Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ආලින්දයට එන ‘හ්වාරංග්’ හෙවත් මල් පිපෙන යෞවනය

හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්‍රී ලාංකීය නරඹන්නන් අතරට යළි පැමිණ ඇත. “සියොන්ඩියොක්” රැජනගේ ජීවිත කතාව අළලා 2009 වර්ෂයේ නිර්මාණය වූ Queen seon deok හි “කිම් යූ ශින්” මෙන් ම “අල්චුන්”යන හ්වාරංග් වරුන් දෙදෙනා “මීශිල්” නමැති ඒකාධිපති පාලිකාවකගෙන් සිල්ලාව බේරා ගැනීමට සියොන්ඩියොක් (ඩියොක්මාන්) කුමරියට උපකාර කරන ආකාරය ද, කිම් යූශින් දක්ශ සෙන්පතිවරයකු ලෙස ගොඩ නැගෙන ආකාරය ද ඉන් ඔබට  නැරඹීමට හැකි ය. මෙම නිර්මාණය ” ජනහිතකාමී රැජන ” ලෙස වසර කිහිපයකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය විය. හ්වාරංග් වරුන් සතු මිත්‍රත්වය නිර්භීතබව දක්ෂතාව පිළිබිඹු වන “හ්වාරං”(Hwarang) නම් කතා මාලාව ද මේ දිනවල රූපවාහිනියේ විකාශය වේ. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.

ඉහළ සමාජයේ අනාගත භූමිකාව

අතීත කොරියාවේ සිල්ලා රාජධානියේ  යුද ජයග්‍රහණවල දී විශාල මෙහෙවරක් ඉටු කළ වංශවත්, කඩවසම් බෞද්ධ රණශූරයන්ගෙන් සමන්විත රාජ්‍ය අනුග්‍රහය ලත් සංවිධානයක්  “හ්වාරංග්” යන වචනයෙන් සංකේතවත් වේ. හ්වාරංග් යන  නාමයේ අර්ථය විවිධ අයුරන් සඳහන් වී තියනවා. ‘මල් කොල්ලන්’, ‘මල් පිපෙන යෞවනයන්’ හෝ ‘ප්‍රභූ තරුණයන්’, “මල් නයිට්වරු” හෝ “මල් තරුණයන්”ලෙස බොහෝ විට එය අරුත් ගැන්වී ඇත. හ්වා යනු මල් සඳහා මල් පිපීම හෝ පිපෙන ක්‍රියාව යන චීන-කොරියානු භාවිතය වන අතර  රංග් යන්නෙන් අදහස් කරන්නේ මිනිසා ය. ඉහළ සමාජයේ අනාගත භූමිකාව සඳහා තරුණ පිරිමින් සූදානම් කිරීමේ අරමුණින් පිහිටවන ලද  මෙම සංවිධානයේ එවක දේශපාලනඥයන් සහ පරිපාලකයන්ගෙන් බහුතරයක් අධ්‍යාපනය ලබා ඇත. 

හ්වාරංග් අශ්වාරෝහකයෙක්- JLsilo

හ්වාරංග් අධ්‍යාපනය

හ්වාරංග් පිරිමි ළමයින් බොහෝ වෙලාවට  මුණගැසුණේ ස්වාභාවික පූජනීය ස්ථාන, විශේෂයෙන් පූජනීය කඳුකරය සහ ගංගා නිම්නවල දී ය. එහිදී ඔවුහු මුහුණු තීන්ත ආලේප කර ස්වර්ණාභරණ හා සපත්තු පැළඳ ගීත ගායනා කළහ. එසේ කිරිමේ  අරමුණ පැහැදිලි නොවෙතත් සංගීතය, නැටුම්, සදාචාරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් සමඟ ආගමික හා සටන් ඉගැන්වීම්, ජාතිකවාදය ආදියෙන් සමන්විත  අධ්‍යාපනික මිශ්‍රණයක් පිරිමි ළමයින් අනුගමනය කළ බව සම්ගුක් සාගි සහ සම්ගුක් යූසා වැනි කොරියානු ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. මිට අමතරව ඔවුහු බෞද්ධ හා තාඕවාදය තුළ පිබිදෙන කලා හා සංස්කෘතික අංග ද හ්වාරංග් වරුන් වෙත දායාද කළහ. ප්‍රභූ පැලැන්තියේ පුත්‍රයන් පමණක් මෙයට එකතු වීමට සුදුසුකම් ලැබූ අතර, රාජ්‍යයේ අනුග්‍රහය යටතේ පැවති මෙම ක්‍රමයේ සැබෑ අරමුණ නිසා පාලක පන්තියට වඩාත් දක්ෂ තරුණයන් තෝරා රාජ්‍ය තන්ත්‍රය තුළ අනාගත තනතුරු සඳහා ඔවුන් යොමු කිරීමට ඉඩ සැලසිණි. 

නිර්භීතභාවය ​ වර්ධනය කර ගන්නා ක්‍රම

අධ්‍යාපනයේ දී  සිල්ලාවේ මෙන් ම, සමස්ත අර්ධද්වීපයේ දී බොහෝ කලක් පැවති ෂාමනවාදයේ අංග සමඟ බොහෝ විට, බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියානුවාදය ඉගෙනිය යුතු විය. සම්ගුක් යූසා පවසන අන්දමට සදාචාරාත්මක හැසිරීම් රටා ඇතුළත් සිවිල් පුරවැසියන් සිවිල් ජීවිත ගත කිරීම සඳහා සූදානම් කර ඇති සබඳතා පහ, කලා හය, විද්වත් වෘත්තීන් තුන සහ රජයේ සේවා හය ද හ්වාරංග් පිරිමි ළමයින් අධ්‍යයනය කළ යුතුව තිබිණි. වොන් ග්වාං බෙප් සා  නම්  බෞද්ධ භික්ෂුවගෙන් අර්ධද්වීපයේ වාසය කරන අනෙකුත් රාජධානි (ඝෝර්‍යෝ,පෙක්ජේ) වලින් සිල්ලා රාජධානිය ආරක්ෂා කර ගැනීම සඳහා අභිලාෂය, නිර්භීතභාවය ​ වර්ධනය කර ගැනීමට ක්‍රම කියා දෙන ලෙස හ්වාරංග් වරුන්  ආයාචනා කරන ලදු ව වොන් ග්වාන්ග් මෙම තරුණයන්ට අංශ තුනක පුහුණුව ලබා දීමට කටයුතු කළේය.

  1. ආත්මාරක්ෂක හැකියාව
  2. ආත්ම විශ්වාසය
  3. ස්වයං වාරණ

හ්වාරංග් තරුණයන්ට සටන් කලාව මඟින් තම විශ්වාසය ගොඩ නඟා ගෙන රණශූරයන් වීමටත්, තම ක්‍රියා ගැන විශ්වාස තැබීමටත්, තමන් සහ තම වටපිටාව පාලනය කිරීමටත් වොන් ග්වාං ඉගැන්වී ය. වොන් ග්වාං මෙම හ්වාරංග් ඉගැන්වීම් ලබා දුන්නේ රහස් බෞද්ධ භික්ෂූන් ගේ ශාරීරික හා මානසික අභ්‍යාස ඒකාබද්ධ කළ ග්වොන්බියොප් (සටන් ක්‍රම හෝ කුසලතා) පදනම් කරගෙන වීම විශේෂත්වයකි. පසුකාලීනව ලෞකික ජීවිතය සඳහා වූ ශික්ෂා පද පහ යනුවෙන් හැඳින්වූ මූලධර්ම 5 ක් (මාර්ගෝපදේශ 5 )ක් ද වොන් ග්වාං යෝජනා කළ අතර එය හ්වාරංග් වරුන් අනුගමනය කළ යුතු  ආචාර ධර්ම ලැයිස්තුවක් බවට ද  පත් විය. මේ නිසා ඔහු පොදුවේ  “නීති සම්පාදකයා ලෙස හැඳින්විණි.

Queen seon deok කොරියානු ටෙලි නිර්මාණය – facebook.com/queenseondeok2009

හ්වාරංග් වරුන් අනුගමනය කළ යුතු ආඥා පහ

  1. තම ස්වෛරීයාට පක්ෂපාතී බව පෙන්වන්න.
  2. තම මාපියන්ට ගෞරවයෙන් හා භක්තියෙන් සලකන්න.
  3. මිතුරන් අතර විශ්වාසය හා අවංකභාවය පෙන්වන්න.
  4. කිසි විටෙකත් සටනේ දී පසුබසින්න එපා!
  5. ජීවිතයක් ගත කිරීමේදී විචක්ෂණශීලීව ක්‍රියා කරන්න.

වොන් ග්වාංගේ මෙම ආඥා සහ ඉගැන්වීම් හ්වාරංග් වරුන් හොඳින් අනුගමනය කළ බැවින්  එම ඉගැන්වීම් සිල්ලා රාජධානිය ප්‍රතිවාදී රාජධානිවලින් ආරක්ෂා කර ගැනීමට සහ සිල්ලා රාජධානිය බිඳ වැටෙන තුරු පුරාණ කොරියානු ජාතිය එක්සත් කිරීමට බොහෝ සෙයින්  උපකාර වී ඇත. ඉහත සඳහන්  සබඳතා පහ, වොන්ග්වෑන් භික්ෂුව නිර්මාණය කර තිබු අතර මෙය හ්වාරංග් සහ රාජ්‍යයේ අවශ්‍යතා අතර දැඩි සබඳතාව වඩාත් විස්තරාත්මක ලෙස  දක්වා තිබිණි.

ජාතික අමරණීයයා හෙවත් කුක්සන්

හ්වාරංග් තරුණයන් සිය දෙනකුගෙන් යුත් තනි කණ්ඩායමක් විය. එහි  නායකයා “කුක්සන්” (kukson) හෝ ‘ජාතික අමරණීයයා ‘ යන පදවි නාමයෙන් හැඳින්විණි. කුක්සන් යන චරිතය තාඕවාදී අර්ථයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එය කඳුකරයේ වාසය කරන අමරණීය හෝ ලෝකෝත්තර වන යන අරුත හඟවන වදනකි.  කුක්සන්  තෝරා ගනු ලැබුවේ සිල්ලා රාජධානියේ  සමාජ ධූරාවලිය වන Bone Rank System අනුව  චිංගෝල් පන්තියෙනි. බෞද්ධ විද්වත් භික්ෂූන් කිහිප දෙනකු ම කුක්සන්ට උපකාර කිරීමට පෙලඹී ඇත. හ්වාරංග් කණ්ඩායමේ අනුශාසකයා වූයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වන අතර උන්වහන්සේ  ‘මිත්‍රයා’ ලෙසද  හඳුන්වා තිබේ.

හ්වාරංග් සාමාජිකයන්  බුදුන්ගේ පුනරුත්පත්තියක් ලෙස තමන් හඳුන්වා ගෙන ඇත. හ්වාරංග් උප කණ්ඩායම්වලට බෙදී තිබූ අතර, ‘the Band of the Dragon Flower Tree’ (මකර මල සේනාංකය-මෛත්‍රී බුදුන් මුලින් ම පෘථිවියට පැමිණි ගස ගැන සඳහන්) ආදී බෞද්ධ උරුමය ආශ්‍රිත නම්වලින් උප කණ්ඩායම් සමන්විත විය. ක්‍රිස්තු වර්ෂ 660 දී බෙයික්ජේ (පේක්චේ) රාජධානියට එරෙහි සටනේදී නිර්භීත ව ජීවිතය පූජා කළ මහා සෙන්පති කිම් යූ-සින්, ඔහුගේ පුත් වොන් සුල් සහ ක්වාන්චැං ප්‍රසිද්ධ හ්වාරංග් සාමාජිකයන් ලෙස හැඳින්විය හැකි ය.

කීර්තිමත් හ්වාරංග් වරුන් දෙදෙනකු පිළිබඳ විමසමු. queen seon deok  නම් කතා මාලාවේ මෙම හ්වාරංග් වරුන් ගේ චරිත අන්තර්ගත වේ. ජාතික රුපවාහිනියේ “ජනහිතකාමී රැජිනිය’ ලෙස මෙම මාලා නාටකය විකාශය විය.

හ්වාරංග් අල්චුන් – amazon.com  

හ්වාරංග් අල්චුන් (Alcheon)

කිම් ඇල්චියෝන් (නොහොත් සෝ ඇල්චියොන්, 577-654) සියොන්ඩොක් (දියෝක්මාන්) රැජනගේ යුගයේ ප්‍රසිද්ධ සෙන්පතියකු  වූ අතර ඔහු ජින්ඩොක් රැජනගේ පාලන කාලය තුළ සංග්දෙඩියුන්ග් (මාලිගයේ සැලකිය යුතු ඉහළ තනතුරක්) ලෙස කටයුතු කළේ ය. ඔහු හියෝන්ගොන්ග් නමැති පුද්ගලයාගේ පුත්‍රයකු වූ අතර හියෝන්ගොන්ග් සියොන්ගොල් තරාතිරමේ පුද්ගලයෙක් විය. ඔහු සිංහාසනය උදෙසා සිදුවන ලේ වැගිරීම්වලින්  තම දරුවන් ඈත්  කර ගැනීම සඳහා හිතාමතා ම අඩු තරාතිරමක (ජින්ගොල්) කාන්තාවක් විවාහ කර ගත් අතර ඇල්කෙයොන් ජින්ගොල් කෙනකු බවට පත් වුනේ එලෙසිනි. ජිප්යොං රජුගේ පාලන කාලය තුළ ඇල්චියොන් හ්වාරංග් සාමාජිකයකු ව සිටි බව සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 636 දී, සියොන්ඩොක් රැජන (Queen Seondeok) යොගුන්-ගොක්හි බේක්ජේ හමුදාව පලවා හරින ලෙස අල්චුන්ට නියෝග කර ඇත.

හ්වාරංග් වරුන් සතු මිත්‍රත්වය නිර්භීතබව දක්ෂතාව පිළිබිඹු වන “හ්වාරං” – facebook.com/Hwarang-Korean-Drama

 

බිඩාම් ගේ කැරැල්ල

ක්‍රිස්තු වර්ෂ 637 පෙබරවාරි මාසයේදී සියොන්ඩොක් රැජනට එරෙහි ව පැන නැඟි බිඩාම් ගේ කැරැල්ල මැඩපැවැත්වීමට කිම් යූෂින්ට ඔහු උපකාර කළ බව සඳහන් වේ. සියොන්ඩොක් රැජනගේ මරණයෙන් පසු ජින්ඩොක් රැජනගේ ඊළඟ සංග්දෙඩියුං ලෙස ඔහු පත් කරනු ලැබිණි. ක්‍රිස්තු වර්ෂ 638 දී ඝෝර්යෝ  හමුදාව චිල්ජුන්ග් මාලිගාව ආක්‍රමණය කළ විට ඔහු සිය සොල්දාදුවන්  ජයග්‍රහණය කරා ගෙන යාමට හ්වාරංග් අල්චුන් සමත් විය. 654 දී ජින්ඩොක් රැජන අනුප්‍රාප්තිකයකු නොමැතිව මිය ගිය අතර  සැන්ග්ඩෙඩියුං කෙනකු වීම නිසා ඇල්චියෝන්ට සිහසුනට පත්වීමට හොඳට ම  අවස්ථාව තිබිණි. ඔහු එය ප්‍රතික්ෂේප කළ අතර, “තමන් මේ වන විටත් එම තනතුර සඳහා බොහෝ වයස්ගත වී ඇති අතර එසේ කිරීමට පවා ආශාවක් නැත” යනුවෙන් පවසා ඇත.

පසු කලෙක  ඔහු තේජොං මුයියෝල් රජු බවට පත් වූ කිම් චුන්චුට (queen seon deok හි ජුන් මෙයෝන් කුමරියගේ පුතනුවන්) සිය සහයෝගය ලබා දුන්නේ ය. ඊට පසු, කිම් ඇල්චියොන් ඔහුගේ අවසාන නම කිම් සිට සෝ ලෙස වෙනස් කර ඇත. ඒ අනුව ඔහු සිල්ලාහි සෝ වංශයේ නිර්මාතෘවරයා ලෙසද හැඳින්විය හැකි ය. සිහසුනට සමීප ම, අයකුට  ලබා  ගත හැකි ඉහළ ම හා කීර්තිමත් තනතුර  වූ සැන්ග්ඩෙඩියුන් තනතුර  දැරූ  බැවින් ජින්ජුහි සෝ වංශය කීර්තිමත් පරම්පරාවකට උරුමකම් කියා ඇත.

අල්චුන් ගේ නිර්භීතභාවය පිළිබඳ ප්‍රසිද්ධ පුරාවෘත්තයක සඳහන් පරිදි  වරක් ඇල්චියොන් අනෙක් හ්වාරංග් පිරිස් සමඟ වනාන්තරයේ සිටිය දී හදිසියේ ම සිංහයකු දර්ශනය වී ඔවුන්ට පහර දීමට සූදානම් වූ අතර අනෙකුත් හ්වාරංග් වරුන් භීතියට පත් වූ අතර භීතියට පත් වූ නමුත් ඇල්චියොන් සිනාසෙමින් සිංහයාට තනිව ම පහර දී  ඔහුගේ දෑතින් ම මරා දමා ඇති බවත් එම පුරාවෘත්තයේ සඳහන් වේ.

 කිම් යු ෂින් – listal.com

හ්වාරංග් කිම් යු ෂින් (Kim Yu-sin)

කොරියානු ඉතිහාසයේ කීර්තිමත් ම සෙන්පතිවරයා ලෙස හැදින්විය හැකි කිම් යූ ෂින් රාජධනි තුනෙහි කොරියානු අර්ධද්වීපය (සිල්ලා, ඝෝර්යෝ, බක්ජේ) එකම ධජයක් යටතේ එක් සේසත් කිරීම සඳහා වූ මුලික බිජ රෝපණය කර ඇත. මේ නිසා ඔහු කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස සැලකිය හැකි අතර, රාජධානි තුන එක්සත් කිරීමේ යුද්ධවල සිටි සියලු ම ජෙනරාල්වරුන් අතර වඩාත් ප්‍රසිද්ධ ය. මුයියෝල් රජුගේ සහ මුන්මු රජුගේ පාලනය යටතේ කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමට ඔහු නායකත්වය ලබා දී ඇති අතර ඔහු තම ජිවිත කාලය තුල ජින්පියුන් රජු, සොන්දොක් රැජන, ජින්ගොක් රැජන, මුයෝල් රජු ( කිම් චුන්ජු ) හා මුන්මු රජු වැනි බලවත් පාලකයන් යටතේ සේවය කර ඇත.

ඉතා ඉහළ තනතුරක්

ඔහු ගුම්ග්වාන් ගයා ප්‍රාන්තයේ අවසාන පාලකයා වූ ජියුම්වන් ගයාහි ගුහා රජුගේ මුණුබුරා ලෙස  සඳහන් වේ. එනිසා  පුද්ගලයකුට ලබා ගත හැකි දේශපාලන හා මිලිටරි තත්ත්වය පාලනය කරන සිල්ලා ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය තුළ  ඔහුට ඉතා ඉහළ තනතුරක් හිමි ව තිබු බව සිතිය හැකි ය. කිම් යූ-ෂින් යනු ජෙනරාල් කිම් සියොහියොන් (ජෙනරාල් කිම් මු-රියොක්ගේ දෙවන පුත්) සහ කිම් සුඛෙයුල්ජොංගේ (සිල්ලාහි රජු වූ ජින්හුං රජුගේ) දියණිය වූ මන්මියොං ආර්යාවගේ පුතනුවන් විය.

595 දී ජින්චියොන් ප්‍රාන්තයේ ජෙයැන්ග් හි උපත ලැබූ ඔහු 15 වැනි වියේදී හ්වාරංග් රණශූරයකු වූ අතර ඔහු වයස අවුරුදු 18 වන විට හ්වාරංග් නායකයා  වීමට  තරම් දක්ෂයෙක් විය. වයස අවුරුදු 34 වන විට (ක්‍රිස්තු වර්ෂ 629 දී) ඔහුට සිලා සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ අණ දෙන නිලධාරියා බවට පත් විය. වසර තුනකට පසු කිම් යූ-ෂින්ගේ ඥාති දියණිය වන ඩියොක්මාන් කුමරිය සිල්ලාහි සියොන්ඩොක් රැජන බවට පත් වූ අතර කිම් යූ-සින් රාජකීය හමුදාවේ සේනාධිනායක ලෙස ඇය ඔහු පත් කළා ය.

කිම් යුෂින් සිහිවීම සඳහා ඉදි කර ඇති  පිළිමය –  Vientedhos 

 

සිල්ලාහි සියොන්ඩොක් රැජනගේ (632-647) පාලන කාලය තුළ කිම් යූ-ෂින්ට පෞද්ගලික සෙබළුන් දස දහසක් සිටි අතර, බෙක්ජේට එරෙහිව බොහෝ සටන් ජයග්‍රහණය කළ අතර සිල්ලාහි බලවත් ම පුද්ගලයකු ලෙස හෙතෙම දිවි ගෙවා ඇත. ක්‍රිස්තු වර්ෂ 629 දී පමණ සිදු වූ පළමු යුද සටනින් ම ඔහු තම හැකියාව විදහමින්  තමන් රණශූරයකු ලෙස ඔප්පු කිරීමට හැකි විය. මේ කාලය වන විට සිල්ලා රාජධානිය බටහිර දෙසින් පිහිටි සිය අසල්වැසියා වන බේක්ජේ සමඟ නිරන්තර අරගලයක යෙදී සිටි අතර  දෙපාර්ශවයේ ම අයට වාසි සහ අලාභ සිදු වෙමින්  අරගලය වසර ගණනාවක් පැවතිණි. මෙම කාලය තුළ යු-ෂින් හමුදාපති තනතුරෙන් ඉහළට ගොස් ජෙනරාල් තනතුර දක්වා ඉහළ ගොස් දක්ෂ ක්ෂේත්‍ර අණ දෙන නිලධාරියකු විය.

සන්නිවේදන මාධ්‍යයක් ලෙස සරුංගල් 

ජනප්‍රවාදවල කිම් යූ-ෂින් ගැන බොහෝ රසවත් කථා ඇත.  සිය සෙබළුන්ට කැරලිකාර හමුදාවක් පරාජය කරන ලෙස වරක් ඔහු අණ කළ බව පැවසෙන නමුත් විශාල තාරකාවක් අහසින් කඩා වැටෙනු දුටු ඔහුගේ හමුදාව එය නරක පෙර නිමිත්තක් ලෙස සැලකු බැවින් සටන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. තම භටයන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා ජෙනරාල් විශාල සරුංගලයක් භාවිත කරමින් ගිනි බෝලයක් අහසට ගෙන ගොස් ඇති අතර තරුව නැවත ස්වර්ගයට යන අයුරු දුටු සොල්දාදුවන් පෙළ ගැසී කැරලිකරුවන් පරාජය කරන්නට සමත් විය. ජෙනරාල් කිම් දූපත් සහ ගොඩබිම අතර බෙදී වෙන් ව සිටියදී බොහෝ විට  තම හමුදාව අතර සන්නිවේදන මාධ්‍යයක් ලෙස සරුංගල්  භාවිත කර ඇත. කිම් යූ-ෂින්ට කිම් බෝහී සහ කිම් මූන්හී ලෙස සහෝදරියන් දෙදෙනෙක් විය.  

කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීමට නායකත්වය දුන් ගෞරවයට පාත්‍ර වූ කිෂා මූන්හී, පසුව මුන්මියොං ලෙස හැඳින්වූ කිෂන්, යුෂින්ගේ මිත්‍ර කිම් චුංචු (ජුන්මෙයෝන් කුමරියගේ පුතා) සමඟ විවාහ වූවා ය. මියුයෝල් සහ මුන්මියොං යනු සිල්ලාහි රජු සහ මුන්මුන්ගේ රජුගේ මාපියන් විය. කිම් යූ-ෂින්ගේ තුන්වන බිරිය වන ජිසෝ ආර්යාව සිල්ලාහි මියුයෝල් රජුගේ තුන්වන දියණිය යි. යුෂින්ට දරුවන් දස දෙනකු සිටිය බව සඳහන් වන අතර  ඔහුගේ දෙවන පුත්‍රයා වූ කිම් වොන් සුල් පසුව ටාං රාජවංශය වෙතින් සිල්ලා රාජ්‍ය  නිදහස් කරගැනීමේදී  දී ප්රධාන භූමිකාවක් ඉටු කර ඇත. වර්තමානයේ  කිම් යූ-ෂින්, කොරියානු ජාතිකයන් කොරියානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත ම ජෙනරාල්වරයකු ලෙස සිහිපත් කරයි. ඔහුගේ දරුවන් දස දෙනාගෙන් එක් අයකු (ඔහුගේ දෙවන පුත්‍රයා) වූ කිම් වොන් සුල් සිල්ලාහි මුන්මු රජුගේ කාලයේ දී ජෙනරාල් වරයකු වූ අතර සිල්ලා එක්සත් කිරීමේ මෙහෙයුමේ දී  විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් සඳහන් වේ.

කවරයේ පින්තූරය: The Great Queen Seondeok හි දසුනක් -pinterest.pt 

මූලාශ්‍ර:

worldhistory.org

newworldencyclopedia.org

wikiwand.com

www.dragonsspirit.org.nz 

Related Articles