Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාම්බෝජය අපායක් කළ කෙමර් රූජ් යක්ෂයෝ

හිට්ලර් විසින් මිලියන හයකට අධික යුදෙව්වන් පිරිසක් සමූල ඝාතනය කිරීම මෑත ඉතිහාසයේ අපි දුටු විශාලතම ජන සංහාරය යි. ඊට නොදෙවෙනි ජන සංහාරයක් ලෙස 1975 වසරේ දී කාම්බෝජයේ බලයට පත් වූ පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් සංවිධානයේ සංහාරය හඳුන්වාදිය හැකි යි.

ඔවුන් කාම්බෝජයේ බලය අල්ලාගෙන සිටියේ ඉතා කෙටි කාලයක් පමණක් වුවත්, එම කාලය තුළ සිදුකළ හානිය අතිවිශාල යි. ඔවුන් මරා දැමූ පුද්ගලයන් අතරට කාම්බෝජ ජාතිකයන්, වියට්නාම් ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන්, හා එරට වාසය කළ සුළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් අයත් වෙනවා. තවත් විශාල පිරිසක් සාගතයෙන් හා වසංගතවලින් මරණයට පත්වෙනවා. මෙලෙස ඝාතනයට ලක් වූ පිරිස මිලියන දෙකකට ආසන්න යි.

මේ අනුව 1975-1979 කාලයේ දී කෙමර් රූජ්වරු, වියට්නාම්වරුන්, සහ චාම් මුස්ලිම්වරුන්ට එරෙහි වර්ග සංහාරයේ යෙදුණු බව පසුගිය දා එරට අධිකරණය විසින් ප්‍රකාශ කර තහවුරු කරනවා.

ඉතින් අද ලිපිය කාම්බෝජයේ ජන සංහාරය පිළිබඳ ව යි.

කෙමර් රූජ් සංවිධානය බිහිවීම

Boombastis.com

සලොත් සා (Saloth Sar) හෙවත් පොල්පොට් නම් තරුණයෙක්, තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1948 වසරේ දී ප්‍රංශයට යනවා. එහි දී මාක්ස්වාදය හදාරන ඔහු, තම චතුර කථිකත්වය හා ආකර්ශනීයභාවය උපයෝගී කරගනිමින් තමා වටා පිරිසක් එකතු කරගන්නට සමත්වෙනවා.

1953 දී ප්‍රංශයෙන් නැවතත් කාම්බෝජයට පැමිණෙන ඔහු හා ඔහුගේ සගයන් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂයට එකතුවෙන අතර, 1963 දී පොල්පොට් එහි මහලේකම් ධූරයට පත්වෙනවා. 1966 වසරේ ඔහු තම අනුගාමිකයන් සමග හොර රහසේ කෙමර් රූජ් නම් ආයුධ සන්නද්ධ සංවිධානය ආරම්භ කරනවා.

කෙමර් රූජ්වරුන් කාම්බෝජයේ බලය අල්ලා ගැනීම

ප්නොම් පෙන් නගරය යටත් කරගැනීම (Time Magazine)

මේ වන විට කාම්බෝජය පාලනය කරන්නේ රාජ පරම්පරාවක් විසින්. අසල්වැසි වියට්නාමය, ඇමෙරිකාව සමග යුද්ධයකට පැටලී සිටි නිසා එහි අහිතකර ප්‍රතිඵල භුක්ති විඳීමට කාම්බෝජයට ද සිදුවෙනවා. රට පාලනය කළ නොරදම් සිහනුක් (Norodom Sihanouk) රජුගේ ජනතාවාදී නොවන පාලනයත්, වියට්නාම් යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාර කාම්බෝජයට එල්ල වීමෙනුත් ජන ජීවිත වියවුල් වෙනවා.

මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් 1970 දී ඇමෙරිකානු සහයෝගය මත, අගමැති ජෙනරාල් ලොන් නොල් (Lon Nol) විසින් රජු ව බලයෙන් පහකර පාලන බලය අල්ලා ගැනීමට සමත්වෙනවා. නමුත් රටේ දේශපාලනික අස්ථාවරත්වය දිගින් දිගටම පවතිනවා.

1975 අප්‍රේල් මාසයේ දී කෙමර් රූජ්වරුන් ලොන් නොල්ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරළා දමා එරට බලය අල්ලා ගන්නවා.

ජන සංහාරය ආරම්භ වේ

ජනතාව නගරවලින් එළියට ඇද දැමීම (The Independent)

අප්‍රේල් මස කැරැල්ලෙන් පසු ව ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජය ලෙස එරට නම් කරන්න ඔවුන් විසින් තීරණය කරනවා. එහි නායකත්වයට පත්වෙන්නේ පොල්පොට්. තමන්ගේ ම දර්ශනයට අනුව කටයුතු කළ කෙමර් රූජ්වරුන්, නාගරිකයන් හා වෙනත් ජාතින් ප්‍රතික්ෂේප කරනවා. තව ද බුද්ධ ධර්මය හා කතෝලික දහම ද ඉවත් කිරීමට කටයුතු කරනවා.

මුදල් භාවිතය අහෝසි කරන අතර ම කාර්මීකරණය ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ මූලික ම අරමුණ වන්නේ කෘෂිකර්මාන්තය ඔස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීම යි. ඒ සඳහා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත ව විශාල ගොවිබිම් පිහිටුවීමට කෙමර් රූජ් රජය කටයුතු කරනවා.

විශ්වවිද්‍යාල දේශකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, හා නොයෙක් උපාධි ලද උගතුන් සියල්ලක් ම ඝාතනය කිරීමට ඔවුන් විසින් ක්‍රියාකරන්නේ කෙමර් රූජ් රජයට එරෙහි වීමට ඔවුන්ට උත්සාහ කරනු ඇතැ යි යන සැකය මත යි.

පොම්පේ ඇතුළු නගරවල විසූ නාගරිකයන් සියල්ලට ම තම නිවෙස්වලින් එළි බසින ලෙස තර්ජනය කරන කෙම්ර් රූජ් භටයන්, ඔවුන් සියලු දෙනා ඈත පළාත් හි පිහිටි ගොවිබිම් කරා ප්‍රවාහනය කරනවා.

ලෝකයේ කිසිඳු රටකින් උපුටා නොගත් අපේ ම සමාජවාදයක් අපි ගොඩනඟනවා. විමුක්ති අරගලයේ දී ලබාගත් අත්දැකීම් ඒ සඳහා භාවිතා කරනවා. යල් පැනගිය පාසල් හා විශ්වවිද්‍යාල වැනි පසුගාමී ආයතන ඉවත්කරන අතර, අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය වන්නේ නෑ. නගරය කියන්නේ ධනවාදයේ ගොදුරක්. එබැවින් සියලු පුරවැසියන් නගරයෙන් ඉවත් විය යුතු වෙනවා. ඔවුන් රට වෙනුවෙන් ගොවිබිම් කරා යා යුතු යි. ඒ කෙම් රූජ්වරුන්ගේ දර්ශනය යි.

මරණයේ ගොවිබිම්

හමු වූ මිනිස් අස්ථි කොටස් (libertaddigital.com)

රජය විසින් ප්නොම් පෙන් ඇතුළු සියලු නගරවල වැසියන් ඉවත් කරනවා. අඩුම වශයෙන් මිලියන දෙකක පමණ ජනතාවක් හදිසියේ මෙලෙස ඉවත් කළ බව සඳහන් වෙනවා. නගරවල සිටි ජනතාවට පිටිසර ගම්බිම්වල සමූහ ගොවිපොළවල් කරා යැවීමට රජය කටයුතු කරනවා.

ග්‍රාමීය ප්‍රදේශවලට පැමිණි ජනතාවට සමූහ ගොවිපළවල්වල අධික ලෙස වැඩ කිරීමට සිදු වූ අතර, ආහාර නොමැති ව කුසගින්නේ සේවය කිරීමට ඔවුන්ට සිදුවෙනවා. මෙවැනි ගොවිපොළවල් හඳුන්වන්නේ මරණයේ ගොවිබිම් ලෙස යි. මෙම ගොවිපොළවල්වල දී සාගතයෙන් හා නොයෙකුත් වසංගත හේතුවෙන් ලක්ෂ ගණනාවක් ජනතාව මිය යනවා.

මෙසේ ජනතාව මරා දැමු සමූහ මිනී වළක් Cheoung Ek ලෙස හඳුන්වන අතර, මේ වන විට මිනිස් හිස් කබල් 8000කට ආසන්න ප්‍රමාණයක් එයින් සොයාගෙන තිබෙනවා.

දහස් ගණනක් මරා දැමුණු වධකාගාර

ළමා සොල්දාදුවන් (Phnom Penh Post)

ප්නොම් පෙන් හි පිහිටි The Tuol Svay Prey නම් උසස් පාසල කෙමර් රූජ්වරුන් විසින් Security Prison 21 හෙවත් S-21 නම් සිරකඳවුරක් හා වධකාගාරයක් බවට පත් කරනවා. මෙහි සේවය සඳහා බොහෝ විට ළමා කෙමර් රූජ් භටයන් සිටි අතර, ඔවුන් සිදුකළ අපරාධ ඔවුන්ගේ වයසට ඔරොත්තු නොදෙන තරමේ ඒවා බව පැවසෙනවා.

මෙම කාලය තුළ දී ඝාතන, සාගත, හා ලෙඩරෝග හේතුවෙන් කාම්බෝජයේ ජනගහනයෙන් හතරෙන් එකක් මරණයට පත් වී ඇති බව සඳහන්.

පොල්පොට්ගේ මරණය

පොල්පොට්ගේ සිරුර පුළුස්සා දැමීම (Phnom Penh Post)

1979 දී වියට්නාමය විසින් කෙමර් රූජ්වරුන්ට එරෙහිව කාම්බෝජය ආක්‍රමණය කරන අතර, ප්‍රහාරය දරාගත නොහැකි පොල්පොට් ඇතුළු කෙමර් රූජ්වරුන් තායි-කාම්බෝජ දේශසීමා ප්‍රදේශය බලා පලා යනවා. රටේ බලය නැවත අල්ලා ගැනීමේ අරමුණෙන් ඔවුන් එහි ගරිල්ලා කඳවුරු නිර්මාණය කරනවා.

1993 දී ජාත්‍යන්තර මැදිහත් වීම මත කාම්බෝජ සිහසුනේ බලය නැවතත් නොරදම් සිහනුක් රජු ලබා ගන්නවා. තමන් කළ අපරාධ වසන් කරගැනීම සඳහා කෙමර් රූජ් සංවිධානයේ ඇතැම් නායකයන් විසින් රාජාණ්ඩුවට පක්ෂ වීම හේතුවෙන් පොල්පොට්ට 1997 වසරේ දී තම සංවිධානයේ ම නිවාස අඩස්සියට පත්වෙනවා.

මේ කුරිරු ඝාතක නායකයා 1998 අප්‍රේල් 15 වන දා රාත්‍රියේ ජාත්‍යන්තර අධිකරණයට තමන් භාරදීමට කෙමර් රූජ් සංවිධානය තීරණය කර ඇති බව දැනගැනීම හේතුවෙන් හෘදයාබාදයක් ඇති වී මරණයට පත් වූ බව සඳහන් වෙනවා.

සංහාරයන්ට උදවු කළ බටහිර ඇතුළු විවිධ රටවල පාර්ශවයන්ගේ මෙහෙයවීමෙන් කෙමර් රූජ් සංවිධානය ම හරහා පොල්පොට් හට අධි මාත්‍රාව සහිත ඖෂධ ලබාදීම හේතුවෙන් මරණයට පත් වූ බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.

කාම්බෝජය මිහිමත අපායක් කළ කුරිරු ඝාතකයා දඬුවම් නොලබා එසේ මියගිය අතර, රාජාණ්ඩුව විසින් තවත් කෙමර් රූජ් නායකයන් නිදහස් කරනවා. කෙසේ නමුත් පසුගිය දා ලබා දුන් අධිකරණ තීන්දුවෙන් මියගිය ලක්ෂ සංඛ්‍යාත සිවිල් පුරවැසියන්ට සාධාරණයක් ඉටුවෙනු ඇතැ යි මනුෂ්‍යයන් ලෙස අප විශ්වාස කරනවා.

 

Related Articles