ඩ්‍රීම් කැචර්ස් නූතන ලෝකයේ බොහෝ ජනප්‍රිය අත්කම් නිර්මාණයක් ලෙස සැලකෙනවා. නිවාස අලංකාර කරන සැරසිල්ලක් විදියටත්, වාහනවල එල්ලා තබන විසිතුරු අත්කම් නිර්මාණයක් ලෙසිනුත් ඩ්‍රීම් කැචර්ස් පාවිච්චි කරන්න බොහෝ දෙනකු පෙලැඹී සිටිනවා. ශරීරය අලංකාර කරන ටැටූ මෝස්තරයක් විදියට වගේ ම කනේ පළඳින කරාබු විදියටත් මේවා අද කාලයේ තරුණ තරුණියන් අතර බොහෝ ජනප්‍රිය යි.
සුළඟේ නැළැවෙන මේ අපූරු නිර්මාණයේ ඉතිහාස කතාවත් බොහොම අපූරුයි. එයට පාදක වන්නේ අමෙරිකානු ස්වදේශික ජනතාව අතර පැතිර තිබූ පුරාවෘත්තයක්.
ලෝකයේ හොඳ නරක පිළිබඳ ව ගැඹුරු සංවාදයක්
ඒ පුරා කතාවන්ට අනුව ක්‍රිස්ටෝපර් කොලොම්බස් අමෙරිකාව සොයා ගැනීමට බොහෝ කාලයකට කලින් එහි මුල් වැසියන් කණ්ඩායමක් වූ ඔජිබ්වා මිනිසුන් අතර සිටියා එක් ආධ්‍යාත්මික නායකයෙක්. ඔහු දිනක් කඳු මුදුනක සිටින විට ඉක්තෝමි නම් වූ තවත් ප්‍රඥාවන්තයකු මුණගැසුණා. ඉක්තෝමි පෙනීසිටියේ පාද අටක් සහිත මකුළුවකුගේ වේශයෙන්. ඇතැම් පුරාවෘත්තවල හැටියට නම් ඒ කාන්තාවක්.
කෙසේ වෙතත් මේ දෙදෙනා අතර ලෝකයේ හොඳ නරක පිළිබඳ ව ගැඹුරු සංවාදයක් ඇති වුණා. මේ පුරාණ කතාන්දරයට අනුව මකුළුවා, ලෝකය චක්‍රයක් බවත් උපතේ සිට මරණය දක්වා සියලු දෙනාගේ ජීවිත චක්‍රාකාර ව ගත වන බවත් පවසා තිබෙනවා. මේ ඔජිබ්වා ජනතාව අතර ස්වභාවික ප්‍රඥාව උතුම් දෙයක් වශයෙන් සැලකුණු අතර ම ඔවුන් ස්වභාවිකත්වය තමන්ගේ මඟ පෙන්වන ගුරුවරයා බවට විශ්වාස කළා.
ඒ කතබහ සිදුවෙන අතරතුරේදී ඉක්තෝමි, ආධ්‍යාත්මික නායකයා සතු ව තිබුණු පිහාටු,අශ්ව කෙඳි, පබළු සහ විලෝ වළල්ලක් ආදී ඔවුන්ගේ පූජා භාණ්ඩවලින් දැලක් වියන්නට පටන්ගෙන තිබෙනවා. බොහෝ දීර්ඝ ව සිදුවුණු මේ සංවාදය තුළ දී මේ විවීම නතර නොවී දිගින් දිගට ම සිදු වී තිබෙනවා. කතාව අවසානයේ දී ඉතා අලංකාරවත් ලෙස වියා තිබුණු ඒ විලෝ වළල්ලේ අත්කම් මෝස්තරය ඔහු ඔජිබ්වා ආධ්‍යාත්මික නායකයා වෙත ප්‍රදානය කළ බවයි පැවසෙන්නේ. එතැන් පටන් මේ ස්වදේශික අමෙරිකානුවන් අතර සුබ සිහින ඇල්ලීමේ හා නරක සිහින විනාශ කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වනවා.
සූර්යයාගේ ශක්තිය සංකේතවත් කිරීම
ඩ්‍රීම් කැචර් එකක හරි මැදින් සිදුරක් පිහිටන ලෙස තමයි අදටත් එය නිර්මාණය කරන්නේ. මේ සිදුර සූර්යයාගේ ශක්තිය සංකේතවත් කරනවා. ඒ සිදුර තුළින් රාත්‍රී වාතයේ ඇති සුබ සිහින ඇදී ඇවිත් සුවපත් නින්දක් ලබා දෙන බව ස්වදේශික අමෙරිකානුවන්ගේ විශ්වාසයක්. ඒ වගේ ම සුව නින්දට බාධා කරන නරක සිහින, මෙහි තිබෙන දැල්වල පැටලී අතරමං වී උදෑසන හිරු එළිය පායන විට ඉන් විනාශ වන බවත් ඔවුන් විශ්වාස කළා. මේ කාලයේදී සැරසිල්ලක් විදියට ඩ්‍රීම් කැචර්ස් හැමතැන ම එල්ලුවත්, සම්ප්‍රදාය නම් එය තමන් නිදන ඇඳට ඉහළින් එල්ලීම බව බොහෝ දෙනකු නොදන්නවාට සැකයක් නැහැ.
අලුත උපන් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අත්තම්මලා සහ සීයලා මේ අපූරු විලෝ වළලු සිහින අල්ලන වියුවා. ළදරුවන්ට සුව නින්දක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇතිවන සුබ සිහින පෙනීම වෙනුවෙන් ඔවුන්ගේ තොටිල්ලට ඉහළින් මේවා එල්ලා තැබීම ඒ යුගයේ දී අනිවාර්ය සම්ප්‍රදායක් වී තිබෙන්නට ඇති.
මේ අයුරින් පරම්පරා ගණනාවක් තිස්සේ සුබ සිහින අල්ලා ගැනීමටත්, නරක සිහින විනාශ කිරීමටත් ඩ්‍රීම් කැචර්ස් එල්ලා තැබීමේ සම්ප්‍රදාය පැවතී තිබෙනවා. උතුරු අමෙරිකානු ස්වදේශිකයන් මේවා භාවිත කර ඇත්තේ බොහෝ ගෞරවයකින් යුතු ව යි. එයට හේතුව නම් ඒවා ශක්තිය හා සමඟිය සංකේතවත් කිරීම නිසා යි.
ජීවන ජාලයේ නිර්මාතෘවරයා
මුල් ම යුගයේ දී ඩ්‍රීම් කැචර්ස් නිර්මාණය කර තිබෙන්නේ රතු විලෝ අතු කැබලි සහ ශාක කෙඳි භාවිත කරමින්. එයට අමතර ව කුරුළු පිහාටු, බෙලි කටු, ඊතල හිස් වගේ ම ඇතැම් විට වටිනාකමෙන් මඳක් අඩු මැණික් ගල් පවා භාවිත කර තිබෙනවා. ඒ සඳහා මැණික් ගල් භාවිත කරන සෑම විට ම එක් නිර්මාණයක් වෙනුවෙන් එක් මැණික් ගලක් පමණක් යොදා ගෙන ඇත්තේ මේ ජීවන ජාලයේ නිර්මාතෘවරයා සිහිපත් කිරීම වෙනුවෙන්.
ප්‍රඥාවන්ත මකුළුවාගේ පාද අට
සාම්ප්‍රදායික ඩ්‍රීම් කැචර්වල වටේ පිහිටි වළල්ල දැළට සම්බන්ධ වන ස්ථාන තිබී ඇත්තේ අටක් පමණයි. එයට හේතුව වී ඇත්තේ මේ නිර්මාණය ලොවට දුන් ප්‍රඥාවන්ත මකුළුවාගේ පාද අට සිහිවීම පිණිස යි.
බොහෝ කාලයකට පෙර අමෙරිකාව ආක්‍රමණය කළ ක්‍රිස්ටෝපර් කොලොම්බස් පරපුරේ මිනිසුන් මේ ස්වදේශික ජනතාවට නිදහසේ ඉන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් ස්වදේශිකයන්ගේ ආගමික විශ්වාස හා ඇදහිලි පවා තහනම් කළා. ඒ කාලයේ දී ඇතැම් ආගමික සංකේත සැලකුණේ නීති විරෝධී තහනම් දේවල් විදියට. ඒ අනුව මේ සිහින අල්ලන අපූරු නිර්මාණයත් තහනම් භාණ්ඩයක් වී තිබෙනවා. නමුත් 1978 දී අමෙරිකානු – ඉන්දියානු ආගමික නිදහස් පනත තුළින් මේ තහනම ඉවත්කරන්නට කටයුතු යෙදීමත් සමඟ ඩ්‍රීම් කැචර්ස් සම්ප්‍රදාය ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත්තා.
අද වන විට මේ අපූරු ඩ්‍රීම් කැචර් එක බොහෝ දුර ගමනක් ඇවිත්. රෙදි හා රිබන් වැනි විවිධ දේවල් යොදා ගනිමින් විවිධ ආකාරයේ ගෙත්තම්වලින් මේ කාලයේ ඩ්‍රීම් කැචර්ස් නිර්මාණය වුවත් එහි ඇතැම් සාම්ප්‍රදායික ලක්ෂණ අදටත් නොනැසී පවතිනවා. එය එහි මුල් අරමුණ වන සිහින ඇල්ලීමේ කටයුත්තෙන් බැහැර වී හුදෙක් ම සැරසිල්ලක් ලෙසින් පෙනී සිටිනවා. එහි මුල් කතන්දරයත්, ඒ හා බැඳුණු සංස්කෘතියත් නොදන්නා නමුත් ස්වදේශික අමෙරිකානුවන්ගේ මේ අපූරු නිර්මාණය අදටත් සිතේ හා අවට පරිසරයේ ශාන්තිමත් භාවය අගය කරන්නන්ගේ සංකේතයක් බවට පත්වී තිබීම සතුටට කරුණක්.