වැද්දා අප තුළ තවමත් කුතුහලය දනවන, අප රටේ මුල්ම පදිංචිකරුවන් කොට්ඨාසය යි. බලංගොඩ මානවයා නෑකම් කියන්නෙත් වැද්දන්ට මිසක් අපට නොවේ. වැදි ජනයාගේ ගම්බිම් ලෙස සැලකුණේ මහියංගනය දඹාන, කොටබකිණිය, මහඔය බණ්ඩාරදූව හා පොල්ලේබැද්ද, හේනේබැද්ද, සීතලවන්නිය, නුවරගල, හෙන්නානිගල, අත්බැද්දගල, රතුගල, නිල්ගල, දානිගල, දිඹුලාගල, බිංගොඩ, යක්‌කුරේ ප්‍රදේශ ඇතුළත් ඌව හා නැගෙනහිර පළාත්වල ප්‍රදේශයන් කිහිපයක් පමණ යි. වන්නිය හෙවත් මහවැදිරට ලෙස මෙම ප්‍රදේශ හැඳින්වුණා. අද නම් මේ අතරින් වැදි ජනතාව දැකගත හැකි වන්නේ දඹාන සහ රතුගල වැනි ගම් කිහිපයක සුළු වශයෙන් විතර යි. මේ වැද්දන් ද නවීකරණය නිසා සම්ප්‍රදායික ජීවන ක්‍රමයෙන් බොහෝදුරට බැහැර වෙලා. වැද්දන්ගේ ප්‍රධාන ආහාරයට ඇතුළත් මස් කන විවිධ ක්‍රම කිහිපයක් ගැන විමසන්නට යි අපි මෙහිදී උත්සාහ කරන්නේ.
වැදි දඩයම
දඩයම ගැන වැදි ගීවල සඳහන් කිරීමටත් වැද්දා අමතක කරලා නැහැ:
ගෝයා පුච්චා කමු දෙන්නා
ගොකුර පුච්චා කමු දෙන්නා
ගොටුම්බු පුච්චා කමු දෙන්නා
ගෝ බඩවැල් ටික තට දෙන්නා
ගෝ අකුමා ටික මම කන්නා
සතුන් ටික දෙනෙකු හැර තුවක්කු, දුනු හී, උගුල් ආදිය අටවා මැරූ ඕනෑම වල් සතකුගේ මස් වැද්දා කයි. සමහර සතුන්ගේ මස් නොකෑමට හේතුව වැද්දාවත් සිංහලයෝවත් නොදනිති. මස් කන සමහර සතුන් නම් ඉබ්බා, කබල්ලෑවා, වල්ඌරා, තිත්මුවා, ගෝනා, මොණරා, කෑදැත්තා ආදීහු වෙති. ඔවුහු ඌරු මස් ප්‍රිය කරති. වඳුරු සහ හා මස් අතිශයින් රුචි කෙරේ. උෂ්ණයයි සලකනු ලබන මුව මස් නිසා කැසිල්ල ඇති වේ යයි සිතයි. ඔවුන් ඉතා රුචි කරන ආහාර නම් ගෝන ලේ පිරුම, ගොයාගේ තෙල්පිරුම ආදිය යි.
(වැද්දන්ගේ විකාශන ක්‍රමය- නන්දදේව විජේසේකර, 61 පිට)
වැද්දන්ගේ දඩයම් සිරිත්
පසුගිය සියවසේ මුල් භාගය දක්වා වනගැබේ විසූ වැද්දන්ගේ ප්‍රධාන ආහාරය වූයේ දඩමස් බව ආර්. එල්. ස්පිට්ල් වැනි ලේඛකයන්ගේ කෘතිවලින් පේනවා. මෙම ආහාර වට්ටෝරුවට කැලයේ හමුවන අල, මුල්, ගෙඩි, ඇට, කොළ හා මල් වර්ග ද මී පැණි, බඹර පැණි ද දිය පහරවල සිටින මසුන් ද එක්ව තිබුණා. පසුව හේන්වලින් ලබාගන්නා කුරහන් හා ඉරිඟු ද ඔවුන්ගේ ආහාර වේලට එක්වුණා. හරක් මස්, මීහරක් මස්, ඉත්තෑ මස්, වලිකුකුළු මස්, ගම්කුකුළු මස්, හිවල් මස් ආහාරයට ගැනීම තහංචි වුණා. සේරු, කොකුන් ආදි ජලාශ්‍රිත සතුන් ද වැද්දන්ගේ භෝජනයට ඇතුළත් වුණේ නැහැ.
වැද්දන් දඩ මස් සපයා ගැනීමට යන්නේ කණ්ඩායම් වශයෙන්. සමහර විට දින කිහිපයක් එක් දඩයම් ගමනකට ගතවෙනවා. සතුන් දඩයම් කිරීමේ දී දුනු ඊතල වැද්දන්ට ප්‍රයෝජනවත් වුණත්, පසුගිය සියවසේ මැද භාගය වන විට බෙහෙත් කොටන තුවක්කු මෙන්ම පතරොම් තුවක්කුත් වැද්දන් අතට පත්වූ බව ලේඛකයන්ගේ සටහන්වලින් පේනවා. දඩබල්ලන් විසින් කොටු කරගන්නා හාවුන්, මී මින්නන්, මුවන්, ගෝනුන් වැනි සතුන් මරාගෙන කැලේදීම සතා මස්කර ගන්නවා. දඩයම් කරගත් සතාගේ මස් තම කණ්ඩායමේ පරිභෝජනයට වැඩි නම්, ලී මැස්සක් සාදා යටින් ගිනි ගොඩක් ගසා ලී මැස්සේ අතුරන ලද මස් එතැනදීම හොඳින් වේලා ගන්නවා. ගිනි රස්නයෙන් වේළෙන දඩ මස් තීරු අඩියක් පමණ දිග කෑලිවලට කපා කෑලි පහක් එකට හිටින සේ මිටි බැඳීම සිදුකරන වැද්දන් ඒ දඩමස් මිටි සිංහල වැසියන්ට දී ඉරිඟු, කුරහන්, ලුණු වැනි දේ ලබා ගන්නවා. නැතහොත් වැදි බිමට එන වෙළෙඳුන්ට දී භාණ්ඩ හුවමාරු කරගන්නවා.
මස් පුච්චා කෑම
මේ ක්‍රමය අද නාගරිකයන්ගේ ගල්අඟුරුවලින් බාබකිව් දැමීමට සමාන යි. ගිනි ගොඩක් දල්වා ගිනි අඟුරු උඩට මස් දමා පුළුස්සා ගැනීම සිදුවෙනවා. පෝෂ්‍ය ගුණය අධිකයැ යි සැලකෙන සතාගේ පීකුදු, හදවතේ කොටස් ආදිය පුළුස්සා ගන්නේ ලී උල්වල ඇමිනීමෙන්. මෙසේ පුළුස්සා ගන්නා මස්වලට ‘අඟුරු මස්’ කියල කියනවා. කෑමට පෙර කොළ ගොටුවක් සාදා ලේ සහිත අමු මස් කැබැල්ලක් හා අඟුරු මස් කැබැල්ලක් දමා යාදින්නක් කියා යකුන්ට පිදීමත් වැද්දන්ගේ පුරාණ චාරිත්‍රයක්.
වැද්දන් බොහෝ විට පක්ෂින් ආහාරයට ගන්නේ ගින්නේ ලා පුළුස්සා ගැනීමෙනි. මරාගන්නා කුඩා පක්ෂීන් සෘජුවම ගින්නේ ලා පුළුස්සා ආහාරයට ගනිති. විශාල පක්ෂින් පිළිස්සීමේ දී අන්ත්‍ර කොටස් ආදිය ඉවත් කර පිහාටු සමග පුළුස්සා ආහාරයට ගැනේ. වැරලි පැටව්, කොබෙයියන්, ගිරවුන් ආදී පක්ෂින් පුළුස්සා ආහාරයට ගැනීමට වැද්දෝ මහත් රුචියක් දක්වති.
(වැදි ජනයාගේ සම්ප්‍රදායික ආහාර තාක්ෂණය -උමයංගනා පූජනී ගුණසේකර, 107 පිට)
සිව්පා සතුන් පුළුස්සා කෑම
ඉරි ලේනා, දඬුලේනා, මීමින්නා, හාවා වැනි කුඩා ක්ෂීරපායින් ද තලගොයා වැනි උරගයන් ද හම ගසා සුද්ද කර ගිනි අඟුරු මත තබා පුළුස්සා ගන්නවා. වඳුරා ද, හම ගසා සම්පූර්ණ සතා පිටින් පුළුස්සා ආහාරයට ගන්න කැමතිම සතුන් අතර සිටිනවා. වඳුරාගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස් ද වැද්දන් පෝෂ්‍යදායී ආහාර ලෙස වෙනම පුළුස්සා කෑමට ගන්නවා. රිළවා හම නොගසා පුළුස්සා ගෙන පසුව හම ඉවත් කර ආහාරයට ගන්නා සතෙක්.
හමේ ඔතා මස් පුච්චා ගැනීම
ගෝනා, මුවා වැනි ලොකු සතුන්ගේ උදර පෙදෙසේ හම පරෙස්සමෙන් ගලවා ගෙන එම හම ගල් පොත්තක් මත අතුරනවා. ඊට පසු එය මතට සතාගේ ගාත්වල හා පිට පෙදෙසේ මස් ද කර හෙවත් බෙල්ල පෙදෙසේ මස් ද කපාගෙන දමනවා. ඒ මස්වලට ලුණු, කරපිංචා, කොච්චි හෝ වෙනත් මිරිස් වර්ගයක් ද එක් කර කලවම් කරනවා. වැදි ආහාරවලට තුනපහ හෝ පොල්කිරි එකතු වන්නේ නැහැ. අනතුරුව කරන්නේ ලිහිණිය ගසේ පට්ටාවලින් මස් පාර්සලය එතීමයි. ඒ මස් පොදිය ගිනි අගුරු මතට දමා ඒ මේ අත හරවමින් තම්බා ගන්නවා. ලිහිණියා පට්ට පිළිස්සී ගැලවී යන තෙක් මස් තම්බා ගැනීමෙන් පසු නිවෙන්නට හැර ඊතල හිසකින් කැබලි කර ආහාරයට ගන්නවා.
තවත් ක්‍රමයක් තමයි හම යොදාගෙන මස් පිස ගැනීම. ගෝනා හම ගසා එම හම තිරස්ව සිටින සේ ලී කණු ආධාරයෙන් ගැට ගසා ගන්නවා. මස් පිසීමට දල්වන ගිනි මැලයට ඉහළින් ලෝම පිහිටි පෘෂ්ඨය ගිනි මැලය දෙසට වන සේ තමයි හම සවි කරන්නේ. ඊට පසු සතාගේ මස් කපා ලේ සමග මිශ්‍ර කර ගිනි මැලයෙන් පිස ගන්නවා.
මස් සම්බෝලය
හොඳින් වියළූ මස් මේ සදහා භාවිත කරනවා. ඒ මස් වංගෙඩියක දමා කොටා, එයට මිරිස් හා ලුණු එක්කර සම්බෝලය හදනවා. වියළි මස් කැබලි සමගම ලුණු හා මිරිස් වංගෙඩියේ කොටා ගැනීමෙන් ද මෙය තනාගත හැකියි. මෙය අප සකසන උම්බලකඩ සම්බෝලයට සමාන ආහාරයක්.
මස් මැල්ලුම
අපි කොළ මැල්ලුම් හදනවා වගේ වැද්දෝ මස් මැල්ලුම හදනවා. වියළි මස් ජලයේ පොගවාගෙන ඉතා කුඩා කැබලිවලට කැඩෙන සේ වංගෙඩියේ කොටා ගන්නවා. පසුව එයට මිරිස්, කොච්චි දමා මිශ්‍රකර මැටි භාජනයක දමා මලවා ගන්නවා.
ලේ පිරුම
අප ආහාරයට ගන්නා සොසේජස්වලට හෝ ලිංගුස්වලට සමාන පැරණි වැදි ආහාරයක් තමයි ලේ පිරුම කියන්නේ. මෙහිදී දඩයම් කළ සතාගේ අන්ත්‍ර කොටස් ඉවතට ගෙන සුද්ද කර, එම අන්ත්‍ර කුහරවලට සතාගේ ලේ පුරවනවා. අන්ත්‍රවල දෙකෙළවර ගැට ගසා ගින්නට අල්ලා පදමට කරවී ලේ කැටි ගැසුණු පසු කැබලිවලට කපා ආහාරයට ගන්නවා.
මස් ලේ පිරුම
කටුවල හෝ ගෝනල පොතු ගලවා සුද්ද කර කෑලි කපා බාගෙට තම්බා ගන්නවා. පසුව එහි වතුර පෙරා ඉවත්කර වෙනත් හට්ටියක් ලිප තබා ලේ සහිත නොසේදූ මස් තට්ටුවක් අතුරනවා. ඊට උඩින් සත්ත්ව තෙල් තට්ටුවක් දමනවා. සත්ත්ව තෙල්වලට උඩින් අතුරන්නේ තැම්බූ අල යි. ඒවා ලේවලින් තැම්බෙන අතරේ ලුණු, මිරිස්, කරපිංචා එක්කර හොදින් තම්බා ගන්නවා.
තෙල් තැවරූ මස් කුට්ටි
අත්ලට මිට මොලවා ගත හැකි පමණට කපාගත් මස් කුට්ටි ගෙන ලී උල්වල අමුණා, ඒවාට ගෝන, මුව හෝ වල්ඌරු තෙල් තවරා ගිනි අඟුරු මත තබා කර කර ගන්නවා. ඊට පසු මිරිස් කුඩු තවරා කෑමට ගැනීමත් වැද්දන් ප්‍රිය කරන ආහාරයක්.
පැණිවල දැමූ මස්
ගල් බෙන, ගස් බෙන ආදියේ මීපැණිවල බහා මස් කල්තබා ගැනීම වැද්දන්ගේ සිරිතක්. එම මස් නොපිසා එලෙසින්ම ආහාරයට ගැනීමට පුළුවන්. එම මස් තරමක පැණි රසයකින් යුක්ත යි.
ගෝන හමෙන් ආහාරයක්
දඩයම් කරන ගෝනුන්ගේ හම් දුම්මැස්සේ එල්ලා තැබීම වැදි පැල්පත්වල සිදුවෙනවා. ආහාර අහේනි කාලවල දී මෙසේ වියළී තිබෙන ගෝන හම් තීරු වශයෙන් කපා ගිනි අඟුරුවල දමා පුළුස්සා ගන්නවා. පසුව ඒ හම් කැබලි කුඩා කැබලිවලට කපා ලුණු, මිරිස්, කරපිංචා දමා ජලයෙන් තම්බා ආහාරයට ගැනීම සිදුවෙනවා.