ඉර අවරට යන හැන්දෑ ජාමෙට ගැහැනු ළමයින්ට නාන තොටුපළවල තනි පංගලමේ නාන්න හොඳ නෑ… තනිකම් දෝෂ වැටෙනවා .. මේ දෝෂවලට අහුවුණොත් කසාදයකවත් හරියන්නේ නැහැ. කසාදයක් හරි ගියත් දරුපල හිටින්නෙත් නෑ…
මේ විදිහට ගම්බද වැඩිහිටියන් පවසනු අදටත් සමහර පළාත්වලින් අපට අහන්නට ලැබෙනවා. කාන්තාවන්ට සහ නව යොවුන් තරුණියන්ට බැල්ම දමා ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කරන්නේ කළු කුමාරයා බවට ගැමි ජන විශ්වාසයන් පවතිනවා. කළු කුමාරයාගෙන් තරුණියන් ගලවා ගැනීමට පවත්වන තොවිල් ගැනත් පුරාණ සමාජයේ අහන්නට ලැබුණා. අදටත් සමහර පළාත්වල මේ තොවිල් පවත්වන බව පේනවා.
කවුද මේ කළු කුමාරයා?
කළු කුමාරයා කියලා කියන්නේ වැඩිවිය පත් වූ තරුණියන්ගේ වගේ ම විවාහක තරුණියන්ගේත් හිතේ ඇතිවන සංකල්පයක්. එය මනෝ විද්‍යාත්මකව නම් මානසික ව්‍යාකූලබවක් ලෙස හැඳින්විය හැකි යි. බොහෝ විට වැඩිවියට පත් තරුණ ගැහැනු ළමයින්ට ඇතිවන විවිධ මානසික අවුල්වලට හේතුව කළු කුමාරයාගේ බැල්ම බවට විශ්වාසයක් දකුණේ ගැමි සමාජයේ බහුලව මුල් බැසගෙන තිබුණා.
එයට පුද්ගල ස්වරූපයක් ආරෝපණය කිරීම තමයි කළු කුමාර සංකල්පයෙන් සිදුවුණේ. කළු කුමාරයායේ ස්වරූපය, හැසිරෙන ආකාරය ගැන විස්තර වන සාහිත්‍යයක් අපේ ගැමි සමාජය ආශ්‍රිත ශාන්ති කර්ම කලාවේ ගොඩනැඟී තිබෙනවා. කාන්තාවන්ට නොයෙක් උපද්‍රව හිරිහැර කරන යක්ෂයකු විදිහට තමයි කළු කුමාරයා හඳුන්වන්නේ. ජෝන් කැලවේ පියතුමා, පෝල් වර්ස්, මහාචාර්ය තිස්ස කාරියවසම් වැනි විද්වතුන් කළු කුමාර බැල්මට එරෙහිව පවත්වන ශාන්තිකර්ම ගැන අධ්‍යයනය කර තිබෙනවා.
කළු කුමාරයා මොන වගේද?
කළු කුමාරයා කියන්නේ කළු පැහැති සිරුරක් ඇති, රාගාධික කුමාර පෙනුමක් ඇති බෙල්ලේ නයෙක් සහිත අත් හතරකින් යුක්ත එක අතක කාන්තාවක් ද අනෙක් අතේ දරුවෙක් ද තවත් අතක කඩුවක් ද දරාගත් රුවක් බවයි අදහස.
තමන්ගේ හිත වැටෙන සියලු ස්ත්‍රීන් වසඟයට ගෙන තමාට යටත්කර ගන්නට කළු කුමාර යක්ෂයා උත්සාහ කරනවා. ජීවත්ව සිටින කාලයේ ඉතා රාගාධික කුමාරයකු වූ නීල මහා කළු කුමාරයා තම යක්ෂ භවයට ද ඒ ස්වභාවය රැගෙන ගොස් තිබෙනවා. කළු කුමාරයා තම ඇල්ම බැල්මට යටත් කරගත් යුවතියන්ට විවාහ වෙන්නට නොදී තම වසඟයේ ම තබා ගන්නට උත්සාහ කරනවා. කළු කුමාර දිෂ්ටිය වැටුණු යුවතියන්ගේ විවාහ ප්‍රමාද වන බවත්, බොහෝ විට විවාහ නොවී ගෙදර නාකිවන්නට සිදුවන බවත්, විවාහ වුවත් විවාහ දිවියේ සතුටක් භුක්ති විඳින්නට නොලැබෙන බවත් දරුපල වාසනා අහිමි වී යන බවත් විශ්වාස කෙරෙනවා.
සත් සමුදුරින් එතෙර කළු ගල් දුව නැමැති ස්ථානයක මාඉලුක් රන්විමනක ජීවත් වූ කරඬුබානා නමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදු වූ බැව් පැවසෙනවා. කළු කුමාරයා ගැන කියවෙන කවි රාශියක් ද ශාන්තිකර්මවල දී අහන්නට ලැබෙනවා:
මල්වර වෙලා ඉස් නානට යන ගමනේ
මනකල් වෙලා හඬ තලමින් නානතුනේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ
ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ
කළු කුමාර බැල්ම
කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ට ද විශේෂ ගිජු කමක් දක්වන බව කියනවා. තරුණියක් නිවසින් පිටතට යන විට යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේ ද මේ යක්ෂයාගේ බැල්මෙන් වලකින්ට යි. කළුකුමාර බැල්මක් සිදුවූ පසුව උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම කල්පනා කරමින් සිටීම ආදී රෝග ලක්ෂණ දැක ගැනීමට ලැබෙන බව යි පැවසෙන්නේ.
කළු කුමාරයා ගැබිනි කාන්තාවන්ගේ ගැබ් ගත් කළල විනාශ කිරීමට කටයුතු කරන බවත්, දරු උපතින් පසු වැදුම් ගෙයි සන්නිය, අධික රුධිර වහනය ඇතිවීම වගේ ම කාන්තාවනට දරු උපත් ඇති නොවීමට විවිධ උපද්‍රව සිදු කරන බවත් පැවසෙනවා.
තනිපංගලමේ දියකඩිති අසල හැසිරෙන මල්වර වූ යුවතියන්ට, මාස් ශුද්ධිය ඇති දවස්වල ඇඳුම් එළිමහනේ වැනීම කරන තරුණියන්ට වගේ ම ගොම්මනේ රෙදි සෝදන, ගොම්මනේ එහෙමෙහෙ යන එන කාන්තාවනට වගේ ම පිරිමි උදවියට ද මේ යක්ෂයාගෙන් යම් බලපෑම් ඇතිවන බවට ගැමි ශාන්තිකර්ම සාහිත්‍යයේ විශ්වාස පවතිනවා.
ශාන්තිකර්ම සාහිත්‍යයට අනුව අලුයම් කාලයේ, මධ්‍යහ්නයේ, සන්ධ්‍යා යාමයේ රාත්‍රියේ දුර්වල සිත් ඇති ව තනි ව නිදන ස්ථානවල කළු කුමාරයා සැරිසරනවා. ළිං, ඇළවල්, ජල ස්නාන,ජල පීලි,ගං ඉවුරු, වැව් ඉවුරු වැනි තැන්වල හුදෙකලාව ජලස්නානය කරන විට හෝ දිය පිරි කළ උකුලේ තබාගෙන එන විට ද කළු කුමාර දෝෂය ඇතිවිය හැකි යි. එමෙන් ම ගස්ගෙඩි කැඩීම, ළඳු කැළෑවල තනිව ම යාම, කඩුල්ල, හන්දි, පිට්ටනි, මල් උයන්, වන වදුළු, හේන්, පැළ, කෙත්බිම්, කමත වැනි තැන්වලදී ද කළු යක්ෂයාගේ දිෂ්ඨියට ලක් වීමට ඉඩ තිබෙනවා.
කළු කුමාරයාගේ උත්පත්ති කතා පහක්
සෙංකඩගල කළු කුමාර උපත, උඩුගම්පළ කළු කුමාර උපත, බොක්සැල් උපත, රට යකුම, නිල මදන කළු කුමාර උපත ලෙස කළු කුමාරයාගේ උත්පත්ති කතා පහක් පමණ ශාන්ති කර්ම සාහිත්‍යයේ හමුවෙනවා. සෙංකඩගල කළුකුමාර උපතට අනුව මහනුවර යුගයේ රජ කෙනෙක් වටා කතාව ගෙතී තිබෙනවා. මේ රජුගේ පුතා කොණ්ඩ කුරුල්ලකු හිරකරගෙන මැරූ බවත්, ඒ සිදුවීම නිසා රජු තම පුතාගේ බෙල්ල කපා කුමරා විනාශ කළ බවත් පැවසෙනවා. මිය ගිය කුමරා මරණින් පසු දේවත්වයට පත් ව කළු කුමාර දෙවියන් බවට පත් වුණා කියලා ඔවුන් විශ්වාස කරනවා.
කළු කුමාරයා හඳුන්වන නම් රාශියක් හමුවෙනවා. ඒ නම් පවා පළාතෙන් පළාතට වෙනස් වෙනවා. සබරගමුවේ මේ යකා හඳුන්වන්නේ වටකුමාර හෝ සිද්ධන්ත කළු කුමාර නමින්. නීල මදන කළු කුමාර, කළු කුමාර දේවතාවා, කළු සාමි, රට යකා, සන්ති කුමාර, වෙල්ලස්සේ බණ්ඩාර, මනමාලයා, කඩවර, කළු යකු වගේ තවත් නම් ගණනකින් කළු කුමාරයා හඳුන්වනවා. ඒ වගේ ම කළු කුමාරයාට තවත් අවතාර හතක් ඇති බවත් සඳහන් වෙනවා. අඳුන්කුමාර, මල්කුමාර, වාත කුමාර, සපුමල්කුමාර, සොහොන් කුමාර ආදී වශයෙන්.
නීල මදන කළු කුමාර උත්පත්ති කතාවට අනුව කළු කුමාර උපත සිදුව ඇත්තේ ගජබා රජුගේ කාලයේ දියි.
ගජබා රජු කල මේ රට ඉන්දියාවේ රජකු ආක්‍රමණය කර තිබෙනවා. මෙහිදී ලංකාවේ දෙළොස් දහසක් දෙනා වහලුන් ලෙස ඉන්දියාවට රැගෙන යනවා. මේ පිරිස ගලවා ගන්නට ගජබා රජු නීල මදන කුමාරයා සමඟ ඉන්දියාවට මුහුද දෙබෑකර ගෙන ගිහින්. ඉන්දියාවේ රජු හා සටන් කර ලංකාවෙන් ගෙන ගිය දොළොස් දහසක සේනාව වගේ තවත් වැඩිපුර දොළොස් දහසක සේනාවක් ද ගෙන නැවත ලංකාවට එන ගමනේ දී මේ නීල මදන කුමාරයා ඉන්දියාවේ එක් ගම්මානයට ගොස් තිබෙනවා. එහි සිට ඇත්තේ කාන්තාවන් පමණයි. ඔවුන් පිරිමියෙක් දැක තිබුණේ ම නැතිලු. මේ නිසා නීල මදන කුමාරයාට ඇති වූ ආශාව නිසාම කාන්තාවන් ඔහු අතපත ගාන්න පටන් අරගෙන. මෙතැන දී කාන්තාවන් ගෙන් වුණු අන්ත දුක් පීඩා නිසාම නීල මදන කුමාරයා මිය ගොස් තිබෙන්නේ කාන්තාවන් කෙරෙහි ඇතිවුණු වෛරයෙන්. මෙයින් පසුව ඔහු කළු කුමාරයා වෙලා ඉපදුණු බවට මතයක් විශ්වාසයක් පවතිනවා.
කළු කුමාර සමයම
කළු කුමාර බැල්මෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට පහතරට පවත්වන ප්‍රධාන ශාන්ති කර්මයක් වන්නේ රටයකුම හෙවත් රිද්දි යාගය යි. එය පවත්වන්නේ ගර්භ රක්ෂණ පූජාවක් විදිහට යි. කාන්තාවන් සඳහා පමණක් ම මෙරට පවත්වන එක ම තොවිලය ලෙසත් එය සැලකෙනවා.
රිද්දි නමින් හඳුන්වන බිසෝවරුන් හත් දෙනකු මුල්කර ගෙන පවත්වන මෙයට කළු කුමාර සමයම කියලත් කියනවා. විවාහවීමෙන් පසු දරුපල නැති කාන්තාවන්, දරුගැබ් පිහිටි කාන්තාවන්ගේ ආරක්ෂාව, දරුගැබ් විනාශ වන කාන්තාවන් ආදී හේතු සඳහා මෙම තොවිලය පවත්වනවා.
කළු කුමාර ශාන්ති කර්මවලදී කළු කුමාර බලියක් පාවා දීම මෙහිදී කරනවා. මෙම ශාන්ති කර්මය රාත්‍රියේ ආරම්භ වී පසු දින උදේ දක්වා සිදුවෙනවා. හැන්දෑ සමයම, මධ්‍යම සමයම, අලුයම සමයම කියලා ශාන්ති කර්ම කොටස් තුනකින් යුක්ත යි. ඒ අයුරින් හැන්දෑ සමයමේ දී පවත්වන වත් පිළිවෙත් වන්නේ ඒ පළාතේ ඇති පූජා විධි අනුව ඇදුරන් මුලින් ම තෙරුවන් සිහි කර නමස්කාර කර යකුන්ට ආරාධනා කිරීම යි. එසේ කරන්නේ යකුන් සතුටු කිරීමට පිදේනි තටු තබමින්.
මධ්‍යම සමයමේ දී ශාන්ති කර්මයෙන් පුද ලබන යක්ෂයා සම්බන්ධ වත් පිළිවෙත් ආරම්භ කරනවා. ඒ මැදියම් දොළහ එක වන විට යි. ඒ පුද පූජා අවසන් කළ පසු යක්ෂයාට එන්න කියලා අලුයම් සමයමේ දී දිගට ම කවි ගායනා කරමින් වත්පිළිවෙත් පුද පූජා කරනවා. එවිට ආතුරයා වෙත ආ යකුට යන්න කියනවා.
දෙවියන්ට පින්දෙනවා. ආතුරයාට ආරක්ෂාවක් සිදු කරනවා. මෙතන දී ආතුරයා වෙනුවෙන් මුලින් ම අරගෙන තැබූ කළස බිඳ දමනවා. අලංකාර පෙරහරකින් කළු කුමාරයා වෙනුවෙන් සකස් කළ පිදේනිය නෑඹිලියක තබා ආතුරයාගේ හිස මත තබා ගෙන පුද පූජා ඉටු කරනවා. මේ එහිදි භාවිත වන කවියක්:
ළඳුන ඇස දුටිමි දරුවන් නැතුව වගේ
දෙතුන් පහස ලොබ කරවති රති රාගේ
වැඳුම් බැරිව උණ ඉසරද කර වේගේ
මුදුන් අණින් ඇර පලයන් කළු රෝගේ