Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පික් ඉතිහාසය තුළ හමුවන විවිධ අර්බුද

2020 වසරේ දී ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත්, මේ දිනවල ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරසය නිසා තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා. 1896 වසරේ දී ආරම්භ කළ නූතන ඔලිම්පික් තරගාවලිය මේ දක්වා අවස්ථා 3ක දී නොපවත්වා තිබෙනවා. එහි දී පළමු ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් 1916 ඔලිම්පික් තරගාවලියත් දෙවන ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් 1940 සහ 1944 ඔලිම්පික් තරගාවලි දෙකත් පැවැත්වුණේ නැහැ. එසේම, ඔලිම්පික් ඉතිහාසය තුළ දී තරග වර්ජන, ඇතැම් රටවල්වලට තරගාවලිය තහනම් කිරීම, ත්‍රස්තවාදී ප්‍රහාර, බෝම්බ පිපිරීම් වැනි අර්බුද ඇති වී තිබෙනවා. එම නිසාම මෙම ලිපිය ලියැවෙන්නේ ඔලිම්පික් ඉතිහාසය තුළ සිදුවුණු එවැනි අර්බුද කිහිපයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

1920 ඔලිම්පික් තරගාවලිය රටවල් 5කට තහනම් වෙයි 

1920 ඔලිම්පික් තරගාවලිය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුණේ හංගේරියාවේ, බුඩාපේස්ට් නුවර යි. නමුත් පළමු ලෝක යුද්ධය අවසන් වීමත් සමගම ඔස්ට්‍රියාව, ජර්මනිය, හංගේරියාව, තුර්කිය, සහ බල්ගේරියාව යන රටවල්වලට ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම තහනම් කරනු ලැබුවා. එලෙස පැනවුණු තහනම හේතුවෙන් ජර්මනියට පමණක්  1924 ඔලිම්පික් තරගාවලිය ද අහිමි වුණා. හංගේරියාවට ඔලිම්පික් සත්කාරකත්වය අහිමි වුණු නිසා 1919 වසරේ දී තරගාවලියේ සත්කාරක රට වීමේ අවස්ථාව බෙල්ජියමට ලබාදුන්නා.

1936 ඔලිම්පික් තරගාවලියේ දී හිට්ලර්ගේ බලපෑම් 

1936  වසරේ දී ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ ජර්මනියේ දී යි. තරගාවලිය ආරම්භ වීමට ටික කලකට පෙර ජර්මනියේ පළ වුණු පොල්කිෂර් බියෝබැච්ටර් නම් පැසිස්ට්වාදී පුවත්පතේ සඳහන් වුණේ නීග්‍රෝ ජාතිකයන්ට ඔලිම්පික් තරගවලට සහභාගි වීමට අයිතියක් නැති බව යි. එම නිසාම ඔවුන්ව ඔලිම්පික් තරගවලින් පන්නා දැමිය යුතු බවට එහි වැඩිදුරටත් සඳහන් වුණා. එලෙස පුවත්පතේ පළ වුණු වාර්තාව නිසා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ජර්මන් රජයට නියෝග කළේ තරගාවලිය ආරම්භ වීමට පෙර ඔලිම්පික් ප්‍රඥප්තියේ දැක්වෙන නීති රීති උල්ලංඝනය නොකරන බවට පැහැදිලි නිවේදනයක් නිකුත් කරන ලෙස යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 100 සහාය තරගය සඳහා සෑම් ස්ටෝලර් සහ මාටි ග්ලික්මාන් නම් යුදෙව්වන් දෙදෙනා සහභාගි වුණා. ඔවුන් යුදෙව්වන් නිසා තරගාවලියෙන් ඉවත් කරගන්නා ලෙස හිට්ලර් බලපෑම් කිරීමෙන් පසුව ඇමරිකාව විසින් එම ක්‍රීඩකයන් යුගලය ඉවත් කරගනු ලැබුවා. එම ක්‍රීඩකයන් දෙදෙනා නොමැතිව ද එදා ඇමරිකානුවන් පිරිමි මීටර් 100 සහාය රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා. එසේම, එවර ඔලිම්පික් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ජෙසී ඔවන්ස් නම් ඇමරිකානු නීග්‍රෝ ජාතිකයාගේ ජයග්‍රහණයන් පිළිනොගැනීමට ජර්මානු රජය තීරණය කළා. නමුත්, එහි දී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත් වුණු නිසා ඔවන්ස්ගේ ජයග්‍රහණ පිළිගැනීමට සිදුවුණා.

ජෙසී ඔවන්ස් (gettyimages)

1948 ඔලිම්පික් තරගාවලිය රටවල් 2කට තහනම් වෙයි 

1948 ඔලිම්පික් තරගාවලිය බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර දී පැවැත්වුණේ වසර 12ක දිගු නිහැඬියාවකින් පසුව යි. එම කාල සමය වන විට දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වී තිබුණා. එම යුද්ධයේ දී පරාජිත පාර්ශවයේ සිටි ජපානයට සහ ජර්මනියට මෙම ඔලිම්පික් තරගාවලිය තහනම් කරනු ලැබුවා.

1956 ඔලිම්පික් තරගාවලිය රටවල් කිහිපයක් වර්ජනය කරයි 

1956 ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට දින 10කට පමණ පෙර  බ්‍රිතාන්‍ය, ප්‍රංශ, සහ ඊශ්‍රායල් හමුදා සූවස් ඇළ අල්ලාගැනීම සඳහා ඊජිප්තුව ආක්‍රමණය කළා. එයට විරෝධය දැක්වීමක් ලෙසින් ඊජිප්තුව, ලෙබනනය, ඉරාකය සහ සිරියාව යන රටවල් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළා. එසේම, ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට සති 2කට පමණ පෙර සෝවියට් දේශය විසින් හංගේරියාව ආක්‍රමණය කළා. නමුත්, හංගේරියාව තුළ සාමය තිබෙන බව පෙන්වීම සඳහා සෝවියට් වෙළඳ නැවකින් හංගේරියානු ක්‍රීඩා කණ්ඩායම මෙල්බෝර්න් ඔලිම්පික් තරගාවලිය වෙත ගෙන යාම සඳහා සෝවියට් රුසියාව කටයුතු කළා. එලෙස තරගාවලිය වෙත පැමිණි හංගේරියානු කණ්ඩායම ඔලිම්පික් ආචාර පෙළපාලියේ ගමන් කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස සෝවියට් රුසියන් විරෝධී පාඨ කියමින් සිය විරෝධය ප්‍රකාශ කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එදා සෝවියට් රුසියාව කළ ආක්‍රමණයට විරෝධය දැක්වීමක් ලෙසින් නෙදර්ලන්තය, ස්විටසර්ලන්තය, සහ ස්පාඤ්ඤය තරගාවලිය වර්ජනය කරනු ලැබුවා.

සූවස් ඇළ අර්බුදයේ එක් අවස්ථාවක් (gettyimages)

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය 

කළු සැප්තැම්බර් කල්ලිය නමින් හැඳින්වුණු අරාබි ගරිල්ලා භට කල්ලියක් ඔලිම්පික් ගම්මානයට කඩා වැදී මුලින්ම ඊශ්‍රායල් ක්‍රීඩකයන් දෙදෙනෙකු මරා දමා 9දෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නා අතරතුර ක්‍රීඩකයන් 18 දෙනෙකුට බේරී පැනයාමට හැකි වුණා. එහි දී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට නම්, ඊශ්‍රායාල් හිරගෙවල්වල සිටින අරාබි ගරිල්ලා භයටන් නිදහස් කරන ලෙස ඊශ්‍රායල් රජයෙන් ඉල්ලා සිටියා. ඊට අමතරව ජර්මන් ජාතික ත්‍රස්තවාදීන් ලෙසින් ප්‍රසිද්ධව සිටි බාඩන් සහ මාන්හෝප් දෙදෙනාත් ඊශ්‍රායලය මඟින් අත්අඩංගුවට ගත් ජපන් බ්‍රිගේඩ් භටයෙකු වුණු කොසෝ ඔකාමොටෝත් නිදහස් කර ඔවුන්ට කැමති රටකට යාමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. එදා ජර්මන් සහ ඊශ්‍රායෙල් රජයන් එක්ව හොර රහසේම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට මෙහෙයුමක් කළත්, එය අසාර්ථක වුණු නිසා ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් 11 දෙනෙකුට දිවි අහිමි විය.

මියගිය ඊශ්‍රායෙල් ක්‍රීඩකයන් ආදාහනය කළ අවස්ථාව (gettyimages)

අප්‍රිකානු රටවල් රැසක් 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරයි 

වර්ණභේදවාදය නිසා ක්‍රීඩා තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකාවට රගර් කණ්ඩායමක් යැවූ නවසීලන්තය, 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් කරන ලෙස අප්‍රිකානු ක්‍රීඩා කවුන්සිලය ඉල්ලීමක් කළා. නමුත්, එම අවධිය වන විට රගර් ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු නිසාත්, දකුණු අප්‍රිකාව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් නෙරපා තිබූ නිසාත් එම ඉල්ලීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වුණේ නැහැ. ඒ අනුව එදා අප්‍රිකානු ක්‍රීඩා කවුන්සිලයට අයත් වුණු රටවල් 28ක් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරනු ලැබුවා.

1980 මොස්කව් ඔලිම්පික් තරගාවලිය බටහිර රටවල් වර්ජනය කරයි 

1979 වසරේ අගභාගයේ දී සෝවියට් හමුදා විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනු ලැබුවා. එයට විරෝධය දැක්වීමක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සෝවියට් රුසියාවට ඔලිම්පික් තරගාවලිය සංවිධානය කිරීමට ඉඩ නොදෙන ලෙස ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා සිටියා. නමුත්, අවසානයේ දී සෝවියට් රුසියාවේ, මොස්කව් නුවර දී ඔලිම්පික් තරගාවලිය අනිවාර්යෙන්ම පැවැත්වෙන බව තීරණය වීමත් සමගම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් 65ක් තරගාවලිය වර්ජනය කරනු ලැබුවා. නූතන ඔලිම්පික් තරගාවලි ඉතිහාසය තුළ වැඩිම රටවල් ප්‍රමාණයක් තරගාවලිය වර්ජනය කළ අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එකතු වුණා.

ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් තරගාවලිය වර්ජනය කරන බව ප්‍රකාශ කළ අවස්ථාව (gettyimages)

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය නැගෙනහිර රටවල් වර්ජනය කරයි 

1984 වසරේ දී ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර දී යි. ඊට වසර 4කට පෙර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් 65ක් මොස්කව් ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට එකට එක කිරීමක් ලෙස මෙම ඔලිම්පික් තරගාවලිය සෝවියට් රුසියාව ප්‍රමුඛ නැගෙනහිර රටවල් 14ක් වර්ජනය කරනු ලැබුවා.

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියට බෝම්බ ප්‍රහාරයක් 

1996 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ ඇමරිකාවේ, ඇට්ලන්ටා නුවර දී යි. එම තරගාවලියේ දී ඔලිම්පික් ගම්මානය තුළ පුපුරා ගිය බෝම්බයෙන් දෙදෙනෙකු මරණයට පත් වී 111දෙනෙකු තුවාල ලැබුවා. එහි දී කළ පරීක්ෂණවලින් අනාවරණය වුණේ එරික් රුඩොල්ෆ් නම් ඇමරිකානු අභ්‍යන්තර ත්‍රස්තවාදියා මෙම ප්‍රහාරය සිදුකර ඇති බව යි.

මූලාශ්‍ර- ජගත් කෙළිබිමේ දේශපාලන කුණාටු- ලලිත් ගුණවර්ධන, Topend sports

කවරයේ ඡායාරූපය- ඔලිම්පික් ධජය (gettyimages)

Related Articles