දෙවන ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුණෙහි විවිධ සටන් ගැන අපි අසා තිබෙනවා. මොස්කව්, ලෙනින් ග්‍රාද් වටලෑම, සෙවස්තපෝල් වටලෑම, කීව්, ස්ටාලින් ග්‍රාද් ආදී සටන් මෙහි දී ඉතා ප්‍රකට යි. එහෙත් රෂෙෆ් හි සටන් පිළිබඳ අප අසා ඇත්තේ ඉතා අඩුවෙන්.
එසේ වුව ද, මොස්කව් සටනෙහි දී සෝවියට් සේනා විසින් ජර්මානුවන් පසු බැස්වීමෙන් පසු කාලයක් තිස්සේ රෂෙෆ් ප්‍රදේශය ආශ්‍රිතව සටන් පැවතුණා. එම ප්‍රදේශයෙන් ජර්මානුන් ඉවත් කෙරෙන තුරු මොස්කව්වල ආරක්ෂාව පිළිබඳ සෝවියට් බලධාරීන්ට තිබූ සැකය පහව ගියේ නැහැ. රෂෙෆ් සිට මොස්කව් වෙත ඇති දුර කිලෝමීටර් 230ක් පමණ වීම, ඊට හේතුව යි.
රෂේෆ් හි සටන් 1942 ජනවාරියේ සිට 1943 මාර්තු වන තුරු පැවතුණා. ස්ටාලින්ග්‍රාද් සටන අවසන් වන සමයේම රෂේෆ් දෙසින් ද, ජර්මානුවන් පසු බැස්වීමට සෝවියට් රතු හමුදාව සමත් වුණා. වසරකට අධික කාලයක් පැවති සටන්වල දී සිදු වූ අති විශාල ජීවිත හානිය හේතුවෙන් මෙම සටන්බිම රෂේෆ් ඝාතකාගාරය සහ රෂේෆ් මස් අඹරනය (Rzhev Meat Grinder) ආදී නම්වලින් හැඳින්වෙනවා. මෙම සටන්වලින් මියගිය, තුවාල ලද, අල්ලා ගත් හෝ අතුරුදහන් වූ සෝවියට් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවන බව යි සඳහන් වන්නේ. ජර්මානුන්ට ද 700,000ක පමණ පිරිසක් මේ විවිධ ආකාරයෙන් අහිමි වූයේයැ යි සැලකෙනවා.
රෂේෆ්- වියස්මා අඩකවය
රෂේෆ් ප්‍රදේශයට ජර්මන් හමුදා පැමිණියේ 1941 ඔක්තෝබරයේ දී මොස්කව් වෙත එල්ල වූ මෙහෙයුම අවස්ථාවේ යි. දෙසැම්බර් මුල වන විට මොස්කව් ආසන්නයටම පැමිණි ජර්මානුන් එහි දී නවත්වනු ලැබුණා. මොස්කව් නගරය බේරාගනු ලැබුණා. එහෙත් ජර්මානුන්ව නගරයෙන් බොහෝ ඈතට පලවා හැරීමට සෝවියට් හමුදාවන්ට හැකි වූයේ නැහැ. 1942 ජනවාරියේ දී රෂේෆ් ප්‍රදේශය ආශ්‍රිතව දරුණු සටන් සිදුවුණා. සෝවියට් හමුදා මෙහෙයවූ ජෙනරාල් (පසුව මාර්ෂල්) ෂූකොව් සහ කර්නල් ජෙනරාල් (පසුව මාර්ෂල්) කොනේෆ් උත්සාහ කළේ ස්මොලෙන්ස්ක් – වියස්මා මාර්ගය අල්ලා ගැනීමට යි. එම උත්සාහය සාර්ථක වූයේ නම් රෂේෆ් හි සිටි ජර්මානුන් වෙත වූ සැපයුම් මාර්ග කපා දමා ඔවුන්ට යටත් වීමට බල කළ හැකිව තිබුණා.
කෙසේ වෙතත්, මෙය ළඟා කරගැනීමට පහසු ඉලක්කයක් වූයේ නැහැ. දෙසැම්බරයේ දී සිදු වූ සටන්වලින් සෝවියට් හමුදාවන් සතු වූ යුධ ටැංකි විශාල ප්‍රමාණයක් විනාශ වී තිබුණා. ඒ වෙනුවට ඔවුන් කළේ අශ්වාරෝහක සේනාංක සටනට එවීම යි. නමුත්, ඔවුන් අසුන් පිට නැගී යුධ වැදුණේ නැහැ. ඔවුන් යුධ ටැංකි රෙජිමේන්තුවලට ආධාර කරන ජංගම පාබල සේනාංක මෙන් කටයුතු කළා. සටනක් ඇති වන අවස්ථාවක ඔවුන් අසුන්ගෙන් බිමට බැස පාබල සේනා ලෙස ක්‍රියා කළා. මේ අතර රතු හමුදාව තමන් සතු වූ කත්යූෂා තුවක්කු ද සටනට යෙදවූවා.
මොවුන්ට මුහුණ දුන්නේ මධ්‍යම හමුදා කණ්ඩායම (Army Group Center) සහ විශේෂයෙන් එහි නව වැනි ජර්මන් හමුදාව යි. නව වැනි ජර්මන් හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස 1942 ජනවාරියේ දී යුධ ටැංකි ජෙනරාල් (පසුව ෆීල්ඩ් මාර්ෂල්) වෝල්තර් මොඩෙල් පත් කෙරුණා. මොඩෙල් දක්ෂ සෙන්පතියකු වූ අතර, සෝවියට් ප්‍රහාරවලට ඉතා හොඳින් මුහුණ දුන්නා. මේ අනුව ස්මොලෙන්ස්ක් – වියස්මා මාර්ගය අල්ලා ගැනීමේ සෝවියට් උත්සාහයන් අසාර්ථක වුණා.
එම සටන්වලින් පසු සෝවියට් පෙරමුණ තුළට කඩා වැදුණ රෂේෆ් අඩකවය නිර්මාණය වුණා. ඊට පෙරමුණු දෙකක සෝවියට් හමුදා මුහුණ දී සිටියා. අඩකවයට නැගෙනහිර දෙසින් “බටහිර පෙරමුණේ” (මොස්කව්වලින් බටහිර) සෝවියට් හමුදා සිටියා. අඩකවයෙන් උතුරු හා බටහිර දෙසින් කලිනින් පෙරමුණ වුණා. (සෝවියට්වරුන් පෙරමුණක් ලෙස නම් කළේ සමස්ථ යුධ පෙරමුණම නොවේ. යුධ ඉතිහාසයේ දී අප සාමාන්‍යයෙන් සෝවියට් පෙරමුණටම නැගෙනහිර පෙරමුණයැ යි නම් කරනවා. නමුත්, සෝවියට් නාමකරණයේ දී එක් එක් එක් හමුදා ඒකරාශී වීම් වෙනම ම පෙරමුණු ලෙස හඳුන්වනවා. මේ අනුව ලෙනින්ග්‍රාද් පෙරමුණ, ස්ටාලින්ග්‍රාද් පෙරමුණ, කලිනින් පෙරමුණ ආදී නම් අපට හමුවනවා).
මේ අතර රෂේෆ් අඩකවය තුළට කඩා වැදුණ සෝවියට් පාලන ප්‍රදේශයක් ද වුණා. එය කෝල්ම් – සිර්නොව්ස්කි අඩකවය යි.
1942 ජූලි 2 වන දා මෙම අඩකවය දෙසට ජර්මන් ප්‍රහාරයක් එල්ල වුණා. එය නම් කර තිබුණේ සීඩ්ලිට්ස් මෙහෙයුම ලෙස යි. ඔවුන් අඩකවය සහ ප්‍රධාන සෝවියට් හමුදා අතර වූ කොරිඩෝව වසා දැම්මා. එහි කොටු වූ සෝවියට් සේනාංකවලින් 18,000ක පිරිසක් මහත් පරිශ්‍රමයකින් පසු ජර්මන් වටලෑම හරහා පලා ඒමට සමත් වුණා.
මෙම පරාජයෙන් පසුව වුව ද, රෂේෆ් අඩකවය අල්ලා ගැනීම කෙරෙහි සෝවියට් හමුදා මූලිකත්වය දුන්නා. ජූලි 30 වන දා කොනේෆ් යටතේ කලිනින් පෙරමුණේ හමුදා මීළඟ ප්‍රහාරය දියත් කළේ රෂේෆ් නගරය අල්ලා ගැනීමට යි. රෂේෆ් – සිචියොව්කා මෙහෙයුම ලෙස නම් කෙරුණ මෙහි දෙවන දිනයේ දී රෂේෆ් අත්පත් කරගැනීම ඉලක්කය වුණා.
සෝවියට් කාලතුවක්කු සහ කත්යූෂා තුවක්කු ජර්මානුන්ට ප්‍රබල තර්ජනයක් වුණා. එහෙත් සෝවියට් පාබල සේනාවන් හි ප්‍රහාරයන්ට ජර්මන් කාලතුවක්කුවලින් ද එල්ල වූයේ ප්‍රබල තර්ජනයක්. එහෙයින් සෝවියට් හමුදා බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලබාගත හැකි වූයේ නැහැ.
මේ අතර අගෝස්තු මුල දී බටහිර පෙරමුණේ (මොස්කව්වලින් බටහිර) සෝවියට් හමුදා රෂේෆ් අඩකවය වෙත පහර දුන්නා. ඔවුන් දින කිහිපයක් තිස්සේ ජර්මානුන්ව පසුබැස්වූ අතර, ඉන්පසු ජර්මන් ප්‍රතිප්‍රහාරයන් හමුවේ සෝවියට් ප්‍රහාර දුර්වල වුණා.
මේ අනුව, ෂූකොව් කර්මානවා නම් ගම්මානය දෙසට අවධානය යොමු කර එම ප්‍රදේශය අල්ලා ගත්තා. ඉන්පසු බටහිර පෙරමුණේ හමුදා නැවත ඉදිරියට ගියා. ඊට සමගාමීව කලිනින් පෙරමුණේ දී කොනේෆ්ගේ හමුදා රෂේෆ් නගරය ආසන්නයට ළඟා වුණා. මෙම ප්‍රහාරයක මෙහෙයුම් අගෝස්තු 23 වන දා තෙක් පැවතුණා. 1942 අගෝස්තුවේ දී, සමස්ථ නැනෙහහිර පෙරමුණම සැලකීමේ දී, සෝවියට් හමුදා ඉදිරියට ගියේ රෂේෆ් ප්‍රදේශයේ දී පමණක් වීම කැපී පෙනුණා.
ෂූකොෆ් ඉවතට
මේ අවස්ථාවේ ෂුකොෆ්ට මොස්කව්වලින් කැඳවීමක් ලැබුණා. ඔහුව ස්ටාලින්ග්‍රාද් වෙත යැවීමට තීරණය කර තිබුණා. මේ අනුව බටහිර පෙරමුණේ හමුදා අණදෙන නිලධාරියා ලෙස කොනේෆ් පත් වුණා. ඔහු සිචොව්කා වෙත අවධානය යොමු කරනු වෙනුවට කෙළින්ම රෂේෆ් නගරය වෙත අවධානය යොමු කළා. සටන සාර්ථක වන බව පෙනී ගිය ද, මේ ආවස්ථාවේ මොඩෙල් වෙත අමතර සේනාංක ලැබී තිබුණා.
මෙම හමුදා සහ මොඩෙල්ගේ දක්ෂතාව මත සෝවියට් ප්‍රහාරයන් අඩපණව ගියා. මේ අනුව ඔක්තෝබරය වන විට රෂේෆ් ආඩකවයේ සටන් අඩු වුණා.
“මාර්ස්” මෙහෙයුම
1942 නොවැම්බර් 19 වන දා ස්ටාලින්ග්‍රාද් හි අක්ෂ බලවතුන් වටලෑම සඳහා වූ යුරේනස් මෙහෙයුම සෝවියට් සේනාංක විසින් දියත් කෙරුණා. ඊට සමගාමීව රෂේෆ් අඩකවයේ දී මාර්ස් මෙහෙයුම සැලසුම් කර තිබුණා. එහි අරමුණ වූයේ ස්ටාලින්ග්‍රාද් දෙසට හමුදා යැවීම වැළැක්වීම යි.
නොවැම්බර් 25 වන දා මෙම මෙහෙයුම ඇරඹුණේ අයහපත් කාලගුණික තත්ත්වයක් යටතේ යි. අධික හිම පතනය සහ දෘශ්‍යතාව (දුර පෙනෙන ප්‍රමාණය) අඩු වීම හේතුවෙන් ප්‍රහාරක මෙහෙයුම සඳහා ප්‍රමාණවත් සැපයුම් ද සම්පාදනය කිරීම පහසු වූයේ නැහැ. බටහිර පෙරමුණේ සෝවියට් හමුදා එතරම් සාර්ථක නොවූව ද, කලිනින් පෙරමුණේ හමුදා ජර්මානුන්ට ප්‍රබල අභියෝගයක් වුණා. ඒ අනුව මොඩෙල්ට නැවතත් තමන් සතු සියලු අතිරේක සේනා සටනට යෙදවීමට සිදුවුණා. ස්මොලෙන්ස්ක් වෙතින් ද අතිරේක බල ඇණි එවනු ලැබුණා.
ෆොන් පවුලුස්ගේ හය වැනි ජර්මන් හමුදාව ස්ටාලින්ග්‍රාද් හි කොටු වුණා. ඔවුන් ගලවා ගැනීමට ජෙනරාල් මැන්ස්ටයින් ස්ටාලින්ග්‍රාද් දෙසට ප්‍රහාරයක් ඇරඹුවා. එහෙත් ඔහුට අවශ්‍ය වූ තරම් හමුදාව ලැබුණේ නැහැ. අතිරේක බල ඇණි සමහරක් රෂේෆ් වෙත යැවීම ඊට් හේතුව යි. මෙම අමතර සේනා විසින් රෂේෆ් හි සෝවියට් ප්‍රහාරයන් මැඩ පවත්වනු ලැබුණා.
මාර්ස් මෙහෙයුම අසාර්ථක ලෙස අවසන් වූ අතර, කොනේෆ් හමුදා අණදෙන තනතුරෙන් පහළ හෙලනු ලැබුණා. මේ අතර ජර්මන් මධ්‍යම හමුදා කණ්ඩායමේ අණදෙන නිලධරියා වූ ෆොන් ක්ලූග වෙත රෂේෆ් ආරක්ෂා කිරීම පිළිබඳ ගෞරව ලබා දෙනු ලැබුණා. කෙසේ වෙතත්, මාර්ස් මෙහෙයුම විසින් සෝවියට් හමුදාවට වාසිදායක තත්ත්වයන් කිහිපයක් ඇති කළා. එක් අතකින් ස්ටාලින්ග්‍රාද් වෙත අමතර සේනා යැවීමට ජර්මානුන්ට නොහැකි වුණා. එමෙන්ම ජර්මන් නව වැනි හමුදාවට බරපතල හානි සිදුවුණා.
1943 ජනවාරියේ දී සෝවියට් හමුදා විසින් රෂේෆ්වලින් කිලෝමීටර 250ක් පමණ බටහිරින් වන වෙලීකියේ ලූකි අල්ලා ගත්තා. තමන් සතු සේනාංක සමග රෂේෆ් ආරක්ෂා කිරීම අපහසු වග ක්ලූග තේරුම් ගත්තා. ඔහු එම අඩකවය අතැර පසුබැසීමට අවසර ඉල්ලුවා. හිට්ලර් එම අවසරය ඔහුට ලබා දුන්නේ පවුලුස්ගේ හමුදාව ස්ටාලින්ග්‍රාද් හිදී යටත් වූ පසු යි.
අවසන් පසුබැසීම
ජර්මානුන් නව ආරක්ෂක වළල්ලක් ඉදිකර එය වෙත පසුබැස්සා. මෙම පසුබැසීමේ ක්‍රියාන්විතය බ්‍යුෆල් මෙහෙයුම ලෙස නම් කෙරුණා. මෙය රෂේෆ් අඩකවයේ සිදු වූ අවසන් සටන යි.
වඩා විශාල වූ ස්ටාලින්ග්‍රාද් සංග්‍රාමය හේතුවෙන් රෂේෆ් අඩකවයේ සටන් පිළිබඳ ඉතිහාසකරුවන් දෙන වැදගත්කම අඩුව තිබෙන බවක් පෙනී යනවා. මාර්ස් මෙහෙයුම අසාර්ථක වීම හේතුවෙන් සෝවියට් ඉතිහාසකරුවන්ට ද එය අමතකව ගිය බවක් පෙන්නුම් කෙරෙනවා. එහෙත් සත්‍ය වශයෙන්ම ස්ටාලින්ග්‍රාද් සටනෙහි අවසන් ප්‍රතිඵලයට ද ඉන් විශාල බලපෑමක් ඇති වූ බව අමතක නොකළ යුතු යි.