Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණය කැන්දන නිවසෙහි හිමිකාරිය – ඩොරතියා පුඑන්තේ

වයස්ගත ඩොරතියා පුඑන්තේ හට ස්වභාවයෙන්ම හිමිව තිබුණේ ඉතා කරුණාවන්ත මෙන්ම සන්සුන් මිත්තණියකගේ පෙනුම යි. ඇය රෝගී හා තලතුනා මිනිසුන් සඳහා කාමර කුලියට දීමේ ව්‍යාපාරයක් ගෙනගිය අතර මුදලට වඩා සද්භාවය පෙරදැරි කොටගෙන එය සිදු කළ බැව් පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් ඇය තුළ සැඟවී සිටි යක්ෂයා ලොවට හෙළිදරව් වූයේ පසුකාලීනව යි.

කම්කටොළු සහිත කුඩා කාලය

ඩොරතියා පුඑන්තේ උපත ලැබුවේ 1929 වසරේ ජනවාරි මස 9 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙඩ්ලන්ඩ්ස්හි දී යි. කුඩා කාලයේ දීම ඇගේ ජීවිතයට කරදර එක පිට එක ගලා එන්නට පටන්ගත්තා. දස වස එළැඹීමට ප්‍රථමයෙන්ම ඇගේ මවුපියන් දෙදෙනාම මියගිය අතර ඇය හට කල් ගෙවන්නට සිදුවූයේ ළමා නිවාසයක යි. 16 වැනි වියේ දී ඇය සිය ප්‍රථම විවාහයට එළැඹෙනවා. ඒ ෆ්‍රෙඩ් මැක්ෆෝල් නම් හමුදා නිලධාරියෙකු සමග යි. මේ විවාහයෙන් ඇයට ගැහැණු දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. ඇය මින් එක් දියණියක සැක්‍රමැන්ටෝවට පිටත් කර හරින අතර, අනෙක් දියණිය හදාවඩාගැනීම සඳහා යුවලකට ලබා දෙනවා. 1948 වසරේ දී ඇය නැවත ගැබ්බර වන මුත් මෙවර උපතට පෙර දරු ගැබ විනාශ වෙනවා. ඒ ආසන්නවම ඇගේ සැමියා ඇය අතැර යනවා.

ඩොරතියා පුඑන්තේ- fox40.com

ඩොරතියාගේ දෙවන විවාහය වසර 14ක් පුරා පැවතුණා. කෙසේ නමුත් එය ඉතා කලහකාරී මෙන්ම වේදනාත්මක අත්දැකීම සහිත එකක් වුණා. ඉන් අනතුරුව ඇය 1966 වසරේ සිය තෙවන විවාහයේ බැඳෙනවා. ඒ රොබට් පුඑන්තේ නම්, ඇයට වඩා වසර කිහිපයක් වයසින් බාල අයෙකු සමග යි. ඉන් අනතුරුව ඇය ඔහුගේ වාසගම භාවිතා කරන්නට පටන් ගත්තා.

මුල් කාලයේ සිදුකළ නීති විරෝධී කටයුතු

තුරුණු වයසේ පටන් ඩොරතියා යම් යම් නීති විරෝධී කටයුතුවල නිරත වූ අතර මේ හේතුවෙන් නීතියෙන් දඬුවම් ද ලැබුවා. 1950 දශකයේ දී ඇය චෙක්පත් අවභාවිතාව හේතුවෙන් වසරක කාලයක් සපිරිගෙට නියම වූ අතර, අනතුරුව සය මසකින් සමාව ලැබ නිදහස් වුණා. නැවතත් 1960 වසරේ දී ඇය පොලිස් භාරයට පත් වුණා. මෙවර ඇයට එරෙහිව නැගී තිබූ චෝදනාව ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම යි. මේ හේතුවෙන් ඇය දින 90කට සිරගත කරනු ලැබුණා.

දෙවන වතාවටත් සිරෙන් නිදහස් වූ පසු ඇය වැඩිහිටියන්ට සාත්තු කරන හෙදියන්ගේ අත් උදව්කාරිණියක ලෙස රැකියාවේ නිරත වුණා. ඉන් අනතුරුව ඇය කුලී කාමර ව්‍යාපාරයට අත ගැසුවා.

1968 වසරේදී ඇය සිය සිව්වන විවාහය ද කටුගා දමන්නට කටයුතු කළා. ඉන් අනතුරුව ඇය කැලිෆෝනියාවේ සැක්‍රමැන්ටෝහි පිහිටි, කාමර 16කින් යුක්ත, කුලී පදනම මත ලබා දිය හැකි තට්ටු නිවාසයක් මිලට ගත්තා. කලින් වතාවේ සිරෙන් නිදහස් වන විට ඇයට නීති ප්‍රකාරව කුලියට කාමර ලබා දීමේ ව්‍යාපාරයක නිරත වීම තහනම්ව තිබුණත් එය අමතක කළ ඇය එම කාමර වයෝවෘධ හා රෝගී අයවලුනට කුලී පදනම මත ලබා දෙන්නට පටන් ගත්තා.

කුලී නිවාසයේ භීෂණය

ඩොරතියා විසින් මිනිමැරුම් සිදුකළ නිවස්නය- Renee C. Byer/ Sacramento Bee

ඩොරතියා ඉක්මණින්ම කැලිෆෝනියානු ජන සමාජය තුළ ප්‍රසිද්ධියට පත් වුණා. ඒ පොදු වැඩවල නිරතවන්නියක ලෙස යි. විශේෂයෙන් සුරා සොඬුන් හා වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හට සිය නිවස්නයේ නවාතැන් ලබා දී පුනරුත්ථාපනය කිරීම ඇය ඉතා සාර්ථකව කටයුතු කළා. ඇය නවාතැන් ලබා දුන් හා ‘සුවපත්’ කළ අය අතර මානසික රෝගීන් හා ප්‍රචණ්ඩ මිනිසුන් ද වුණා. මින් බහුතරය වයස 52 සිට 80 අතර පසුවූ අයවලුන් වුණා. මින් නොනැවතී ඇය ඔවුනට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ලබා දුන් අවස්ථා තිබුණා.

ලෝකයට උක්ත ආකාරයෙන් පෙණුන ද ඩොරතියා සැබවින්ම සිදුකළේ අනෙකක්. ඇය එක් පසෙකින් මානසික රෝගීන් වෙනුවෙන් වෛද්‍යවරුන් විසින් නිකුත් කරන ඖෂධ එක්කාසු කරගත් අතර, අනෙක් පසින් රෝගීන් හට රජයෙන් ලැබෙන දීමනා සහිත චෙක්පත් එකතු කරගත්තා. අනතුරුව උක්ත ඖෂධ අධිමාත්‍රා ලබා දී රෝගීන් ඝාතනය කළා. ඉන් පසු පහසුවෙන් චෙක්පත් මුදල් බවට පරිවර්ථනය කරගත්තා. ඩොරතියා විසින් මේ ආකාරයට මුදල් බවට පත් කරගත් චෙක්පත් ගණන 60කට අධික වුණා.

ඩොරතියා විසින් ඝාතනය කරන්නට යෙදුණු බොහෝ මිනිසුන් එක්කෝ කාත් කවුරුත් නැති අයවළුන්, එසේත් නැතිනම් ඔවුන්ගේ පවුල්වලින් නොසලකා දමා තිබූ අයවළුන් වුණා. මේ නිසා ඔවුන්ගේ ‘අතුරුදන්වීම්’ පිළිබඳව සොයා බලන්නට කිසිවෙකුත් සිටියේ නැහැ.

ඩොරතියාගේ කුලී නිවාසය පිළිබඳව බලධාරීන් හට මුලින්ම සැකයක් උපන්නේ 1988 වසරේ දී, ඇගේ කාමරයක නවාතැන් ගෙන සිටි ඇල්බර්ටෝ මොන්ටොයා යන අය හදිසියේම අතුරුදන්වීමත් සමග යි. ඔහු ආබාධිතව සිටි අතර, මානසික වශයෙන් ද සිටියේ දුර්වල අඩියක යි. ඔහු හා කුළුපගව සිටි එක්තරා සමාජ සේවකයෙකු සිය මිතුරා පිළිබඳව සොයන්නට පටන්ගත් අතර, ඔහු ඩොරතියාගේ කුලී නිවාසය බලපත්‍ර නොමැති එකක් බැව් අනාවරණය කරගන්නවා. මේ පිළිබඳව වහාම ඔහු පොලිසිය දැනුවත් කරන අතර, ඉක්මණින්ම ඒ පිළිබඳව පරීක්ෂණයක් ඇරඹෙනවා.

බලධාරීන් විසින් ප්‍රශ්න කරන ලදුව ඇය ඔවුන් හා පවසන්නේ ඇල්බර්ටෝ නිවාඩුවකට ඉවත ගොස් ඇති බවයි. කෙසේ නමුත් ඇගේ ගෙවත්තේ මෑතක දී ‘හාරන’ ලද බවක් දිස් වන බිම් කොටසක් ඔවුන්ගේ අවධානයට පාත්‍ර වූ අතර, එය හාරා බලන්නට විමසීමේ දී ඩොරතියා ඊට කැමැත්ත පළ කරන්නේ ද කිසිදු විරුද්ධත්වයක් නොදක්වමින්. මේ නිසා බලධාරීන් ඇය පිළිබඳව එක වරම සැකයක් ඇති කරගන්නේ නැහැ. මේ අතර ඇය ‘කෝපි කෝප්පයක් බීම’ සඳහා මඳකට ඉවත යන්නට අවසර පතනවා. ඇයට ඒ අවසරය ලැබෙනවා.

සිය කුලී නිවාසයෙන් ඉවතට පැනගත් ඩොරතියා වහාම ලොස් ඇංජලීස් වෙත පිට වෙනවා. මේ අතරතුර භූමිය හාරමින් සිටි අයවළුන් 78 හැවිරිදි ලියෝනා කාපෙන්ටර්ගේ සිරුර ගොඩගන්නවා. වහාම ඩොරතියා පොලිස් භාරයට ගන්නට නියෝග නිකුත් කෙරෙනවා. කෙසේ නමුත් මේ වන විට ඇය සැක්‍රමැන්ටෝවෙන් බොහෝ දුර ගොස් සිටියා.

වළලා තිබූ මෘත ශරීරයක්- Youtube

පොලිස් භාරයට පත් වීම හා නඩු විභාගය

ඩොරතියා පුඑන්තේ පුරා දින 5ක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් ඔවුන්ගෙන් වසන් වී සිටිනවා. මේ අතරතුර ලොස් ඇන්ජලීස්හි සුරාසැලක දී ඇය හට වයෝවෘධ මිනිසෙක් මුණගැසෙනවා. ඇය ඔහු හා මිතුරු වන්නට ගන්නා උත්සාහයේ දී ඔහු ඇය හඳුනාගන්නේ ඇගේ රුව පොලිසිය මඟින් රට වටා ප්‍රසිද්ධ කොට තිබූ නිසා යි. ඔහු වහාම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කරනවා.

කෙටි කලක් තුළ දී ඩොරතියා පොලිසිය විසින් කොටුකර ගැනෙනවා. වහාම ඇය සක්‍රමැන්ටෝ වෙත ගෙනයන අතර මිනිමැරුම් 9කට එරෙහිව ඇය වෙනුවෙන් චෝදනා ගොනු කෙරෙනවා. කෙසේ නමුත් විවිධ හේතුන් නිසා ඇයට එරෙහි නඩු තීන්දු ලබා දෙන්නට වසර 5ක කාලයක් ගත වෙනවා. ඒ වන විට ඇය 64 වන වියෙහි පසුවුණා.

නඩු විභාගයේ දී තමන් කිසිත් නොදන්නා ඉතා ප්‍රසන්න හා අහිංසක අයෙකු බැව් ඒත්තු ගන්වන්නට ඩොරතියා මුල සිටම උත්සාහ කළා. කෙසේ නමුත් නවීන විද්‍යාවේ හා පුද්ගල සාක්ෂ්‍යවල මහිමයෙන් ඇය සිදුකළ මිනිමැරුම් හෙළි වුණා. ඇය රෝගීන් හට නිදිපෙති අධිමාත්‍රා ලබා දී, ඔවුන් නිද්‍රාවට පත් කොට, අනතුරුව කොට්ටයක් වැනි යමක් ආධාරයෙන් ඔවුන්ගේ හුස්ම සිර කොට ඝාතනය කර තිබුණා. අනතුරුව කුලියට මිනිසුන් ගෙන්වා, ඔවුන් ලවා සිය ගෙවත්තෙහි සිරුරු වළලා තිබුණා.

1993 වසරේ දී මේ සියළු කරුණු සලකා බලා ඇය හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. දිගු කාලයක් සිර දඬුවම් විඳි ඩොරතියා පුඑන්තේ ස්වභාවික හේතු මත 2011 වසරේ මාර්තු මස 27 වන දා බන්ධනාගාරය තුළ දීම මිය යනවා. මේ වන විට ඇය 82 වන වියෙහි පසුවුණා.

Related Articles