Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස්

ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි. වල්ලි අම්මා විවාහ කර දෙන අවස්ථාවේ දී ඇයගේ ආවතේව කටයුතු කිරීම සඳහා පත්වූ මෙම කාන්තා පරපුර පුරාණයේ පටන් අද දක්වා ම කතරගම දේවාලයේ දී කතරගම දෙවියන් වෙනුවෙන් රාජකාරි කරනවා. මහනුවර දළදා මාලිගයේ දී ද ආලත්ති අම්මලාගේ සේවය ලබා ගන්නවා. ඒ දළදා වහන්සේට ආශිර්වාද කර ගැනීම සඳහායි. ඉන්දියාවෙන් පැමිණි බව සැලකිය හැකි මේ පුරාණ සිරිත ගැන විමසා බැලීමක් කිරීමට අපි හිතුවා.

 ආලත්ති අම්මලා පැවත එන්නේ වල්ලි අම්මාගෙන් – facebook

කතරගම ආලත්ති අම්මලා

ආලත්ති තනතුර ලැබෙන්නේ මව ගෙන් දියණියට යි. එය පරම්පරාගත ව හිමිවන රාජකාරි තනතුරක් ලෙස සැලකිය හැකියි. දියණියක් නැත්නම් නැගෙණියට ඒ තනතුර හිමි වෙනවා. කතරගම දේවාලයේ ආලත්ති අම්මලා 12 දෙනකු සිටිනවා. පුරාණ රජ කාලයේ පටන් ආලත්ති තේවාව සිදුකරන කාන්තාවන් සඳහා දේවාලය, භාණ්ඩ මගින් ගෙවීමක් කළා. පසුව එය මුදලින් කරන ගෙවීමක් බවට පත් වුණා. සම්ප්‍රදායිකව එසේ ලබාදෙන මුදල වර්ෂයකට රුපියල් දෙකයි ශත අසූවක් බව පැවසෙනවා. ඊට අමතර ව ඔවුන්ට යැපීමට දේවාලය මගින් වී හෝ හාල් ලබා දෙනවා. දේවාලය ආරම්භ වූ දා සිට ආලත්ති අම්මලා ද සිටි බවයි විශ්වාස කරන්නේ.
පුරාණ පෙනුමකට සමාන අයුරින් උඩු කයට රෙදි කඩක් හැඳ කම්බායකින් සැරසී සිටින ආලත්ති අම්මලා පාන්දර 4. 30 පූජාවටත් සවස 6 30 පූජාවටත් එක්වන අතර, සතියකට වරක් සෙනසුරාදා දිනයේ නානුමුර මංගල්‍යයට ද ඔවුන් එක් වෙනවා. කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන සෑම මංගල්‍යයකට ම ආලත්ති අම්මලා එක් වී දෙවියන්ට ආශිර්වාද ලබා දෙනවා. කප් සිටුවීමේ මංගල්‍යය, ඇසළ පෙරහර, දිය කැපීමේ මංගල්‍යය, ඉල්මහා පෙරහර, අවුරුදු මංගල්‍යය යන ප්‍රධාන අවස්ථා එම උත්සවයි.

 දෙවියන් ඉදිරියේ ආශිර්වාද පහන් පූජා පවත්වමින් – රුහුණු මහා කතරගම දේවාලය facebook page

ආලත්ති පූජාව

කතරගම දෙවියන් උදෙසා දෛනික ව සිදුවන පළමු පූජාව වන්නේ ආලත්ති පූජාව යි. එය කතරගම දේවාලයේ ස්ත්‍රීන් සිදු කරන එකම රාජකාරිය වෙනවා. අනෙක් සියලු ම කටයුතු කරන්නේ පිරිමි පුද්ගලයන්. ආලත්ති පූජාව කරන්නේ මෙලෙසයි. දේවාලයේ තිරය අසල සිටින කපු මහතා ගෙන් පහන් තිරයක් ලබාගන්නා ආලත්ති අම්මලා එම පහන් තිරය දල්වා දේවාලය පිටත ඇති “වට්ටාරම” නම් ස්ථානයට රැගෙන පැමිණෙනවා. එම පහන් කරකවමින් දෙවියන්ට දීර්ඝායු වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා.
දෙවියන්ට ආශිර්වාද ස්තෝත්‍ර ගායනා කරන ඔවුන් දැල්වූ පහන් රිද්මයකට කරකවන අන්දම බලාසිටින්නට ලස්සනයි. නළලට අත තියා දෙවියන්ට දීර්ඝායුෂ ලැබේවා යැයි ප්‍රාර්ථනා කර ඔවුන් දේවාලයට යළිත් පැමිණෙනවා. දේව තිරය අභියස සිටින කපු මහතා ඉදිරියේ නැවත පහන් කරකවා දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒත් දේවාලයේ තිරයෙන් එපිටට ගොස් දේව ආවතේව කිරීමට ආලත්ති අම්මලාට අවසරයක් නැහැ. ඒ අවසරය හිමි කපු පරම්පරාවේ කපු මහත්වරුන්ට පමණයි.

 කතරගම දෙවියන් වල්ලි අම්මා සහ තේවානි අම්මා සමඟ -wikipedia.org

ආලත්ති අම්මලා ගැන ජනප්‍රවාද

පුරාණ සිංහල රජ කාලයේ රජවරුන්ට උදේ සහ දවල් ආහාර කිසට පෙර ආශීර්වාද කිරීමේ සිරිතක් පැවතුණා. එසේම ඒ කටයුත්තේ යෙදීමට කිරිඅම්මලාත් සිටි බව සඳහන්. එම කාර්යය දෙවියන්ටත් සිදු කිරීමට දුටුගැමුණු මහ රජු අණ කළ බව ජනප්‍රවාදයේ පැවසෙනවා.
කතරගම දෙවියන්ට බිරින්දෑවරුන් දෙදෙනකු සිටි බව සඳහන් වෙනවා. ඒ ඉන්දියානු සම්භවයක් ඇති තේවානි අම්මා සහ ලංකාවේ වල්ලි අම්මායි. කතරගම දෙවියන් ලංකාවට පැමිණි අවස්ථාවේ දී අහම්බෙන් කතරගම දී හමු වී පෙමින් බැඳී වල්ලි දෙවඟන හා විවාහ වෙනවා. ඒ අවස්ථාවේ දී වල්ලි දෙවඟන කුඩා කල සිට හදා වඩාගත් වැදි ජනයා හඬා වැටෙමින් කතරගම දෙවියන් ඉදිරියට පැමිණියා. එසේ පැමිණ ඉල්ලා සිටියේ තම වරිගයටත් දෙවියන් වෙනුවෙන් ඉටුකිරීමට යම් රාජකාරියක් ලබා දෙන්න කියලයි. ඒ අනුව මෙම පිරිසට දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට සහාභාගි වී දෙවියන්ට ආශිර්වාද කරන්න අවසරය ලබා දුන් බව තවත් කතාවක කියැවෙනවා. ඒ වැදි පරපුරෙන් පැවත එන නිසා වැදි ඇඳුමට සමාන ඇඳුමකින් ආලත්ති අම්මලා කතරගම දෙවොලේ පුද පූජාවලට අදටත් සහභාගී වෙන බවයි සැලකෙන්නේ.

 දෙවියන්ට පහන් කරකවමින්- රුහුණු මහා කතරගම දේවාලය facebook page

ආලත්ති අම්මලාගේ සේවය

ආලත්ති පූජාව සඳහා කැප ව සිටින මවුවරුන් මැදි වියේ සිටින්නන්. ඔවුන් සෑම සතියකට ම වරක් දේවාලයේ සිදු කරන බෝධියේ නානු මුර මංගල්‍යය සඳහා මැණික් ගඟෙන් පැන් රැගෙන ඒම සිදු කරනවා. සෑම වසරකට ම වරක් බුත්තල දේවාලයට අයිති කුඹුරෙන් රැගෙන එන වී මෝල්ගස්වලින් කොටා සහල් කර දේව දානයට ලබාදීමත් ආලත්ති අම්මලා සිදු කළ යුතු තවත් රාජකාරියක්. කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යවල දී දෙවියන් වැඩම වන හස්ති රාජයා අභියසින් ඉදිරියෙන් ආලත්ති අම්මලා ගමන් කරනවා.

ආලත්ති අම්මලා කතරගම පෙරහරේ ගමන් කරමින්- dinamina.lk

මාසයකට දෙදෙනා බැගින් බෙදාගෙනයි මෙම පූජාව සිදු කරන්නේ. මෙසේ දේව පුද සත්කාර කරන මෙම ආලත්ති අම්මලා වෙනුවෙන් දේවාලයේ කුඹුරුවල වී අස්වැන්නෙන් කොටසක් සෑම මංගල්‍යයකදී ම ලබා දීම අද සිදුකරන්නේ බස්නායක නිලමේවරයා යි.

කතරගම පෙරහරේ අවස්ථාවක් – dinamina.lk

දළදා මාලිගයේ ආලත්ති අම්මලා

මහනුවර දළදා මාලිගයේ රාජකාරි කරන පිරිස අතරත් ආලත්ති අම්මලා සිටිනවා. ඔවුන් සුදු පැහැයෙනුයි සැරසී සිටින්නේ. ඔවුන්ගේ සේවය සමාන්‍ය බැතිමතුන්ට දැකගැනීමට ලැබෙන්නේ කලාතුරකින්. දළදා තේවාව අවසානයේ දී ගන්ධ කුටියේ දොර අඩක් විවෘත කර තේවා භාර නිලධාරින් මහ පහනෙන් තෙමා ගත් පහන් තිරයක් එළියේ රිදී දොරටුව ළඟ සිටින ආලත්ති අම්මලා දෙදෙනාට ලබාදෙනවා. ඔවුන් පිටත සිට පහන් කරකවා ආලත්ති බා ඇතුළට එනවා. එහිදී ඔවුන්ට මල් බන්දේසියෙන් මල් මිටක් ලබාදෙනවා. ආලත්ති අම්මලා දළදා වහන්සේට මල් පූජා කර එළියට විත් වන්දනා කරනවා.

ඒ පාරම්පරික රාජකාරිය ගැන වැඩිදෙනෙකු නොදන්නා බවයි පෙනෙන්නේ. ඒ පිළිබඳ මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් මෙසේ සඳහන් කරනවා:

තෙල් පහන් වන වනා ආශිර්වාද කිරීම ආලත්ති බෑම නමි. මේ කාර්යයට දළදා මාලිගයේ දෙදෙනෙක් සිටිති. සෑම බදාදා දිනවලත් මංගල්‍ය දිනවල හා පෙරහර දිනවල දළදා වහන්සේට ආලත්ති බෑම මොවුන් දෙදෙනා කරති. ඒ හැරුණුවිට අලුත් සහල් ගෙවදින දිනයේ ඇතා දෙපස චාමර දෙක රැගෙන ගුරුදෙනියේ සිට නාථ දේවාලයට ගමන් කළ යුතුය. දළදා මාලිගයේ මුළුතැන්ගෙට අවශ්‍ය පිටි කොටා දිය යුතුය. ඒ සඳහා වන වියදම වශයෙන් රිදී නැලියෙන් ගත් හාල් නැලියක් ගබඩාවෙන් ඔවුනට දෙනු ලැබේ ( කඹුරුගමුවේ වජිර හිමි- දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, 280 පිට)

ආලත්ති අම්මලාගේ සේවය බොහෝ ගෞරවයෙන් තමයි පුරාණයේ පටන් සැලකුණේ. අදත් ඔවුන්ගේ පෞරාණික සිරිත් දෙස බොහෝ දෙනා කුතුහලයෙන් අවධානය යොමු කරනවා.

 මූලාශ්‍ර:
කඹුරුගමුවේ වජිර හිමි- දළදා ඉතිහාසය සහ සංස්කෘතිය
දුටු නුදුටු කතරගම දෙවිඳු- කේ. ඩී. දේවප්‍රිය

Related Articles