Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරාබු නැටිවල දෙගුණ වූ ගුණ

කරාබු නැටි කියන්නේ ඉන්දුනීසියාවේ මලුකු දූපත් වලට ආවේණික කරාබු (Syzygium aromaticum) ශාකයේ හටගන්නා මල් පොහොට්ටුවලට යි. වාණිජ්‍ය වශයෙන් මේවා එරට මෙන්ම බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පකිස්ථානය, ටැන්සානියාව, හා ශ්‍රී ලංකාවේ වගා කෙරෙනවා. රටවල් කිහිපයක විවිධ කාලවල දී ඵල දරන නිසා ලෝකයට අඛණ්ඩ සැපයුමක් වසර පුරා ලබා ගන්නට පුළුවන්. කරාබු නැටිවලට එම වටිනාකම ලැබෙන්නේ කුළු බඩුවක් වශයෙන් පමණක්ම නොවෙයි. එහි සෞඛ්‍යමය ගුණාංග බොහොම පවතිනවා.

කරාබු නැටි හෙවත් මල් (herbco.com)

කරාබු නැටිවල නිස්සාරණයන්ගේ ෆීනෝල් සංඝටක අඩංගු වෙනවා. ඉයුජිනෝල් සහ එහි ව්‍යුත්පන්න වන ෆ්ලැවෝන, අයිසො-ෆ්ලැවෝන හා ෆ්ලැවොනයිඩ ඒ අතර තිබෙනවා. මේවායෙන් අස්ථිවල දැඩිබව සහ අස්ථි සැකසීමට අවශ්‍ය ඛනිජ ආරක්ෂා කරනවා. එසේම ඇදීමට හැකි සවිමත් බව වැඩිවීම නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්ව අවම කිරීමට උපකාර වෙනවා‍.

අපේ උදරයේ තිබෙන ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම උත්තේජනය කරන්නට කරාබු නැටිවලට පුළුවන්. ඒ වගේම බඩේ වාතය පිරීම, ආමාශයික අපහසුතා, ඔක්කාරය වැනි අවස්ථාවන්ට කරාබු නැටි හොඳ ඖෂධයක්. එවන් අපහසුතාවක දී බැද, කුඩු කර, හෝ මී පැණි සමග ආහාරයට ගැනීමෙන් සහනය සලසා ගන්නට පුළුවන්. ඒ වගේම හිසරදයක් ඇතිවුණු අවස්ථාවක දී කරාබු නැටි කිහිපයක් ලුණු කුඩු සමග මිශ්‍ර කරලා කිරි වීදුරුවකට එක් කර පානය කරන්න. ක්ෂණික සහනයක් ලබා ගන්නට පුළුවන්.

කිරිවලට කරාබුනැටි බිඳක් එක් කරගන්න (squarespace.com)

නූතනයේ බොහෝ දෙනෙක්ට ගැටළුවක්ව තිබෙන දියවැඩියාවට පිළිතුරක් කරාබු නැටිවල තිබෙනවා. දියවැඩියා රෝගීන්ගේ දේහ ඉන්සියුලින් ප්‍රමාණය අඩුයි හෝ ඇතැමුන්ගේ නිපදවන්නේම නැහැ. කරාබු නැටි සාරයන්ට ඉන්සියුලින් ලෙස ක්‍රියා කරමින් රුධිර සීනි මට්ටම පාලනය කරන්නට පුළුවන්. දියවැඩියාව හැදුණු මීයන් යොදාගෙන කරන ලද අත්හදා බැලීමක දී කරාබු නැටි නිස්සාරණයන් හරහා රුධිර සීනි මට්ටම යාමනය කරන්නට හැකි බව පැහැදිලි වුණා.

එ් වගේම තවත් පර්යේෂණයක දී කරාබු නැටිවල ද අඩංගු නයිග්‍රසීන් නමැති සංයෝගයක් සහ කරාබු නැටි නිස්සාරණයක් යොදාගෙන පරීක්ෂණ නලයක යෙදූ මූසික අස්ථික පේශි සෛලවලට සහ දියවැඩියාව වැළඳුණු මීයන්ට යොදනු ලැබුවා. එහි ප්‍රතිඵල ලෙස අග්න්‍යාශයේ ඇති ඉන්සියුලින් නිපදවන බීටා සෛලවල ක්‍රියාකාරීත්වය යාමනය කිරීම, වැඩි ග්ලූකෝස් ප්‍රමාණයකට මුහුණ දීම, ඉන්සියුලින් සඳහා වූ බාධාවන් ඉවත්ව යාම දැකිය හැකිවුණා. ඉන්සියුලින් නිසි ආකාරව ක්‍රියා කරනවිට රුධිර සීනි මට්ටම් පාලනය වන නිසා සමබල ආහාර වේලක් සමග කරාබු නැටි දියවැඩියාව පාලනය කරගන්නට යොදාගත හැකියි.

මීයන්ගේ කරදරෙන් මිදෙන්න කරාබුනැටි මෙවන් පොට්ටනියක දමා ඔවුන් පිවිසෙන ස්ථානවල තබන්න. (thermofisher.com)

අහිතකර ක්ෂුද්‍රජීවීන්ට ප්‍රතිරෝධී හැකියාවන් සහිත කරාබු නැටි බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවින්ගෙන් ආරක්ෂාව සලසනවා. මස්පිඬු වේදනාව, අතීසාරය, තෙහෙට්ටු බව මෙන්ම මරණය පවා ගෙන එන E. coli බැක්ටීරියාව මර්දනයට කරාබු නැටි තෙල්වලට හැකියාව තිබෙන බව පර්යේෂණ හරහා සනාථ කර තිබෙනවා. විශේෂයෙන් මුඛ සෞඛ්‍යය රැකගන්නට කරාබු නැටි සතු ක්ෂුද්‍රජීවි මර්දන හැකියාවන්ගෙන් ලැබෙන්නේ ප්‍රමුඛ දායකත්වයක්. කරාබු නැටි යොදාගෙන කළ පර්යේෂණයක දී විදුරුමස් රෝග වැනි මුඛ රෝග සඳහා හේතුවන Streptococcus mutans ඇතුළු බැක්ටීරියාවන් රැසකට එරෙහි වන්නට ඊට හැකියාව ඇති බව සොයාගෙන තිබෙනවා.

තවත් පර්යේෂණයක දී කරාබුනැටි, බැසිල් ශාකය, සහ තේ ශාකයෙන් ගත් තෙල් අඩංගු කර සකසා ගත් නිස්සාරනයක් 20 දෙනෙකුටත්, සාමාන්‍ය දියරයක් තවත් 20 දෙනෙකුටත් ලබා දී අත්හදා බලා තිබෙනවා. දින 21ක් මුඛය සේදීමට එය පාවිච්චි කිරීමෙන් අනතුරුව කරාබු නැටි අඩංගු දියරය පාවිච්චි කළ අයගේ නීරෝගී විදුරුමස් සහ දත්වල බැඳී තිබූ මැලියම් ප්‍රමාණය සහ බැක්ටීරියාවන් අඩුවී තිබෙනු දකින්නට ලැබුණා.

ස්වාභාවික කරාබුනැටි තෙල්වල ඉයුජිනෝල් අඩංගුයි (oilhealthbenefits.com)

කරාබු නැටිවල අඩංගු ෆ්ලැවොනයිඩ, හෙක්සේන්, මෙතිලීන්‍ ක්ලෝරයිඩ්, එතනෝල්, තයිමෝල් හා ඉයුජිනෝල් වැනි ජෛව රසායනික වලට ප්‍රදාහයන් වැළැක්වීමේ හා වේදනාව අඩු කිරීමේ හැකියාවන් තිබෙනවා. දේහ කොටස් ඉදිමීම් ඇතිකරන එඩීමේ රෝගය සමනය කරන්නට කරාබු නැටිවල අඩංගු ඉයුජිනෝල් සමත් වන බව විද්‍යාගාර මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් සොයා ගනු ලැබුවා. ඉන් ඉයුජිනෝල් මඟින් වේදනා ප්‍රතිග්‍රාහක මත බලපාමින් ඉන් ඇතිවන වේදනාවන් ද සමනය කරන බව පිළිඹිබු වුණා. ඔබටත් දත් කැක්කුමක් ඇතිවුණොත් පිරිසිදු කපු පුළුන් කැබැල්ලක හෝ ටිෂූ කැබැල්ලක කරාබු නැටි තෙල් පොඟවා වේදනාකාරී ස්ථානයේ තියන්න. කරාබුනැටි තෙල් නැත්නම්, කරාබුනැටි කැබැල්ලක් සපා වේදනාව පහවන තෙක් එම ස්ථානයේ රඳවන්න.

මුඛාශ්‍රිත ප්‍රදාහයන් නිසා ඇතිවන විදුරුමස් ඉදිමීම් සමනය කිරීම සඳහා කරාබුනැටිවල අඩංගු ඉයුජිනෝල් උපකාරී වෙනවා. එය සතු වේදනා නාශන ගුණයන් නිසා එවැනි අවස්ථාවල දී මුඛයේ ඇතිවන දරාගත නොහැකි අමිහිරි වේදනාවන් නැති කරගන්නට කරාබු නැටි යොදාගත හැකියි. ඉයුජිනෝල් අඩංගු, කරාබුනැටි යහගුණ ඇති Clogard වැනි දන්තාලේප මෙයට උදාහරණ ලෙස දෙන්නට පුළුවන්. ස්වාභාවික කරාබු නැටි තෙල් සංයෝගය අඩංගු නිෂ්පාදන භාවිතයෙන් කරාබු නැටිවල දෙගුණ ගුණ සියල්ලම ලබන්නට අපට පුළුවන්.

කවරය: keralaspicesonline.com

Related Articles