එතෙක් පැවති විධායක සභා හා ව්‍යවස්ථාදායක සභා ක්‍රමය අහෝසි කරමින් ශ්‍රී ලංකාවට රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳුන්වා දෙන්නේ, 1931 දී ක්‍රියාත්මක වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා යි. එහි දී පළාත් සභා ඡන්ද කොට්ඨාස මඟින් නියෝජිතයන් 50 දෙනෙක් ද, ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීමෙන් 8 දෙනෙක් හා ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් තුන් දෙනෙකු ද අයත් වෙනවා. ඔවුන් නම් වෙන්නේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම් හා නීති ලේකම් ලෙස යි.
ඒ ඔස්සේ මෙතෙක් කලක් ලාංකිකයන්ට නොලැබුණ සර්වජන ඡන්ද බලය පළාත්බද නියෝජනය හා විධායක කාරක සභා ක්‍රමය ලැබෙනවා. එය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකියි. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් පසුව මෙරටට හිමිවෙන්නේ 1947 සිට ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රමය යි. ඒ ඔස්සේ මෙතෙක් කලක් තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දෙනවා.
පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විත වූ අතර, ඒවා උත්තර මන්ත්‍රී මණ්ඩලය (සෙනට් සභාව) හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (මහජන මන්ත්‍රී මණ්ඩලය) ලෙස හඳුන්වනු ලබනවා. මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 101 දෙනාගෙන් 95 දෙනෙක් ඡන්ද බලයෙන් පත් වූ අතර, ඉතිරි හයදෙනා පත්වෙන්නේ ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත පරිදි ය. සෙනට් සභාව මන්ත්‍රීන් 30 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, ඒ අතරින් 15 දෙනෙක් අගමැතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා විසින් පත් කෙරෙනවා. ඉතිරි 15 දෙනා පත් වෙන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙනි.
මණ්ඩල දෙකක නියෝජනයක් වූ පළමු කැබිනෙට්ටුව
ඒ අනුව 1947 වසරේ පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉහත මන්ත්‍රී මණ්ඩලය ඒ සඳහන් කළ ක්‍රමවේදය මත තේරී පත්වෙනවා. ඉන්පසුව යි ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලය නම් වෙන්නේ. මැතිවරණයෙන් පසුව බලයට පත්වෙන ඩි. එස්. සේනානායකගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ආශ්‍රයෙන් පළමු කැබිනට් මණ්ඩලය බිහිවෙනවා. පළමු කැබිනට් මණ්ඩලය, ආරම්භක සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුක්ත වූ අතර පසුව තවත් කිහිපදෙනෙකු ඊට එකතු වෙනවා. අනතුරුව ඩඩ්ලි සේනානායක අගමැතිවරයා බවට පත්වෙන තුරු එම කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා. මෙම ඇමතිවරුන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙන්ම සෙනට් සභාව ද නියෝජනය කරමින් පත්විය විය යුතු බැවින්, සෙනට් මණ්ඩලයෙන් පත් වූ ඇමතිවරුන් කිහිපදෙනෙක් ද මෙහි දකින්න ලැබෙනවා.
අගමැතිවරු හතරදෙනක් හා විධායක ජනාධිපතිවරයෙක්
ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස මෙන්ම ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යවරයා බවට පත්වෙන්නේ ද ඩි.එස් සේනානායක යි. සිංහල මහා සභාවේ ආරම්භක නායකයා මෙන්ම පසු කාලයේ දී නිදහස් පක්ෂය පිහිටුවා, 1956 දී මහජන එක්සත් පෙරමුණ ඔස්සේ දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ලංකාවේ හතරවන අගමැතිවරයා බවට පත් වූ එස්. ඩබ්.ආර්.ඩි බණ්ඩාරනායක ද මෙම කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. ඔහුගේ ඇමති ධුරය වන්නේ සෞඛ්‍ය හා පළාත් පාලන යි. නමුත්, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග ඇති වූ දේශපාලනික අර්බුදයක් හේතුවෙන් ඔහු හා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් 1951 දී පක්ෂය හැර ගොස් නිදහස් පක්ෂය පිහිටුවනවා.
අදටත් ශ්‍රී ලංකාවේ දේශපාලනමය අර්බුදයක් ලෙස ඇතැම් විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන විධායක ජනාධිපති ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරමින් මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ජේ. ආර් ජයවර්ධන මෙම ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. ඒ, නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමතිවරයා ලෙස යි. ඉන්පසුව ආ ඩඩ්ලි සේනානායකගේ පළමුවර කැබිනට්ටුවේ ද, දෙවැනි කැබිනට්ටුවේ ද මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ ජේ.ආර් ජයවර්ධන යි. 1977 වසරේ දී අගමැති බවට පත් වී, 1978 වසරේ දී පළමු විධායක ජනාධිපති බවට ද ඔහු පත්වෙනවා.
පළමු කැබිනට් මණ්ඩලයේ ප්‍රවාහන හා පොදු වැඩ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ සර් ජෝන් කොතලාවල යි. එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් ලෙස ඔහුව හඳුන්වා දිය හැකියි. ඩි. එස්. සේනානායකගේ මරණයෙන් පසුව අගමැති ධුරය සඳහා ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක හා ජෝන් කොතලාවල අතර තරගයක් නිර්මාණය වී, අවසානයේ ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත් වෙනවා. 1953 වසරේ දී ඇති වූ හාල් හර්තාලයේ දී ඩඩ්ලි සේනානායක ඉල්ලා අස්වෙන අතර, ඉන්පසුව අගමැති ධුරය සඳහා පත් වෙන්නේ සර් ජෝන් කොතලාවල යි. ඔහු ලංකාවේ තෙවන අගමැතිවරයා වූ අතර 1956 වසරේ දී ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් හිමි වෙනවා.
ලංකාවේ දෙවැනි අගමැතිවරයා බවට පත්වෙන ඩඩ්ලි සේනානායක ද, පළමු කැබිනට්ටුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු උසුලන්නේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය යි. 1952 වසරේ දී ඩි. එස්. සේනානායකගේ මරණයෙන් පසු ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත්වෙන අතර, 1953 වසර දක්වා ඔහු අගමැති ධුරය උසුලනවා. පසුව 1965-1970 කාල සීමාව තුළ ද මෙරට අගමැතිවරයා ලෙස කටයතු කරනවා.
පාර්ලිමේන්තුවේ සෙනට් සභාව නියෝජනය කරමින් සර් ඔලිවර් ගුණතිලක, ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා ලෙස මෙහි දී පත්වෙනවා. ඔහු පසු කාලයක දී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට පත්වෙන අතර, අග්‍රාණ්ඩුකාර ධුරයට පත් වූ පළමු ලාංකිකයා වන්නේ ද සර් ඔලිවර් ගුණතිලක යි. මීට අමතරව පළමු කැබිනට්ටුවේ සිටි කම්කරු හා සමාජ සේවා ඇමැති ටී. බී. ජයා, අධ්‍යාපන ඇමතිවරයා වූ ඊ. ඒ. නුගවෙල හා අධිකරණ ඇමති සෙනට් සභික ලලිත රාජපක්ෂ ද, දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස නම් කළ හැකියි.