ඈත අතීතයේ දී යුරෝපා රටවල් විවිධ වසංගත රෝග හේතුවෙන් පීඩාවට පත්වුණා. 1665 වසරේ ලන්ඩනයේ ජීවත් වුණු ජනතාව ද එවැනි වසංගතයකට මුහුණ දුන්නා. එදා ලන්ඩන් නගරය පුරා ම පැතිර ගිය මහාමාරිය වසංගතය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වුණා. ඒ අයුරින් මහාමාරියෙන් බැට කෑ ලන්ඩන් වැසියන්ට 1666 සැප්තැම්බරයේ දී බලාපොරොත්තු නොවුණු තවත් විපතකට මුහුණ දීමට සිදු වුණා. ‘මහා ලන්ඩන් ගින්න’ නමින් හැඳින්වුණු එම ව්‍යසනය හේතුවෙන් ලන්ඩන් නගරයට සැලකිය යුතු තරම් විනාශයක් සිදුවුණා.
ගින්නේ ආරම්භය
1666 වසරේ සැප්තැම්බර් මාසය ඇරඹෙන විට ලන්ඩනයේ මිනිසුන් මහාමාරිය වසංගතයෙන් සිය ජීවිත බේරා ගැනීම දැඩි සටනක නිරත වෙමින් සිටියා. එසේ ම මාස කිහිපයකින් වර්ෂාව නොලැබීම නිසා එහි පැවති වියළි කාළගුණය හේතුවෙන් නගරය පුරා පැවති උෂ්ණාධික තත්ත්වය මිනිසුන් තවත් පීඩාවට පත් කළා. ලන්ඩනයේ වැසියන් සිය දෛනික කටයුතු සුපුරුදු ආකාරයට කරගෙන ගියා. එකල ලන්ඩන් නගරයේ පුඩිං පටුමගේ පිහිටා තිබුණු කිංස් බේකරිය අයිති ව තිබුණේ තෝමස් ෆැරිනර් නම් පුද්ගලයාට යි. එය ලන්ඩනයේ පිහිටා තිබුණු ප්‍රධානත ම බේකරියක් වුණා. එනිසා බේකරියේ සේවකයන් රාත්‍රී 10 පමණ වන තුරු අඛණ්ඩව රාජකාරියේ නිරත වුණා.
1666 සැප්තැම්බර් 2 වැනිදා බේකරියේ සේවකයන් සුපුරුදු පරිදි රාත්‍රී 10 පමණ වන තුරු සේවයේ යෙදුණා. බේකරියේ දෛනික රාජකාරි නිමා වී සේවකයන් නිවෙස්වලට යාමෙන් පසුව එහි හිමිකරුවා සහ පවුලේ අනිත් උදවිය නිදා ගත්තේ බේකරිය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මාලය තුළ යි. නමුත් ඔවුන්ගේ නිවසේ මෙහෙකාර තරුණිය නිදා ගත් කාමරය පහළ මාලයේ පිහිටා තිබුණා. එදින රාත්‍රියේ බේකරි හිමිකරුවාගේ පවුලේ උදවිය සහ ඔවුන්ගේ මෙහෙකාරියත් සුවසේ නින්දට වැටුණා. එදා මධ්‍යම රාත්‍රිය ගෙවී හෝරාවක් පමණ ගත වෙද්දී බේකරියේ ගින්නක් ඇති වුණා. බේකරිය ඉදිකර තිබුණු පහළ මාලයේ ම මෙහෙකාරියගේ කාමරය පිහිටා තිබුණු නිසා ගින්න වේගයෙන් එම කාමරය වෙත පැතිරී ගියා.
ජීවිත බේරා ගැනීම සඳහා සටනක
මෙහෙකාරියගේ කාමරය කරා ගින්න පැමිණෙද්දී ඇය එක් වර ම අවදි වුණා. ඒ සමඟ ම ඇය දැඩි ලෙස භීතියට පත්ව මරළතෝනි දුන්නා. ඇයගේ ළතෝනි හඬ අවට නිවෙස්වලට පවා ඇසුණා. සේවිකාව කෑගසන හඬ ඇසී ඉහළ මාලයේ සිටි බේකරි හිමියාගේ පවුලේ උදවිය අවදි වුණා. ඔවුන් සේවිකාව බේරා ගැනීම සඳහා පහළ මාලයට යාමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ටික වේලාවක් යන විට මෙහෙකාරියගේ හඬ දුබල වී යද්දී බේකරි හිමියාගේ පවුලේ උදවිය ගොඩනැඟිල්ලෙන් ඉවතට පැන ගැනීමට මාර්ගයක් කල්පනා කළා. ඒ වන විට පහළ මාලය පුරා ම ගින්න පැතිරී තිබුණු නිසා ඔවුන්ට පහළ මාලය හරහා ඉවතට යාමට හැකියාවක් තිබුණේ නැහැ.
එම අවස්ථාව වන විට තෝමස් ෆැරිනර්ගේ පවුලේ උදවිය සිය ජීවිත බේරා දෙන ලෙස ඉල්ලා නොනවත්වා ම කෑගසන්නට වුණා. ඒ සමඟ ම අසල්වැසි නිවෙස්වල උදවිය ඉණිමං භාවිත කරමින් ගින්න පැවති ගොඩනැගිල්ලේ සිටි ෆැරිනර් ඇතුළු පිරිස ඉතාමත් අසීරුවෙන් බේරා ගත්තා. ඉන් පසුව ඔවුන්ගේ එකම අරමුණ වුණේ හැකි ඉක්මනින් ගින්න නිවා දැමීම යි. නමුත් ගින්න නිවා දැමීම සඳහා සහාය වීමට ප්‍රමාණවත් තරම් පිරිසක් එම ස්ථානයට රැස් ව සිටියේ නැහැ. එනිසා ගින්න නිවා දැමීම තරමක් අසීරු කාර්යයක් වුණා. එලෙස බේකරියෙන් ආරම්භ වුණු ගින්න හෝරාවක පමණ කාලයක් ගත වන විට අසල නිවෙස් කරාත් පැතිර යන්නට පටන් ගත්තා.
ගින්න වේගයෙන් පැතිර යයි
එම කාල වකවානුව වන විට ලන්ඩනයේ බොහෝ නිවෙස් සහ ගොඩනැගිලි දැවයෙන් තනා තිබුණා. මාස කිහිපයක සිට ලන්ඩනයට බලපෑ දැඩි වියළි කාළගුණය හේතුවෙන් නිවෙස්වල දැව වහල තදින් ම වියළී තිබුණා. එනිසා ගින්න වේගයෙන් පැතිර ගියා.
ඒ අයුරින් වේගයෙන් ගින්න පැතිර යද්දී ලන්ඩන් නගරය හරහා වේගවත් සුළං ධාරාත් හමා ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගින්න පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයක් උදා වුණා. ඒ මොහොත වන විට ගිනි නිවන භටයන් සහ හමුදා භටයන් ගින්න නිවීමේ කාර්යයට සම්බන්ධ වී සිටියා.
ඔවුන් සිය උපරිම ශක්තිය යොදමින් ගින්න පාලනය කිරීමට උත්සාහ කළත් එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. එම යුගයේ ලන්ඩන් නගරයේ වීදිවල තිබුණු ගොඩනැඟිලි සහ නිවාස එක පෙළට පිහිටා තිබුණු නිසා ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ලට ගින්න පැතිරීමට වැඩි වේලාවක් ගත වුණේ නැහැ.
ඒ අයුරින් ගින්න පැතිරෙන ආකාරය පිළිබඳ ව නිරීක්ෂණය කරමින් සිටි ගිනි නිවන භටයන් සහ හමුදා භටයන් ගින්න පාලනය කිරීම සඳහා එක්තරා විසඳුමක් ලබා දුන්නා. එහි දි ඔවුන් පවසා සිටියේ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා දැනට ගිනි ගනිමින් තිබෙන ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි කඩා ඉවත් කළ යුතු බව යි. එවිට ගින්න පැතිරීම පාලනය කළ හැකි බව ඔවුන්ගේ මතය වුණා.
ගොඩනැඟිලි ඉවත් කිරීමට එරෙහි ව විරෝධයක්
එදා ලන්ඩන් නගරයේ ජීවත් වුණු සමහර උදවිය සිය නිවෙස් ඉවත් කිරීමට එරෙහි ව විරෝධය පළ කළා. එසේම තවත් සමහර උදවිය සිය ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට ඉඩ දුන්නේ නැහැ. එනිසා ගින්න නිවීම සඳහා සම්බන්ධ වී සිටි භට පිරිසේ ප්‍රධානීන් කිහිපදෙනකු එකල ලන්ඩනයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි තෝමස් බ්ලඩ්වර්ත් සාමිවරයා හමුවීමට ගියා. ඉන් පසු ව ඔවුන් සාමිවරයාගෙන් ඉල්ලා සිටියේ ගින්න පාලනය කිරීම සඳහා නගරයේ ගොඩනැගිලි ඉවත් කිරීමට ඉඩ දෙන ලෙස යි.
එම ඉල්ලීම සඳහා සාමිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඔහු භට පිරිසේ ප්‍රධානීන් හමුවේ පවසා සිටියේ ලන්ඩන් නගරයේ බොහෝ නිවාස කුලී පදනම මත ලබා දී තිබෙන නිසා මෙම අවස්ථාවේ එම නිවාසවල කුලියට සිටින උදවිය සොයා ගැනීමට අපහසු බව යි. එනිසා ගොඩනැගිලි ඉවත් කිරීමට අවසර ලබා දිය නොහැකි බව තෝමස් බ්ල්ඩ්වර්ත් සාමිවරයා පවසා සිටියා.
ලන්ඩනයේ ප්‍රභූවරු නගරයෙන් පලා යති
සැප්තැම්බර් 3 වැනිදා දහවල් වරුවේ ලන්ඩන් නගරාධිපතිවරයා ලබා දුන් අකාරුණික තීන්දුවෙන් පසුව ගිනි නිවන භට කණ්ඩායම් අපහසුතාවට පත්වුණා. එයට හේතු වුණේ වේගයෙන් පැතිර යමින් තිබුණු ගින්න පාලනය කිරීම සඳහා ඔවුන්ට වෙනත් කිසිදු උපායක් කල්පනා නොවුණු නිසා යි. ඒ අයුරින් මුළු ලන්ඩනය ම ගිනි රකුසාට බිලිවෙමින් පවතිද්දී ගිනි නිවන භට කණ්ඩායම් සමඟ එක් වුණු නගර වැසියන් ගින්න පාලනය කිරීම සඳහා ඔවුන්ට හැකි සියලුම දේවල් කළා.
සැප්තැම්බර් 3 වැනිදා සවස් වරුව වන විටත් ගින්න තව තවත් වේගයෙන් පැතිර ගියා. එදින දහවල් කාලයේ පැවති වියළි සුළං තත්ත්වය ගින්නේ පැතිරීම වේගවත් වීමට හේතුවක් වුණා. ඒ අයුරින් ගින්න වඩාත් වේගයෙන් පැතිර යද්දී ලන්ඩනයේ ජීවත් වුණු ඇතැම් ප්‍රභූවරුන් කලබලයට පත්වුණා. එනිසා ඔවුන් සිය ජීවිත බේරාගැනීම සඳහා හොර රහසේ ම නගරයෙන් පලා ගියා. එසේ නගරයෙන් පලා ගිය ප්‍රභූ පිරිස අතර ලන්ඩනයේ නගරාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ද සිටියා.
ගින්න නිවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය
එම කාල වකවානුව වන විට දෙවන චාල්ස් රජතුමා එංගලන්තයේ පාලකයා ලෙසින් කටයුතු කළා. ලන්ඩන් නගරාධිපතිවරයා ගින්න නිවීමට උපදෙස් දීම පැහැර හැර නගරයෙන් පලා ගිය බව දැන ගැනීමෙන් පසු රජතුමා දැඩි ලෙස කෝපයට පත්වුණා. ඉන් පසුව රජතුමා ගින්න පාලනය කිරීම සඳහා මැදිහත් වන ලෙස සිය සහෝදරයා වුණු යෝක් ආදිපාදවරයාට උපදෙස් දුන්නා.
ඉන් නොනැවතුණු රජතුමා රටේ අනිකුත් ප්‍රදේශවල සිටි ප්‍රාන්ත පාලකයන්ට ආධාර භට පිරිස් ලන්ඩන් නගරයට එවන මෙන් අණ දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙසින් සැප්තැම්බර් 4 වැනිදා වන විට රටේ විවිධ ප්‍රදේශවලින් ආධාරක භට පිරිස් ලන්ඩන් නගරය වෙත පැමිණියා. ඒ අයුරින් පැමිණි භට පිරිස් වෙහෙස මහන්සි වී ගින්න නිවා අවසන් කිරීමට උත්සාහ කළත් එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවුණේ එදින නගරය හරහා වේගයෙන් හුළං මඟින් ගින්න පැතිරෙන වේගය තව තවත් වැඩිවුණු නිසා යි.
නගරයේ කරත්ත සහ බෝට්ටුවලට ඉහළ ඉල්ලුමක්
සැප්තැම්බර් 4 වැනිදා සවස් යාමය වන විට ගින්න තවදුරටත් පැතිර යමින් රජයේ ගොඩනැගිලි පමණක් නොව දේවස්ථාන පවා දවා හළු කර දැමුවා. එනිසා නගරයේ ඉතිරි ව සිටි ධනවතුන් ද සිය දේපළ ද රැගෙන නගරයෙන් පලා යන්නට කල්පනා කළා. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් අශ්ව කරත්ත සහ බෝට්ටු නගරයේ ඉතිරි ව තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අශ්ව කරත්තවලට සහ බෝට්ටුවලට තිබුණු ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියා.
ඒ අනුව ගින්න ඇති වීමට පෙර සිලිං කිහිපයකට කුලියට ගැනීමට හැකි වුණු අශ්ව කරත්තයක කුලිය ගින්න පැතිර යන අතරතුර පවුම් 40 දක්වා ඉහළ ගියා. එසේම බෝට්ටුවල කුලිය ද විශාල ලෙස ඉහළ ගියා. ඒ අයුරින් ප්‍රවාහන කුලිය කෙතරම් ඉහළ ගියත් ධනවතුන් ඔවුන්ට අයිති දේවල් නගරයෙන් පිටතට රැගෙන යාම නැවැත්වූයේ නැහැ. එලෙස නගරයෙන් මිනිසුන් පිටතට යාම හේතුවෙන් ඇතිවුණු තදබදය නිසා ගින්න නිවීමේ කටයුතුවලට තව තවත් බාධා එල්ල වුණා.
ලන්ඩනය පුරා කට කතා පැතිර යයි
ලන්ඩනය පුරා ගිනි දැල් ඇවිලෙමින් පැවතෙද්දී එක්තරා කට කතාවක් පැතිර ගියා. ඉන් කියවුණේ නගරයට ඇතුළු වී සිටින සතුරන් කණ්ඩායමක් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව යි. එසේම ඔවුන් තවමත් නගරයේ රැඳී සිටිමින් ගින්න තව තවත් පතුරවමින් සිටින බවට ද කසු කුසුවක් පැවතුණා. ඒ පිළිබඳ ව අවධානය යොමු කළ චාල්ස් රජතුමා නගරයේ සිටින සියලු ම සැක කටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු තරම් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුවුණා.
සැප්තැම්බර් 4 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විටත් ගින්න සම්පූර්ණයෙන් ම නිවා දැමීමට හැකියාවක් ලැබුණේ නැහැ. විටින් විට නගරය හරහා හමා ගිය තද සුළං නොතිබෙන්නට ගින්න අපහසුවකින් තොර ව නිවා දමන්නට අවස්ථාවක් තිබුණා. නමුත් ගින්න ආරම්භ වුණු දිනයේ සිට නගරය හරහා දිගින් දිගටම සුළං පැවතීම හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරුණා.
සොබාදහමේ සහායෙන් ගින්න නිවා දමයි
සැප්තැම්බර් 5 වැනිදා පාන්දර වන විට ලන්ඩනයට බලපෑ සුළං තත්ත්වයේ යම් කිසි අඩුවීමක් සිදුවුණා. ඉන් උපරි ම ප්‍රයෝජන ගත් ගිනි නිවීමේ භට පිරිස් වහාම ක්‍රියාත්මක වී හැකි තරම් වේගයෙන් ගින්න නිවා දැමීමේ කටයුතු සිදු කර ගෙන ගියා. එදින සැලකිය යුතු තරම් සුළං තත්ත්වයක් නොතිබුණු නිසා ගිනි නිවීමේ භටයන්ට කිසිදු බාධාවකින් තොරව ගිනි නිවීමේ කාර්යය කරගෙන යාමට හැකියාව ලැබුණා.
අවසානයේ දී දින 4කට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු ව ගින්න නිවා දැමීමට හැකියාව ලැබුණා. ඒ අයුරින් 5 වැනිදා සවස් යාමයේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමෙන් පසු ව නගරය සුන්බුන් ගොඩක් සේ දිස්වුණා.
ගින්නෙන් සිදුවුණු මහා විනාශය
ගින්න හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 8ක් බව නිල වාර්තාවල සඳහන් වුණා. නගරයේ තිබුණු නිවාස සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා. ඒ අනුව ගින්නේ බලපෑම හේතුවෙන් නිවාස 13,500, පල්ලි 87ක්, රජයේ ගොඩනැගිලි 44ක් ඇතුළු තවත් වැදගත් ස්ථාන රැසක් විනාශයට පත් ව තිබුණා. ඒ වන විට ලන්ඩන් නගරය පුරා පැවති මහාමාරිය වසංගතයෙන් මරණයට පත්වුණු උදවිය පිළිබඳව තබා තිබුණු වාර්තා ඇතුළත් වුණු ලිපි ලේඛන ද ගින්න හේතුවෙන් විනාශයට පත්වුණා. එදා ලන්ඩන් ගින්න නිසා සිදුවුණු අලාභයේ වටිනාකම පවුම් 10,000,000ක් ලෙසින් සටහන් වුණා.
මහා ගින්නෙන් පසුව
මහා ගින්නෙන් පසුව ලන්ඩනය යළි ගොඩනැඟීමේ කටයුතු ආරම්භ වුණා. නගරය යළිත් ගොඩනඟන තුරු තාවකාලික ඉදිකර ගොඩනැගිලිවල නගර වැසියන් ජීවත් වුණා. ඉන් අනතුරු ව පැමිණි ශීත කාලයේ දී තාවකාලික ගොඩනැගිලිවල ජීවත් වුණු සැලකිය යුතු තරම් පිරිසක් ශීතල දරාගැනීමට නොහැකිව මිය ගියා.
එසේ ම නගරය පුරා විවිධ වසංගත පැතිර ගිය නිසා තවත් පිරිසකට ජීවිත අහිමි වුණා. සැලකිය යුතු තරම් කාලයක් ගත වෙද්දී විනාශයට පත්වුණු ලන්ඩන් නගරය යළි ඉදි කිරීමට හැකි වුණා. ඉන් පසුව මිය ගිය උදවිය සිහිපත් කිරීම සඳහා ගින්න ආරම්භ වුණු පුඩිං වීදිය සමීපයේ අඩි 200ක් පමණ උස ස්මාරකයක් ඉදි වුණා. ඒ අයුරින් ඉදි ව ඇති ස්මාරකය 1666 ලන්ඩන් ගින්නෙන් සිදුවුණු විනාශය අදටත් සිහිපත් කරනවා.