නෙළුම බෞද්ධ, සහ හින්දු ආගම්වල පමණක් නොව පැරණි ඊජිප්තු ආදී යුග වල ද පූජනීයත්වයෙහි ලා සලකනු ලැබූ පුෂ්පයකි. ලාංකික සාහිත්‍යයේ නෙළුම් ගැන බහුලව සඳහන් වන අතර, පූජනීය ස්ථානවල කලාත්මක නිර්මාණ සඳහා නෙලුම් පුෂ්ප භාවිතා කර තිබෙනවා. විවිධ නම් වලින් හඳුන්වන මේවා, සංකේතාත්මකව විවිධ අවස්ථාවන් සඳහා භාවිතා කරනවා.
විද්‍යාත්මක නාමයන් හා අනෙකුත් නම්
නෙළුම් මල් හැඳින්වීම සඳහා නොයෙකුත් නම් භාවිතා කරනු ලබනවා. ඒ අතර සහස්පත, පද්ම, සියපත, තඹර, පියුම, අරවින්ද යන නාමයන් වනවා. නෙළුම්හි විද්‍යාත්මක නාමය වන්නේ, Nelumbo nucifera යන්න යි. නෙළුම් ශාකය Nymphaeaceae නම් කුලයට අයත් වනවා.
සාහිත්‍යයේ දී රූමත් කාන්තාවන් නෙළුම් මල සමග සංසන්දනය කිරීම බහුලව සිදු කොට තිබෙනවා. පද්ම වර්ණ යන්නෙන් නෙළුම් මලක වර්ණය ඇති යන්නත්, පද්මාක්ෂි යන්නෙන් නෙළුම් පෙති වැනි ඇස් ඇති යන්නත්, පද්මානන යන්නෙන් නෙළුම් මලක වැනි මුහුණ යන්නත්, පද්ම උරු නෙළුම් වැනි කලවා ලෙස ආදී වශයෙන් හඳුන්වා තිබෙනවා.
සංකේතාත්මක අවස්ථා හා බුදු දහම හා බැඳීම
පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා පුරාණ බෞද්ධ නිර්මාණයන්හි නෙළුම් පුෂ්පය ‘නිවනට’ සමාන කොට තිබෙන ලෙස අර්ථ දක්වා තිබෙනවා. ගැඹුරු අර්ථයක් ඉස්මතු කරන සඳකඩපහණේ අවසානයේ නෙළුම් මලෙන් නිවන සංකේතවත් කරනු ලබනවා. පොත්පත් වල දැක්වෙන ආකාරයට නෙළුම් මලෙන් පාරිශුද්ධත්වය ද නිරූපණය කරනවා.
මල් අතරින් උසස්ම මල ලෙස සලකනු ලබන මෙම පුෂ්පය, සිදුහත් කුමාරයාගේ උපත සිදුවී සත් පියවරක් ඉදිරියට යාමට පැනනැගුණ බව බෞද්ධා සාහිත්‍යයේ දැක්වෙනවා. බෞද්ධ විහාරයන් ආශ්‍රිතව ද සුලභව දැකගත හැකි පුෂ්පයකි නෙළුම්. බැතිමතුන් බුදුන් පිදීමට නෙළුම් භාවිතා කරන සිරිතක් තවමත් ලංකාවේ දක්නට පුළුවන්.
ඉන්දීය සාහිත්‍යය හා නෙළුම් මල
ඉන්දීය සාහිත්‍යයේ හා කලාවේ ද නෙළුම් මලට ඉතාමත් සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. පද්ම, කමල, නලිනි, අරවින්දම්, නීලොත්පලම්, සහශ්‍ර පත්‍රජම්, කුවල්‍යා, පුණ්ඩරික, පන්කරුහම් ආදී නම් ඉන්දියානුවන් නෙළුම හැඳින්වීමට භාවිතා කරනවා. නෙළුම් මල මිනිස් ජීවිත සතුටින් තැබීමට අවශ්‍ය ස්වාභාවික බලවේගයක් ලෙස ඍග්වේදයේ සඳහන් වනවා.
නෙළුම් මල හා සූර්යයා අතර තිබෙන සම්බන්ධය එවකට ජීවත් වූ පුද්ගලයන් අතර කුතුහල දනවන්නට තරම් සමත් වුණා. නෙළුම් මල සම්බන්ධයෙන් වන පැරණිම සඳහන ලෙස ඍග්වේදයේ ස්ත්‍රෝත්‍රයන් දැක්විය හැකි යි. පුරාණ හා උපනිෂද් වල ද නෙළුම් මල සම්බන්ධයෙන් සඳහන් වන අතරම, සතපත බ්‍රාහ්මණ විසින් නෙළුම් මල ගර්භාෂය සමග සංසන්දනය කිරීමක් සිදු කරනු ලබනවා. ඉන්දීය සාහිත්‍යය මිනිස් සිරුර සහ මනස සමග නෙළුම් මල සමග සංසන්දනය කිරීමක් සිදු කර තිබෙනවා.
වසර 3000ට පෙර පැවතුණා යැයි සැලකෙන හරප්පා යුගයේ ද මිනිසුන් නෙළුම් මල ගැන දැනුවත්ව සිට තිබෙනවා. එවකට වූ මැටි බඳුන්, ගල්, සිප්පි කටු ආදියේ නෙළුම් මලේ පෙති සලකුණු කිරීමක් සිදුවුණා.
පැරණි ඊජිප්තු යුගයේ ද නෙළුම් පුෂ්ප වලට සුවිශේෂී ස්ථානයක් හිමිවුණා. විශේෂයෙන්ම සුදු හා නිල් නෙලුම් මෙහි බහුලව භාවිතා කර තිබෙනවා.
අනුරාධපුර යුගයේ නෙළුම් මල් භාවිතා වූ ඓතිහාසික සිදුවීම්
ලංකාවේ රාජධානි වල ආරම්භය සිදු වන්නේ, අනුරාධපුර යුගයෙන්. මිහිඳු හිමි ඇතුළු පිරිස ලක්දිවට වැඩම කිරීම සිදුවන්නේ ද අනුරාධපුර මිහින්තලා භූමියට යි. අනතුරුව සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධිය වැඩම කොට රෝපණය කිරීම සිදුවන්නේත් අනුරාධපුරයට යි. එකල ද වැඳුම් පිදුම් හා සැරසිලි කටයුතු සඳහා නෙළුම් මල් භාවිතා කොට තිබෙන බවට ඓතිහාසික සාක්ෂ්‍ය තිබෙනවා.
විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ දී යක්ෂ ගෝත්‍රික කුවේණිය විසින් විජය කුමරුගේ පිරිස නෙළුම් කොළ යට සැඟවූ බව රාජාවලියේ දැක්වෙනවා. භාතිකාභය රජතුමා රුවන්වැලි සෑ ධාතු ගර්භය නැරඹීට වරම් හිමි කර ගත් අතර, එයින් සතුටට පත්ව ස්ථුපය සඳහා පූජා පවත්වන අවස්ථාවේදී නෙළුම් මල් යොදන ලද පුන් කලස් මළුවේ තබමින් අලංකාර කිරීමක් සිදුකර තිබෙනවා. කාවන්තිස්ස රජතුමා රජ බවට පත් වූ වකවානුවේ දී පොකුණු හා ජලාශ දියෙන් පිරී ගොස් පස් පියුමෙන් යුක්ත වූ බව ධාතුවංශයේ දැක්වෙනවා. මීට අමතරව මිහින්තලා පුවරු ලිපියේ සඳහන් වන ආකාරයට එම විහාරයේ ධාතු ගෘහය සඳහා නෙළුම් මල් ගෙන එනු ලබන මල් කරුවන් දෙදෙනෙකුට විශේෂ දීමනාවක් ලබා දීමක් සිදුකර තිබෙනවා. අනුරාධපුර යුගයෙන් පසු අනෙකුත් රාජධනි වල මෙන්ම, වර්තමානයේදීත් බුදු දහමේ නෙළුම් මල් වලට පූජනීය, වන්දනීය ස්ථානයක් හිමි වනවා.
සාරාර්ථ සංග්‍රහයට අනුව දේශීය ආයුර්වේද ප්‍රතිකාර උදෙසා නෙළුම් මල් යොදාගෙන තිබෙනවා. වර්තමානයේ වුව ද, රෝගාබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකර්මයන්හි දී ඖෂධ තැනීම සඳහා නෙලුම් මලේ කොටස් යොදාගැනීම සිදු වෙනවා.
විවිධ නෙළුම් පුෂ්ප
සුශ්‍රත නමැති සුත්‍රයට අනුව නෙළුම් මල් වර්ගීකරණයක් සිදුකර තිබෙනවා. එය ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දෙනු ලබන්නේ,
පද්ම – මදක් සුදු පැහැයෙන් යුත් නෙළුම්
උත්පල – මදක් නිල් පැහැයෙන් යුත් නෙළුම්
නලින- මදක් රතු පැහැයෙන් යුත් නෙළුම්
කුමුද – සඳරැස් මඟින් පිපෙන නෙළුම්
සෞගන්ධික- රාත්‍රී කාලයේ පිපෙන ගර්දභපුෂ්ප නෙළුම්
කුවලය – සේරල නම් නෙළුම්
පුණ්ඩරික- තද සුදු පැහැයෙන් යුත් නෙළුම්
අතීත ඉන්දියානු සාහිත්‍යයට අනුව සුදු පියුම්, රතු පියුම්, නිල් පියුම් ලෙස වර්ග තුනක් තිබී තිබෙනවා. ලක්දිව අතීත සාහිත්‍යට අනුව නෙළුම් ප්‍රභේද පහකි. මේවා පස්පියුම් ලෙස දක්වන අතර හෙළ නෙලුම්, රතු නෙළුම්, මානිල් (ඉඳුවර), ඕලු (කුවලය), හා හෙල්මැලි (සෞගන්ධික) නම් වනවා.
ඊජිප්තු යුගයේ මෙන්ම හරප්පා වැනි දියුණු ශිෂ්ටාචාර වල ද නෙළුම් පුෂ්පය විවිධාකාරයෙන් යොදා ගැනීම් සිදුකර තිබෙන බව පැහැදිලි යි. පුරාණ ලක්දිව අනුරාධපුර යුගයෙන් ආරම්භව වර්තමානයේ දීත් පුදපූජා කටයුතු සඳහා නෙළුම් පුෂ්ප භාවිතා කිරීම බහුලව දැකගන්නට පුළුවන්.
කවරයේ පින්තූරය: Mind Fuel Daily