Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවැනි එළිසබෙත් රැජන මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් 4ක්

  තමන්ගේ රටේ ජනතාවගේ පමණක් නොව අනිකුත් රටවල ජනතාවගේ ද නොමඳ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වන රාජ්‍ය නායකයන් ද නැතුවා නොවේ. දශක හතකට ආසන්න කාලයක් එක් රටක පමණක් නොව තවත් රටවල් ගණනාවක ද රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කරමින් ලොව පුරා ජනතාවගේ නොමඳ ගෞරවය ලබන එවැනි රාජ්‍ය නායිකාවකි- මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන.

එළිසබෙත් රැජින තරුණ වියේ දී- Central Press – Getty Images

1953 වසරේ ජූනි මස සිට මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක ම නාමික බලතල සහිත රාජ්‍ය නායිකාව ලෙසත්, පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙසත් කටයුතු කරන එළිසබෙත් රැජන සියවසකට ආසන්න සිය ජීවිත කාලය තුළ මිහිරි මෙන් ම අමිහිරි අත්දැකීම් ද ගණනාවකට මුහුණ දී තිබේ.

මෙම ලිපිය මුළු ලොවක් ආදරය කරන දෙවැනි එළිසබෙත් රැජන ඝාතනය කිරීමට විවිධ පුද්ගලයන් දැරූ උත්සාහ කිහිපයක් පිළිබඳව යි.

1). ඕස්ට්‍රේලියාවේ දී මුහුණ දුන් සිදුවීම

එළිසබෙත් රැජන සිය වල්ලභයා වූ එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරු සමඟ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නිව් සවුත් වේල්ස් දක්වා දුම්රියෙන් 1970 අප්‍රේල් 29 දින ගමන් කරමින් සිටියේ පුද්ගලික සංචාරයක් අතරතුර යි. එම දුම්රිය කඳුකර ප්‍රදේශයක් හරහා ධාවනය වූ අතර දුම්රිය මාර්ගය හරහා තබා තිබූ විශාල කොටයක් සමඟ ගැටුණු දුම්රිය එක්වර ම ගැස්සී ගියේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. ඇල්බට් රොව්ලි නම් එන්ජින් රියදුරා එදින දුම්රිය ධාවනය කළ අතර දුර සිට ම දුම්රිය මාර්ගය මත යමක් තිබෙන බව ඔහු දුටුවේ ය. වහාම ක්‍රියාත්මක වූ ඔහු හැකි තරම් වෙර යොදා තිරිංග යෙදීම හේතුවෙන් කොටයේ ගැටෙනවාත් සමඟ දුම්රිය නතර විය.

එම සිදුවීමට පැයකට පමණ පෙරත් දුම්රිය මාර්ගය පූර්ණ පරික්ෂාවකට ලක් කර තිබූ බැවින් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ යම්කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක්රාජකීය යුවළ ඝාතනය කිරීමේ අරමුණින් දුම්රිය මාර්ගය හරහා කොටයක්  සිතාමතාම තබන්නට ඇති බව යි. යම් හෙයකින් දුම්රිය තිරිංග ක්‍රියාත්මක නොවූයේ නම් කොටයේ ගැටීම හේතුවෙන් දුම්රිය පීලි පැන අසල තිබූ බැම්මක ගැටීමට ඉඩ තිබූ බව කියැ වේ.

එළිසබෙත් රැජින 1970 ඕස්ට්‍රේලියා සංචාරය අතරතුර- Keystone – Hulton Archive – Getty Images

පුදුමයට කරුණක් වන්නේ එළිසබෙත් රැජන ඝාතනය කිරීමට දැරූ මෙම උත්සහය පිළිබඳ ව මුල්වරට ප්‍රසිද්ධ වූයේ එම සිදුවීමෙන් පුරා වසර 39කට පසුව, එනම් 2009 වසරේ දී වීම යි. විශ්‍රාමික ආරක්ෂක නිලධාරියකු මුල්වරට ඒ පිළිබඳ ව තොරතුරු හෙළි කළේ ය. රජ පවුලේ කිසිවකුත් ඒ පිළිබඳ එතෙක් දැන සිට නැත. කෙසේ වෙතත් එය සාමාන්‍ය දුම්රිය අනතුරක් යැයි සිතූ රාජකීය යුවළ තමන් බේරා ගැනීම වෙනුවෙන් දුම්රිය රියදුරුට 1974 දී විශේෂ පදක්කමක් ලබා දී තිබේ.

2). 1981 වසරේ සිදු වූ වෙඩි තැබීම

එක්සත් රාජධානියේ වසරක් පාසා පැවැත්වෙන රාජකීය උත්සවයක් වන ‘Trooping the Colour’ සඳහා රාජකීය පවුලේ සාමාජිකයන්, සොල්දාදුවන් සහ වාදකයන් ඇතුළු දහස් ගණනක් ජනතාව සහභාගී වේ. ඊට අශ්වයන් ද විශාල සංඛ්‍යාවක් සහභාගී වේ. සෑම වසරක ම ජූනි මස පැවැත්වෙන මෙම උත්සවය 1981 වසරේ ජුනි 13 වන දිනට යෙදී තිබිණි. එදින දෙවැනි එළිසබෙත් රැජන ද ඊට සහභාගී වූ අතර ඇයට මුහුණ දීමට සිදු වූයේ කිසිසේත් ම බලාපොරොත්තු නොවූ සිදුවීමකට ය. එවකට 17 හැවිරිදි වියේ පසු වූ මාක්ස් සාජන්ට් නම් තරුණයා රැජන දෙසට හිස් වෙඩි හයක් තැබුවේ දහස් ගණනක් ජනතාව මධ්‍යයේ ය.

වෙඩි ප්‍රහාරයෙන් පසු රැජින අශ්වයා පාලනය කර ගැනීමට උත්සහ කරන අයුරු- PA Images – Getty Images

රැජන එදින අශ්වයෙකු පිට නැගී ගමන් කරමින් සිටියා ය. පොලිස් නිලධාරීන් වෙඩික්කරු අල්ලා ගන්නා තෙක් රැජන කිසිදු කලබලයක් නොමැති ව අශ්වයා පිට සිටියා ය. කෙටි වෙලාවක් තුළ ආරක්ෂක නිලධාරීන් වෙඩික්කරු අල්ලා ගත් අතර රැජන කිසිවක් නොවූ පරිද්දෙන් සුපුරුදු පරිදි අශ්වයා පිට නැගී ජනතාව අතර ගමන් කළා ය.

 1842 වසරේ හඳුන්වා දුන් රාජද්‍රෝහී ක්‍රියා සම්බන්ධයෙන් වන පනත යටතේ සාජන්ට් වසර පහක සිරදඬුවමකට ලක් විය. කෙසේ වෙතත් සමාවක් ලැබූ ඔහු 1984 වසරේ දී නිදහස් විය.

රාජකීයයන් ‘Trooping the Colour’ උත්සවයක් අතරතුර- www.celibrity.land

3). ජෝන් ලුවිස් කළ වෙඩි තැබීම

ඉහත සිදුවීමෙන් මාස හතරක් වැනි කෙටි කාලයකට පසුව රැජනට තවත් ඝාතන තැතකට මුහුණ දීමට සිදු විය.රැජන පිලිප් කුමරු සමඟ නවසීලන්තයේ සංචාරයක  1981 ඔක්තෝබර් 14 දින නිරත වෙමින් සිටියා ය. එදින නවසීලන්තයේ ඩුනේඩින්හි පිහිටි ගොඩනැඟිල්ලක වැසිකිලි කාමරයක සැඟවී සිටි 17 හැවිරිදි ජෝන් ලුවිස් රාජකීය යුවළට වෙඩි තැබීමට සැලසුම් කර තිබුණේ කලක පටන් බව කියැවේ.

රාජකීය යුවළ ඔවුන් පැමිණි රෝල්ස් රොයිස් රථයෙන් බසිනවාත් සමඟ ලුවිස් ඔවුන් දෙසට රයිෆලයකින් වෙඩි තැබූ නමුත් එම උණ්ඩය යොමු වූයේ වෙනත් දිශාවකට බැවින් රැජනට හෝ පිලිප් කුමරුට කිසිදු හානියක් නොවී ය. ඇසුණු ශබ්දය වෙඩි හඬක් බව දැනගතහොත් රාජකීය යුවළ යළි කිසිදිනෙක නවසීලන්තයට නොපැමිණෙතැයි බිය වූ පොලිස් නිලධාරීන් එය යමක් පෙරලෙන ශබ්දයක් හෝ රතිඤ්ඤා හඬක් බව රාජකීය යුවළට පැවසූහ.

ඉන් අනතුරු ව ලුවිස්, එළිසබෙත් රැජන ගේ පුත්‍රයා වන චාල්ස් කුමරු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියැවේ. කෙසේ වෙතත් වෙනත් වරදක් හේතුවෙන් බන්ධනාගාරගත කළ ඔහු එහි දී සිය දිවි නසාගෙන තිබේ. ඔහු බන්ධනාගාරගත ව සිටින කාලයේ අනිකුත් රැඳවියන් සමඟ රැජින ඝාතනය කිරීමට දැරූ උත්සහය පිළිබඳ ව පවසා ඇත්තේ මේ අයුරිනි: “අපරාදේ, මට එය මගහැරුණා”. මෙම සිදුවීම ද ප්‍රසිද්ධ වූයේ සැලකිය යුතු කාලයක් ගත වීමෙන් පසුව බව කියැ වේ.

එළිසබෙත් රැජන පිලිප් කුමරු සමඟ- www.britannica.com

4). රැජනගේ නිදන කාමරයට කඩා වැදුණු පුද්ගලයා

බිඳුණු අළු බඳුනක වීදුරු කැබැල්ලක් ද අතැතිව මයිකල් ෆේගන් නම් පුද්ගලයා රැජිනගේ නිදන කාමරයට 1982 ජූලි 9 දින  කඩා වැදී තිබේ. ඔහු එලෙස නිදන කාමරයට කඩාවැදුනේ කුමක් සඳහා ද යන්න අපැහැදිලි ය. ඔහු වැහිපීලි මතට නැග අප ජලය ගලා යන නළයක් ඔස්සේ පහළට විත් රැජනගේ කාමරයට ඇතුළු වූ බව කියැවේ.

රැජනගේ කාමරයට එන අතරමඟ වෙනත් කාමරයක තිබූ අළු බඳුනක් දුටු ඔහු එය කඩා ඉන් කැබැල්ලක් ද අතැති ව රැජනගේ කාමරයට ඇතුළු වූයේ උදෑසන 7.15 ට පමණ ය. මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු රැජනගේ කාමරයේ තිර රෙදි මෑත් කළ අතර ඒ වන විට රැජින එහි තනිව ම නිදා සිටියා ය. කෙසේ වෙතත් ඔහු කාමරයට ඇතුළු වීමට පෙර රැජන උදව් ඉල්ලා කෑ ගැසූ බැවින් ඔහුට කාමරයට ඇතුළු වීමට නොහැකි විය.

රාජකීය නිදන කාමරයක්- www.theenglishhome.co.uk

ඔහු පසුකාලීනව පවසා ඇත්තේ තමන්ට රැජන ඉදිරියේ අත කපා ගැනීමට අවශ්‍ය වූ බව යි. එම අරමුණින් මාලිගයට ඇතුළු නොවූ නමුත් අළු බඳුන දැකීමෙන් පසු එම අදහස ඇති වූ බවත් ඔහු පවසා තිබේ. තමන් ඊට පෙර දිනක ද රැජනගේ කාමරයට ඇතුළු වීමට උත්සහ කළ බව ඔහු පසුව පවසා තිබේ. 

කවරයේ ඡායාරූපය- එළිසබෙත් රැජන රාජ්‍යත්වයට පත් වූ දින ලබා ගත් ඡායාරූපයක් - www.history.com

මූලාශ්‍ර:

www.biography.com - Rachel Chang

www.royal.uk

www.britannica.com

Related Articles