Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1956 මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තැඹිලි බීපු හැටි

ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනය සම්බන්ධ දේශපාලන ඉතිහාසය ගැන සිහිපත් කරන විට අබේවික්‍රම පරපුර අමතක කරන්නට බැහැ. 1947 සිට 1960 මාර්තු දක්වා පැවති සෑම මැතිවරණයක දීම අබේවික්‍රම පරපුරේ කෙනෙකු බද්දේගම ආසනයට තරග වැදුණා. එම නිසාම 1956 මහා මැතිවරණයේ දී බද්දේගමට පැමිණි බණ්ඩාරනායකට තැඹිලි බොන්නට සිදුවුණේත් අබේවික්‍රම කෙනෙකු සමග යි. එදා හෙන්රි අබේවික්‍රම සහ බණ්ඩාරනායක අතර සිදුවුණු රසවත් සිදුවීම ගැන කියන්නට පෙර හෙන්රි දේශපාලනයට පැමිණි ගමන පිළිබඳ තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කළ යුතුයි. 

1947 මහා මැතිවරණයේ දී හෙන්රිගේ සොයුරා බද්දේගම ජයග්‍රහණය කළා 

1947 වසරේ පැවති මුල්ම මහා මැතිවරණයේ දී බද්දේගම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණු සයිමන් අබේවික්‍රම යි. එහිදී ඔහු ඡන්ද 11899ක් ලබාගන්නා විට කොමියුනිස්ට් පක්ෂයෙන් තරග වැදුණු ෆ්රෙඩ් ගුණතිලක ලබාගත්තේ ඡන්ද 5056ක් පමණ යි. එලෙස පළමු මහා මැතිවරණය ජයග්‍රහණය කළ සයිමන් අබේවික්‍රම, ඩී.එස් සේනානායක රජයේ ප්‍රවාහන සහ මහාමාර්ග උප අමාත්‍යවරයා බවට පත්වුණා. 

1947 ඩී.එස් සේනානායක කැබිනට් මණ්ඩලය (gettyimages)

බද්දේගම ආසනය වෙනුවෙන්  අතුරු මැතිවරණයක් 

1948 වසරේ මැයි 2 වැනිදා සයිමන් අබේවික්‍රම අභාවයට පත්වීම නිසා බද්දේගම ආසනයට අතුරු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළා. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් හෙන්රි අමරසූරිය තරගකරන විට සයිමන්ගේ බාල සොයුරු හෙන්රි අබේවික්‍රම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් මැතිවරණ සටනට එක්වුණා. එහිදී හෙන්රි අමරසූරිය ඡන්ද 11414ක් ලබාගන්නා විට හෙන්රි අබේවික්‍රම ඡන්ද 4769ක් පමණක් ලබාගත්තේ දරුණු පරාජයක් ලබමින්. එදා මුල්මවරට බද්දේගම ආසනයට තරගකළ හෙන්රි පසුකලෙක දේශපාලන බිමේ  ජනප්‍රිය චරිතයක් වුණා.

1952 මහා මැතිවරණයෙන් හෙන්රි අබේවික්‍රම ජයග්‍රහණය කරයි 

1951 වසරේ දී S.W.R.D බණ්ඩාරනායක විසින් බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවුණු හෙන්රි අබේවික්‍රම 1952 මහා මැතිවරණයට තරගකළේ එම පක්ෂය නියෝජනය කරමින්. එහිදී හෙන්රි අබේවික්‍රමගේ ප්‍රබලම ප්‍රතිවාදියා වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණු හෙන්රි අමරසූරිය යි. ඊට පෙර පැවති රජයේ වෙළඳ අමාත්‍යවරයා වුණු අමරසූරිය 1948 වසරේ පැවති අතුරු මැතිවරණයේ දී හෙන්රි අබේවික්‍රමව පරාජය කළ නිසා මෙම මැතිවරණයේ දීත් ඔහුගේ ජයග්‍රහණය බොහෝ දෙනෙකු අපේක්ෂා කළා. නමුත් එම කාල සමය වන විට බද්දේගම ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගෙන සිටි අබේවික්‍රම එම මැතිවරණයේ දී හෙන්රි අමරසූරියව පරාජය කළේ වැඩි ඡන්ද 3932ක් ලබාගනිමින්.

හෙන්රි අබේවික්‍රම (geni.com)

1956 මහා මැතිවරණයේ දී බද්දේගම මැතිවරණ සටන 

1956 මහා මැතිවරණයේ දී බද්දේගම ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙන්රි අබේවික්‍රම ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ හෙන්රි අමරසූරිය යි. බද්දේගම ආසනය 1952 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට අහිමිවුණු ආසන 9 අතුරින් එකක් වුණා. එම නිසාම 1956 මහා මැතිවරණයේ දී එම ආසනය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආසනය පුරාම පවත්වමින්..

බණ්ඩාරනායකට  සහ හෙන්රි අබේවික්‍රමට ගැමියන්ගෙන් තැඹිලි සංග්‍රහයක් 

එක්සත් ජාතික පක්ෂය එලෙස බද්දේගම ජයග්‍රහණය කිරීමට වෙහෙස මහන්සි වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රධාන රැස්වීමට අමතරව තවත් කුඩා රැස්වීම් සංවිධානය කළා. ඊට අමතරව බණ්ඩාරනායක සහ අබේවික්‍රම ආසනය පුරා සංචාරය කළා. එලෙස ඔවුන් දෙදෙනා මැතිවරණ කටයුතු වෙනුවෙන්  සංචාරය කරන විට මග දෙපස රැස්ව සිටි ජනතාගෙන් විවිධ සංග්‍රහයන් ලැබුණා. ඒ අතුරින් වැඩි පිරිසක් තැඹිලි පිළිගන්වනු ලැබුවේ අව්වේ ගමන්කරන විට ඇතිවන පිපාසය නිවීමට යි.

අබේවික්‍රම තැඹිලි එපා කියද්දී බණ්ඩාරනායක දිගටම තැඹිලි බොයි 

යන යන සෑම තැනකින්ම පිළිගැන්වූ තැඹිලි පානය කිරීම නිසා හෙන්රි අබේවික්‍රමගේ බඩ පිරී ගියේ තවත් යමක් බීමට ඉඩක් නොමැති ලෙසට යි. නමුත් ඊළඟ පිළිගැනීමේ ස්ථානයේ දී අපෙනුත් බොන්න අපෙනුත් බොන්නැ යි මිනිසුන් පෙරැත්ත කරන විට අබේවික්‍රමගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. එම නිසාම ඔහු බලෙන් තැඹිලි පෙවීමට උත්සාහ කළ ජනතාවට  සැරෙන් කියා සිටියේ ‘මම තැඹිලි බීලා බීලා බඩ පිරිල ඉන්නේ තවත් බොන්න ඉඩක් නැහැ’ යන්න යි. අබේවික්‍රම එලෙස තැඹිලි එපා කියන විට බණ්ඩාරනායක පිළිගැන්වූ අයටත් ස්තූති කරමින් සෑම තැනකින්ම තැඹිලි පානය කළා. එසේම එය පිළිගැන්වූ ජනතාවටත්   ඉන් කොටසක් ලබා දී සියලුදෙනාගේම සිත් දිනාගැනීමට බණ්ඩාරනායක සමත්වුණා. 

බණ්ඩාරනායක විසින් අබේවික්‍රමට තැඹිලි පානය කරන හැටි පහදා දෙයි 

සිය සංචාරය අවසන් කරමින් මෝටර් රථයේ යන අතරතුර අබේවික්‍රම කල්පනා කළේ කෙසඟ සිරුරක් ඇති සිය නායකයා මෙතරම් තැඹිලි පානය කළ ආකාරය පිළිබඳව යි. එලෙස අබේවික්‍රම කල්පනා කරමින් සිටින අතරතුර කටහඬ අවදිකළ බණ්ඩාරනායක අසා සිටියේ ‘හෙන්රි මිනිස්සු මේ තැඹිලි දෙන්නේ අපට තියන ආදරේට ඇයි උඹ ඒවා එපා කියන්නේ?’ යන්න යි. එම අවස්ථාවේ අබේවික්‍රම පවසා  සිටියේ තැඹිලි පානය කර හොඳටම බඩ පිරී තිබුණු නිසා එම තැඹිලි ප්‍රතිකේෂ්ප කළ බව යි. එවිට බණ්ඩාරනායක  ‘කවුද මෝඩයෝ උඹට දෙන දෙන ඒවා බොන්න කිව්වෙ? උන් දෙන ඒවා අරගෙන ටිකක් වෙලා කටේ තියාගෙන ඉඳලා ආපහු දියන් ඒ මිනිසුන්ගේ සිත සැනසන්න’ යන්න පැවසුවේ ඔහුගේ තැඹිලි බීමේ රහස හෙන්රිට හෙලිදරව් කරමින්. 

බණ්ඩාරනායක 1956 මහාමැතිවරණය අතරතුර (dsbjeyaraj.com)

හෙන්රි තැඹිලි ප්‍රතිකේෂ්ප කළත් මිනිසුන් හෙන්රිව ප්‍රතිකේෂ්ප කළේ නැහැ 

හෙන්රි අබේවික්‍රම මිනිසුන් ලබාදුන් තැඹිලි ප්‍රතිකේෂ්ප කළත් මැතිවරණයේ දී මිනිසුන් ඔහුව ප්‍රතිකේෂ්ප නොකළේ ඔහු ලබාගෙන තිබුණු ජනතා ආකර්ෂණය නිසා යි. එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණු හෙන්රි අමරසූරිය ඡන්ද 11082ක් ලබාගන්නා විට හෙන්රි අබේවික්‍රම ඡන්ද 18834 ලබාගත්තේ පහසුවෙන්ම සිය අසුන ජයග්‍රහණය කරමින්.

කවරයේ ඡායාරූපය - S.W.R.D බණ්ඩාරනායක (gettyimages)

මූලාශ්‍රයයන්- සෝමදාස අබේවික්‍රම මහතාගේ දේශපාලඥයන්ගේ රසකතා පොතේ 49 වැනි පිටුවේ 5 වැනි පරිච්ඡේදයෙන් උපුටාගැනීමක් කර ඇත. 

Related Articles