උඩරට මැණිකේ, රුහුණු කුමාරි, සහ යාල් දේවි යන දුම්රියයන් ත්‍රිත්වය 1950 දශකයේ දී මෙරට දුම්රිය ප්‍රවාහන පද්ධතියට එකතු වුණා. එම දුම්රියයන් අතුරින් උඩරට මැණිකේ සහ රුහුණු කුමාරි දශක 6කට අධික කාලයක් කිසිදු ගැටළුවකින් තොරව ගමනේ යෙදුණා. නමුත් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කළ යාල් දේවි දුම්රියට එම වරම හිමි වුණේ නැහැ. 80 දශකයේ දී උතුරුකරය පුරාම භීෂණය පතුරවමින් සිටි රුදුරු කොටි ත්‍රස්තවාදීන් යාල් දේවිය බෝම්බ තබා පුපුරවා හැරියා. එම නිසා යාල් දේවි දුම්රිය දශක දෙකකට වැඩි කාලයක් ගමන් කළේ කොළඹ සිට වවුනියාව දක්වා පමණ යි.
උතුරු දුම්රිය මාර්ගයේ ඉතිහාසය
ලංකාවේ තිබෙන දීර්ඝතම දුම්රිය මාර්ගය වන උතුරු දුම්රිය මාර්ගය 1894 වසරේ දී කුරුණෑගල දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඉන් පසුව 1903 වසර වන විට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය දීර්ඝ කරන අතරතුර කන්කසන්තුරේ සිට දුම්රිය මාර්ගය පහළට සෑදීම අරඹා තිබුණා. දෙපසින්ම සෑදෙමින් පැවති දුම්රිය මාර්ගය 1905 වසරේ අගෝස්තු 1 වැනිදා පලෙයිහි දී සම්බන්ධ වෙමින් උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණ වුණා. එසේම 1914 වසර වන විට මැදවච්චියේ සිට මන්නාරම දක්වා කොටසත්, 1928 වසර වන විට මහව සිට ත්‍රිකුණාමලය දක්වා කොටසත් දීර්ඝ කරනු ලැබුවා.
යාල් දේවි දුම්රියේ මංගල ගමන
1956 වසරේ අප්‍රේල් 23 වැනිදා ලංකා දුම්රිය ප්‍රවාහන ඉතිහාසයට සුවිශේෂී දිනයක් වුණා. එදින කොළඹ සිට බදුල්ල බලා ධාවන වුණු උඩරට මැණිකේ දුම්රියත්, කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වුණු යාල් දේවි දුම්රියත් සිය මංගල දුම්රිය ගමන්වල යෙදුණා. එදා Class M2 569 Octario නම් දුම්රිය එන්ජිම යාල් දේවි දුම්රියේ මංගල ගමන සඳහා භාවිතා කළා. එලෙස ලංකාවේ දුම්රිය ප්‍රවාහන පද්ධතියට එක් වුණු යාල් දේවි දුම්රිය 80 දශකය වන තුරු කිසිදු ගැටළුවකින් තොරව ධාවනයේ යෙදුණා.
උතුර සහ දකුණ යා කළ පාලම වුණේ යාල් දේවිය යි
70 දශකය අග භාගයේ දී උතුරු-නැගෙනහිර සන්නද්ධ අරගලය ඇරඹීමට පෙර උතුරුකරය ඉතාමත් සුන්දර භූමි ප්‍රදේශයක් වුණා. එහි ජීවත් වුණු උත්සාහවන්ත මිනිසුන් වගා කටයුතුවල නිරතවෙමින් හොඳ අස්වැන්නක් ලබාගත්තා. එසේම ඔවුන් ධීවර කර්මාන්තයේ නිරතවෙමින් හොඳ ආදායමක් ලබාගත්තා. එදා උතුරේ මිනිසුන් නෙළාගත් අස්වැන්න දකුණට එවීමට සහාය වුණේ යාල් දේවී දුම්රිය යි. එසේම උතුරේ සහ දකුණේ ජීවත් වුණු මිනිසුන්ගේ හදවත් යා කළේ යාල් දේවි දුම්රිය යි. එදා යාල් දේවි දුම්රියේ දී හමු වුණු සිංහල සහ දමිළ මිනිසුන් ඉතාමත් සුහදව කටයුතු කළා. එම නිසා සිංහල සහ දමිළ ජන කොට්ඨාස අතර තිබුණු මිතුදම තවත් වර්ධනය වුණා.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ අරමුණ
70 දශකයේ අග භාගයේ දී උතුරේ ආරම්භ වුණු සන්නද්ධ අරගලයට ප්‍රාණය ලැබුණේ 1983 කළු ජූලිය නිසා යි. කළු ජූලිය ඇති වුණු අවස්ථාවේ දී සිංහල ජනතාව විසින් දෙමළ ජනතාවට විවිධ ආකාරයේ අඩන්තේට්ටම් කළ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එම නිසා දශක ගණනාවක් පුරාවට සිංහල සහ දෙමළ ජනයා අතර පැවති මිත්‍රත්වය පළුදු වුණා. එහි වාසිය හිමිවුණේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට යි. එදා කොටි සංවිධානය උත්සාහ දැරුවේ රටේ මහ ජාතිය වුණු සිංහල සහ සුළු ජාතියක් වුණු දෙමළ ජාතිය අතර ඇති වුණු වෛරය වැඩි කිරීමට යි. එවිට දමිළයන් උතුරේ සන්නද්ධ අරගලයට සහාය දක්වන බව ඔවුන් දැන සිටියා. එසේම සිංහලයන් කෲරතර මිනිසුන් පිරිසක් බව දමිළ ජනයාට ඒත්තු ගැන්වීම කොටි සංවිධානයේ තවත් අරමුණක් වුණා. එදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම ගැලවුම්කරුවා බව ඒත්තු ගැන්වීමට විශාල උත්සාහයක යෙදුණා.
කොටි සංවිධානයේ අරමුණ ඉටුකරගැනීමට බාධා කළ යාල් දේවිය
එදා යාල් දේවිය උතුර සහ දකුණ යා කරමින් ගමනේ යෙදුණා. එහි දී සිංහල සහ දෙමළ මිනිසුන් හමු වී සුහදව කතා කළා. එවිට දෙමළ මිනිසුන්ට වැටහී ගියේ කොටි සංවිධානය සිංහල මිනිසුන් ගැන ඔවුන්ගේ මනසට ඇතුල් කිරීමට උත්සාහ කරන චිත්‍රය වැරදි එකක් බව යි. කළු ජූලිය නිසා සිංහල සහ දමිළ ජන කොට්ඨාස අතර ඇති වී තිබුණු හිත් අමනාපකම් සමනය වුණොත් එහි අවාසිය දැනෙන්නේ විමුක්ති කොටි සංවිධානයට යි. එය ඔවුන්ගේ සන්නද්ධ අරගලයේ අනාගතයට විශාල බලපෑමක් කරනු ලැබුවා. එම නිසාම යාල් දේවිය උතුරට එන ගමන නැවැත්වීම කොටි සංවිධානයේ අරමුණ වුණා.
යාල් දේවිය පුපුරවා හැරීම
1985 වසරේ ජනවාරි මස 19 වැනිදා රියදුරු රැපියල් ලියනගේ විසින් යාල් දේවී දුම්රිය කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා රැගෙන ගියා. එම යුගයේ දී කොළඹ සිට අනුරාධපුරය දක්වා එක් රියදුරෙකු ද, අනුරාධපුරයේ සිට යාපනය දක්වා තවත් රියදුරෙකු ද දුම්රිය ධාවනයට එක් වුණා. නමුත් එම දිනයේ දී අනුරාධපුරයේ සිට යාපනය දක්වා දුම්රිය රැගෙන යාමට දෙමළ රියදුරුවරයෙකු සිටියේ නැහැ. එම නිසා යාපනය දක්වා දුම්රිය රැගෙන යාමට ඉදිරිපත් වුණේ රැපියල් නම් රියදුරුවරයා යි. එදා අනුරාධපුරයෙන් පිටත් වුණු දුම්රිය අලිමංකඩ බලා පැමිණියත් ඉන් ඉදිරියට යාමට හැකි වුණේ නැහැ. ඒ ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩෙන් එහාට දුම්රිය මාර්ගය විනාශ කර තිබුණු නිසා යි.
නමුත් දුම්රිය රියදුරා විසින් යාල් දේවී දුම්රිය මුරුකන්ඩි දක්වා ආපස්සට රැගෙන ආ අතර එතන දී එන්ජිම ගලවා ඉදිරියට සවි කරනු ලැබුවා. ඉන් අනතුරුව ප්‍රධාන පාලක මැදිරියේ උපදෙස් මත යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන ඒමට කටයුතු කළා. එදා අලිමංකඩ දුම්රිය මාර්ගය හරහා දමා තිබුණු බාධකය දුම්රිය රියදුරුගේ සිතෙහි නැගෙනුයේ අනතුරක පෙර නිමිත්තක් ලෙසින්. එම නිසා ඔහු දුම්රියේ විදුලි ලාම්පු සියල්ල නිවා දමමින් දුම්රිය ධාවනය කළේ රේල් පීලි උඩ ධාවනයට ආලෝකය අනවශ්‍ය නිසා යි. එදා දුම්රිය රියදුරා විසින් උපරිම වේගයෙන් යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන එමින් සිටි අවස්ථාවේ එක් ස්ථානයක දී අලින් එහා මෙහා මාරු වන බව සිහිපත් වී දුම්රියේ ප්‍රධාන ලාම්පු දල්වනු ලැබුවා. එලෙස දුම්රිය ලාම්පු දල්වා විනාඩි දෙක තුනක් යන විට විශාල ශබ්දයක් ඇසුණා. ඒ මාන්කුලම් සහ කොකුවිල් අතර ප්‍රදේශයේ දී පාලමක අටවා තිබුණු බැරියල් බෝම්බ නවයක් පුපුරා යාම නිසා ඇති වුණු ශබ්දය යි.
එම බෝම්බ පිපිරීම නිසා යාල් දේවී දුම්රියේ මැදිරි එකොළහක් විනාශ වී තිබිණා. නමුත් දුම්රිය රියදුරා එන්ජිම නොනවත්වා ඉදිරියට ධාවනය කළා. පසුව දුම්රිය රියදුරා විසින් දුම්රිය ආපස්සට ධාවනය කර වටපිටාව නිරීක්ෂණ කළ විට හමුදා භටයන්ගේ මළකඳන් රැසක් දක්නට ලැබුණා. මෙය කල් ඇතිව සැලසුම් කර තිබුණු නිසා දෙමළ ජනතාවට එදින දුම්රියේ ගමන් නොකරන ලෙස ත්‍රස්තවාදීන් විසින් දැනුම් දී තිබුණා. එම නිසා අනුරාධපුරයේ සිට යාපනය දක්වා දුම්රිය රැගෙන යන දෙමළ දුම්රිය රියදුරා නිවාඩු දමා තිබුණා. එදා රැපියල් නම් දුම්රිය රියදුරා සූක්ෂම අයුරින් දුම්රිය ධාවනය කළ නිසා දුම්රිය එන්ජිම විනාශයට පත් නොවී ආරක්ෂා කරගැනීමට හැකි වුණා.
යාල් දේවියට දිගටම හිරිහැර
1985 වසරේ දී යාල් දේවිය පුපුරවා හැරීමෙන් පසුව ටික කාලයක් දුම්රිය ධාවනය වුණේ නැහැ. නමුත් ඉන් පසුව යළි ධාවනය වුණු යාල් දේවි දුම්රිය තුළ යළි බෝම්බයක් පුපුරා ගියේ 1986 වසරේ මැයි 31 වැනිදා යි. එදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පුපුරා ගිය බෝම්බයෙන් 13 දෙනෙකු මරණයට පත් වුණා. එම සිදුවීම නිසා යාල් දේවියේ ගමන යළි මාස 3කට පමණ නැවතී තිබුණා. නමුත් අගෝස්තු 29 වැනිදා යළි උතුරුකරය බලා ගිය යාල් දේවියට වවුනියාවෙන් එහාට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කොටි ත්‍රස්තවාදී විසින් වවුනියාවෙන් එහා තිබුණු පාලම් දෙකක් පුපුරවා හැර තිබුණු නිසා යි.
යාල් දේවියේ ගමන වවුනියාවට සීමා වෙයි
1985 වසරෙන් පසුව යාල් දේවි දුම්රිය ත්‍රස්තවාදී ප්‍රහාර රැසකට ගොදුරු වුණා. නමුත් දුම්රිය යාපනය බලා යන ගමන සම්පූර්ණයෙන්ම නතර වුණේ නැහැ. එම නිසා දුම්රිය යාපනය බලා ධාවනය වුණේ හමුදාවේ ආරක්ෂාව යටතේ යි. එලෙස ප්‍රහාර හමුවේ නොබියව උතුරුකරයට එන දුම්රිය ගමන නැවැත්වීමේ සටන අත් නොහැරි කොටි ත්‍රස්තවාදීන් 1990 වසරේ ජූලි 7 වැනිදා කොණ්ඩාවිල් දුම්රිය ස්ථානය අසල දී යළි බෝම්බ පිපිරීමක් සිදු කළා. එම බෝම්බ පිපිරීමෙන් පසුව යාල් දේවි දුම්රිය නැවතත් යාපනයට ගියේ නැහැ. ඒ අනුව යාල් දේවියේ ගමනාන්තය වවුනියාවට සීමා වුණා. ඉන් පසුව ත්‍රස්තවාදීන් විසින් වවුනියාවේ සිට යාපනය දක්වා වැටී තිබුණු දුම්රිය මාර්ගය ගලවා දැම්මා. එම නිසා දුම්රිය ස්ථාන ක්‍රමයෙන් විනාශයට පත් වුණා.
යාල් දේවිය යළි උතුරුකරයට නෑගම් යයි
2009 වසරේ මැයි මාසයේ දී උතුරු-නැගෙනහිර සන්නද්ධ අරගලය නිමාව දුටුවා. ඉන් පසුව විනාශ වී තිබුණු වවුනියා-යාපනය දුම්රිය මාර්ගය යළි ගොඩනගනු ලැබුවා. එසේම විනාශ වී තිබුණු දුම්රිය ස්ථාන ද යළි ඉදි කළා. වසර ගණනාවක් තුළ සිදුකළ ඉදිකිරීම් නිමාවට පත්වීමෙන් පසුව යාල් දේවිය යළිත් යාපනය බලා ගියේ 2014 වසරේ ඔක්තෝබර් 13 වැනිදා යි. එදා සිට උතුරුකරයට නෑගම් ගිය යාල් දේවිය නැවතත් උතුර සහ දකුණ යා කරමින් ගමනේ යෙදෙන්නේ අතීතයේ දී සිදුවුණු හිරිහැර අමතක කරමින්. එලෙස යාල් දේවිය යළි උතුරට යන ගමන නිසා සිංහල සහ දමිළ මිනිසුන් අතර තිබුණු මිතුදම යළි ගොඩනැගුනොත්, අපගේ රට වඩාත් සුන්දර වනු ඇති බවට සැකයක් නැහැ.