ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව හා පෝලන්ත වැනි රටවල වාසය කළ යුදෙව්වන් මිලියන 6කට වඩා සමූලඝාතනය කිරීමටත් සොවියට් සිවිල් වැසියන්,පෝලන්ත වැසියන් මෙන්ම වෙනත් සුළු ජාතිකයන් මිලියන ගණනක් මරා දැමීමටත් අණකළ නාසි ජර්මනියේ අඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය තුළ බලයට පත් වන්නේ 1933 වසරේදීයි. ඒ ජර්මානු ජනතාවගේ ඡන්දයෙන්.
නමුත් එලෙස ජන්දයකින් තේරී පත් වීමට ප්‍රථම ජර්මානු රජයේ බලය අල්ලාගැනීමට ඔහු ඇතුළු නාසි පක්ෂය 1923 වසරේ නොවැම්බර් මස 8 දා උත්සාහ ගනු ලබනවා. එම උත්සාහය හදුන්වන්නේ “බියර් හෝල් කැරැල්ල” ලෙසයි. නමුත් ජර්මානු ආරක්ෂක අංශ විසින් එය ව්‍යර්ථ කරනුලබන අතර එහිදී නාසි පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් (එස්.ඒ භටයන්) පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මිය යනවා. කෙසේ හෝ කැරැල්ල සාර්ථකව මැඩපවත්වන අතර මෙයට නායකත්වය සැපයීම හේතුවෙන් හිට්ලර් සිරගෙට නියමවෙනවා.
පළමු ලෝක යුද්ධයෙන් විනාශ වූ ජර්මනිය
1919දී තම දේශපාලනික ගමන ආරම්භ කරන හිට්ලර් ජර්මන් කම්කරු පක්ෂයට ඇතුළත් වන්නේ එහි 55 වන සාමාජිකයා ලෙසයි. 1921 වසරේදී එම පක්ෂය ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය (NSDAP) හෙවත් නාසි පක්ෂය ලෙස වෙනස් වන අතර දක්ෂ කථිකයෙක් හා කැපවීමෙන් ක්‍රියා කළහැකි ඉතා වෙහෙස වී සංවිධානය වෙනුවෙන් වැඩකළ හිට්ලර් 1923 වසරේදී එහි නායකත්වයට පත්වෙනවා.
පළමු ලෝක යුද්ධය අවසන් වී ජර්මානු අධිරාජ්‍ය බිඳවැටීමෙන් පසු, එනම් 1919 සිට 1933 වසරේ නාසි ජර්මනිය බිහි වීමත් අතර කාලය තුළ ජර්මනිය හදුන්වන්නේ වයිමාර් ජනරජය (Weimar republic) ලෙසයි. මෙය ආරම්භයේ පටන්ම දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අස්ථාවරත්වය පෙන්නුම් කළ අතර ඊට හේතුව වුයේ පළමු ලෝක යුද්ධය අවසානයත් සමඟ ජර්මනිය ලැබූ දරුණු පරාජයයි.
පළමු ලෝක යුද්ධයේ මධ්‍ය බලවතුන්ගේ පාර්ශවයේ සිට, මිත්‍ර බලවතුන්ට විශාල විනාශයක් අත්කර දුන් ජර්මනියට යුද්ධය අවසන් වීමෙන් පසු අත්සන් තැබෙන වර්සායි ගිවිසුමෙන්(Treaty of Versailles) ඉතාමත් අවාසි සහගත තත්වයක් උදාවෙනවා. ඔවුන්ට ප්‍රංශයෙන් අල්ලාගෙන තිබූ ප්‍රදේශ නැවත ප්‍රංශයට පවරා දීමට සිදුවෙනවා. විශාල යුධ වන්දියක් ද ගෙවීමට බල කෙරෙනවා.
අරාජික සමයක ඉස්මතු වූ නාසිවාදියා
බටහිර රටවල් වල මැදිහත්වීමෙන් පසුව පිහිටුවන ලද වයිමර් ජනරජය විසින් වර්සෙල් ගිවිසුමට අනුව බටහිර රටවලට වන්දි ගෙවීම හේතුවෙන් රටේ විරැකියාව ඉහළ යන අතර ජීවන වියමදමද ඉතා ඉහළ නගිනවා. රජය ආර්ථික පරිහානියකට ලක්වූ මෙවැනි අවස්ථාවක ඒ වෙනුවෙන් රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති වූ බැවින් එය වාසියට හරවා ගන්නා හිට්ලර් ඇතුළු නාසි පක්ෂය රට තුළ නොයෙකුත් විරෝධතා ව්‍යාපාර මෙහෙයවනවා.
මුසලොනිගේ “රෝමය දක්වා ගමන් කළ පෙළපාලිය” ආදර්ශ කරගනිමින් බර්ලිනය දක්වා විරෝධතා පෙළපාලියක් සැලසුම් කිරීම
1923 වසර වන විට නාසි පක්ෂය සතුව එස්.ඒ භටයන් 15,000ක සංඛ්‍යාවක් රොක් වී සිටි අතර මෙවැනි විශාල පක්ෂයකින් රජයට බලපෑමක් එල්ල කළ හැකි බව හිට්ලර් ඇතුළු නාසි නායකයින් විසින් උපකල්පනය කරනවා.
1922 වසරේදී ඉතාලියේ රෝමය දක්වා ගමන් කළ පැසිසිට් සාමාජිකයන් යොදාගනිමින් ඉතා දැවැන්ත විරෝධතා පෙළපාලියක් මෙහෙයවා ඒ මගින් ආණ්ඩු බලය පැහැරගත් බෙනිටෝ මුසෝලිනිගේ එම ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් බර්ලිනය දක්වා විශාල ජන ගංගාවක් මෙහෙයවීමෙන් ආණ්ඩුව බිය වද්දවා රාජ්‍ය බලය ලබා ගැනීම සදහා කැරැල්ලක් සංවිධානය කිරීමට හිට්ලර් ඇතුළු නාසි පක්ෂ නායකයින් කටයුතු කරනවා. ඔවුන්ට මේ සදහා සුදුසු අවස්ථාවක් බැවේරියා (Bavaria) ප්‍රාන්තය තුලදී හමුවෙනවා.
බියර් හෝල් තුළට කඩා වැදුණු නාසීන්
මේ කාලය වන විට බැවේරියාව, වයිමාර් ආණ්ඩුවට විරුද්ධව තම මතය ප්‍රකාශ කිරීමට සැරසී අතර ප්‍රාන්ත ප්‍රධානියා වූ ගුස්ටාව් ෆොන් කාර් (Gustav von Kahr) හා ඔහුගේ හමුදා හා පොලිස් ප්‍රධානින් දෙදෙනා සමඟ සාකච්ජා කර ඇති වී ඇති තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කර රජයට විරුද්ධව ජනයා මෙහෙයවීම සඳහා සුදානම් වෙනවා. ඔවුන්ගේ අදහස වන්නේ තමන් වයිමාර් ආණ්ඩුව නොසලකා හැර ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරීමයි. ඒ සදහා ජන හමුවක් 1923 වසරේ නොවැම්බර් මස 8 වනදා මියුනික් නගරයේ බියර් හලක පවත්වන්නට කටයුතු කරනවා.
මේ පිළිබඳව නාසි පක්ෂයට ආරංචි වන අතර එම ස්ථානයට කඩා වැදී එම ජනහමුවේ බලය තම පක්ෂය සතු කරගැනීම හිට්ලර්ගේ අරමුණ වෙනවා. එයට කඩා වැදී නායකයින් තිදෙනා යටත් කරගෙන තමන්ගේ බර්ලින් දක්වා විරෝධතා මෙහෙයවීමට දායක කරගැනීමට සැළසුම් වුණා.
සිය ගණනක් නාසි සාමාජිකයන් සමග ශාලාව වටකරන හිට්ලර් ශාලාව තුළට පැමිණ සිවිලිමට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර නායකයින් තිදෙනාව අත්අඩංගුවට ගන්නවා. පසුපස කාමරයක රදවා ඔවුන්ට තමන් සමඟ එකතු වෙන ලෙසත් බැවේරියන් ප්‍රාන්ත ආණ්ඩුව තමන් සමග එකතුව ජර්මන් ආණ්ඩුව බිද දැමීමට සහාය වන ලෙස ප්‍රකාශ කරනවා. මෙම බලකිරීමත් සමඟ අකමැත්තෙන් වුවත් ඊට එකඟ වීමට ඔවුන්ට සිදුවෙනවා. තවද රැස්ව සිටි ජනතාව අමතා බැවේරියාව ස්වාධින රජයක් ලෙස ප්‍රකාශ කරන ලෙස වොන් කාර් හට හිට්ලර් විසින් නියම කළ බැවින් ඔහු විසින් පැමිණ ජනතාව අමතා එසේ ප්‍රකාශ කරනවා. මෙහිදී හිට්ලර් විසින් “ජර්මනියේ ජාතික විප්ලවය” ලෙස හදුන්වමින් ජනතාව අමතමින් උද්වේගකර කතාවක් පවත්වනවා.
පසුව හිට්ලර් විසින් මෙම අවිසහිත පාගමනේ නායකත්වය පළමු ලෝක යුධ සමයේ සිටි සෙන්පතියෙක් වන එරික් ලූඩන්ඩෝර්ෆ් (Erich Ludendorff) වෙත භාර කරනවා. නමුත් මෙහිදී එස්.ඒ භටයන්ට සම්පුර්ණ වශයෙන් හමුදා සන්නිවේදන මධ්‍යස්ථාන සියල්ල තම භාරයට ගැනීමට අතපසු වීම කැරැල්ල අසාර්ථක වීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස සදහන් කල හැකියි.
ඔවුන් සමඟ සාකච්ඡා කර පසුව ප්‍රාන්ත ප්‍රධානින් තිදෙනාද නිදහස් කර යැවීම මෙහිදී සිදු වූ තවත් දුර්වලතාවයක් ලෙස හදුනා ගත හැකියි.මෙම ප්‍රාදේශීය නායකයන් තිදෙනා නිදහස් කිරීමෙන් පසුව ඔවුන් විසින් මෙම කැරැල්ලට කිසිම සහයෝගයක් නොදැක්වූ බව හිට්ලර් විසින් පසුව ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් හිට්ලර් බලයට පත් වූ පසු ප්‍රාන්තයේ නායකයා වූ වොන් ව මරාදමනවා. තවත් භට කණ්ඩායමක් සමඟ යුධ අමාත්‍යාංශ ගොඩනැගිල්ල අල්ලා ගැනීමට ගිය එස්. ඒ ප්‍රධානි රොම් (Ernst Röhm) අත්අඩංගුවට පත්වෙනවා.
මේ දුර්වලතා හේතුවෙන් ඔවුන්ට බර්ලින් කරා යාමට හැකියාව නොලැබෙන අතර විශාල පොලිස් භට කණ්ඩායමකට මුහුණ දීමට සිදු වන්නේ මියුනික් නගරයේදීයි.
3000ක් පමණ කැරලිකරුවන් ගමන් ගත් විරෝධතා ගමන ප්‍රාන්ත පොලිසිය විසින් හරස් කරන අතර එහිදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් නාසීන් 16 දෙනෙකු මරණයට පත්වෙන අතර පොලිස් නිළධාරීන් 4 දෙනෙක්ද ඝාතනය වෙනවා. කැරැල්ලේ ඉදිරියෙන් ගමන් කළ එරික් ලූඩන්ඩෝර්ෆ් හිටපු ඉහළ හමුදා නිලධාරියෙක් වූ බැවින් පොලීසිය විසින් ඔහුට වෙඩි තැබීමට පැකිලෙනවා. මේ අතර ඇදවැටී සිටි හිට්ලර්ව වහාම එතනින් ඉවත්කර රැගෙන යාමට ආරක්ෂකයන් විසින් කටයුතු කරනවා. තවද සිය පාදයට වෙඩි වැදුණු නාසි ප්‍රධාන නායකයෙක් වන ගෝරින් (Hermann Göring) ඕස්ට්‍රියාවට පළායන අතර කැරැල්ල මෙහෙයවූ එරික් ලූඩන්ඩෝර්ෆ් සිරභාරයට පත්වෙනවා.
මෙය සිදු වී දින දෙකකින් පසුව කැරැල්ල හේතුවෙන් චෝදනා ලබා සිටි හිට්ලර් පොලීසියට භාර වෙන අතර ඔහුට වසර පහක සිරදඩුවමක් හිමිවෙනවා. එස්. ඒ සංවිධානය ජර්මනිය තුළ තහනම් කරනවා. නමුත් නාසි පක්ෂය විසින් ආණ්ඩුවට ඇතිකළ බලපෑම මත විශේෂ සමාවක් යටතේ 1924 වසරේ දෙසැම්බර් මාසයේදී හිට්ලර් නිදහස් වෙනවා.
මෙම කැරැල්ල අසාර්ථක වුවත් ජර්මනිය තුළ නාසි පක්ෂය ජනප්‍රිය වීමට ඉවහල් වූ බව නාසි නායකයා සිරෙන් නිදහස් වූ පසුව ලැබූ ජනතා ප්‍රතිචාරයෙන් ඔප්පු වෙනවා.
කවරයේ ජායාරූපය – World War II Pictures In Details