Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන IUI ප්‍රතිකාරය

ගෙදරට කිරිකැටියෙකු ගෙන ඒම හැම අම්මා කෙනෙකුගේම සිහිනයක්. ඉතින් නොයෙක් හේතුන් මත ඇති මදසරු භාවය නිසි දරුඵල පමා වීම හෝ නොමැති වීම හේතුවෙන් බොහෝ කාන්තාවන් මානසිකව පීඩාවට පත් වෙනවා. නමුත්, නූතන කාලයේ තාක්ෂණය හා සවර්ධනය නිසා දැන් සෑම අම්මෙකුටම වගේ දරු සුරතල් බැලීමේ වාසනාව හිමි වී තියෙනවා. IUI ප්‍රතිකාරය කියන්නෙත් මව්වරුන්ට දරුඵල ගෙන දෙන්නට උපකාරී වන එවැනි අගනා ප්‍රතිකර්මයක්.

දැන් එය සිහිනයක් නෙවෙයි- Gestational Surrogacy India 

මොකද්ද මේ IUI ප්‍රතිකාරය කියන්නේ?

IUI කියන්නේ ඉංග්‍රීසි බසින් (Intra Uterine Insemination) ‍යන්න හඳුන්වන කෙටි නම. මෙයින් සිදුකෙරෙන්නේ පියාගේ ශුක්‍රාණු, මවගේ ඩිම්බ සමග කෘත්‍රිම ලෙස සංසේචනය කිරීම යි. කෙසේ නමුත් මෙම ප්‍රතිකර්මය සිදුකිරීමේ සුදුසු-නුසුදුසු බව තීරණය කෙරෙනුයේ ඔබේ වෛද්‍යවරයා මාර්ගයෙනුයි.

IUI ප්‍රතිකාරය කෙරෙන්නේ කොහොමද?

මුලින්ම කෙරෙන්නේ පුරුෂයාගේ ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරයක් තුළ තේරීමකට ලක් කිරීම යි. මෙය ඉංග්‍රීසි බසින් “sperm washing” ලෙස හඳුන්වනවා. ඉන්පසුව එම ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුකරනවා.

මෙම ප්‍රතිකාරය කෙතරම් දුරට සාර්ථක ද?

ශුක්‍රාණු ඩිම්බ හා සංසේචනය වීමට යි මේ සූදානම- Advance Fertility and Gynaecology Centre

එක්වරෙක දී මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වනවා. ඉහත වර්ගීකරණය කළ ශුක්‍රාණු අතරින් හොඳම ශුක්‍රාණු ගෙන මවගේ ගර්භාෂය තුළට ඇතුළු කර එහි තැන්පත් කරනවා. මෙම තැන්පත් කිරීම සාමාන්‍යයෙන් සිදුකෙරෙනුයේ ඩිම්බ මෝචනය වන කාලය තුළ දී යි. ඒ මෙම කාලය තුළ දී ශුක්‍රාණුවට ඩිම්බය කරා ළඟා වීම වඩාත් පහසු වන නිසා යි. එවිට ශුක්‍රාණු ගමන් කළ යුතු කාලය හා දුර අඩු වන බැවින් සංසේචනය වඩාත් පහසු කරවනවා. එමෙන්ම, වෛද්‍ය නිගමනය අනුව ඩිම්බ මෝචනය කෘත්‍රිම ලෙස උත්තේජනය කිරීමට අවශ්‍ය නම්, ඊට අදාළ ඖෂධ ලබා දෙනු ඇති. මෙකී සූදානම් කිරීම් සාර්ථකව සිදු වී නම් මීළඟ පියවර වන්නේ සංසේචනය යි. මෙම ක්‍රියාවලියේ දී සාර්ථකව සංසේචනය වන ඩිම්බය, ගර්භාශ බිත්තියේ තැන්පත් වීමෙන් පිළිසිඳගැනීම සාර්ථක වනවා.

IUI ප්‍රතිකාරය මිලෙන් අධික ද?

IUI ප්‍රතිකාරය කියන්නේ අනෙක් ප්‍රතිකාර ක්‍රම අතුරින් සරල තාක්‍ෂණික ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන, වෙනත් වර්ගවල සශ්‍රීක ප්‍රතිකාරවලට වඩා අඩු වියදමෙන් කරගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්. මෙම ක්‍රමය තුළින් කාන්තාවක් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වනවා. නමුත්, එකිනෙකාගේ ශරීරය වෙනස් බැවින් IUI 100% සාර්ථක වන බව තහවුරු කරන්නට බැහැ. 

IUI ප්‍රතිකාරය කරගැනීමට පෙර ඔබ සූදානම් විය යුත්තේ කෙසේද?

නිසියාකාරව වෛද්‍ය උපදෙස් පිළිපදින්න- New York Reproductive Wellness

පුරුෂයාගෙන් IUI සඳහා මුලින්ම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගත යුතු යි. ඊට පෙර, දින 3ක් පමණ ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම වඩා සුදුසු යි. ශුක්‍රාණු සාම්පලය හැකි ඉක්මනින් රසායනාගාරයට බාර දීම එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනවා. ඔබට IUI ප්‍රතිකාරය කිරීමේ සුදුසු-නුසුදුසු බව ගැන අවබෝධ කරගැනීමට විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පරීක්ෂාවට ලක් වීම අවශ්‍ය වනවා. 

මෙම ප්‍රතිකාරයේ සාථකත්වය කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්ත්වයන්, පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වැනි කරුණු බලපානවා. එම නිසා මෙම ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර මූලික පරීක්ෂණ කිහිපයකට යොමු වීමට අවශ්‍ය යි. එමඟින් ශුක්‍රාණුවල තත්ත්වය, කාන්තාවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේ ද යන්න වැනි කරුණු සොයා බලනු ලබනවා. එම නිරීක්ෂණවලින් අනතුරුව බොහෝ විට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනු ඇති. 

මේවා පෙති ලෙස හෝ නික්ෂේපන ලෙස ලබා දේවි. පෙති වශයෙන් බහුලවම ලබා දෙනුයේ Clomiphene Citrate යන ඖෂධය යි. මෙය ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමට යි සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන්නේ. මීට අමතරව, ඇතැම් විට ඩිම්බ මේරීම උත්තේජනය සඳහා හෝමෝන ඖෂධ නික්ෂේපනයක් අවශ්‍ය වෙන්නත් පුළුවනි.

ඔසප් වීමෙන් දින 11කට පසු ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් මෙම ඖෂධ නිසි ලෙස ක්‍රියාත්මක වී ඇතිදැ යි දැනගත හැකියි. එම අවස්ථාවේ දී අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මේරීම සිදු වී ඇත්දැ යි දැනගන්නට පුළුවන්. ඉන්පසුව, ඩිම්බ පිට වීම නියමිත වේලාවට සිදුකර ගැනීමට HCG (Human Chorionic Gonadotropin) හෝමෝනය නික්ෂේපනයක් ලෙස ලබාදීම සිදුකරනවා. එම නික්ෂේපනය ලබාගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම සිදුවෙනවා. ඩිම්බ පිටවෙන කාලය අනුව IUI ප්‍රතිකාරය සඳහා සුදුසු කාලය තීරණය කරනු ලබනවා.

ප්‍රතිකාරය සිදුකිරීමෙන් පස්සෙ?

සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියේ දී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීමෙන් පසු සුළු වෙලාවක් වැතිර සිටීමට උපදෙස් ලබා දෙනු ඇති. ඉන්පසු සායනයෙන් පිටත් වෙන්න පුළුවන් ඔබට. මෙම ප්‍රතිකාරයෙන් පසු සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත්, දිගටම පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු යි.

බොහෝ කාන්තාවන්ට කිසිම ඖෂධ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි පමණක් ඖෂධ ලබාගැනීම ප්‍රමාණවත්. IUI ප්‍රතිකාරයෙන් සති 3කට පසුව නැවත ඔසප්වීමක් සිදුවුණේ නැති නම් ගර්භණීදැ යි දැනගන්න මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසු යි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිකාරය කරගත හැකි ‍රෝහල්

1. කාසල් වීදිය කාන්තා රෝහල, කොළඹ 8, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. (දුරකථන: +94 112 696231/2)

2. නවලෝක රෝහල, දේශමාන්‍ය H K ධ‍ර්මධාස මාවත, කොළඹ 2. (දුරකථන: +94 115 577 111)

3. ශ්‍රී ජයවර්ධනපුර රෝහල, රෝහල පාර, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. (දුරකථන: +94 112 778 610)

4. වින්දන ප‍්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානය, 9 බාන්ස් පෙදෙස, කොළඹ 7. (දුරකථන: +94 112 667 422)

5. ලංකා රෝහල, 578 ඇල්විටිගල මාවත, කොළඹ 5. (දුරකථන: +94 115 430 000)

6. නයින්වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය, 55/1, කිරිමණ්ඩල මාවත, කොළඹ 5. (දුරකථන: +94 11 520 999)

ලංකාවේ තවත් මාතෘ රෝහල් ගැන විස්තරයක් මෙතැනින් ද ඔබට බලාගන්න්ට පුළුවන්. ඉතින් ඉස්සර වාගේ නෙවෙයි, නූතන තාක්ෂණය නිසා අද කාලේ සෑම කාතාවකටම පාහේ මව් පදවිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඉතින් අම්මේ, ඔබේ කිරි සිහිනය සැබෑ කරගන්න අදම ක්‍රියාත්මක වන්න.

මෙම අගනා ලිපිය ඔබ වෙත ගෙන ආවේ; the Asianparent Sri Lanka විසිනුයි.

කවරයේ පින්තූරය: Read24x7

Related Articles