කාර්තේජ් රාජ්‍යයෙන් බිහි වූ විශිෂ්ටතම සෙන්පතියා වූ හැනිබල් බාර්කා, එක්තරා අවස්ථාවක රෝමයට බරපතල තර්ජනයක් වූ බව අප අසා තිබෙනවා. හැනිබල්, යුධ ඇතුන් ද සහිත වූ ඔහුගේ හමුදාව ඇල්ප්ස් කඳුකරය හරහා ගෙනගොස් රෝමය වෙත තර්ජනය කළා. කැනීහි දී දැවැන්ත පරාජයක් රෝමයට අත්කර දුන්නත් ඔහුට රෝමය කරා ඍජුව පහර දීමට නොහැකි වුණා.
මේ අතර රෝමන් සේනා කාර්තේජ් රාජ්‍යය ආක්‍රමණය කළා. ක්‍රි.පූ. 202 දී සාමා සටනේ දී (Battle of Zama) ස්කිපියෝ අෆ්‍රිකානුස් විසින් හැනිබල් පරදවනු ලැබුණා.
මෙයින් පසු හැනිබල් කාර්තේජ් වෙනුවෙන් හමුදා මෙහෙයවූයේ නැහැ. එහෙයින් බොහෝ විට අපට හැනිබල්ගේ අවසන් වසර කිහිපය පිළිබඳ එතරම් අසන්නට ලැබෙන්නේ නැහැ. නමුත් සාමාහි පරාජයෙන් පසු ඔහු දශක දෙකක් ජීවත් වූවා පමණක් නොව එම කාලය මුළුල්ලේම රෝමයට එරෙහිව කළ හැකි වූ සියල්ලක්ම කළා. අනෙක් අතට රෝමය ද ඔහුව අල්ලාගැන්මට සියළු උත්සාහයන් දැරුවා.
ප්‍රධාන විනිසුරුවරයා ලෙස
සාමා සටනින් පසු දෙවන පියුනික් යුද්ධය නිමා වූ අතර රෝමය වෙත විශාල වන්දියක් ගෙවීමට කාර්තේජ් රාජ්‍යයට සිදු වුණා. ඉන්පසු හැනිබල් එරට ප්‍රධාන විනිසුරු ධුරයට පත් වුණා. ඔහු රටේ දූෂණය පිටුදැක මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ප්‍රතිඵලය ලෙස ඉතා කෙටි කලකින් එම වන්දි මුදල ගෙවීමට කාර්තේජ් රාජ්‍යය සමත් වුණා.
මේ අවස්ථාවේ දී කාර්තේජ් රාජ්‍යය නැවත ශක්තිමත් වේ ය යන බිය රෝමයට ඇති වුණා. ඔවුන් හැනිබල් එහි රැඳී සිටීම පිළිබඳ විරෝධය දක්වන්නට වුණා. තමන්ව රෝමය වෙත භාරදෙන ලෙස ඉල්ල සිටීමේ පැහැදිලි ඉඩක් ඇති බව හැනිබල් වටහා ගත්තා.
මෙහි ගැටළුව වූයේ මේ වන විටත් ඔහුගේ දූෂණ විරෝධී කටයුතු හේතුවෙන් කාර්තේජ්හි ඔහුට සතුරන් ගණනාවක්ම නිර්මාණය වී තිබීම යි. මේ අනුව එහි පාලක කවුන්සිලය තමන්ට එරෙහිව කටයුතු කරනු ඇතැ යි හැනිබල් සැක කළා.
එක් දිනෙක තම හිතවතුන් පිරිසක් සමග හැනිබල් කාර්තේජ් රටින් නැව් නැග්ගා. ඔහු ඒ අසල දූපතක නැවතුන විට තවත් පිරිසක් පැමිණියා. ඔවුන් හැනිබල්ව හඳුනාගත්තා. මේ අවස්ථාවේ හැනිබල් කළේ තමන් සාමාන්‍ය සංචාරයකට පැමිණි බව ඇඟවීම යි. එදින රාත්‍රියේ ඔවුන් සාදයක් පැවැත්වූ අතර, ඊළඟ දින හිමිදිරියේ අනෙක් පිරිස නිදා සිටිය දී ඔහු තම පිරිස සමාග නැව් නැග පළා ගියා.
සෙලෙයුසිඩ් අධිරාජ්‍ය සේවයේ
හැනිබල් මුලින්ම ටයර් නගරයට පැමිණියා. එය ඔහුගේ මුතුන්මිත්තන් වූ ෆිනීෂියානුවන් මධ්‍යධරණියෙහි බලය පැතිරවීමට පටන් ගත් ස්ථානය යි. එහි සිට ඔහු සෙලෙයුසිඩ් අධිරාජ්‍යයේ අගනුවර වූ ඇන්ටියොක්හි දී එහි පාලක තුන්වන ඇන්ටියෝකස් හමුවුණා.
මේ වන විට රෝමය ග්‍රීසිය වෙත ද සිය බලය පතුරවා තිබුණා. ඇන්ටියෝකස් රෝමයට එරෙහිව යුද්ධයක් සඳහා සූදානම් වුණා. හැනිබල් ඔහුගෙන් හමුදාවක් ඉල්ලා සිටිය ද සෙලෙයුසිඩ් ප්‍රභූන් ඊට කැමති වූයේ නැහැ. එහෙයින් හැනිබල් උපදේශකයකු ලෙස පමණක් කටයුතු කළා.
මේ අතර ක්‍රි.පූ. 193 දී සෙලෙයුසිඩ් පාලකයින් හා සාකච්ඡා කිරීමට ස්කිපියෝ ප්‍රමුඛ රෝමන් නියෝජිත පිරිසක් පැමිණියා. මෙහිදී ස්කිපියෝ හා හැනිබල් එකිනෙකා මුණගැසුණා. මීට පෙර, මොවුන් දෙදෙනා සාමා සටනට පෙර ද සාකච්ඡා කර තිබුණා.
ඔවුන් අතර වූ දෙවන හමුවේ දී දෙදෙනා අතර මතකයේ රැඳෙන දෙබසක් වූ බව ඉතිහාසකරුවන් කියනවා.
ඉතිහාසයේ සිටි හොඳම සෙන්පතියා කවරෙකුදැ යි ස්කිපියෝ හැනිබල්ගෙන් විමසා සිටියා. හැනිබල්ගේ පිළිතුර වූයේ ඒ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා බව යි. කුඩා සේනාංක සහිතව ඔහු ලැබූ ජයග්‍රහණ මෙන්ම ඈත ප්‍රදේශයන් කරා ළඟා වීමට හැකිවීම ඊට හේතු ලෙස හැනිබල් පෙන්වා දුන්නා. දෙවැනියට හොඳම සෙන්පතියා කවරෙකුදැ යි විමසූ විට හැනිබල් පිළිතුරු දුන්නේ ඒ එපිරස් රාජධානියේ ෆිරස් රජු බව යි.
තෙවැනියට හොඳම සෙන්පතියා කවරෙකුදැ යි ස්කිපියෝ විමසූ විට, හැනිබල්ගේ පිළිතුර වූයේ ඒ තමා බව යි.
“එසේ නම් සාමාහි දී ඔබ මාව පැරදුවේ නම් මොකද වෙන්නෙ?”
“එසේ නම් පළමුවැන්නා වෙන්නේ මම යි.”
මෙම උපක්‍රමික පිළිතුර ස්කිපියෝ සතුටට පත්කළ බව සඳහන් වනවා.
කෙසේ වෙතත්, සාකච්ඡා අසාර්ථක වූ අතර දෙපාර්ශවය යුද්ධයට සැරසුණා. පුහුණුව සහ උපක්‍රම අතින් ඉදිරියෙන් සිටි රෝමන් සේනාංක හා කරට කර සිටින්නට සෙලෙයුසිඩ් හමුදාවන් අසමත් වන බව හැනිබල්ට පැහැදිලි වුණා. සෙලෙයුසිඩ් සේනාංක පරාජය වීමෙන් වසර කිහිපයක් තුළ යුද්ධය නිම වුණා.
සර්ප උගුල
මේ අවස්ථාවේ සෙලෙයුසිඩ් අධිරාජ්‍යයේ රැඳී සිටීම අවදානම් බව වටහාගත් හැනිබල් එයින් ද පළා ගියා. ඔහු ළඟා වූයේ ක්‍රීටයට යි. එකල එම දූපත ග්‍රීක මුහුදු කොල්ලකරුවන්ගේ තිප්පලක් වුණා. ඔවුන් රෝමන් නැව් ගමනාගමනයට තර්ජනයක්ව තිබුණා. වසර කිහිපයක දී රෝමන්වරු එම දූපත ද තම පාලනයට නතු කරගන්නට වුණා. හැනිබල් නැවත පළා ගියා.
මේ අවස්ථාවේ ඔහු නැවතුණේ ඇනටෝලියාවේ වයඹදිග ප්‍රදේශයේ බිතිනියාවේ යි. එම රාජ්‍යය ඒ වන විට රෝමයට අවනත රාජ්‍යයක් වූ පර්ගමොන් සමග යුධවැදී සිටියා.
හැනිබල් බිතිනියාවේ අගනුවරින් තරමක් ඈත වූ මන්දිරයක අප්‍රකටව ජීවත් වුණා. එහෙත් ඒ අතර ඔහු එරට රජුගේ යුධ උපදේශකයකු ද වුණා. වක්‍රාකාරයෙන් හෝ රෝමයට එරෙහි වන අයකුට සිය සේවය සැපයීම යි හැනිබල්ගේ අරමුණ වන්නට ඇත්තේ.
යුද්ධය බිතිනියාවට එතරම් සාර්ථක ලෙස ඇදී ගියේ නැහැ. විශේෂයෙන් ගොඩබිම් සටන් කිහිපයක දී ඔවුන් පසුබැස්සා. නමුත් දෙපාර්ශවයේ නාවික හමුදා ගැටුණ විට සිදු වූයේ අනෙකක්.
හැනිබල් පර්ගමොන් රාජ්‍යයේ නාවිකයන් පරාජය කිරීමට උපක්‍රමයක් සැලසුම් කළා. එකල නෞකාවල හබල්කරුවන් බොහෝකොටම නිර්වස්ත්‍රවම උන් අතර සෙබළුන් ද ඉතා කුඩා ඉණකඩක් පමණක් හැඳ සිටියා. හැනිබල්ගේ උපාය වූයේ මැටි බඳුන්වල සර්පයින් බහා ලා, එම බඳුන් ප්‍රතිවාදී නැව් වෙත දමා ගැසීම යි. අවශ්‍ය තරම් විසකුරු සර්පයින් ඇනටෝලියාවේ සොයාගත හැකි වුණා. මෙම උපක්‍රමය ඉතා සාර්ථක වුණා.
කෙසේ වෙතත්, කිසියම් උපක්‍රමික ඥානයකින් යුතු අයෙකු බිතිනියා රජුට උපදෙස් දෙන බව, මෙම සටනින් පසු රෝමන්වරුන් සැක කළා. මේ සැකය ඔස්සේ හඹා ගිය ඔවුන් හැනිබල් සිටින ස්ථානය හෙළි කරගත්තා. ඔවුන්ට බිතිනියා රාජ්‍යයෙන් ගිය දූතයකු තොරතුරු දුන්නේයැ යි ද සැක කෙරෙනවා.
රෝමන්වරුන් හැනිබල් අල්ලාගැනීමට හමුදාවක් බිතිනියාව වෙත එව්වා. ඔවුන් ඔහුගේ මන්දිරය වැටලූ බව වැටහුණ විට තම අවසානය ළඟා වී ඇතැ යි හැනිබල් තේරුම් ගත්තා. ඔහුට සිරකරුවකු ලෙස රෝමයට යන්නට අවශ්‍ය වූයේ නැහැ. පළා යාමට ද ක්‍රමයක් වූයේ නැහැ. එහෙයින් ඔහු සිය දිවි නසාගත්තා. ඔහුගේ මරණය ක්‍රි.පූ. 183 දී පමණ සිදු වූ අතර එවිට ඔහු 63 වන වියෙහි වූයේයැ යි විශ්වාස කරනු ලබනවා.