Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවෙකුට දිය යුත්තේ කුමන ආකාරයේ ආහාර ද?

අපේ ශරීරයට පෝෂණය අත්‍යාවශ්‍ය වුවත් මොනවාම හෝ ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය නිසි පෝෂණයක් ලැබීම සිදු වන්නේ නැහැ. වැඩිහිටියන් වශයෙන් අප සීනි සහ තෙල් සහිත ආහාරවලට පෙළඹුණත්, දරුවන්ට නිසි ආකාර පාලනයකින් යුතුව ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලමින් නීරෝගී සහ යහ වර්ධනයක් ලබා දීමට කටයුතු කළ යුතු වෙනවා. 

මානසික උත්තේජනයන් හා ආදරයට අමතරව දරුවන්ට නිසි පෝෂණයක් ලැබීමත් මුල් ළමා විය සංවර්ධනයෙහි ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. එහි වැදගත් බව කෙසේ වතුදු, අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයක් තම දෙමාපියන්ගෙන් නිසි පෝෂණයක් නොලැබීම නිසා මන්ද පෝෂණයෙන් පෙළෙනවා.

2016 ශ්‍රී ලංකා ජන විකාශන හා සෞඛ්‍ය සමීක්ෂණය අනුව දරුවන් 21%ක් අඩු බර වන අතර 4%ක් ඉතා අඩු බරින් යුතු වෙනවා. දරුවන් 15%ක් දුර්වල බවින් ද, 3%ක් දැඩි දුර්වල බවින් ද, අවුරුදු 5ට අඩු දරුවන් 17%ක් කුරු බවින් ද, 4%ක් දැඩි කුරු බවින් ද පෙළෙනවා.

දරුවකුගේ මුල් අවුරුදු තුන තුළ වේගවත් වර්ධනයක් හා වෙනස්කම් රැසක් සිදු වෙනවා. දරුවාට නිසි පෝෂණයක් හා රැකබලා ගැනීමක් නොලැබුණහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ගේ මුළු ජීවිතයටම බලපානවා. 

දරුවකු ලබන පෝෂණයෙන් 75%ක් ඔවුන්ගේ මොළය වර්ධනයට යොදා ගැනෙනවා. අවුරුදු 3ක් වන විට ඉන් 80%ක් අවසන් වෙනවා. සිරුරේ වැදගත්ම ඉන්ද්‍රිය වශයෙන් එයට නිසි පෝෂණයක් නොලැබුණහොත් නිසි වර්ධනයක් සිදු නොවන අතර දරුවාගේ ස්වාභාවික වර්ධන ක්‍රියාවලිය නමැති කිරි බඳුනට ගොම බිඳක් දැම්මාක් බඳු යි.

අත්‍යාවශ්‍ය පෝෂක ඉතා කුඩා ප්‍රමාණයක් අඩුවෙන් ලැබුණත් ඉන් දරුවාගේ සිරුර රෝග කාරක විෂබීජවලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපෑ හැකියි. ඕනෑවට වඩා ආහාර ලබා දීමෙන් දරුවා අධි බර හෝ ස්ථුලතාවට පත් වන අතර, එය රුධිර නාල අවහිර වීම, භෞතික ක්‍රියාකාරකම්වල නිරත වීම අවම ද කරලනවා.

ප්‍රමාණවත්ව ආහාර නොලැබීම දරුවාගේ බර අඩු වීමට හෝ වර්ධනයට බාධාවක් විය හැකියි. එමඟින් ඇතිවන ගැටළු ප්‍රමාණය මෙතෙකැ යි කියන්නට බැහැ. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුමුදුනී කුරේ මෙසේ පවසනවා, “මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් දීර්ගකාලීන රෝගාබාධයන්ට මුහුණ දෙනවා. ක්ෂයරෝගය, ඉගෙනීමට නොහැකියාව වැනි දේ ඒ අතර වෙනවා. ශ්‍රී ලංකාවේ මන්ද පෝෂිත දරුවන් අතීසාරය, නියුමෝනියාව, මනෝචාලක ආබාධ මෙන්ම ස්ථුලතාවයට පවා මුහුණ දෙනවා.”

මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ක්ෂුදු පෝෂක ඌණතාවය ද ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මෙම ඌණතාවන් නිසා සිරුරට අවශ්‍ය යකඩ නොලැබීමෙන් ඇනීමියා තත්ත්ව, පොටෑසියම් ඌණතා නිසා පේශි දුර්වල වීම වැනි අවදානම් තත්ත්ව විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමෙන් දරුවාට ඇතිවන මේ සියළු අවදානම් තත්ත්ව පහ කරලන්නට හැකියාව තිබෙනවා.

දරිද්‍රතාවය හා මන්දපෝෂණය

දරුවන්ට නිසි පෝෂණයක් ලබා දීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ලොව පුරා වසර ගණනාවක් ති‍ස්සේ ක්‍රියාත්මක වෙනවා. පෝෂණයට අදාල නිර්දේශයන්ට සංශෝධන සහ එකතු කිරීම් විවිධ අවස්ථාවන්හි සිදුව තිබෙනවා.

එනමුත්, දරිද්‍රතාවයේ බිලී කොකු රට බිලි ගෙන තිබිය දී දරුවන්ගේ පෝෂණය පිළිබඳ එවන් වැඩසටහන් පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මන්ද පෝෂණයට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ දරිද්‍රතාව වන අතර තමන්ගේ දරුවාට නිසි පෝෂණයක් ලබා දීමට දෙමව්පියන්ට ඇති නොහැකියාව, ඕනෑකමක් නැති බව බොහෝ විට බලපානවා.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් විශාල ප්‍රමාණයක් සිටිනවා. 2016 දී 4.1%ක් ජාතික දරිද්‍රතා රේඛාවට ඇතුලත් වුණා. එවන් තත්ත්වයක් යටතේ තම දරුවන්ට නිසි පෝෂණයක් ලබා දෙමින් සෞඛ්‍යමත් වර්ධනයක් උරුම කර දීම සඳහා හැකියාවක් දෙමව්පියන්ට නොලැබෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ.

ආහාර වේලක් ප්‍රමාණවත් ලෙස පෝෂ්‍යදායී වන්නේ කෙසේ ද? 

ප්‍රධාන ආහාර කාණ්ඩයන් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ආහාර වේලක් දරුවාට හොඳටම ප්‍රමාණවත් වෙනවා. දරුවාගේ මොළයේ සහ පේශි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් යහමින් ලබාදෙන බිත්තර, මස්, මාළු මෙයට ඇතුලත් විය යුතු යි.

බත්, පාන් වැනි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර දේහ ශක්තිය සපයනවා. සුදු හාල්වලට වඩා රතු හාල් ජීර්ණය වීමට කල්ගත වන නිසා කුසෙහි රැඳ‍ෙමින් දිගු කාලයක් පුරාවට දේශයට ශක්තිය ලබා දෙනවා.
එළවළු සහ පලතුරුවල විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වන අතර ඉන් දේහ සෛල අලුත්වැඩියාව හා ප්‍රතිසංස්කරණය සිදු වීමට දායක වෙනවා. කිරි සහ චීස් වැනි කිරි නිෂ්පාදනවලින් ශක්තිමත් අස්ථි සහ දත් දෙපෙළක් ලැබෙනවා.

ඒ වගේම සිහි තබා ගත යුතු දෙයක් වන්නේ ඕනෑවට වඩා ලබා ගැනීමෙන් ද ඉන් හොඳ ‍ප්‍රතිඵල නොලැබෙන බවයි. කැලරි අධික ආහාර එනම්, පැණිරස, පිටි සහිත හා තෙල් සහිත ආහාර ලබා ගැනීමෙන් ස්ථූලතාව ඇති වෙනවා. හොඳින් සැලසුම් කළ ආහාර වේලක් මඟින් නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් දරුවාගේ වර්ධනයට හා පෝෂණයට අත්‍යාවශ්‍ය පෝෂණය ලබා දීමට හැකි වෙනවා.

Dr. Cooray: “Children should be allowed to enjoy a nutritionally and culturally accepted diet. I think parental food fads should not affect their child’s nutrition”

අහිතකර ආහාර රුචිය

පෝෂණය කියන්නේ නිරන්තරයෙන් විවාදයට ලක්වන මාතෘකාවක්. දරුවන්ට ඕන දේ දන්නේ දෙමව්පියන් බවට විවිධ වෙබ් අඩවි සහ වීඩියෝ ඇතුළු නූතන මෙන්ම පැරණි මාධ්‍යයන් හැමවිටම පවසන අතර ඉන් නව තර්ජනයක් හිස ඔසවමින් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මව්පියන් තමා අනුගමනය කරන දැඩි ආහාර ප්‍රතිපත්තීන් (diets) තමාට ඉතා හොඳ බව පවසමින් දරුවන්ට ද ලබා දෙන්නට පෙළඹෙනවා. මෙවන් ආහාර ක්‍රම වැඩිහිටියන්ට කෙසේ බලපෑව ද දරුවන්ගේ මුල් ළමාවිය වර්ධනයට අහිතකර බලපෑම් එල්ල කළ හැකියි.

“දරුවන්ට පෝෂ්‍යදායී සහ සංස්කෘතිකමය වශයෙන් ගැලපෙන ආහාර වේලක් ලබා ගැනීමට ඉඩ ලබා දිය යුතු යි. මව්පියන්ගේ ආහාර රුචිකත්වයන් දරුවන්ට බලපාන්නට ඉඩ නොදිය යුතු යි” වෛද්‍ය කුරේ මෙම ගැටළුව සම්බන්ධයෙන් තම අදහස් දක්වනවා. සුදුසුකම් ලත් පෝෂණවේදියෙකු විසින් දරුවන් වෙනුවෙන් අදාල ආහාර වට්ටෝරුව සකසා නොමැති නම් මෙවන් ක්‍රියාවන් නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල සුළුවෙන් තැකිය නොහැකියි.

පෝෂණය කියන්නේ අපේ ජීවිතය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය අංගයක් මිසක් සුඛෝපබෝගී දෙයක් ලෙස සැලකීමෙන් වැළකිය යුතු යි. අපේ ශරීරයේ සෑම ක්‍රියාකාරීත්වයකටම අත්‍යාවශ්‍ය වන පෝෂණය අප නිසි පරිදි ලබා දිය යුතු වෙනවා.

වි‍ශේෂයෙන් කුඩා දරුවන් තමන්ගේ සිරුරේ සහ මනසේ වර්ධනයට අවශ්‍ය පෝෂණයට නොලැබී යාමේ අවදානම් තත්ත්වයක පසු වෙනවා. මේ නිසා යි පෝෂණය මඟින් දේහ වර්ධනයට, ප්‍රතිසංස්කරණයට සහ උන්නතිය වෙනුවෙන් ලැබෙන බව ‍ගැඹුරින් අවබෝධ කරගත යුතු වන්නේ. එමඟින් අපේ දරුවන් ඉතා සෞඛ්‍යමත්ව වැඩෙන බවට සහතික වන්නට අපට හැකි වෙනවා.

දෙමව්පියන්ට තමන්ගේ දරුවන් හොඳින් ලොකු මහත් කරන්නට සහයෝගයක් වීමට UNICEF මඟින් www.betterparenting.lk⁠ වෙබ් අඩවිය සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි බසින් වීඩියෝ සහ ලිපි ඉදිරිපත් කරමින් දරුවන් රැකබලා ගැනීම, ආහාර හා පෝෂණය, දරුවන්ගේ වර්ධනය, සහ සෞඛ්‍යය යන අංශයන් හතර හරහා පුළුල් වෘත්තීය දැනුමක් ඔබ වෙත දායාද කරන්නට කටයුතු කරනවා.

Related Articles