Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාලයේ වැලි තලාවෙන් වැසුණු පෞරාණික අමෙරිකානු  නගර

අතීතයේ යම් කාලයක ලොව ඉතාමත් දියුණු සහ, ජනයාගෙන් ගැවසීගත් නගර වශයෙන් පැවතී, අනතුරුව විවිධ හේතූන් නිසා විනාශ වීමට භාජනය වී, අද වන විට සම්පූර්ණයෙන්ම කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ග්‍රීක සහ රෝම නගර ත්‍රිත්වයක් පිළිබඳ විස්තර පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා.

මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන් ම පැවතී, වර්තමානය වන විට සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති උතුරු සහ දකුණු අමෙරිකානු මහාද්වීපයට අයත් නගර ත්‍රිත්වයක් ගැන යි.

ටිකාල් – ගෝතමාලාව – theglobetrottingturtle.com

ටිකාල් – ගෝතමාලාව

මායාවරුන්ගේ නගරයක් වූ ටිකාල් නගරය, එක්තරා කාලයක මායාවරුන්ගේ රාජධානියේ අගනුවර බවට ද පත් ව තිබුණා. එකල මෙම නගරය, එදවස ලොව තිබූ නගරවලින් විශාලත ම නගරයක් වුණා. මෙම නගරය ක්‍රියාකාරී මට්ටමෙහි පැවතුණේ ක්‍රිස්තු වර්ෂ 200 පටන් 900 පමණ වන තුරු යි. මෙම නගරයේ නටබුන් ඉත හොඳින් සංරක්ෂණය වී ඇති බැවින්, වර්තමානයේ වුව ද එම නගරයේ ශ්‍රී විභූතිය පිළිබඳ ව බොහෝ දේ අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

මෙම නගරය මායාවරුන් අතැර දැමීම සිදු කළේ කුමක් නිසාද යන්න පිළිබඳ ව නිශ්චිතව ම පැවසීමට විද්‍යාඥයන් අදටද සමත් වී නැහැ. මෙලෙස නගරය අතැර යාමට හේතුව ලෙස, එහි වූ පහසුකම්වලට වඩා ජනගහනය වැඩි වීම බැව් අනුමාන කෙරෙනවා. මේ නිසා මායාවරුන් කෙමෙන් කෙමෙන් මෙම නගරය ඇතැර සම්පත් බහුල වෙනත් පෙදෙස්වලට සංක්‍රමණය වන්නට ඇති බවට අනුමාන කෙරෙන අතර, අවසානයේ ටිකාල් නගරය වනයෙන් වැසී ගියා. මේ නිසා ටිකාල් නගරය ලොවෙන් වසන් වුණා. 

මෙම නගරය පවතින ස්ථානය පිළිබඳව මෑතක් වන තුරුම, ඒ අසල ජීවත් වූ ගම් වැසියන් කිහිප දෙනෙක් හැර, කිසිවෙක් දැන නොසිටි අතර, එය ලොවට නැවත විවර වූයේ 1848 වසරේදී යි. ගවේෂකයන් කණ්ඩායමකට නටබුන් වී ගිය ටිකාල් නුවරට අයත්, අඩි 70 ක පමණ උසකින් යුක්ත පිරමීඩ, රාජකීය මැදුරු සහ නෘත්‍යශාලා වැනි දේ හමු වුණා.

ක්ලිෆ් පැලස් – කොලරාඩෝ – Wikimedia Commons

ක්ලිෆ් පැලස් – කොලරාඩෝ

ක්ලිෆ් පැලස් නම් නගර සංකීර්ණය පිහිටා ඇත්තේ අමෙරිකාවේ නිරිතදිග පිහිටි කොලරාඩෝ ප්‍රාන්තයේ යි. මෙය ‘පුඑබ්ලෝ’ නමින් හඳුන්වන ස්වදේශික අමෙරිකානුවන් ඉදි කළ බවට සැලකෙන අතර, ඔවුන්ගෙන් පැවත එන්නන් අදට ද කොලරාඩෝ ප්‍රාන්තයේ දැකිය හැකි යි. මෙම ස්වදේශිකයන්ගේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 900 ත් 1200 ත් අතර කාලය යි. එය සාමාන්‍යයෙන් ස්වදේශික ඉන්දියානුවන් නම් කර ඇත්තේ, ඔවුන් සාදා ගත් ජනාවාසවල යෙදූ නම් අනුව යි. මෙකල, මෙම පෙදෙසේ ජීවත් වූ ස්වදේශකයන් ‘අනසාරි’ ගෝත්‍රයට අයත් ලෙස සැලකුණු අතර, ඔවුන් මෙම ‘ක්ලිෆ් පැලස්’ නම් ස්ථානයේ ගොඩනැඟිලි ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1200 පමණ කාලයක බැව් අද වන විට ඔප්පු වී තිබෙනවා.

කෙසේ නමුත් සාදා නොබෝ කලකින් ඔවුන් මෙම ස්ථානය අතැර ගොස් තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1300 වැනි කාලයක වන අතර, ඉන් පසු වසර 600 ක පමණ කාලයක් එය සම්පූර්ණයෙන් ම වනයෙන් වැසී, බාහිර ලෝකයෙන් වසන් වී පැවතී තිබෙනවා. 1888 වසරේදී නැති වූ තම ගවපට්ටිය සොයා ගිය රිචඩ් වෙදර්විල්, චාල්ස් මේසන් සහ ස්වදෙශිකයකුට අහම්බයකින් මෙම නගර සංකීරණයේ ගොඩනැගිලිවල නටබුන් හමු වී තිබෙන අතර, එම නගර සංකීර්ණය වටා, ශක්තිමත් ගල් බැම්මක් බැඳ තිබෙන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

ස්වදේශික අමෙරිකානුවන් මෙම නගර සංකීර්ණය අතැර ගොස් ඇත්තේ මන්දැයි යන්න අදටත් තහවුරු වී නැහැ. කෙසේ නමුත්, යුරෝපීයයන් අමෙරිකාවට පැමිණීමට පෙර, එරට මුහුණ දුන් දරුණු නියඟයක් පිළිබඳ ව සටහන් පවතින අතර, එම නියඟය නිසා වගා පාළු වීම හේතුවෙන්, සිය ජීවිතාරක්ෂාව පතා, මෙය ඉදි කළ ස්වදේශියකන්ට, වෙනත් ස්ථානයකට සංක්‍රමණය වන්නට සිදුවන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා. වර්තමානය වන විට එම නගර සංකීර්ණයේ තිබී ඉදිකිරීම් රාශියක් හමු වී තිබෙනවා. මේවා අතර පෞරාණික නගරයක දක්නට ලැබෙන සියලු පහසුකම්, කාලානුරූපී ව එම සංකීර්ණය තුළ පැවති බවට සාධක රාශියක් පවතිනවා.

මාචු පිචු – පේරු – Daniella Beccaria

මාචු පිචු -පේරු

ලොව වඩාත් ම කතාබහට ලක් වූ පෞරාණික නගරයක් ලෙස සැලකෙන මාචු පිචු පිහිටා ඇත්තේ, වර්තමාන පේරු දේශයේ සීමාව තුල, අන්දීස් කඳු පන්තියේ මුදුනට ආසන්න ව යි. ඉන්කාවරුන් ගොඩනැඟූ මෙම නගරයේ ඔවුන් වාසය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1450 සිට 1572 අතර වසර 122 ක් වැනි කෙටි කාලයකට යි. ඔවුන් මෙය අතැර දමා ගොස් ඇත්තේ 16 වන සියවසේ මැද භාගයේ දී එරටට ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණීමත් සමඟ යි. 

කෙතරම් දියුණු පිරිසක් වුවද, ස්පාඤ්ඤ ජාතිකයන්ට මාචු පිචු පවතින නිවැරදි ස්ථානය සොයා ගත නොහැකි වූ අතර, ස්වදේශිකයන් ද ඔවුන්ට ඒ පිළිබඳ ව කිසිදු තොරතුරක් ලබා දීමෙන් වැලකී සිටියා. එමෙන් ම ඔවුන් ඉන්කාවරුන්ගේ රහස් කිසිවක් ද ස්පාඤ්ඤ ජාතිකයන්ට නොපැවසූ අතර, මේ හේතුවෙන් 20 වන සියවස වන තුරු ම, මෙම නඟරය පවතින නිවැරදි ම ස්ථානය පිළිබඳ ව බාහිර ලෝකය දැනුම්වත් ව තිබුණේ නැහැ.

අමෙරිකානු ඉතිහාසඥයෙක් වන හිරාම් බින්ග් හැම් මෙම ස්ථානයට ළඟා වූ පළමු යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයා යි. ඔහු එහි ළඟා වූයේ 1911 වසරේදී යි.

මාචු පිචු පිළිබඳ අදටත් විවාද රාශියක් පවතිනවා. එය සැබැවින් ම ස්ථාවර ජනතාවක් වාසය කළ නගරයක් ද? නො එසේ නම් රාජකීය නගරයක් ද, එසේහ් නැතිනම් ආගමික සිද්ධස්ථානයක් ද යන්න පිළිබඳ ව අදටත් පර්යේෂණ සිදුකෙරෙනවා. වර්තමානය වන විට මාචු පිචු දැක බලා ගැනීමට ඉතා පහසුවෙන් එහි ළඟා විය හැකි යි. ඒ වෙත යාම සඳහා වූ ප්‍රවාහන පහසුකම් වැනි දේ එරට බලධාරීන් සපයා තිබෙනවා.

කවරයේ ඡායාරූපය- Getty Images.com
මූලාශ්‍ර:
Britannica.com
Unesco.org
Visitmesaverde.com

Related Articles