Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

265 දෙනෙක් මරු තුරුළට යැවූ අංක 587 ගුවන්යානා අනතුර

ලොව වඩාත් ආරක්ෂාකාරීම ප්‍රවාහන මාධ්‍යය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ගුවන්යානා භාවිතය යි. ගුවන්යානයක් අනතුරට ලක්වීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් වීම නිසා යි ඒ. කෙසේ නමුත් යම් හෙයකින් මෙහිදී අනතුරක් සිදුවුවහොත් එය බොහෝ විට එහි ගමන් කරන සියළු දෙනාගේම ජීවිත හානි කිරීමට තරම් ප්‍රබල වෙනවා. සමහර විටක මීට එම යානය අනතුරට පත් වී කඩා වැටෙන ස්ථානයේ වෙසෙන කිහිප දෙනෙකුගේ ද ජීවිත ගොදුරු වෙනවා.

2001 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා දරුණු ගුවන්යානා අනතුරක් සිදු වුණා. ඇමෙරිකානු ගුවන් සමාගමට අයත් එම යානය ජනාකීර්ණ පෙදෙසකට කඩාවැටුණේ, යානයේ ගමන් කළ සියළුදෙනාගේ පමණක් නොව භූමිය මත සිටි 5 දෙනෙකුගේ ද ජීවිත සොරාගනිමිනු යි.

අනතුරට ලක් වූ අංක 587 දරන ගුවන්යානය- steemit.com

අනතුරට පෙර

2001 වසර ඇමෙරිකා එක්සත් ජනපදයට එතරම් සුභවාදී වසර වූයේ නැහැ. විශේෂයෙන් එම වසරේ සැප්තැම්බර් මස 11 වන දා එහි වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මුළු ලෝකයම සලිත වුණා. එම වසරේ නොවැම්බර් මාසය වන විටත් එහි උණුසුම සම්පූර්ණයෙන් පහව ගොස් තිබුණේ නැහැ.

නිව්යෝක්හි ජෝන් එෆ් කෙනඩි ගුවන්තොට වසර පුරාවටම පවතින්නේ ඉතා කාර්යයබහුල තත්ත්වයෙනුයි. නිතිපතා ගුවන් යානා රාශියක් මේ ගුවන්තොටින් ඉවතට නික්මෙන අතර, ඒ හා සමානම ප්‍රමාණයක් එහි පැමිණෙනවා. මේ නිසා ඒවා හසුරවාගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වෙනවා.

ඇමෙරිකානු ගුවන් සමාගමට අයත් අංක 587 දරන එයාර් බස් වර්ගයේ ගුවන් යානය 2001 වසරේ නොවැම්බර් මස 12 වන දා උක්ත ගුවන්තොටින් නික්මී ඉවත පියාසරන්නට නියමිතව තිබුණා. එහි ගමනාන්තය වූයේ ඩොමිනිකා ජනරජයේ ලාස් ඇමෙරිකාස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යි. මෙම චාරිකාව සඳහා මඟීන් 251 දෙනෙකු සහභාගී වූ අතර යානයේ කාර්යයමණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විත වුණා.

මෙම ගුවන්යානය පියාසර කිරීම භාරව තිබුණේ දෙදෙනෙකුට යි. යානයේ කපිතාන් ලෙස පළපුරුදු ගුවන් නියමු 42 හැවිරිදි එඩ් ස්ටේට්ස් කටයුතු කළ අතර එහි පළමු නිළධාරියා වූයේ 34 හැවිරිදි ස්ටෙන් මොලිනු යි.

අංක 587 දරන ගුවන්යානය කෙනඩි ගුවන්තොටින් නික්මෙන්නට නියමිතව තිබූයේ එදින උදෑසන 8ට යි. මෙය කෙටි කාලයක් තුළ ඩොමිනිකාවේ සැන්ටො ඩොමින්ගෝ වෙත ළඟා වන්නට සැලසුම් කර තිබුණා. කෙසේ නමුත් මේ වන විට ඇමෙරිකාව පුරා ඇතිව තිබූ ත්‍රස්තවාදී භීතිය නිසා සියළු ගුවන්යානාවලට මඟීන් ඇතුළු කරගන්නා ලද්දේ ඉතා දැඩි පරීක්ෂාවකින් පසුව යි. මේ හේතුවෙන් බොහෝ ගුවන්යානාවලට නියමිත වේලාවට වඩා පමාවී සිය ගමන ආරම්භ කරන්නට සිදු වූ අතර, ගුවන්යානා අංක 587ටත් එම කාරණය පොදු වුණා. ගමන් කිරීමට නියමිත සියළු මඟීන් එහි අසුන් ගන්නා විට උදෑසන 8.38 වූ අතර, යානය පියාසැරීමට සූදානම් යැ යි තීරණය කෙරෙන විට උදෑසන 9.00 වී තිබුණා.

මෙම ගුවන්යානයට ප්‍රථම, එම ගුවන්යානයට හිමිව තිබූ ගුවන්පථයෙන් ගුවන්ගත වීමට නියමිත වූයේ ජපානයේ ටෝකියෝවේ නරිතා ගුවන්තොටුපොළ බලා යන, ජපාන ගුවන් සමාගමට අයත් අංක 047 දරන බෝයිං 747 වර්ගයේ විශාල ගුවන්යානය යි. මෙය උදෑසන 9.11 වන විට ගුවන්ගත වුණා. කෙසේ නමුත් ඉන් පසුව මිනිත්තු දෙක තුනක් යනතුරු ගුවන්ගත වන්නට අංක 587 ගුවන්යානට අවසර ලැබුණේ නැහැ. ඒ ජපාන ගුවන්යානය නිසා කැළඹුණු වාතය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වන තුරු යි. 

ස්ටෙන් මොලින් කුඩා දැරියක සමග- airlive.net

විශාල ගුවන්යානයක් ගුවන්ගත වූ සැණින් ඒ අවට වාතය කැළඹීමකට ලක් වෙනවා. මේ නිසා එහි වායු ධාරාවල දිශානතිය හා වේගය තැනින් තැනට වෙනස් වෙනවා. මෙය පසුපසින් එන ගුවන්යානය අනතුරේ හෙළීමට සමත් වන අතර, වායු කඳ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මඳ වේලාවක් ගත වෙනවා. කෙසේ නමුත් මෙදින ගුවන් යානා ප්‍රමාද වී ධාවනය වීම නිසා ගුවන්තොට කාර්යයමණ්ඩලය බලා සිටියේ මිනිත්තු දෙකක කාලයක් පමණ යි. උදෑසන 9.13 වන විට අංක 587 ගුවන්යානයට ගුවන්ගත වන්නට විධානය ලැබෙන අතර, ජපාන ගුවන්යානයෙන් කැළඹුණු වාතය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඔවුනට උපදෙස් ලැබුණා. මේ අනුව ගමන් ඇරඹූ එම යානය උදෑසන 9.14ට උඩු ගුවනේ ගමන් කරනවා. මේ වන විට ඔවුන් ජපාන ගුවන්යානයට වඩා පසුපසින් සිටියේ මිනිත්තු 1කුත් තත්පර 40ක පමණ කාලයකින් පමණ යි.

බිහිසුණු අනතුරක්

587 ගුවන්යානය ඉතා සාර්ථක හා සුමට ලෙස ගුවනට මුසු වුණා. ගුවන්ගත වී තත්පර කිහිපයක් ඇතුලත මුහුදු මට්ටමෙන් මීටර 500ක උන්නතාංශයකට ළඟා වූ එය ඊළඟ විනාඩිය තුළ අඩි 1,300 දක්වා ඉහළ නගිනවා. මේ අවස්ථාවේ දී ගුවන්තොටුපොළ යානා හැසිරවීමේ මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ යානයේ නියමුවන් තමන් අඩි 5,000 කරා ඉහළ නගිමින් සිටින බවත්, යානය හසුරුවාගෙන ස්ථාවරව තබාගැනීම සඳහා සුදුසු උසක් ලබා දෙන ලෙසක් ඉල්ලා සිටියා. මෙහිදී ඔවුනට උපදෙස් ලැබෙන්නේ එය අඩි 13,000 දක්වා ඔසවා එම උන්නතාංශයෙහි පවත්වාගෙන යන ලෙස යි.

උදෑසන 9.16 ආසන්න වේලාවක දී 587 ගුවන්යානාව හදිසියේම ආකූල ප්‍රවාහයකට ගොදුරු වෙනවා. ඒ, ඒ වන විට තදාසන්නව ගමන් කරමින් සිටි ජපාන ගුවන්යානයෙන් සිදු වූ වායු කැළඹීමක ප්‍රතිඵලයක් ලෙස යි. මෙය කලින් යම් පමණකින් හෝ බලාපොරොත්තු වූ තත්ත්වයක් නිසා ඉක්මණින් ක්‍රියාත්මක වූ ඇමෙරිකානු යානයේ නියමුවන් එහි රඩරය සුහුරුව හසුවමින් යානය පාලනය කරන්නට පටන් ගත්තා. කෙසේ නමුත් සිතුවාට වඩා කැළඹුම දරුණු වූ අතර හදිසියේම එහි සිරස් ස්ථායීතාවයට උරදෙන කොටස අකර්මණ්‍ය වුණා.

එක් වරම යානයේ නියමු කුටියේ අනතුරු හැඟවීමේ සංඥා නිකුත් වන්නට පටන්ගත්තා. යානය මේ වන විට ස්ථානගත වී තිබුණේ ජැමෙයිකා බොක්කට ඉහළිනු යි. අකර්මණ්‍ය වීමෙන් නොනැවතුණු සිරස් ස්ථායීතා උපකරණය යානයෙන් වෙන් වී ජැමෙයිකා බොක්කට කඩාවැටුණා. මේත් සමගම යානය පාලනයෙන් ගිලිහී ගිය අතර එහි නාසය එක් වරම පහළට යොමු වුණා. යානයේ නියමුවන්ට මෙය කිසිසේත් පාලනය කරගත නොහැකි වුණා. යානය දඟරයක් මෙන් කැරකීම ආරම්භ වූ අතර මේ නිසා එහි එන්ජින් ද්විත්වය ද ගැලවී විසි වී ගියා. යානය සම්පූර්ණයෙන්ම අග්නි ජාලවක් වූ අතර එය නිව්යෝක්හි වෙරළාසන්න ජනාකීර්ණ පෙදෙසකට කඩාවැටුණේ මහ හඬක් නංවමිනු යි.

ගැලවුණු රඩරයේ කොටස්- airlive.net

යානය කඩාවැටුණේ නිවෙස් තුනක් මතට යි. මේ අනතුරෙන් යානයේ හුන් 260 දෙනාම මියගිය අතර නිවෙස්වල හුන් 5 දෙනෙක් මියගියා. තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලැබුවා. වහාම මේ ආරංචිය පොලිසිය හා ගුවන්තොටුපොළ වෙත ලබුණු අතර ඔවුන් හැකි ඉක්මණින් එහි ළඟා වුව ද කළ හැකි කිසිවක් ඉතිරිව තිබුණේ නැහැ.

පර්යේෂණ

ඉක්මණින්ම යානා අංක 587 හා සබැඳි අනතුර පිළිබඳව පර්යේෂණ ඇරඹුණා. මේවායේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ජාතික ගමනාගමන සුරක්ෂිතතා මණ්ඩලය යි. 

යානයේ සුන්බුන් වැටී තිබූ ආකාරය- Getty Images

යානයේ සුන්බුන්, අනෙක් ඒවායෙන් වෙන්කොට හඳුනාගැනීම මුලින්ම සිදු වූ අතර, ඒවා යොදාගෙන වැඩිදුර පර්යේෂණ සිදුකෙරුණා. යානයේ කළු පෙට්ටිය ද නිරුපද්‍රිතව හමු වූ අතර ඒවායේ වූ දත්ත පර්යේෂණවලට මහෝපකාරී වුණා. එහිදී හෙළි වූයේ යානය වායු කැළඹීමට හසු වූ මොහොතේ කලබල වූ එහි නියමුවන් අනවශ්‍ය ලෙස එහි රඩරයන් වේගයෙන් එහෙ මෙහෙ හසුරුවා ඇති බව යි. මේ නිසා ඒවා ආතතියට ලක්ව යානයෙන් ගැලවී වැටී තිබෙනවා.

උක්ත අනතුරේ හා පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස එයාර් බස් ගුවන්යානාවල රඩරයන් වඩා ශක්තිමත්ව නිපදවන්නට එහි නිෂ්පාදකයින් තීරණය කළා. එමෙන්ම හදිසි අවස්ථාවල දී ඒවා අවශ්‍ය පමණට පමණක් හසුරවන ආකාරය පිළිබඳව ගුවන් නියමුවන් විශෙෂයෙන් පුහුණු කිරීම ද ඇරඹුණා.

කවරයේ පින්තූරය- Wener Fischdick

Related Articles