Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා. 

එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. අද නම් මෙහි කාපිරි කිසිවෙක් දකින්න නැහැ.

පැරණි පිටකොටුව – En. geneanet.org   

ලංකාවේ කාපිරි

අදත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරනවා. 1630 දී මුලින් ම  මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත් කාපිරි  ජනතාව රැගත් නැවක් ලංකාවට ගෙන්නුවේ පෘතුගීසින්. ඒ අය ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයට යොදවන්නට යි. 

1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වුණා. ඉන්පසු කාපිරි ජනතාව  රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවල යොදවා තිබෙනවා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන වහල් දූපත පිහිටි තැන එකල  කාපිරි ජාතිකයන් රඳවා තිබූ ස්ථානය ලෙස සැලකෙනවා.

ලංකාවෙ කාපිරි පවුලක් – kiptra.com       

කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරැක්කවලට යාබද ව අතීතයේ  ‘කපිර් වෙල්ට්ඩ්’ නම් විවෘත බිමක් පැවතුණු බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා. ඕලන්ද බසින් කපිර් වෙල්ට්ඩ් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යි.  බ්‍රිතාන්‍ය ආණ්ඩුව පසුව කාපිරි සේනාංකයක් ඇති කළ බව පැවසෙනවා.  

එම සේනාංකය වෙනුවෙන් 1875 දී පමණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කළ බව ද සඳහන් වෙනවා.  එහි එක් මායිමක් ලෙස බේරේ වැවත්,  අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බව ද සඳහන් වන කරුණක්. මේ ස්ථානයට නුදුරින් පිහිටි පෙදෙසක් 1900 පමණ සිට හැඳින්වූයේ  කාපිරි මුඩුක්කුව ලෙස යි.  

රෝහිණී පටුමග- lankadeepa.lk

අලුතින් දැමූ නම්

කුමාර වීදියෙන්  හැරී ගොස් කාපිරි මුඩුක්කුවට පැමිණිය හැකි යි. අදින් දශක කිහිපයකට පෙර සිට කාපිරි මුඩුක්කුව යන නිල නොවන නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා.

කාපිරි මුඩුක්කුවට එක්වූ තවත් පාරක් තිබෙන අතර එය කීර්ති මාවත ලෙස නම්කර තිබෙනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමග එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදෙසක්.

පුරාණ වහල් දූපත- lankapura.com

කාපිරි මුඩුක්කුව

‘කාපිරි මුඩුක්කුවේ’ එදා පැවතුණේ එකිනෙකට බද්ධවුණු මුඩුක්කු ගෙවල්. මෙහි පදිංචි වී සිටියේ නගරයේ දුප්පත් ජනතාවක්. ඔවුන් හොඳ අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක්. වැඩිදෙනෙක් ජීවනෝපාය උපයා ගත්තේ මුට්ට කරගැසීමෙන්.  සමහරු නගර සභාවේ කුණු ඇදීමත් කළා.

වතුර ලබාගැනිමට ළිං  නොතිබූ අතර වත්තටම තිබී ඇත්තේ එක් පයිප්පයක් පමණයි. මේ නිසා වතුර ගැනීමට සැමවිමට දිගු පෝලිම් පැවතුණා.  ව්‍යාපාරික පෙදෙස්වලට ලැබී තිබුණු පහසුකම් මේ වත්තට ලැබී තිබුණේ නැහැ.

එදා චණ්ඩින්ගෙ රජදහන- divaina.lk

චණ්ඩින් රජ කළ තැනක්

කාපිරි මුඩුක්කුව අතීතයේ පැවතුණේ චණ්ඩින්ගේ රජදහනක් ලෙස යි. 1900 මුල භාගය වනතෙක් එහි වැඩි වරප්‍රසාද හිමි කර ගෙන සිටියේ චණ්ඩින් පිරිසක්. ඔවුන් කප්පම් ගනිමින් වෙනම ආණ්ඩුවක් පරිදි කටයුතු කළ බවයි පැවසෙන්නේ. රාවලින් මත් වී ආයුධ ගෙන සිටි මේ චණ්ඩින්ට ව්‍යාපාරිකයන් පවා කප්පම් ගෙවා තිබෙනවා.

රා ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා ඒ කාලේ කාපිරි මුඩුක්කුවේ රජ කරපු චණ්ඩින් ලෙස වැඩිහිටියන් පවසනවා. එදා පොලිසිය පවා මේ චණ්ඩි මෙල්ල කිරීමට කටයුතු කර නැහැ.  

කාපිරි මුඩුක්කුවේ පරණ කෝට්

කාපිරි මුඩුක්කුවේ සුද්දන්ගෙ කාලෙ ඉඳල ම පැවති වෙළෙඳාමක් තමයි පරණ ඇඳුම් අලෙවිය. අදත් ඒ ව්‍යාපාරය ජයටම සිදුවෙනවා. කුඩා ඉඩක් සහිත කඩකාමරවල ගොඩ ගහලා තියෙන්නේ පරණ ඇඳුම් කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝර්ට් ආදියයි. 

පරණ ඇඳුම් ගොඩගසා ඇති අයුරු – Lankadeepa.lk

පරණ ඇඳුම් එකතු කරන පුද්ගලයන් ළඟට ඒවි ගේන්නේ පරණ කෝට්කාරයින්. ඔවුන් ගෙවල් ගානේ ගිහින් එකතු කරගෙන  එන ඇඳුම් කෝසල පටුමගට රැගෙනවිත් අලෙවි කරනවා. ඒවා මුලින් ම වර්ග කර සෝදා මැද ගන්නවා. ඉන්පසු පරණ ඇඳුම්වලට හොඳ පෙනුමක් එනවා. නවිකරණය කළ පරණ ඇඳුම් තොගයට අලෙවි කරන එක කෝසල පටුමගේ ව්‍යාපාරිකයන්ගේ කටයුත්ත යි.

අතීතයේ පටන් ම පැවති පරණ කෝට් වෙළෙඳාම පරම්පරාවෙන් පරම්පරාවට යන වෘත්තියක් වෙලා. පරණ ඇඳුම් අලෙවි කරන වෙළෙන්දන් කිහිප දෙනෙක් ම පටුමගේ වාසය කරනවා. මේ ඇඳුම් බහුලව අලෙවි වන්නේ හැටන්, මස්කෙළිය, නුවරඑළිය වගේ සීතල පැතිවලට යි. 

වර්ග කර අලෙවි කරන පරණ ඇඳුම් – divaina.lk

වතු කම්කරු ජනතාවට අලුත් ඇඳුම් මිලට ගන්න ආර්ථික ශක්තියක් නැති නිසා  පරණ ඇඳුම් මිලට ගැනීමට පුරුදු වී සිටිනවා. කමිසයක් දෙතුන් සීයකට මෙහිදී මිලට ගන්න හැකියාව ලැබෙනවා.   තොග වශයෙන් කෝසල පටුමගෙන් ඇඳුම් ලබා ගන්නා ව්‍යාපාරිකයන් කඳුකරයට ගොස් ඒ ඇඳුම් සිල්ලරට අලෙවි කිරීම සිදුවෙනවා. රුපියල් 1500කට කෝට් එකක් මෙතැනින් මිලදී ගත හැකි යි.   

කවරයේ ඡායාරූපය - කාපිරි මුඩුක්කුවට නුදුරු පෙදෙසක පැරණි පින්තූරයක්- Localguidesconnect.com
මූලාශ්‍ර:
Lankadeepa.lk
Divaina.lk
කොළොම් පුර පුරාවෘත්තය- ආර්. එල්. බ්‍රොහියර්, පරි. පද්මා එදිරිසිංහ

Related Articles