම පුළුස්සා දැමුණු අවස්ථා ගණනාවක් වේ. සෑම වසරක ම දෙසැම්බර් මාසය ආසන්න වන විට එය නැවත නිර්මාණය කෙරේ.

ස්වීඩනයේ එළු අනුරුව – www.amp.abc.net.au

7. නෝර්වේ වැසියන්ගේ කොසු සැඟවීමේ චාරිත්‍රය

ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි ආකාරයේ නත්තල් චාරිත්‍රයක් නෝර්වේ රාජ්‍යයේ දැකිය හැකි ය. එහිදී සිදු වන්නේ මායාකරුවන් හෝ මායාකාරියන් පැමිණ ඔවුන්ට ගමන් බිමන් යාම සඳහා නිවෙස්වල ඇති කොසු රැගෙන යතැයි බියෙන් නිවසේ තිබෙන වඩාත් ම ආරක්‍ෂිත ස්ථානයේ කොසු සඟවා තැබීමයි.

මායාකරුවන් පැමිණ නත්තල් දිනයේ දී කොසු සොරා ගෙන යන බවට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ජනතාව විශ්වාස කළ අතර එම විශ්වාසය වර්තමානයේ දී පවා විශාල පිරිසක් අතර පවතී.

නෝර්වේ කොසු – www.pinterest.com

9. නවසීලන්තයේ වෙනස් ම නත්තල් ගස

ලෝකයේ බොහෝ රටවල නත්තල් ගස ලෙස යොදා ගන්නේ පයින් වර්ගයට අයත් ගසකි. එහිදී පයින් ගසක අත්තක් හෝ කෘත්‍රිම ව සකස් කර ඇති ගසක් නත්තල් ගස ලෙස සරසයි. කෙසේ නමුත් නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශවල නත්තල් ගස ලෙස යොදාගන්නේ තරමක වෙනස් ගසකි.

නවසීලන්තයේ බහුල ව දැකිය හැකි එය දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී රතු පැහැති මලින් පිරී තිබේ. පොහුටුකාවා ලෙස හැඳින්වෙන එම ගසේ පත්‍ර සහ රතු පැහැති මල් නත්තල් උත්සවයේ සංකේතයන් ලෙස සැලකේ.

නවසීලන්ත නත්තල් ගස – www.project.crimson.org.nz

10. දකුණු අප්‍රිකාවේ බදින ලද දළඹුවන්

නත්තල වෙනුවෙන් දකුණු අප්‍රිකානු රටවල සකස් කරන තරමක් වෙනස් ම ආකාරයේ ආහාරයක් ලෙස ගැඹුරු තෙලේ බදින ලද දළඹුවන් හැඳින්විය හැකි ය. එය නත්තල් දිනයේ දකුණු අප්‍රිකාවේ සෑම නිවසක ම පාහේ පිළියෙළ කරන ආහාරයකි.

දකුණු අප්‍රිකානු ජනතාව නත්තලට දින කිහිපයකට පෙර පටන් කැලෑබද ප්‍රදේශවලින් දළඹුවන් එකතු කරගෙන විත් ඒවා බැද ආහාරයට ගැනීම සියවස් ගණනාවකට පෙර සිට පැවතෙන, තරමක වෙනස් චාරිත්‍රයකි.

බදින ලද දළඹුවන් – Facebook-Sudeepa Lakshan

11. ග්‍රීසියේ බෝට්ටු සැරසීම

නත්තල වෙනුවෙන් ග්‍රීසියේ මුහුදු වෙරළවල ඇති ගස් සහ බෝට්ටු සැරසීම ද දීර්ඝ කාලයක සිට පැවතෙන චාරිත්‍රයකි. ග්‍රීසියේ සැරසූ බව කියන පළමු නත්තල් ගස ද තබා ඇත්තේ විශාල බෝට්ටුවක් අසල බැවින් එතැන් පටන් මෙම චාරිත්‍රය ආරම්භ වන්නට ඇතැයි බොහෝ දෙනකු ගේ විශ්වාසය වේ.

ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය පිරිමි පුද්ගලයන් නත්තල සඳහා නැවතත් ගොඩබිමට පැමිණෙන බැවින් ඔවුන්ගේ භාර්යාවන් එම බෝට්ටු සරසයි. වර්තමානයේ දී ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේ මෙවැනි සැරසූ බෝට්ටු විශාල වශයෙන් දැකිය හැකි ය. 

ග්‍රීසියේ සරසා ඇති බෝට්ටුවක් – www.greekerthangreeks.com

කවරයේ ඡායාරූපය- ඉතාලියේ ළමයින්ට නත්තල් තෑගි ගෙනෙන මායාකාරිය- බෙෆානා - www.happyholidayhomes.net 

මූලාශ්‍ර:

Facebook.com/Sudeepa Lakshan

www.countryliving.com 

www.momondo.com 

www.whychristmas.com

Related Articles