කඩුවෙල, කොළඹ දිස්ත්‍රික්කයට අයත් කැලණි ගඟබඩ පිහිටි නගරයක්. ශීඝ්‍රයෙන් නාගරීකරණයට ලක්වූ කඩුවෙල අද මහ නගර සභා බල ප්‍රදේශයක් බවට පත් ව තිබෙනවා. 80 දශකය වනතෙක් කුඩා කඩමණ්ඩියක් වුණු මේ නගරය කැලණි නදියේ තොටුපොළක් ලෙස ප්‍රකට ව පැවතියා. ගම්පහ බියගම සිට කඩුවෙලට යායුතු වුණේ ඔරුවෙන් එගොඩවීමෙන්.
80 දශකයේ කැලණි ගඟ හරහා රාජසිංහ පාලම ඉදිවීමෙන් පසු මේ නගරය ගම්පහ දිස්ත්‍රික්කය හා යා වුණා. පැරණි බෙදීම් අනුව කඩුවෙල අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලයේ පල්ලේ පත්තුවට යි. සීතාවක යුගයේ සිදුවීම් රැසකට ම සම්බන්ධ කඩුවෙල අවට අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සෙල්ලිපි සහිත විහාරයක් ද තිබෙනවා.
රන්කඩු පත්තිනි දේවාලය
විහාර අස්න හෙවත් නම් පොතේ කඩුදෙවොල නමින් සඳහන් වන්නේ වර්තමාන කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය යි. කඩුවෙල නගරය මැද කැලණි නදී ඉවුරේ කඳුගැටයක පිහිටි මේ දේවාලය මහනුවර යුගයේ දී ද ප්‍රකට ව පැවති බව නම්පොතේ සඳහන්වීමෙන් පේනවා. රාජසිංහ රජුගේ සටන්වලදී හේවාකම් කර ජය ගත් හේවායන් සිටි නිසා හේවාගම් කෝරළය නම ලැබුණු බව රාජාවලියේ සඳහන් වෙනවා.
දේවාලයක් තැනීමට පෙර මෙහි පැවතියේ බළකොටුවක් බව ඉතිහාසයේ සඳහන්. එය සීතාවක රාජසිංහ රජ සමයේ ඇවිළුණු සටන්වලට පැමිණි සිංහල සෙබළුන් නවාතැන් ගෙන සිටි ස්ථානයක් මෙන් ම සටන් සැලසුම් කළ තැනක් ද වුණා. මුල්ලේරියාව සටන ජය ගත් රාජසිංහ රජු තමන්ගේ රන්කඩුව පූජා කර මේ දේවාලය ආරම්භ කළ බව ජනප්‍රවාදයේ එක කරුණක්.
දේවාලය පිහිටි කඳුගැටය බළකොටුවකට ඉතා යෝග්‍ය තැනක් බව අදත් පේනවා. එක් පසෙකින් කැලණි ගඟෙන් මායිම් වූ කඳුගැටයට ඈත තැනිතලාව හොඳින් දැකගත හැකි යි. සිංහලයන්ට අයත් බළකොටුවක් වූ කඩුදෙවොල රාජසිංහ රජුගේ මරණයෙන් පසු පෘතුගීසින්ට අයිති වුණා. ඔවුන් කන්දේ ගොඩ පැත්තෙන් ඇළක් කප්පවා එයට දිය අගලක් එක් කළ බව සඳහන් වෙනවා.
බළකොටුව අත්පත් කරගත් පෘතුගීසින් දේවාලයත් විනාශ කර තිබෙනවා. ඉංග්‍රීසි පාලන කාලයේ දේවාල කන්ද පාමුලින් අවිස්සාවේල්ල පාර කැපීම නිසා කන්ද දෙකඩ වී ගොස් තිබෙනවා. ඉතිහාසයක් සහිත වුණත් දේවාලයේ දැකගත හැකි ගොඩනැගිලි නම් නූතන ඒවා යි. මේ දේවාලයට අදත් දෙවියන්ගෙන් පිළිසරණ පතා විශාල බැතිමතුන් පිරිසක් ඇදී එනවා.
කඩුවෙල දේවාලය ගැන අතීත අත්දැකීමක් වී ඩී. ද ලැනරෝල් ලේඛකයා මෙසේ සඳහන් කර සිටිනවා:
කඩුවෙල දේවාලයේ අවුරුදු පතා පවත්වන ඇසළ පෙරහර මංගල්ලයේ දී කපුරාල විසින් කරනු ලබන වාහල නැටුම ද සීතාවක රාජසිංහයන්ගේ රණකෙළියක් සිහිවීමට පවත්වනු ලබන්නක් බව කියනු ලැබේ. මා කුඩා කාලයේ වාහල නැටුම පැවැත්වූ සාමෙල් කපුරාළ රාජසිංහ රජු මෙන් ඇඳුම් කට්ටලයකින් සැරසී කඩුව වෙනුවට පන්දම අතින් ගෙන සැරිසරන්නට වූ විට රාජදිංහ රජු පරංගින් කෙටීමේ දී සැරිසරන්නට ඇති අන්දම කල්පනාවට නගී ( වී. ඩී. ද ලැනරෝල්- ලංකා පුරාවෘත්ත 32 පිට).
කොතලාවල සංඛපිට්ටි විහාරය
කඩුවෙල සිට බත්තරමුල්ල පාරේ කිලෝ මීටර් බාගයක් දුරින් කොතලාවල ගමේ තමයි මේ විහාරය පිහිටා තිබෙන්නේ. මහා මාර්ගය අද්දර ම උස්බිමක විහාරය දැකගත හැකි යි. මේ විහාරය අමරපුර නිකායට අයත් පූජනීය ස්ථානයක්. එය 19 වෙනි සියවස මැද භාගයේ ආරම්භ කර ඇති බවට සාධක හමු වෙනවා. දැනට විහාරයේ ඉතිහාසය දිගහැරෙන්නේ හක්පිටියේ අත්ථදස්සී හිමියන්ගේ කාලයේ සිට යි.
උන්වහන්සේ විහාරයට පැමිණීමත් සමඟ සංඛපිට්ඨි යන නම කඩුවෙල විහාරයට ව්‍යවහාර වන්නට පටන්ගෙන තිබෙනවා. අත්ථදස්සී හිමියන්ගේ කාලයේ විහාරාරාංග රාශියක් පිහිටුවා පුදබිම දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. දැන් ධාතු මන්දිරයේ පිහිටි ධාතුන් වහන්සේලා තැන්පත් කිරිමට දැවයෙන් නිර්මාණය කළ ආරක්‍ෂිත මණ්ඩපය ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. එහි ඉතා සියුම් ලී කැටයම් දැකගත හැකි යි. 19 වැනි සියවසේ අග භාගයේ එය තනන්නට ඇති බව පේනවා. එය තැන්පත් කර ඇති ධාතු මන්දිරය ද ඉංග්‍රීසි යුගයට අයත් ගොඩනැගිල්ලක්.
මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහිත කුඩා විහාරගෙයක් මෙහි පෞරාණිකත්වයට දෙස් දෙනවා. එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ද නම්කර තිබෙනවා. ඇතුළු මාලයකින් සහ පිටමාලයකින් සමන්විත විහාරගෙයට පිවිසිය යුත්තේ මකර තොරණකින් අලංකාර වූ දොරටුවකින්. විහාර ගෙය දෙපස විෂ්ණු සහ සමන් ප්‍රතිමා සහිත දේවාල දැකගත හැකි යි. මෙහි විෂ්ණු දෙවියන් නිරූපණය කර ඇත්තේ ආසනයක් මක හිඳගෙන සිටින ඉරියව්වෙන්. බුදුගෙය තුළ හිඳි බුදු පිළිමයක් සහ හිටි පිළිම දෙකක් ද තිබෙනවා. බිත්තියේ ජාතක කතා සිතුවම් කර තිබෙනවා. මේ සිතුවම් බොහෝ දුරට මැකී ගොස් තිබෙනවා. පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංඛපිට්ඨි විහාර ගෙය සංරක්ෂණය කළා.
නූතන විහාර මන්දිරයක් ද දාගබක්, බෝධි වෘක්ෂයක්, ධර්ම ශාලා ඇතුළු විහාර අංග රාශියක් මෙහි දැකගත හැකි යි. වාර්ෂිකව අලංකාර පෙරහරක් ද මේ විහාරය මගින් සංවිධානය කරනවා.
කොරතොට ලෙන් විහාරය
කොළඹ – හංවැල්ල පරණ පාරේ කඩුවෙල සිට කිලෝ මීටරයක් දුරින් පිහිටි වෙලේ හන්දියෙන් හැරී අතුරුගිරය පාරේ කිලෝ මීටර 3ක් ගමන් කළ විට කොරතොට කන්ද පාමුල පිහිටි විහාරයට ළඟා විය හැකි යි.
විහාරය පිහිටි කන්දට නුදුරින් කොරතොට බැලුම්ගල නම් තවත් කන්දක් දැකගත හැකි යි. එය උසින් අඩි 400ක් පමණ වන කඳුගැටයක් වන අතර සීතාවක රජ යුගයේ දී ඔත්තු බැලීමට මෙම කන්ද භාවිත කළ බව පැවසෙනවා. කුඩා වනාන්තරයක් ද දැකගත හැකි මේ කන්ද කළුගල් කැඩීම නිසා බොහෝදුරට වැනසී ගිහින්.
ලෙන් විහාරය
කොරතොට ගම්මානය සීතාවක රජ යුගයේ සටනට දක්ෂ හේවායන් සිටි ප්‍රදේශයක් බව රාජාවලියේ සඳහන් වෙනවා. කන්ද මැද බෑවුමේ පිහිටි අඩි 300ක් දිග ගල්පර්වතය කටාරම් කොටා ලෙන් විහාරය සකස් කර තිබෙනවා. සෙල්ලිපි කොටා තිබෙන්නේ එම කටාරමට යටින්.
පහළ මළුවේ පිහිටා තිබෙන්නේ සංඝාවාස ගොඩනැගිල්ලයි. එහි සිට උඩමළුවේ පිහිටි විහාරයට පිවිසීමට පියගැට පෙළක් සකසා තිබෙනවා. එතැන් සිට පඩි පෙළ ඔස්සේ ඉහළට ගමන් කළ විට විහාර මන්දිරයට ළඟා විය හැකි යි. ලෙන් විහාරය තුළ සැතපෙන බුදු පිළිමයක්, ඇතුළු පිළිම සහ දේව ප්‍රතිමා ද දැක ගත හැකි යි. මෙම ප්‍රතිමා මෙන් ම
සිතුවම් ද මෑත අතීතයේ දී ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා. සමනල කන්දේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම, සීවලී මහරහතන් වහන්සේගේ රුව, බුදුරදුන් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම, බුදුරදුන්ගේ පළමු ලංකාගමනය, චුලෝදර මහෝදර නාග යක්ෂයන් දමනය කරන අයුරු හා පස්වග මහණුන්ට දහම් දෙසීම ආදී තේමා සහිත සිතුවම් පිළිමගෙයි බිත්තිවල ඇඳ තිබෙනවා. දේවාල කිහිපයක් ද විහාරය අසල පිහිටා තිබෙනවා.
පුරාණයේ මේ විහාර ලෙන අසලින් උමඟක් තිබූ බව ද පැවසෙනවා. පසුව වසා දමා ඇති එම උමඟ කැලණි ගඟේ කඩුවක්කලම දක්වා විහිදී ගිය බව විශ්වාස කෙරෙනවා.
සෙල්ලිපි
මෙහි ඇති ලෙන් ලිපි ඉතා සුවිශේෂීබවක් පළ කරනවා. වර්ෂ දෙදහසකට පෙර අතීතයේ පවා මේ අවට බෞද්ධ ජනතාවක් වාසය කළ බවට සාධක එම ලිපිවලින් ලැබෙනවා. එම සෙල්ලිපි කියවා බලමු:
1 මහ රජහ ක්ධිත මහබිය ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ නියතෙ
අර්ථය- මහ රජුගේ දියණීය වූ මහාම්බිකාවන්ගේ ලෙන සතර දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට පූජා කෙරේ.
2 පරුමක ශුමන පුත පරුමක ශුමනහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ දිනේ මනපදශනෙ නම
අර්ථය- සුමන ප්‍රධානියාගේ මනාපදස්සන ලෙන සතර දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පුදන ලදී.
මෙහි පළමු සෙල්ලිපියේ මහරජ කෙනෙක් ගැන සඳහන් වුණත් ඒ කුමන රජුදැයි හඳුනා ගැනිමට අසීරුයි. මහ රජ යනුවෙන් හඳුන්වා ඇති නිසා අනුරාධපුරයේ රජකම් කළ මහරජ කෙනෙක් ඉන් හැඳින්වෙනවා. ඒ අනුව අනුරාධපුරය හා සමඟ එකල සම්බන්ධකම් පැවති බව හෙළිවෙනවා.
ලෙන් විහාරගෙයට ඉහළින් පිහිටි විහාරකන්දට පිවිසීමට පඩිපෙළක් ඉදිකර තිබෙනවා. එම පියගැට යොමුවන්නේ මෑතක දී ඉදිකළ අඩි 121ක උසින් යුත් හිදි බුද්ධ ප්‍රතිමාව වෙතට යි. සුදු පැහැයෙන් යුත් මේ පිළිමය අද ඉතා ඈතට දිස්වන මඟ සලකුණක් වෙලා.