Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධයේ ජය ඇමරිකාවට​

ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධය යටතේ ස්පාඤ්ඤය, ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමත් සමඟම ඇමරිකාව ද ඊට ප්‍රතිචාර දක්වමින් යුධ ප්‍රකාශ කරනවා. ඒ අනුව දෙපිරිස අතර පළමු සටන මැනිලා බොක්කේදී ඇතිවන අතර එහිදී ඇමරිකානු නාවික හමුදාව ජයග්‍රහණය ලබනවා. ඉතින් අද ලිපිය ලියවෙන්නේ එතැන් සිටයි.

සැන් හුවාන් කඳු ප්‍රදේශයේ සටන

Rough Riders භටයන් ඇමරිකානු – ස්පාඤ්ඤ යුද්ධයේ (truewestmagazine.com)

කියුබාවේ සන්තියාගෝ නගරයට කිලෝමීටර් දෙකක දුරින් පිහිටි සැන් හුවාන් කඳු ප්‍රදේශයේ (San Juan) ඇමරිකානු හා ස්පාඤ්ඤ හමුදා කණ්ඩායම් අතර සටනක් ආරම්භ වන්නේ 1898 වසරේ ජූලි 1 වනදායි. මෙහිදී සැන් හුවාන් ප්‍රදේශයේ ස්ථානගත වන ඇමරිකා එක්සත් ජනපද පළමු ස්වේච්ඡා අශ්වාරෝහක බල ඇණිය (මෙය වඩා ප්‍රසිද්ධියට පත් වී තිබුණේ Rough Riders නමින්) සන්තියාගෝ වරායේ සිට යුධ භූමියට පැමිණෙන සතුරු සේනාංක වලට මෙන්ම සන්තියාගෝ වරායට පැමිණෙන ස්පාඤ්ඤ නෞකා වලට ද තම කාලතුවක්කු යොදාගනිමින්  ප්‍රහාර එල්ල කරනවා.

කියුබාවේ දෙවන විශාලතම නගරය වන සාන්තියාගෝ අල්ලා ගැනීමේ සටනේ එක් මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර මෙම මෙහෙයුමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ පසුව ඇමරිකාවේ ජනාධිපතිවරයෙක් බවට පත් වූ කර්නල් තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt) ය.

ස්පාඤ්ඤ යුධ නැව් වලට වටකර පහර දීම – සන්තියාගෝ නාවික සටන

සන්තියාගෝ නාවික සටනේ ඇමරිකානු යුධ යාත්‍රා (Latin American Studies)

කියුබාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි සන්තියාගෝ වරාය ආශ්‍රිතව ඇමරිකානු හා ස්පාඤ්ඤ නාවික භටයන්ගේ ගැටීම සන්තියාගෝ නාවික සටන ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රබල යුධ නැව් හතරක් හා වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් සන්තියාගෝ බොක්කේ සිට ගැඹුරු මුහුද බලා යාත්‍රා කරන විට, 1998 වසරේ ජූලි 3 වන දා, සන්තියාගෝ බොක්ක මුහුදට විවර වන සාගර ප්‍රදේශයේ රැක සිටි ඇමරිකානු ප්‍රහාරක යාත්‍රා අටක් විසින් වරායේ සිට ඉවතට ඇදී එන යාත්‍රා වලට වේගවත්  ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනවා.

ඇමරිකානු – ස්පාඤ්ඤ නාවික හමුදා එකිනෙකා ගැටුණු විශාලම සටනක් ලෙස මෙය හදුන්වන අතර සටනින් පසුව ස්පාඤ්ඤයට තම නාවික යාත්‍රා හය ම අහිමි වෙනවා. නාවිකයන් 323ක් මරණයට පත්වෙන අතර 150 කට අධික ප්‍රමාණයක් බරපතල තුවාල ලබනවා. ඒ වගේම ස්පාඤ්ඤ නැවියන් 1500 කට අධික ප්‍රමාණයක් ඇමරිකානු නාවිකයන්ට යටත් වෙනවා. මෙහිදී සාර්ථක ප්‍රහාර එල්ල කළ ඇමරිකානු හමුදාවේ මරණයට පත්වන්නේ එක් භටයෙක් පමණයි.

කියුබාව, ඇමරිකාව යටතට

ඇමරිකාව විසින් කියුබාව නිදහස් කරගැනීම – දේශපාලනික කාටූනයක් (PBS LearningMedia)

සන්තියාගෝ නාවික සටනට ප්‍රථම ගොඩබිම් සටන් කිහිපයකින් සන්තියාගෝ නගරයට ආසන්න ප්‍රදේශ වල බලය ඇමරිකානුවන් විසින් අල්ලාගෙන තිබූ බැවින් මෙම නාවික ප්‍රහාරය ස්පාඤ්ඤයට මරු පහරක් වුණා. ඇමරිකානු භට පිරිස් සමඟ එකතු වෙන කියුබානු ගරිල්ලා භටයන් ජුලි 3 වන දා සිට 17 වන දා දක්වා ස්පාඤ්ඤයට එරෙහිව යුධ වදිමින් 17 වනදා වන විට සන්තියාගෝ නගරයේ බලය අල්ලා ගන්නවා.ඒ සමගින් කියුබාව තුළ ස්පාඤ්ඤ පාලනය අවසන් වන අතර පාලන කටයුතු ඔවුන් විසින් ඇමරිකානු හමුදාවට ලබා දෙනවා.

ජුලි 20 වන විට බටහිර පැසිපික් කලාපයේ ස්පාඤ්ඤ යටත් විජිතයක් වූ ගුවාම් (Guam) හි බලය ස්පාඤ්ඤය විසින් ඇමරිකාවට ලබා දෙන අතර 1898 වසරේ අගෝස්තු මාසයේ 12 වනදා ඇමරිකාව සමග​ ගිවිසුමකට එළඹෙන ස්පාඤ්ඤය තාවකාලික යුධ විරාමයක් ප්‍රකාශ කරනවා.

පිලිපීනයේ බලයත් ඇමරිකාව අතට

මීට පෙර මැනිලා බොක්කේ ඇති වූ සටනින් ස්පාඤ්ඤ පැසිපික් කලාපීය නාවික බල ඇණිය විනාශ කිරීමට ඇමරිකානු හමුදා සමත් වූ අතර 1898 වසරේ අගෝස්තු 13 වැනිදා මැනිලා නගරයේදී පිලිපීන ගරිල්ලන් හා ඇමරිකානු හමුදා එකතුවෙන් ස්පාඤ්ඤ හමුදාවන්ට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණ මැනිලා නගරය ඔවුන්ට යටත් වීමට සිදු වෙනවා.

පැරිස් ගිවිසුම හරහා යටත් විජිත හතරක බලය ඇමරිකාව වෙත

ස්පාඤ්ඤ හා ඇමරිකානු නායකයන්, පැරිස් ගිවිසුමට අත්සන් තැබීම (mcmahanphoto.com)

ඇමරිකාව හා ස්පාඤ්ඤ අතර පැවති යුද්ධය අවසන් බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ 1898 වසරේ දෙසැම්බර් 10 වන දා දෙපාර්ශවය විසින් ප්‍රංශයේ පැරිස් නුවර දී අත්සන් කරන ලද පැරිස් ගිවිසුම (Treaty of Paris) හරහායි.

මෙහිදී මේ වන තුරු  ස්පාඤ්ඤයට අයත්ව තිබූ පුවර්ටෝ රිකෝ (Puerto Rico) හා ගුවාම් යන යටත් විජිත නිළ වශයෙන් ඇමරිකාවට අයත් යටත් විජිත ලෙස ප්‍රධානය කරන අතර ස්පාඤ්ඤ රජය විසින් පිලිපීනයේ ස්ථාපනය කර ඇති පොදු සේවාවන් (ප්‍රවාහනය, විදුලි හා ජල සැපයුම් වැනි) හා ඉදිකර ඇති පොදු ගොඩනැගිලි සඳහා ඩොලර් මිලියන 20ක මුදලක්  ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. කියුබාවේ අයිතිය ඇමරිකාව විසින් යුද්ධයට පෙර ඉදිරිපත් කරන ලද ටෙලර් යෝජනාවට අනුව කියුබානු රජයකට ලබා දීම සිදු කළ යුතු බවට ගිවිසුමේ සඳහන් වෙනවා.

ඇමරිකා – ස්පාඤ්ඤ යුද්ධය අවසන් වීමෙන් පසුව

අමීලියෝ ආගියුනාල්ඩෝ (maisonmagloyuan.blogspot.com)

ඇමරිකාව විසින් තම යටත් විජිතයක් ලෙස පිලිපීනය අත් කරගැනීමෙන් පසු තමන්ට ඇමරිකා පාලනයකින් තොර ස්වාධීන රජයක් ඉල්ලා අමීලියෝ ආගියුනාල්ඩෝ ගේ (Emilio Aguinaldo) නායකත්වයෙන් 1899 වසරේ ජනවාරි මාසයේදී පිලිපීන ගරිල්ලන් විසින් ඇමරිකානු – පිලිපීන යුද්ධය ආරම්භ කරනවා.

තවද ඇමරිකාව විසින් ස්වාධීන​ පාලනයක් කියුබාවට ලබා නොදෙන අතර ඔවුන් නැවතත් ප්ලැට් සංශෝධන යෝජනා (Platt Amendment) ගෙන එමින් කොන්දේසි කිහිපයකින් කියුබාව යටත් කර තමන්ට වාසිදායක වන ආණ්ඩුවක් නිර්මාණය කර 1902 වසරේදී කියුබාවෙන් ඉවත්ව යනවා.

තමන්ට අවාසිදායක ලෙස කියුබානු රජය හැසිරෙන අවස්ථාවන් වලදී නැවතත් කියුබාව තමන් යටතට ගැනීමට හැකි වන ලෙස ඔවුන් නීති සම්පාදනය කරනවා.  ඉන් පසුව ඔවුන් නැවත දෙවරක් ම කියුබාව ආක්‍රමණය කරනවා. (1906 දී හා 1912 දී) ස්පාඤ්ඤ -ඇමරිකානු යුධය එසේ අවසන් වුවත් ඇමරිකානු – කියුබානු විරසකය මෙන්ම ඇමරිකානු – පිලිපීන යුද්ධය ද ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

මේ පිළිබඳව විස්තර රැගත් “කියුබානු විප්ලවය” පිළිබඳව ලිපි පෙළකින් නැවත හමුවෙමු.

කවරයේ ජයාරූපය – (history.com)

Related Articles