පෘතුගීසි ජාතිකයන් ලංකාවට පැමිණියේ 1505 වසරේ දී යි. ඒ වන විට කෝට්ටේ රාජධානිය පාලනය කරමින් සිටියේ 8 වන වීර පරාක්‍රමබාහු රජතුමා යි. ටික කලකින් රජතුමා සහ පෘතුගීසි ජාතිකයන් අතර සිදුවුණු යම් හිතවත්කම් ඇති වුණු නිසා අත්සන් කෙරුණු ගිවිසුමකට අනුව ලංකා නැව් තොටුපළවල් අරාබි වෙළඳුන්ගෙන් ආරක්ෂා කරදීමේ වගකීම පෘතුගීසින් භාරගත්තා. ඒ සඳහා ඔවුන්ට වාර්ෂිකව කුරුඳු බහාර් 400ක් ගෙවීමට සිංහල රජතුමා පොරොන්දු වුණා.
පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යය සමග ඇතිකරගත් සබඳතා තවත් වර්ධනය වුණේ විජයබා කොල්ලයෙන් පසුව 7 වැනි බුවනෙකබාහුට කෝට්ටේ රජකම හිමිවීමත් සමග යි. 7 වන බුවනෙකබාහුගේ බාල සොයුරා වුණු මායාදුන්නේ එකල සීතාවක රාජධානියේ පාලකයා ලෙසින් කටයුතු කළා. රණශූරයෙකු වුනු ඔහු නිතරම කෝට්ටේ රාජධානියට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් ආරක්ෂාවීමට පෘතුගීසීන්ගේ සහාය ලබාගැනීමට සිදුවුණා. 1551 වසරේ දී හත්වන බුවනෙකබාහු රජතුමා පෘතුගීසි භටයෙකු එල්ලකළ වෙඩි පහරක් වැදී මරණයට පත්වුණා. ඉන්පසුව රජකමට පත්වුණු ධර්මපාල කුමරු පෘතුගීසින්ගේ රූකඩයක් බවට පත්වුණා. අවසානයේ දී ඔහු තෑගි ඔප්පුවක් මඟින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට ලබාදුන්නා.
වීරසුන්දර බණ්ඩාර සෙනෙවියාගේ පුත් කොනප්පු බණ්ඩාර කලක් අවුත්‍රියාවේ දොන් ජුවන් ලෙස පෘතුගීසීන් ළඟ හැදී වැඩුණා. පසුව පෘතුගීසීන්ට ද්‍රෝහීවුණු දොන් ජුවන් සිංහලයන් සමග එක්වී සීතාවක රාජසිංහ රජු පරාජය කර, පළමුවන විමලධර්මසූරිය නමින් මහනුවර රාජධානියේ පාලකයා බවට පත්වුණා. එනිසා ඔහු සහ පෘතුගීසීන් අතර තිබුණේ වෛරයක්.
1594 වසරේ ද පෘතුගීසි සේනා මහනුවර ආක්‍රමණය කළා. එදා දන්තුරේ ප්‍රදේශයේ දී ඇතිවුණු සටනින් විමලධර්මසූරිය රජුට ජය අත්වුණා. ඉන් වසර 8කට පසුව යලිත් පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කළා. එය ප්‍රසිද්ධියට පත්වුණේ බලන සටන නිසා යි.
බලන සටන ඇතිවීමට බලපෑ හේතුව
1602 මැයි 30 වැනිදා ඕලන්ද නාවික අද්මිරාල් ජොරිස් වෑන් ස්පිල්බර්ජන්ගේ නායකත්වයෙන් යුත් අද්මිරාල් සහ රූම් යන නැව් දෙක මඩකලපුව වරායට සේන්දු වුණා. මඩකලපුවට පැමිණි ඕලන්ද පිරිස සිංහල රජතුමා මහනුවර වාසය කරන බව දැනගත්තා. පසුව ස්පිල්බර්ජන් තෑගිභෝග සමග දූතයෙකු මහනුවරට පිටත්කර හැරියේ රජතුමාව බැහැදැකීම සඳහා යි. එම ඕලන්ද දූතයා මහනුවර රජ වාසලට ගොස් ස්පිල්බර්ජන්ට රජු හමුවීමට අවශ්‍ය බව දන්වා සිටියා. ස්පිල්බර්ජන්ව හමුවීමට රජතුමා කැමැත්ත පළ කළා.
ස්පිල්බර්ජන් සෙනෙවියා ද රජතුමාව හමුවීමට තෑගිබෝග රැසක් රැගෙන පැමිණියා. ඒ වන විට පෘතුගීසීන් අප රටෙන් පන්නා දැමීමට විමලධර්මසූරිය රජතුමාට අවශ්‍ය වී තිබුණා. නමුත් ඔහු සතුව ප්‍රබල නාවික හමුදාවක් නොතිබුණු නිසා පෘතුගීසීන්ට ගෝවෙන් ලැබෙන ආධාර වැලැක්වීමට නොහැකි වුණා. එම නිසා ලන්දේසි ජාතිකයන්ගේ උදව් ඇතිව පෘතුගීන්ව ලංකාවෙන් පළවාහැරීමට විමලධර්මසූරිය රජතුමා තීරණය කළා. ස්පිල්බර්ජන් සෙනෙවියා ඇතුළු පිරිස රජවාසලට පැමිණි අවස්ථාවේ දී රජතුමා සහ ලන්දේසි පිරිස අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ලන්දේසින්ට සිංහල රජතුමා මැණික්, කුරුඳු, ගම්මිරිස් වැනි දේ ලබාදීමටත්, පෘතුගීන්ව මෙරටින් පළවා හැරීමට ලන්දේසීන්ගේ සහාය සිංහල රජතුමාට ලබාදීමටත් එහි දී එකඟතාවයකට පැමිණියා.
සිංහල රජතුමා සහ ලන්දේසීන් මහනුවර රජ වාසලේ සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර පෘතුගීසි යාත්‍රා 2ක් මඩකලපුවේ නවතා තිබුණු ලන්දේසි යාත්‍රාවල ඔත්තු බැලීමට පැමිණියා. ලන්දේසි නැව්වල සැලකිය යුතු තරම් භට පිරිසක් නවත්වා ගිය නිසා ඔත්තු බැලීමට පැමිණි පෘතුගීසි යාත්‍රා 2ක ඔවුන්ට හසුවුණා. ලන්දේසි භටයන්ට තම යාත්‍රා හසුවුණු බව දැනගත් පෘතුගීසි සෙන්පති අසවේදු දැඩි ලෙස කෝපයට පත්වුණා. ඒ වන විටත් ලන්දේසි නැව් ලංකාව අවට සැරිසැරීමට හේතුව අසවේදු දැනගෙන සිටියා. ලන්දේසීන් උඩරට රජු සමග පවත්වන සබඳතා නවතා දැමීමට නම් උඩරට රාජධානියට පහරදිය යුතු බව අසවේදුට අවබෝධ වුණා.
පෘතුගීසීන් මහනුවරට පහරදීමට මාන බලමින් සිටිය දී සිබට් ද වාට් නම් ඕලන්ද උප නාවික අද්මිරාල්වරයාගේ නායකත්වයෙන් යුත් නැව් කිහිපයක් මඩකලපුවට ළඟා වුණා. යළි ලන්දේසි නැව් මෙරටට පැමිණීම නිසා කලබලයට පත්වුණු පෘතුගීසීන් ඉක්මනින්ම මහනුවරට පහරදීමට තීරණය කළා.
බලන සටන ඇරඹෙයි
1602 වසරේ දෙසැම්බර් මාසයේ දී විශාල පෘතුගීසි සහ ලස්කිරිඤ්ඤ භට පිරිසක් මහනුවර ආක්‍රමණය කිරීම සඳහා පැමිණියා. සෙන්පති ජෙරනිමෝ ද අසවේදු පෘතුගීසි සේනාවට අණදෙන විට සිමොන් පිඤ්ඤෝ සහ සමරකෝන් රාළ ලස්කිරිඤ්ඤ හමුදාවන්ට අණ දුන්නා.
සටනට පැමිණි පෘතුගීසි සේනාවන් මුලින්ම අට්ටාපිටිය බලකොටුව අල්ලාගෙන එහි කඳවුරු බැඳගත්තා. මහනුවර රැකගැනීම සඳහා බලන බලකොටුව ආරක්ෂා කරගත යුතු බව තේරුම්ගෙන සිටි විමලධර්මසූරිය රජු බුද්දස්සගොඩ, අළුත්නුවර, සහ ගනේතැන්න යන ස්ථානවල බලකොටු 3ක් ඉදිකර තිබුණා. එම නිසා පෘතුගීසීන්ට බලන බලකොටුවට පහරදීමට පෙර ඒ අවට තිබුණු අනිකුත් බලකොටු තුන යටත්කර ගැනීමට සිදුවුණා.
ප්‍රබල සටනකින් පසුව බලකොටු තුන යටත් කරගනියි
අසවේදු ප්‍රමුඛ සේනාව මුලින්ම බුද්දස්සගොඩ බලකොටුවට පහරදුන්නා. එය දින දෙකකින් යටත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පෘතුගීසීන්ට දින 5ක් සටන් කිරීමට සිදුවුණා. ඒ, එහි සිටි අභීත සිංහලයන් සිය ජීවිතය පරදුවට තබා කළ සටන නිසා යි. බුද්දස්සගොඩ ජයගත් පෘතුගීසීන් අළුත්නුවර බලකොටුව දින 3කින් යටත් කරගැනීමට සිතාගෙන එයට පහරදීම ආරම්භ කළා. නමුත් එහි සිටි සිංහල සේනාවන් නොසැලෙමින් අඛණ්ඩව සටන් කරන්නට වුණා. එම නිසා පෘතුගීසීන්ට අළුත්නුවර බලකොටුව අල්ලා ගැනීමට දින 8ක් ගතවුණා.
ඉන් පසුව ආරම්භවුණේ ගනේතැන්න බලකොටුව අල්ලාගැනීමේ සටන යි. ප්‍රමාණයෙන් තරමක් විශාල වුණු ගනේතැන්න බලකොටුවේ සැලකිය යුතු තරම් සිංහල භටයන් පිරිසක් සිටියා. ඔවුන් දුනු හී, කඩු, සහ තුවක්කු භාවිතා කරමින් සතුරාට ප්‍රහාර එල්ලකළා. එම නිසා බලාපොරොත්තු නොවුණු තරම් පෘතුගීසි භට පිරිසක් මරණයට පත්වුණා. අවසානයේ සිය භට පිරිස යළි රැස්කර ගත් අසවේදු සෙන්පතියා ඔවුන්ව සිව් දිශාවෙන් යවා බලකොටුව වට කළා. ඉන් දින 21ක් සටන් කිරීමෙන් පසුව ගනේතැන්න බලකොටුව යටත්කර ගැනීමට පෘතුගීසීන්ට හැකිවුණා.
බලන බලකොටුවේ මහ සටන
පෘතුගීසීන් උඩරටට පහරදෙන විට විමලධර්මසූරිය රජුගේ සේනාවන් පෘතුගීසීන්ගේ පහතරට දේශසීමාවලට පහරදුන්නේ ඔවුන්ගේ අවධානය ඒ දෙසට යොමුකිරීම සඳහා යි. නමුත් එය සාර්ථක නොවුණු නිසා 1603 වසරේ ජනවාරි මාසය වන විට පෘතුගීසි සහ ලස්කිරිඤ්ඤ භට පිරිස් බලනට පහරදීම සඳහා පැමිණෙමින් සිටියා. ඒ වන විට සිංහල හේවායන් ද පෘතුගීසි භට පිරිස් එනතුරු සැඟවී බලා සිටියා.
දෙපිරිස මුහුණට මුහුණලා සිදුකළ දරුණු සටනේ දී පෘතුගීසි පාර්ශවයට දැඩි ලෙස හානි සිදුවුණා. ඔවුන් කාලතුවක්කු ප්‍රහාරවලින් බලකොටුව විනාශ කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එම නිසා පෘතුගීසි සේනා පසුබැස ගියේ අසවේදු ලබාදුන් නියෝගය නිසා යි.
පසුබැස ගිය පෘතුගීසි සේනා යළි ප්‍රතිසංවිධානය වී බලකොටුවට පහරදීමට පැමිණෙන බව විමලධර්මසූරිය රජතුමා දැනගෙන සිටියා. එම නිසා රජු බලන බලකොටුව අතහැර උපක්‍රමශීලීව පළා ගියා. සැඟවී පහරදීමේ දක්ෂයෙකු වුණු විමලධර්මසූරිය රජතුමා අනුගමනය කළ උපාය පිළිබඳව අවබෝධයක් නොතිබුණු පෘතුගීසි භට පිරිස් යළි බලන බලකොටුවට පහරදීමට පැමිණියා. එදා පෘතුගීසි භට පිරිස් බලනට පැමිණෙන විට එහි කිසිදු සිංහලයෙකු සිටියේ නැහැ. එය දැකීමෙන් අසවේදු ඇතුළු පිරිස මවිතයට පත්වුණා. බලන බලකොටුව පහසුවෙන්ම අල්ලා ගැනීමට හැකිවීම නිසා ඔවුන් උද්දාමයට පත්ව සිටියා. එම නිසා බයිලා සහ කපිරිඤ්ඤා ගීත ගයමින් මත්පැන් බොමින් විනෝද වන්නට ඔවුන් අමතක කළේ නැහැ.
විමලධර්මසූරිය රජුගෙන් සූක්ෂම ප්‍රහාරයක්
බලන බලකොටුව අල්ලාගැනීම නිසා අධිමානයෙන් සිටි පෘතුගීසීන්ට විමලධර්මසූරිය රජතුමාගේ සූක්ෂම සැලැස්ම පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. එදා විමලධර්මසූරිය රජතුමා සිය සැලැස්මේ පළමු පියවර ක්‍රියාත්මක කරමින් පෘතුගීසීන්ගේ තවලම්පිටිය බලකොටුවට පහරදුන්නා. එම ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා බලන බලකොටුවේ සිටි භටයන්ගෙන් සැලකිය යුතු පිරිසක් පිටත් කර හැරියා. සිංහල රජතුමා විසින් එල්ල කළ එම සූක්ෂම ප්‍රහාරය නිසා බලන බලකොටුවේ සිටි පෘතුගීසි භට ප්‍රමාණය විශාල ලෙස අඩු වුණා. එය සැලසුමේ දෙවන පියවර ක්‍රියාත්මක කිරීමට හොඳම වෙලාව බවට පත්වුණා.
කාංගරආරච්චි සෙනෙවියා සමග එක්ව කළ කුමන්ත්‍රණය
පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමුදාවේ උප නායකත්වය හිමිව තිබුණේ කාංගරආරච්චි නම් සෙනෙවියාට යි. ඔහුව හොර රහසේම තම පැත්තට නම්මවා ගත් රජතුමා උඩරට රාජධානිය පෘතුගීසීන්ට අයත් වුණොත් සිදුවන විනාශය පැහැදිලි කළා. එය ඇසීමෙන් කරුණු වටහාගත් සෙනෙවියා රජතුමාට සහයෝගය ලබාදීමට පොරොන්දු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලස්කිරිඤ්ඤ හමුදාවේ සැලකිය යුතු භට පිරිසක් සිංහලයන් සමග එකතු වුණා. එලෙස බලන බලකොටුවේ සිටි ලස්කිරිඤ්ඤ හමුදාවන්ගෙන් වැඩි පිරිසක් අහිමිවීම නිසා පෘතුගීසි සේනාවන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියා.
පෘතුගීසීන් අසරණ වෙද්දි විමලධර්මසූරිය රජතුමා සිය සැලසුමේ අවසන් පියවරත් ක්‍රියාත්මක කරමින් සිටියා. සිංහල සේනා බලන බලකොටුව අවට තිබුණු කඳුකරයේ ස්ථානගත වුණා. ඒ වන විට සිංහල සේනා බලන බලකොටුව සෑම පැත්තකින්ම වටකර තිබෙන බව පෘතුගීසීන් දැනගෙන සිටියේ නැහැ.
පෘතුගීසීන්ට දරුණු පරාජයක්
පෘතුගීසි සේනාවන් විඩාවට පත්වන තුරු බලා සිටි සිංහලයන් බලන බලකොටුවට පහරදීම ආරම්භ කළා. සතර වටින්ම එල්ල වුණු ප්‍රහාරයන් හමුවේ අසවේදු ප්‍රමුඛ පෘතුගීසි භට පිරිස අන්ත අසරණ තත්වයකට පත්වුණා. ගරිල්ලා ක්‍රමයට පහරදීමට අති දක්ෂයෙකු වුණු විමලධර්මසූරිය රජතුමා ඉතාමත් දක්ෂ අයුරින් තම සේනා මෙහෙයවමින් පෘතුගීසි බලය අඩපණ කළා. සිංහල හේවායන්ගේ දරුණු ප්‍රහාර හමුවේ තම සෙබළුන් වේගයෙන් මියයමින් තිබුණු නිසා අසවේදු බලන බලකොටුව අතහැර පළායාමට තීරණය කළා. ඒ අනුව ඉතිරිව තිබුණු යුධ උපකරණ සහ සෙබළුන් ද රැගෙන අසවේදු සෙන්පතියා මැණික්කඩවර බලකොටුව දක්වා පසුබැස ගියා.
නමුත් ඔවුන් සිංහලයන්ගෙන් අල්ලාගත් බුද්දස්සගොඩ, අළුත්නුවර, සහ ගනේතැන්න බලකොටු අතහැරියේ නැහැ. බලන අල්ලාගත් සිංහලයන් ඉන් පසුව බුද්දස්සගොඩ, අළුත්නුවර, සහ ගනේතැන්න යන බලකොටු 3ට පහර දී, ඒවායේ සිටි පෘතුගීසි භටයන්ව මරා දැම්මා. එම බලකොටු තුන අත්පත් කරගත් සිංහලයන් මැණික්කඩවර සහ රුවන්වැල්ල යන බලකොටුවලට ද පහරදුන්නා. සිංහලයන්ගේ දරුණු ප්‍රහාරය හමුවේ පළාගිය පෘතුගීසි සේනාව අවසානයේ දී මල්වාන දක්වා පසුබැස ආරක්ෂිතව සැඟවුණා.
පෘතුගීසීන් සතුව සිටි දරුණුතම සෙන්පතියෙකු වුණු ජෙරනිමෝ ද අසවේදුව පරාජය කළ බලන සටන ලංකා ඉතිහාසය තුළ හමුවන වැදගත්ම සටන් අතුරින් එකක් බවට පත්වුණා. පෘතුගීසි සේනාවන් මනාව සැලසුම් කර සටනට පැමිණියත් විමලධර්මසූරිය රජතුමා තැනට සුදුසු නුවණ භාවිතා කරමින් සටන් කළ නිසා උඩරට රාජධානිය බේරාගැනීමට හැකිවුණා. විමලධර්මසූරිය රජතුමා සතුව තිබුණු එම උපායශීලී බව අදටත් කතාවෙන්නේ ඒ නිසා යි.