ලංකාවේ පැරණි වන්නි ප්‍රදේශය දඹදෙණි යුගයෙන් පසුව ක්‍රමයෙන් දේශීය අනන්‍යතා ලක්ෂණ ගොඩ නඟා ගෙන තරමක් ස්වාධීන ලක්ෂණ සහිත ව පාලනය වුණු පෙදෙසක් වුණා. එම කලාපය පාලනය කළ පිරිස හැඳින්වුණේ වන්නියන් හෝ වන්නි බණ්ඩාර නමින්. කටුක දේශගුණයෙන් බැටකමින් පුරාණ උරුමයක් සහිත අනුරාධපුර නුවරකලාවිය සහ වයඹ හත් කෝරළේ කොටසක් ද කේන්ද්‍ර කර ගනිමින් වන්නිය ගොඩ නැගී තිබුණා.
මේ කොටසට එවකට පැවති මහ ආණ්ඩුවේ බලෑම අල්ප වුණේ රජුට එම පෙදෙස්වලින් බදු ආදායමක් ද නොලැබීම නිසා වන්නට පුළුවන්. මේ නිසා රටක් තුළ පිහිටි සමූහාණ්ඩුවක ලක්ෂණ වන්නියට ලැබුණු බව පෙනෙනවා.
පුරාණ වන්නිය
සයිමන් කාසිචෙට්ටි 1834 දී ලියූ ‘සිලෝන් ගැසටියර්’ පොතේ වන්නියේ මායිම් ලෙස නැගෙනහිරින් ත්‍රිකුණාමලයට ද, බස්නාහිරින් මන්නාරම් බොක්කට ද, දකුණෙන් නුවරකලාවියට ද, උතුරෙන් යාපනය අර්ධද්වීපයට ද සීමා වන බිම් පෙදෙස සලකා තිබුණා. තමන්කඩුව හැර වර්තමාන උතුරුමැද පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නියට අයත් ව පැවති බව රැල්ෆ් පීරිස් ‘සිංහල සමාජ සංවිධානය’ කෘතියේ සදහන් කරනවා. අපට පෙනෙන්නේ වර්තමාන වන්නි හා මුලතිව් දිස්ත්‍රික්ක සහ ත්‍රිකුණාමලයේ මහ මන්නාරම් දිස්ත්‍රික්කයේ කොටස් ද පුරාණයේ වන්නියට අයත්ව පැවති බව යි. මේ ගම් රජයේ පාලනයෙන් තොර වූ සංස්ථා ලෙස පැවති බව ඉතිහාසඥයන් සදහන් කරනවා.
උඩරට රාජධානි කාලය දක්වා වන්නිය බෙහෙවින් වනගත ප්‍රදේශයක් වූ අතර, වී ගොවිතැන සිදුවූයේ තැනින්තැන සුළු වශයෙන් බව යි පැවසෙන්නේ. නියඟය නිසා සමහර කන්න වගා කිරීමට ලැබුණේ නැහැ. වනාන්තර මැද හුදෙකලා ගම් ලෙස තමයි මේ පළාත් පැවතුණේ. මහනුවර රාජධානියේ බලය මේ පෙදෙස්වලට ලැබුණේ යාන්තමින්. බදු අයකිරීම ද හරියාකාර ව සිදු ව නැහැ. වන්නියේ ප්‍රධාන නිෂ්පාදන වුණේ ඇත් දළ, මුව මස්, මී පැණි, මී ඉටි, ගවයන්, කිරි, වෙඬරු හා පොල් වැනි දේවල්. වන්නි වැසියන් මෙම දෑ නගර ආශ්‍රිත ප්‍රදේශ වෙත ගෙනගොස් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය හුවමාරු කරගෙන තිබෙනවා.
දළදා පූජාවලියෙහි සඳහන් වන්නේ පුරාණයේ වන්නි ප්‍රදේශ තුන්සිය හැටක් පැවැති බව යි. පළමුවැනි පරාක්‍රමබාහු රජ වන්නි පත්තු තුන්සිය ගණනක් ජය ගත් බව නිකාය සංග්‍රහයෙහි සඳහන් වෙනවා.
15 වන සියවසේ දී සිටි වන්නි රජවරුන් ගැන මහාවංශයේ සදහන් වෙනවා. වන්නිවරුන් දඹදෙණිය යුගයේදී දේශපාලනයට පැමිණි බව පේනවා. වන්නි, සිරි වන්නි, මහ වන්නි හා වන්නි රාජවරුන් ද වන්නිවරුන් අතර සිටියා. සමහර අවස්ථාවල දී සිංහල වන්නිවරුන් පවතින පාලන තත්ත්වයට විරුද්ධව කැරලි ගැසූ අවස්ථා ගැනත් අසන්නට ලැබෙනවා.
ස්වයං පාලිත ගම් සහිත පෙදෙසක්
දහ හත්වන සියවස වන විට වන්නිය ස්වයං පාලිත ගම් සහිත පෙදෙසක් වූ බව රැල්ෆ් පීරිස් සදහන් කරනවා. ඒවා කෘෂිකාර්මික සමූහාණ්ඩු ලෙස පැවති පෙදෙස් වුණා. වැව් නටබුන් ව පැවති නිසා ගොවිතැන සිදුවුණේ දුෂ්කරතා සහිත ව යි. නියඟයෙන් නිතර බලෑම් සිදුවුණා. මහනුවරට ලැබෙන පහසුකම් කිසිවක් නුවරකලාවියට ලැබුණේ නැහැ. මෙම ප්‍රදේශයෙන් උඩරට රජුන්ට ලැබුණු එකම ආදායම නම් තම දිසාව පත් කිරීමේ දී ලැබුණු ගාස්තුව පමණ යි.
මහ වන්නිවරු
පූජාවලියෙහි හා මහාවංශයෙහි මහ වන්නීන් ලෙස හඳුන්වා ඇත්තේ වන්නි ප්‍රදේශයේ විසූ බලවත් ජන ප්‍රධානීන් පිරිස යි. ඔවුන් වෙන ම රදළ පරපුරක් ලෙස සංවිධානය වූ බව පේනවා.
පොළොන්නරු යුගයේ දී සිදුවූ මාඝගේ ආක්‍රමණයෙන් පසු ව ඇති වූ දුර්දාන්ත කාලයේ දී බලවත් මහ වන්නි පාලකයන් දුර්ග කඳුගැටවල කුඩා රාජධානි තනා ගෙන මාඝගේ පාලනයට නතු නොවී ප්‍රාදේශීය ලෙස කෘෂිකර්මය කරමින් ජනතාව පාලනය කළ බව මහාවංශයේ සදහන් වෙනවා.
වන්නි රාජ හෙවත් තුන්වන විජයබාහු රජු
එසේ වාසය කළ බලවත් මහ වන්නීන් සිව් දෙනකු වන්නේ දඹදෙණි විජයබාහු කුමරු, සුභ සෙන්පති, සංඛ සෙන්පති සහ බුවනෙකබාහු ආදිපාද යි. සුභ සෙන්පති වන්නියෙන් පැමිණ යාපහුව මුදුනෙහි බළකොටුවක් තනා ගෙන අවට පාලනය කළා. වන්නියෙහි සිටි බුවනෙකබාහු ආදිපාද මොනරාගලට තරමක් දුරින් සියඹලාණ්ඩුවේ තිබෙන ගිරි දුර්ගයක් වූ ගෝවින්දහෙල ( වෙස්ට්මින්ස්ටර් ඇබේ) පාලනය කළ අතර එහි නටබුන් අදත් දකින්න පුළුවන්. සංඛ හෙවත් භීම සෙන්පති මිණිපේ ප්‍රදේශයේ සිට පාලනය කළ තවත් වන්නිවරයෙක්. මේ අතරින් විජයබාහු කුමාරු පසුව දඹදෙණියෙන් රටේ රජ කමට පත් වෙනවා.
තුන්වන විජයබාහු ( 1232- 1236) රජරට එක්සේසත් කරන විට ඔහුට එම පෙදෙස්වල සිටි මහ වන්නිවරුන්ගේ සහයෝගය ලැබී තිබෙනවා. මහ වන්නිවරුන්ගේ ද නායක ලෙස හදුන්වමින් තුන්වන විජයබාහු රජු වන්නි රාජ යන නාමයෙන් ද සදහන් වෙනවා. විජයබාහුගෙන් පසු රජකමට පත් ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1236 දී මාඝ හා සටන ආරම්භ කරනවා. ඒ සදහා ඔහුට සිංහල වන්නි පාලකයන් පිරිසකගේ සහාය ද ලැබෙනවා. 1255 දී තමයි ඔහු මාඝ පලවා හැරීමට සමත් වන්නේ.
වන්නියේ පාලක වන්නි උන්නැහේලා
මහනුවර යුගයේ දී නුවරකලාවිය ඇතුළු වන්නියේ පාලනය සඳහා රජුගේ අනුදැනුම අනුව පත්කර ඇති නිලධාරියා හැඳින්වුණේ “දිසාවේ” නමින්. උඩරට රාජධානිය මෙබඳු ඈත ප්‍රදේශ හඳුන්වා ඇත්තේ “දිසාවන්නි” ලෙස යි. නුවර කලාවිය ප්‍රදේශයෙහි සිටි පාලකයන් වුණේ ‘වන්නි උන්නැහේලා’ නමින් හැදින්වුණු අයයි. වන්නි රජවරුන්, වන්නි නිරිදුන්, වන්නිවරුන්, වන්නි බණ්ඩාරවරුන් ලෙසත් ඔවුන් හදුන්වා තිබෙනවා.
මේ වන්නිවරු රටේ දේශපාලන තත්ත්වය වෙනස්‌වීම අනුව සිංහල රජුට හෝ උතුරේ නල්ලූර් පාලකයන්ට කලින් කල පක්‌ෂපාත ව සිට තිබෙනවා. බෙහෙවින් ම වනගත පෙදෙස් පාලනය කළ නිසා ඔවුන් වන්නි නම් වූ බව මහාචාර්ය පරණවිතාන පවසනවා. එමෙන් ම මහාවන්නි හා සිරීවන්නි (සුළුවන්නි) යනුවෙන් දෙවර්ගයක වන්නිවරුන් සිටි බවත් මහා වන්නිවරුන් 18 දෙනෙක් ද, සිරිවන්නිවරුන් 364 ක් ද සිටි බව ද පරණවිතාන විස්‌තර කරනවා. වන්නියෙහි රාජකීය ගම් නොතිබුණු නමුත් රාජකීය කෙත් කිහිපයක් ම පැවතියා.
වන්නි උන්නැහේලාගේ බලය
නුවරකලාවිය “පත්තු” වලට බෙදා තිබුණා. කිරලව පත්තුව, මාමිණියා පත්තුව, උදුරව පත්තුව, කලාගම් පත්තුව, මාටොඹුවා පත්තුව, උඩියන්කුලම පත්තුව, හුරුළු පත්තුව, මහපොතාන පත්තුව ආදී වශයෙන් ඒවා හැඳින්වුණා. පත්තුවක ප්‍රධානියා වුණේ වන්නි උන්නැහේ යි. ඔවුන් වන්නි රදළ පෙළැන්තියකට අයත් වුණු පිරිසක්. පත්තුවක් තවත් උප කොටස් ගණනාවකට බෙදා තිබුණා. ඒවා “තුලාන්” ලෙස හඳුන්වා තිබෙනවා. තුලානක ප්‍රධානියා “කාරියකරවන්නා” වුණා.
මහනුවරින් පත් කළ දිසාවේ මේ ප්‍රදේශ පාලනය අධික්ෂණය කිරීමේ දී රාජ්‍ය භාණ්ඩාගාරයට මුදලක් ගෙවිය යුතු වී තිබෙනවා. වන්නි උන්නැහේලාගේ ප්‍රධානියා වූයේ “මහ වන්නි උන්නැහේ” යි. මේ වන්නි උන්නැහේලා අතරින් මහ වන්නිඋන්නැහේට, දිසාවේට තිබුණු බලය භාවිත කළ හැකි වූණා. ගම් ප්‍රදේශ කරා යාමේ දී නුවරකලාවියේ කොඩිය රැගෙන යාමටත්, පෙරහරින් ගම කරා යාමටත් හැකියාව ලැබී තිබුණා.
අනුරාධපුරයෙහි ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව උඩරට රජවරු මහ වන්නිවරුන් වෙත පැවරූ බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වෙනවා. වන්නිවරුන්ගේ ප්‍රධාන ආදායම වුණේ රට සභා වාරවල දී එකතු කරන ගාස්තු සහ දඩ මුදල්. ඔවුන්ට අයත් නින්දගම්වලින් ලැබෙන බදු ආදායමටත් ඔවුන් හිමිකම් කිව්වා.
මේ කාලයේ මහවන්නියා පෙරටු කොට ගත් වරිග සභාවක් ද ගම්වල තිබුණා. තම වරිගයට හෙවත් කුලයට එරෙහි කටයුතුවලට දඩුවම් දීම සිදුවුණේ වරිග සභාවෙන්. වරිග සභාව නිල නොවන ලෙස 1940 දශකය දක්වා වන්නියේ ගම්වල බලවත් ව ක්‍රියාත්මක ව පැවතුණා. හත්කෝරළේ සමහර පෙදෙස්වල සාමන්තයන් ලෙස ද වන්නිවරුන් ක්‍රියාත්මක ව සිට තිබෙනවා. නුවර කලාවියට වඩා ඔවුන්ගේ බලතල සීමාසහිත වුණා. හත්කෝරළේ දෙමළ හත්පත්තුව, වන්නි බණ්ඩාරවරුන්ගේ පාලනය පැවති ප්‍රදේශයක්.
දැකුම් නොගෙවීම
වන්නි බණ්ඩාරවරුන් මහනුවරට ගිය විට හෝ දිසාව එම පෙදෙසේ සංචාරය කළ විට ඔවුන් ලොකු බුලත් හුරුල්ලක් දිසාවේට පිළිගන්වා දැකුම් ගෙවීමෙන් බේරුණු බව ඩොයිලි සදහන් කරනවා. එහෙත් රාජාධි රාජසිංහ රජ සමයේ දැකුම් නොගෙවීම නිසා දෙමළ හත් පත්තුවේ ප්‍රධාන වන්නි බණ්ඩාර අවුරුදු 12ක් නුවර සිරකර තැබූ බව පැවසෙනවා.
වන්නි පාලනයට හැම විට ම ජනතාව කැමැත්ත දක්වා නැහැ. සමහර වන්නිවරුන්ගේ පීඩාකාරී පාලනයෙන් ගැලවීමට නුවර කලාවියේ ජනතාව උතුරට පැනගොස් දෙමළ වන්නියෙහි ජීවත් ව තිබෙනවා.
පන්ඩාර වන්නි පරාජය
මුලතිවු දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කච්චිලාමඩු ග්‍රාමයේ කළුගල් පුවරුවක් සහ මෑතක දී තැනුණු පිළිරුවක් සහිත ස්මාරයක් දැකගත හැකි යි. ඉංග්‍රීසින් එය පිහිටුවූයේ ඉංග්‍රීසි පාලනයට අභියෝගයක් වුණු පන්ඩාර වන්නි ප්‍රධාන ඔහුගේ හමුදාව පරාජය කිරීම සිහිපත් කිරීමට යි. එහි ඉංග්‍රීසි බසින් කොටා ඇති ලේඛනයේ සිංහල අදහස මෙසේයි:
මෙම ප්‍රදේශයේදී
කැප්ටන් වොන් ඩ්‍රිබර්ග්
පන්ඩාර වන්නියන්
පරාජය කරන ලදි
31 ඔක්තෝබර්
1803
ඉංග්‍රීසි පාලනය රට යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී වන්නි බණ්ඩාර (පන්ඩාර වන්නියන්) මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ද සහය ඇති ව බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව වන්නි ප්‍රදේශවල විරෝධතා සටන් කැරලි ආරම්භ කර තිබෙනවා. වන්නි බණ්ඩාර ජිවත් ව ඇත්තේ මුලතිව්හි කොලමුනේ ප්‍රදේශයේ යි. අනුරාධපුර නුවරවැව පවුලේ සාමාජිකාවක හා විවාහයෙන් ඔහුට දකුණු වන්නියේත් සහයෝගය ලැබී තිබෙනවා.
ඉංග්‍රිසින් හා කළ සටනින් වන්නි බණ්ඩාර පරාජය වුණත් ඔහු මහනුවරට පලා යනවා. වන්නි බණ්ඩාර මහනුවර රාජධානිය ආසන්නයේ දී 1810 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයකින් තුවාලවී ඉන් මිය ගිය බවට විශ්වාස කරනවා. වන්නියේ ජීවත්වන සිංහල හා දෙමළ ජනතාව අතර වන්නි බණ්ඩාර පසුව දේවත්වයට පත් වුණා.
මේ හා සබැඳි ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු – බුලන්කුලම- නුවරවැව පරපුර ලිපියත් කියවන්න.